ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් සහිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ කාල සීමාව තුල විශාල ආන්දෝලනයක් ඇති විය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට පෙරද වැඩි වශයෙන් කතාබහට ලක්වූ MCC සම්බන්ධයෙන් කරුණු නැවත වරක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වනු නිරීක්ෂණය වේ.

“MCC ගිවිසුමෙන් ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය වන්නේ නැහැ - නීතිපති ගෙන් සහතිකයක්” සිරස්තලයෙන් The Leader නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියක් පළකර තිබු ලිපියක් බොහෝ දෙනෙකු විසින් හුවමාරු කරගෙන තිබෙනු නිරීක්ෂණය විය. එම සටහන සහ පාදක වූ මුල් ලිපිය පහතින්

FB LinkArchived LinkArticle LinkArchived Link

එම ලිපිය සහ ඇතුළත් කරුණු සමාජ මාධ්‍ය තුල හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

MCC ගිවිසුම නිසා ශ්‍රී ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ප්‍රකාශ කර ඇති ආකාරයට, නව ආණ්ඩුවේ තීන්දුවක් ආකාරයෙන්, මෙම ලිපි සිරස්තල ඉදිරිපත් කර ඇති බව බැලු බැල්මටම පෙනී යයි. නමුත් ලිපි අන්තර්ගතයේ සඳහන් වන්නේ 2018 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද්දේ යයි පැවසෙන ප්‍රකාශයකි. එම කරුණු පහතින්.

“මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම (MMC) නිසා ශ්‍රී ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලිඛිතව තහවුරු කොට තිබේ.

මෙම ගිවිසුමේ අඩංගු කරුණු පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නිල මතය ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් 2018.10.10 දාතමින් යුතු ලිපියක ලිඛිතව තහවුරු කොට ඇත්තේ MCC ගිවිසුම අත්සන් කිරීම හෝ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් නීතිය ප්‍රකාරව කිසිදු බාධාවක් නැති බවයි.

එමෙන්ම MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කොට ඇති ශ්‍රී ලාංකීය නියෝජිතායතනය ලාභ නොලබන සමාගමක් ලෙස ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්න්තුවේ අනුමැතිය ලබා ගැනීම සුදුසු බව ද නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙරට MCC කාර්‍යාලයට දැනුම් දී තිබේ.”

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

පලවන පුවත සම්බන්දයෙන් අපි Google News හරහා සිංහල සහ ඉංග්‍රීසි බසින් නිරීක්ෂණය කළෙමු. එහිදී එම පුවත සම්බන්දයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිදු පුවතක් වාර්තාකර නොතිබුණු බව පැහැදිලිවිය.

එහෙත් MCC ගිවිසුමට අනුමැතිය දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව නීතිපතිවරයා ප්‍රකාශ කරයි යන පුවත ඇතුලත් ලිපි රැසක් දක්නට ලැබිණ.

Google News Search

ITN පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබු පුවත පහතින්.

"MCC ගිවිසුම නීතිපතිවරයා අනුමත කර ඇති බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව නීතිපතිවරයා අවධාරණය කරනවා.

MCC ගිවිසුම පිළිබඳ ව තවමත් වත්මන් නිතිපතිවරයා කරුණු හදාරමින් සිටින බවත්, කරුණු සියල්ල අධ්‍යනය කිරීමෙන් අනතුරුව එහි නීත්‍යානුකුලභාවය සම්බන්දයෙන් වත්මන් නිතිපතිවරයා විසින් නිරීක්ෂණයන් ප්‍රකාශ කරන බවත් නීතිපති සම්බන්ධීකාරක රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසනවා.

Web LinkArchived Link

ඉහත සටහන් පරික්ෂා කිරීමේදී තහවුරු වූයේ 2018.10.10 දාතමින් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා විසින් ලිඛිතව දන්වා ඇති බවය. The Leader.lk එම ලිපිය ඉදිරිපත් කර තිබුණි එහි සේයාරුවක් පහත දැක්වේ.

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි වෙත යොමු කර තිබු ලිපියක් ලෙස සකසා තිබු මෙම ලිපිය එවකට පැවති රජය යටතේ කළ මුලික සාකච්ඡා වලින් පසු නීතිමය පසුබිම විමසීමේදි, නීතිපති දෙපාර්තමේන්තුවේ මතය ඔහු දන්වා තිබු බව දක්වා තිබුණි. The Leader.lk කර තිබු ලිපිය ඇත්ත වශයෙන්ම MCC ආයතනය වෙත යොමුකරන ලද්දේ දැයි දැනගැනීම පිණිස අප එම ආයතනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නේවාසික අධ්‍යක්ෂක තුමාගෙන් සිදුකල විමසීමකදී එම ලිපිය 2018 වසරේදී MCC ප්‍රධාන මෙහෙයුම් නිලධාරියට ලැබී තිබු බව සනාථ ක,ර සිටියා.

ජනපතිවරනයෙන් බලයට පත් ගොඨාභය රාජපක්ෂ මහතා මෙම ගිවිසුම අධ්‍යයනය කිරීමට මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ සභාපතිත්වයෙන් විද්වත් කමිටුවක් පත් කළේය. එම කමිටුව පසුගිය දිනක වාර්තාව ජනපතිඳුන්ට භාර දුන් අතර ඔහු එය එවකට සිටි භාරකාර රජයේ කැබිනට් මණ්ඩලයේ සහ නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඔවුන්ගේ අදහස් විමසීය.

MCC ගිවිසුම සම්බන්දයෙන්, විටින් විට විවිධ අසත්‍ය සහ නොමඟයවන සුළු තොරතුරු සමාජ මාධ්‍ය හරහා මීට පෙර කිහිප වතාවක් ම හුවමාරු වූ අතර අප විසින් ඒ පිලිබඳ විමර්ෂණ සිදුකරන ලදී. Link 1 | Link 2

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ 2018 වසරේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි වෙත යැවු ලිපියක් උපුටා ගෙන වත්මන් නීතිපතිතුමා MCC ගිවිසුමට සහතිකයක් ලබාදී ඇති බවට ව්‍යාජ පුවතක් සකසා ඇති බවයි.

එබැවින් “MCC ගිවිසුමෙන් ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය වන්නේ නැහැ - නීතිපති ගෙන් සහතිකයක්” යන සිරස්තලයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරුවන පුවත් සටහන් නොමග යවන සුළු සිරස්තල සහිත සටහන් බවට නිගමනය කරමු.

Avatar

Title:MCC ගිවිසුමෙන් ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය වන්නේ නැහැ - නීතිපති ගෙන් සහතිකයක්

Fact Check By: Sahan Perera

Result: Misleading