ශිෂ්‍ය සහනාධාර, පෞද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහිවීම්, පන්ති තහනම යනාදී නොයෙක් කරුණු මුල්කරගෙන ශ්‍රී ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාලයන්හි ශිෂ්‍යයෝ නොයෙකුත් අරගල ක්‍රියාවලියවල නිරතවීම නිරන්තරයෙන්ම සිදුවේ. ශිෂ්‍ය ව්‍යාපාර දියත් කරන මෙම අරගල නිසා සමහර අවස්ථාවලදී මහජනතාවද පීඩාවට පත්ව ඇති අතර පෙළපාලිවල යමින් පොලිස් අණ නොතකා ක්‍රියා කිරීම නිසා, ශිෂ්‍යයන් මර්දනය කිරීම සඳහා පොලිසිය විවිධ අවස්ථාවන් වල කඳුළු ගෑස් හා ජල ප්‍රහාර පවා එල්ල කරන ලදී. විශ්ව විද්‍යාල වල පාලනාධිකාරිය විසින් ආරක්ෂක, විනයාරක්ෂක සහ ශිෂ්‍ය ක්‍රියාකාරීකම් නිරීක්ෂණය කිරීමේ අරමුණින් මෑතක සිට සමහර විශ්වවිද්‍යාලයන්හි CCTV කැමරා පද්ධති සවි කළද ශිෂ්‍ය ක්‍රියාකාරීහු එයට තදින්ම විරෝධය දක්වා සිටිනු දක්නට ලැබුණි.

කැලණිය විශ්ව විද්‍යාලයේ සවිකළ CCTV කැමරා පද්ධතියක් ඉවත් කිරීම සම්බන්ධයෙන් එහි මහ ශිෂ්‍ය සභාවේ නායක කොබෙයිතුඩුව සමිත හිමියන් ඇතුළු ශිෂ්‍යයන් පිරිසක් පොලිස් පොලිස් අත්අඩංගුවට පත් ව නීතිය ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණයට ඉදිරිපත් කළ පසු මාර්තු මස 3දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ බවට සෑම ප්‍රධාන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වල වාර්තා විය.

Claim 1: කැලණිය විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සභාවේ නායක කොබෙයිතුඩුව සමිත හිමියන් යයි පැවසෙන ඡායාරුපයක් පිලිබඳ ප්‍රකාශයක්

මෙවන් පසුබිමක නිමල් කුරුවිට නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවක “අඳුනා ගත්තද මන්දා CCTV කැමරා වලට බය මේ දේ නිසා, ඇත්ත එළි වන නිසා, සිවුර දාගෙන කරන ක්‍රියා ඔබ අනුමත කරනවාද දැඩි දඬුවම් දෙන්ඩ ඕනෑ මොවුන්ට. රටට මුන් වගේ උන් පිළිකාවක්” තේමාව යටතේ තරුණ ස්වාමීන් වහන්සේ නමකගේ සහ තරුණයකුගේ සේයාරුවක් රැගත් සටහනක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. ඉතාමත් සුළු කාලයක් තුල මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් පන්දාහකට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී සටහන් පන්සියයකට අධික සංඛ්‍යාවක් ද හිමිකර ගෙන තිබුණේය.

FB LinkArchived Link

මෙම සටහනට ලැබුණු ප්‍රතිචාර රාශියක්ම සටහනට පක්ෂපාතව දැඩි දඬුවම් දෙන ලෙස ඉල්ලා තිබූ අතර කිහිපයක් පමණක් සටහන අසත්‍යය බව යෝජනා කර තිබුණේය.

Claim 2: අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ භික්ෂු බලමණ්ඩල කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි යයි පැවසෙන ඡායාරුපයක් පිලිබඳ ප්‍රකාශයක්

එසේම සුසන්ත දීපාල් නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවකද “අදුනාගතොත් ඔබ මා” තේමාව යටතේ, “දවල්ට පෙළපාලි රෑට ගලදාරි හඳුනාගත්තද ජෝඩුව” යන වදන රෝපනය කර ඡායාරූප දෙකක් එකිනෙකට සම්බන්ධ කර සටහනක් ඉදිරිපත්වී  තිබෙනු දක්නට ලැබුණේය. මෙම සටහන ද ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වී තිබුණේය. 

LinkArchived Link

මෙම සටහන්වලට හිමිව තිබූ ජනප්‍රියතාවය සහ මෙවැනි පුද්ගල සමාන ඡායාරූප යොදාගනිමින් සටහන් හුවමාරු වීම මීට පෙරද කිහිප වරක් නිරීක්ෂණය වූ බැවින් මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check – Claim 1 (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ප්‍රථමයෙන්ම නිමල් කුරුවිට නැමැත්තාගේ ෆේස්බුක් පිටුවේ වූ සටහන වෙත අවධානය යොමු කළෙමු. මෙහි වූ සේයාරුව ගෙන Google Reverse Image සෙවීමකට යොමු කළෙමු. එම සේයා රුව රැගත් ElaKiri.com නමැති සංවාද වෙබ් අඩවියෙහි මෑතකදී සිදු වූ කැලණිය විශ්ව විද්‍යාලයේ CCTV කැමරා ගැළවීම හා සම්බන්ධ සිද්ධිය මුල්කරගෙන උපහාසාත්මක අන්දමින් පලවී තිතිබු සටහන් දක්නට ලැබුණි. පහත දැක්වෙන්නේ එම ඡායාරූප දෙකය.

මෙම සංවාද දිගුව වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී කාංචන විජේසිංහ නමැත්තෙකුගේ සේයාරුවක් රැගත් සටහනක් වෙත අපගේ අවධානය යොමු විය.

ඉහත සේයාරුවේ ඇති කාංචන විජේසිංහගේ ෆේස්බුක් ගිණුම අප පරීක්ෂාවට ලක් කළෙමු. කාංචන විජේසිංහ සිය ෆේස්බුක් ගිණුමේ ඡායාරූපය ලෙස යොදාගෙන තිබූ පහත සටහන වෙත අපගේ අවධානය යොමු විය.

“මේ දිනවල මුහුණු පොත හරහා කැළණිය විශ්වවිද්‍යාලයේ යම් සිද්දියක් මුල් කර ගනිමින් මගේ චායාරූපය ඇතුලත් ව්‍යාජ තොරතුරක් සංසරණය වන අතර, එය අසත්‍ය ප්‍රචාරයක් වන බව කාරුණිකව සලකන්න.තව දුරටත් එය සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීම වැළක්වීම සඳහා සහය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි.

ගයාන් කාංචන විජේසිංහ”

FB LinkArchived Link

වැඩිදුරටත් කරුණු පරික්ෂා කිරීම පිණිස අප කාංචන විජේසිංහ සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. බ්‍රසීලයේ පශ්චාත් උපාධියක් හදාරා පසුගිය ජනවාරි මස දිවයිනට පැමිණ ඇති කාංචන විජේසිංහ අපට පවසා සිටියේ තමාගේ ඡායාරූපයක් භාවිතා කරමින් ෆේස්බුක් ජාලයේ සංසරණය වන අසත්‍යය සටහනක් නිසා තමා මහත්සේ අපහසුතාවයට පත්වී ඇති බවයි.

අප නිමල් කුරුවිට නැමැත්තාගේ ෆේස්බුක් පිටුවේ ඡායාරූපය සහ කාංචන විජේසිංහගේ ෆේස්බුක් පිටුවේ තිබූ ඡායාරූප සංසන්දනය කළ විට එය එකම සේයාරුවක් බවට තහවුරු විය.

වැඩිදුරටත් කරුණු තහවුරු කරගැනීම පිණිස අප කැලණිය විශ්ව විද්‍යාලයේ CCTV කැමරා පද්ධතිය ගැලවීම හා සබැඳි ප්‍රවෘත්ති විකාශයන් අධ්‍යනය කළෙමු. පෙබරවාරි මස 28 වෙනි දින කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සමිත හිමියන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමේ ප්‍රවෘත්තියේ උන්වහන්සේ සිටි රූපරාමුව නිමල් කුරුවිටගේ ෆේස්බුක් පිටුවේ සිටි තරුණ ස්වාමීන් වහන්සේගේ රූප රාමුව සමග සම්බන්ධව සංසන්දනය කිරීමේදී එම රූපරාමු දෙකෙහිම සිටින්නේ එකම ස්වාමීන් වහන්සේ බවද පැහැදිලි විය.

https://www.facebook.com/sinhala.adaderana.lk/videos/542698736452778/?t=6

එසේම කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නායක කොබෙයිතුඩුව සමිත හිමියන් සහිත සටහන් රැසක් මහා ශිෂ්‍ය සංගමයේ ෆේස්බුක් පිටුවේ දැකගනන්ට ලැබුණි. තවද ඉහත පලවී තිබු ඡායාරූපයද යොදාගනිමින් විවිධ ආකාරයේ උපහාසාත්මක සටහන් රැසක්ද හුවමාරු වී තිබෙන අයුරු දැකගැනීමට හැකි විය.

FB Link | FB Link 2

මේ අනුව අපගේ කරුණු විමර්ශනයෙන් සනාථ වූයේ නිමල් කුරුවිට නැමැත්තා කාංචන විජේසිංහගේ සේයාරුවක් ව්‍යාජ ලෙස සකස් කොට කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුව සමිත හිමියන් ගිහියෙකු ලෙස පෙනී සිටින ආකාරය දැක්වීමට ප්‍රයත්නයක් ගෙන ඇති බවයි.

Fact Check – Claim 2

අනතුරුව අප සුසන්ත දීපාල් නමැත්තාගේ ෆේස්බුක් පිටුවේ වූ සටහන වෙත අවධානය යොමු කළෙමු. එහි වූ සේයාරුව Yandex Reverse Image සෙවීමක් කළෙමු. එහිදී අපට ඔහුගේ ඡායාරූප අඩංගු සටහන් රාශියක් නිරීක්ෂණය විය.

අපට තහවුරු වූයේ මෙය කලක් අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වූ, “ඇකා” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ලහිරු වීරසේකර නමැත්තාගේ සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ගේ ඡායාරූපයක් බවය. අප සුසන්ත දීපාල්ගේ ෆෙස්බුක් පිටුවේ වු සේයාරුව සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ෆේස්බුක් ගිණුමේ 2018.01.25 උද්ඝෝෂණය යන තේමාව යටතේ පළවී තිබු ඡායාරුප එකතුවේ වූ එක් ඡායාරුපයක් සමඟ සංසන්දනය කළවිට එය තහවුරු විය.

2018.01.25 උද්ඝෝෂණය Album - Inter University Students' FederationImage FB Link

මේ පිළිබඳව කරුණු සනාථ කරගැනීම පිණිස අප ටැම්පිටියේ සුගතානන්ද හිමිගේ ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. ඉහත ෆේස්බුක් සටහනේ සටහනට හිමියන් විසින් දක්වා තිබූ ප්‍රතිචාර සටහනක් වෙතට අපගේ අවධානය යොමු විය.

2020 මාර්තු මස පලවෙනි දින උන්වහන්සේ විසින් මේ සම්බන්ධයෙන් සහ ඉහත අප විසින් කරුණු අනාවරණය කරන ලද වත්මන් “කැලණිය විශ්වවිද්‍යාලයේ සභාපති හිමියන් පිළිබඳව ගෙනයන අසත්‍ය මඩ ප්‍රචාරයට පිළිතුරක්...” යනුවෙන් පළකර තිබූ එම සටහන මෙසේය

FB Link 2Archived Link

උන්වහන්සේ ඉදිරිපත් කර තිබූ කරුණු පැහැදිලි කිරීමේ සටහනෙහි පෙන්වාදී තිබුනේ දැනට කැලණිය විශ්ව විද්‍යාලයේ සභාපති හිමියන් පිළිබඳව ගෙනයන මෙම අසත්‍ය මඩ ප්‍රචාරය මීට පෙර තමා ඇතුළු විශ්ව විද්‍යාල බල මණ්ඩල නායකයින් ඉලක්ක කරගනිමින් වසර ගණනාවක් ඔස්සේ සිදුවෙමින් පවතින බවය. “සැ.යු. තමන් අඳින්නේ , කන්නේ බොන්නේ මොනවද කියන එක තමන්ගේ කැමැත්තට සිදුකළ යුත්තකි.. අනෙකා අඳින්න, කන්න බොන්න ඕන එක වෙනත් අයට තීරණය කරන්න තියෙන අයිතිය මොකක්ද?” යනුවෙන් එම සටහන් අවසානයේ කරුණු දක්වා තිබුණි.

අප විමර්ශනය කල අප සුසන්ත දීපාල්ගේ සටහන වැනි සටහන් සඳහා යොදාගෙන තිබු ඡායාරුපය වෙත පිළිතුරු සපයමින් හිමියන් පවසා ඇත්තේ “ඉහත පළමු ඡායාරෑපය කරලියට එන්නේ සයිටම් අරගලයේ උච්චතම අවස්ථාවේය. එකී අරගලය ඉතා සාධාරණය යන්න සමාජය පිළිගෙන තිබූ මොහොතකි. එහෙත් මෙම ඡායාරෑපය පලවු විගස පසුගාමීත්වය කරපින්නා ගත් අප සමාජය එය දැඩිව විවේචනය කලේය. එය පමණක් නොව සයිටම් අරගලය ද විවෙිඡනය කළේය.. සත්‍ය කුමක්ද? යන්න වත් සිතා නොබලයි.. මාගේ ඡායාරෑපයක් සහ මංජුල සමරසේකර සහෝදරයාගේ ඡායාරෑපයක් භාවිතා කොට එකී මඩ ප්‍රහාරය දියත් විය.. ( පළමු ඡායාරෑපයේ සිටින, මාගේ රුව හා සමාන කමක් ඇති මංජුලගේ ඡායාරෑපය මඩ ප්‍රහාරය සඳහා යොදා ගන්නා ලදී)... එය විසින් එම මොහොතේ රජයට අවශ්‍ය වූ මර්දනයට එය භාවිතා කරන ලදී..”

ඒ අනුව අප මංජුල සමරසේකර මහතාගේ ෆේස්බුක් ගිණුමද පරික්ෂා කොට එහි දක්වා තිබු ආකාරයට ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියකු වන ඔහුව දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තෙමු. මුලින්ම මෙම සටහන ඉදිරිපත් වූයේ 2018 වර්ෂයේ බවත් මේ පිළිබඳව ඔහු “පොලිස්පතිට කියන්න” යන වැඩසටහන යටතේ පොලිසියට පැමිණිල්ලක් යොමු කළ බව ද සඳහන් කළ අතර එම පිටපත පහතින්.

එමෙන්ම මෙහි සුසන්ත දීපාල්ගේ ෆේස්බුක් පිටුවේ ඇති සටහනේ දකුණු පස ඇති සේයාරුවෙහි සිටින්නේ ඔහුගේ මිත්‍රයෙකු වන නුවන් සම්පත් ගම්මන්පිල මහතා බවද පැවසීය. මෙම සටහන නැවත සංසරණය වීම ආරම්භ කිරීම නිසා ඔහු මෙන්ම ඔහුගේ මිතුරාද මහත් අපහසුතාවයකට පත්ව ඇති බව ඔහු පැවසීය.

අනතුරුව අප නුවන් සම්පත් ගම්මන්පිල මහතාවද දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තෙමු. ඔහු සහ මංජුල සමරසේකර මහතා සිටින ඡායාරූපයක් ව්‍යාජ ලෙස සංස්කරණය කර ඉදිරිපත් කළ සටහනක් 2018 වසරේ සිට ෆේස්බුක් මාධ්‍ය ජාලයේ හුවමාරු වන බව ඔහු ද සනාථ කළේය.

සුසන්ත දීපාල්ගේ ෆේස්බුක් සටහනේ දකුණු පස සේයාරුවත්, නුවන් සම්පත් ගම්මන්පිල සහ මංජුල සමරසේකර මහතුනගේ ෆේස්බුක් පිටුවලින් ගත් සේයාරූ සමග සැසඳීමේදීද එම කරුණ පැහැදිලි විය

Manjula Samarasekara FB Profile Nuwan Sampath Gammanpila FB Profile

මෙම අසත්‍ය ප්‍රචාර මඟින් පිඩාවට පත්ව සිටි මංජුල සමරසේකර සහ නුවන් සම්පත් ගම්මන්පිල දෙදෙනා එම ඡායාරූපය හා සබැඳි සිද්ධි විස්තර කරමින් පලකරන ලද වීඩියෝ සටහනක්ද අපට ඉශාන් රවිඳු නමැත්තෙකුගේ ෆේස්බුක් ගිණුමෙන් හමුවුයේ මෙලෙසිනි.

FB Post Link | Video Link

https://www.facebook.com/100008238600552/videos/2054485491502718/

මංජුල සමරසේකර මහතා සහ ටැම්පිටියේ සුගතානන්ද හිමි දෙපස සිටිමින් 2017 නොවැම්බර් මස ලබාගත් ඡායාරුපයක්ද අපට දක්නට ලැබුනේ මෙලෙසිනි.

FB LinkArchived Link

මේ අනුව තහවුරු වුයේ මංජුල සමරසේකර සහ නුවන් සම්පත් ගම්මන්පිල මහතුන් සිටින සේයාරුවක් , කලකට පෙර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරුවු ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ලෙස පෙන්වීමට ප්‍රයත්න දරන නොමඟයවන සුළු සාවද්‍ය සටහන් පෙළක් 2018 වසරේ සිට ෆේස්බුක් සමාජ මාද්‍ය ජාලයේ සැරිසරන බවය.

Conclusion (අවසාන නිගමනය)

අපගේ කරුණු විමර්ශනයෙන් සනාථ වූයේ මුල් ප්‍රකාශයේ කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුව සමිත හිමියන්ගේ ඡායාරූපයකට වැරදි අර්ථකතනයක් දෙමින් හිමියන් ගිහියෙකු ලෙස පෙනී සිටින ආකාරය දැක්වීමට ප්‍රයත්නයක් ගෙන ඇති බවයි.

එමෙන්ම මංජුල සමරසේකර සහ නුවන් සම්පත් ගම්මන්පිල යන මහතුන් දෙදෙනා සිටින සේයාරුවක්, කලකට පෙර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරුවු වූ ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ලෙස පෙන්වීමට ප්‍රයත්න දරන සටහන් 2018 වසරේ ජනවාරි මස සිට හුවමාරු වන බවය.

ඒ අනුව උක්ත ප්‍රයත්නයන් අළලා පලවන සියළුම ෆේස්බුක් සටහන් සම්පූර්ණයෙන් අසත්‍යය සාවද්‍යය සටහන් බවට නිගමනය කරමු.

Avatar

Title:විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලවල නායකයින් අලලා පළවූ ඡායාරූපවල ඇත්ත නැත්ත!

Fact Check By: Sahan Parera

Result: False