ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ස්ථාපිත කර වසර එකසිය පනස් හතරක් පිරුණේ පසුගිය සැප්තැම්බර් තුන් වෙනි දිනටය. පොලිස් නිලධාරීන්ට අයත් නෛතික බලතල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම සමාජයේ බොහෝ දෙනා අතරේද විවිධාරයේ අදහස් හුවමාරු වේ. එලෙසින් වසර ගණනවක් පුරා හුවමාරු වූ සටහනක් පිලිබඳ අප විමර්ශනයක් සිදු කළා.

Free Democracy Freedom නමැති ෆේස්බුක් පිටුවක් පොලිස් නිලධාරියෙකු සතු බලතල පිළිබඳව 2015 වසරේ අගොස්තු මස ඉදිරිපත් කර තිබු දීර්ඝ සටහනක්, නැවත වරක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වී තිබෙනු නිරීක්ෂණය විය. මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර බොහොමයක් මෙහි පවසා තිබූ සමහර කරුණු අසත්‍ය යැයි සඳහන් කර තිබීම නිසා මේ පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය. එම සටහනේ සඳහන් වී තිබු කරුණු 13 පහතින්

1.ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.

2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.

3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි.

4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)

5. පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.

6. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි. (ඒ බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)

7. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.

8. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.

9.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්‍රදේශයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.

10. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.

11.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.

12. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)

13. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.

LinkArchived LinkLinkArchived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන මෙම සටහනේ අඩංගු පොලිස් නිලධාරියකු සතු බලතල පිළිබඳව සටහනේ අන්තර්ගත කරුණුවල සත්‍යතාව තහවුරු කරගනු පිණිස අප මෙම සටහන පොලිස් නීති කොට්ඨාශය වෙත යොමු කළෙමු. එයට ප්‍රතිචාර දැක්වු නීති කොට්ඨාශයේ නිලධාරියෙකු, සටහනේ තිබු 11 සහ 12 කරුණු හැර අනෙකුත් කරුණු සියල්ලක්ම වාගේ අසත්‍ය බව පවසා සිටියා.

11.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.

12. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)

එසේම කාන්තාවක් පරීක්ෂා කිරීමේ අයිතියක් පොලිස් නිලධාරියෙකුට නැති ව්වුවද අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරියෙකුට අවකාශය ඇති බවත්, අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයක් වෙත ගෙන ගොස් එහි සිටින කාන්තා පොලිස් නිලධාරිනියක හෝ වෙනත් කාන්තාවක් යොදාගනමින් පරීක්ෂා කල හැකි බවත් පවසා සිටියා.

එමෙන්ම මෙම සටහනට සුසන්ත නම් නීතිඥයකු ප්‍රතිචාර දක්වා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් ඉදිරිපත් කර තිබුණි. වැඩිදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ඔහු සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. Free Democracy Freedom ෆේස්බුක් පිටුවේ පළවූ සටහනේ ඉදිරිපත් කර තිබූ අසත්‍ය කරුණු පිළිබඳව ඉතා විස්තරාත්මකව තමන් පිළිතුරු සැපයූ බව පැවසු ඔහු ඊට අමතරව අංක 9යේ සඳහන් වන පරිදි යම් පොලිස් නිලධාරියකු යම්කෙනෙකුගේ රියදුරු බලපත්‍රය හෝ ජාතික හැඳුනුම්පතක් බලෙන් ලබාගතහොත් ඒ පිළිබඳව උසස් පොලිස් නිලධාරියකුට පැමිණිලි කිරීමේ අයිතිය එම ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රය හිමි පුද්ගලයාට ඇති බව පැවසීය. තවද පොලිස් නිලධාරියෙකුට කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට බලය ඇති බවත් එහෙත් කාන්තාවක් පරීක්ෂා කිරීමට අවසර ඇත්තේ පොලිස් නිලධාරිනියකට බව පැවසූ ඔහු පොලිස් නිලධාරිනියක් නොමැති නම් ඒ සඳහා වෙනත් කාන්තාවකගේ සහය වුවද ලබාගත හැකි බවද පැවසීය

සුසන්ත කුමාර නීතිඥ මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර තිබු දීර්ඝ විස්තරය පහතින්

LinkArchived Link

“ඉහත ලිපියේ සදහන් 1,2,3,4,5,6,7,8,10,13 වගන්තිවල සදහන් කරුණු නීතිමය වශයෙන් සාවද්‍ය කරුණු වේ.ඔබ හෝ ඔබගේ සේවාදායකයින් එම වගන්තිවල සදහන් වැරදි නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ගොස් අවසානයේ අපහසුතාවයට පත් විය හැක.මෙම ලිපියෙහි සදහන් වන්නේ "නීතිමය" කරුණු නොව ගමේ ගම්වැසියන් නීතිය කියා විශ්වාස කරගෙන සිටින මහගෙය අයිති විය යුත්තේ පවුලේ බාලයාටය,පිරිමි දරුවකු නම් අයිතිය අම්මට ගැහැණු දරුවකු නම් අයිතිය තාත්තට, බිරිද සහ සැමියා වෙන් වී අවුරුදු හතක් ගතවී නම් විවාහය ඉබේම දික්කසාද වේ, වැනි කරුණු මිස කිසිදු නෛතික පදනමකින් යුතු කරුණු නොවේ.

අවසානයට දක්වා ඇති 13 වන වගන්තියේ සදහන් වන පොලිසියට කට උත්තර ලබාදීමට පෙර

"නීතිඥ සේවාව" ලබා ගැනීමට අයිතිවාසිකමක් ඇති බව දක්වා තිබුනද එවැනි අයිතිවාසිකමක් මෙරට වත්මන් අපරාධ නීතියට අනුව සංස්ථාපනය වී නොමැති බව පැහැදිලිවම කිව යුතුය .

පොලීසියකදී තියා අඩුම තරමේ අධිකරණයකදී වුවද චෝදනාවක් ලත් තැනත්තකු වෙනුවෙන් නීතිඥ වරයකුට පෙනී සිටීමට අයිතිවාසිකමක් ඇති වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 13(3) වගන්තියට අනුව සහ,1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 260 වගන්තිය අනුව "අධිකරණය ඉදිරියේ චෝදනාවක් ගොනු කිරීමෙන් පසුව" පමණි.

එතෙක් නීතිඥ සහාය අයිතිවාසිකමක් ලෙස අයදීමට තැනත්තෙකුට හැකියාවක් නැත.

නීතිපති VS අපෝන්සු SC(FR)24/2008 නඩු තීන්දුවේද සදහන් වන්නේ චූදිතයකුට විත්තිවාචක ඉදිරිපත් කිරිම නීතිඥයවරයකු මාර්ගයෙන් කල හැකි බවය.

වාසනාවකට මෙරට ඉහල අධිකරණ "චූදිත සහ සැකකරු" යන්න මූලික අයිතිවාසිකම් වල කෝණයෙන් බැලීමේදි එක හා සමාන බවට අර්ථනිරූපනය කර ඇති බැවින් සැකකරුවකු වෙනුවෙන් නීතිඥවරයකුට අධිකරණය ඉදිරියේ පෙනී සිටිය හැකිය.එසේම එවැනි අයිතිවාසිකමක් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීමේ පනතේ(ICCPR Act) 4 වන වගන්තියෙන්ද පිළිගෙන ඇත.

එහෙත් පොලීස් පරීක්ෂණයක් අතරතුර නීතිඥ සහය ලබාගැනීමට හැකියාව ඇති කිසිදු නීතිමය තත්වයක් මේ වනතෙක් මෙරට තුල සංස්ථාපනය වී නොමැත.බොහෝ නීතිඥවරයන් පොලිස්පති වරයා විසින් 2012.05.18 වන දින අංක 1758/36 යටතේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය වරදවා තේරුම් ගෙන ඇති අතර එය මුළුමනින්ම සේවාදායකයකුගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීතිඥ වරයකුට පොලිස් ස්ථානයකට ඇතුලත් වීමට බලය ලබා දෙන ගැසට් පත්‍රයක් නොව නීතිඥ වරයකුට අයිතිවාසිකමක් වශයෙන් පොලිස් ස්ථානයකට පෙනී සිටීමට බලය ලබාදෙන නෛතික ප්‍රතිපාදනයකි. එනම් එම ගැසට් පත්‍රය අදාල වන්නේ නීතිඥවරයන්ට මිස නීතිඥවරයාගේ සේවාදායකයන්ට නොව.

ලියුම්කරුට අනුව රථ වාහන වැරදි අර්ථනිරූපනය කොට දක්වා ඇත්තේ දණඩ නීති සංග්‍රහයේ වන අතර රථවාහන වරදකට ඔබව නතර කරනු ලැබූ පොලිස් නිලධාරියකු මේ කපේට දණ්ඩ නීති සංග්‍රහය යටතේ වගන්තිය මොකක්ද යන්න නම් නොකියනු ඇත.පොලිස් නිලධාරියා සහ රථවාහන පොලිස් නිලධාරියා ලෙස ඉහත ලිපියෙහි පොලිස් නිලධාරීන් කොටස් දෙකකට බෙදා දක්වා ලියුම්කරු උත්සාහ දරා ඇත්තේ "රථවාහන පොලිස් නිලධාරීන්" හැර සෙසු පොලිස් නිලධාරින් තවත් කොටසක් බව පෙන්වමින් සෙසු සාමාන්‍ය පොලිස් නිලධාරීන්ට රථවාහන නීතිය ක්‍රියාත්මක කල නොහැකි බව පැවසීමට උත්සාහ දැරීමය.මෙම නීතිමය තත්වය සම්පූර්ණයෙන්ම සාවද්‍ය වන අතර පොලිස් ආ.පනත සහ මෝටර් වාහන පනතට අනුව ඕනෑම පොලිස් නිලධාරියකුට රථ වාහන නීතිය බල ගැන්විය හැකිය.

මෝටර් රථ වාහන පනතේ අර්ථනිරූපන දක්වා ඇති 18 වන කොටසේ 240 වන වගන්තියේ "පොලිස් නිලධරයා" යන්නෙන් නිල ඇදුමින් සිටින පොලිස් හමුදාවේ සාමාජිකයකු අදහස් වේ යනුවෙන් දක්වා ඇත.ඒ අනුව ඕනෑම පොලිස් නිලධාරියකුට රථවාහන නීතිය ක්‍රියාත්මක කල හැකි බව ඉතා පැහැදිලිය.

ලියුම්කරුගේ අනිත් සාවද්‍ය තර්කය වනුයේ "තනි පොලිස් නිලධාරියකුට" රාජකාරිය කල නොහැකි බවත් සෑම අවස්ථාවකදීම නිලධාරීන් දෙදෙනෙකු සිටිය යුතු බවත් ය.

මෝටර් වාහන පනතේ 11 වන කොටසේ "වැරදි,දණ්ඩන සහ අධිකරණ කටයුතු" යන පරිච්ඡේදයේ 215(අ) වගන්තිය අනුව "වරද කල අවස්ථාවේදිම දඩ නියම කිරිම" යටතේ 215(අ)(2) වගන්තියේ පැහැදිලිවම දක්වා ඇත්තේ "පොලිස් නිලධාරියකු විසින් අල්ලා ගනු ලැබූ විට මේ පනතේ......" යනුවෙනි .ඒ අනුව පොලිස් නිලධාරීන් දෙදෙනකු සිටිය යුතු බවට කිසිදු නෛතික ප්‍රතිපාදනයක් නොමැත.තවද ලියුම්කරු රථ වාහන නීතිය පමණක් නොව සාක්ෂි නීතියද නොදන්නා අතර එයද උල්ලංඝනය වන අයුරින් ලිපියේ අදහස් දක්වා ඇත. ඔහු පවසන්නේ සාක්ෂියක් සදහා තවත් පොලිස් නිලධාරියකු සිටිය යුතු බවය.

අධිකරණය ඉදිරියේ වරදක් ඔප්පුකිරිම සදහා කොපමණ සාක්ෂි සංඛ්‍යාවක් අවශ්‍යද යන්න දක්වා ඇත්තේ සාක්ෂි ආ.පනතේ වන අතර නීති විද්‍යාලයේ නම් අවසන් වසරේදි උගන්වනු ලබන විෂයකි.සාක්ෂි ආ.පනතේ 134 වගන්තිය මෙසේය.

"කවර නඩුවකදී වුවද යම් කරුණක් සත්‍යබැව් ඔප්පුකිරීම සදහා සාක්ෂිකරුවන් එක්තරා ගණනක් වුවමනා නොවිය යුතුය"

ඒ අනුව සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාවක් අධිකරණයට අවශ්‍ය නැති බව ඉතා පැහැදිලිය.

කාන්තාවක් අත් අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරියකුට බලයක් නැතිබව දක්වා තිබීම වැරදිය.අත් අඩංගුවට ගනු ලැබීමට අදාල නීතිය අ.න.වි.ස.23 වන වගන්තියේ සදහන් අතර එවැනි සීමාවක් දක්වා නොමැත.කොටි කලබල කාලයේ බෝම්බ බඩේ බැදගෙන පැමිණෙන මරාගෙන මැරෙන කාන්තාකොටි සාමාජිකාවන්ට "පොඩ්ඩක් ඔහොම ඉන්න , බඩේ තියෙන බෝම්බය අපි නිෂ්ක්‍රීය කරනවා කාන්තා නිලධාරණියක් එනකන් ඉන්න කිව්වානම් යසට සිටින්නට තිබුණි.

අත් අඩංගුවට ගත් කාන්තාව සෝදිසි කල යුත්තේ අ.න.වි.ස. 30 වගන්තියට අනුව වන අතර ඒ සදහා පොලිස් නිලධාරණියක්ම අවශ්‍ය නොවන අතර "ඕනෑම ස්ත්‍රියක් විසින්" කල හැකි බව දක්වා ඇත.

අවසාන වශයෙන් අර බීලා යන කොට

"බ්‍රිතලයිසර් ටෙස්ට්" කරන බට නැති නම් ගෙදර යන්න පුළුවන් කථාව පිළිගන්නම එපා මොකද රෑට පොලීසිය අනිවාර්යයෙන්ම පාරේ ඉන්නවා . බට නැත්නම් ඔවුන් ඔබව අනිවාර්යයෙන්ම ප්‍රදේශයේ අධිකරණ වෛද්‍ය වරයා වෙත ඉදිරිපත් කරනවා ඇත.එහිදි ඔබව රෝහල් ගත කොට අදාල වෛද්‍ය පරීක්ෂණ සිදු කොට චෝදනාව සමග උසාවියට ඉදිරිපත් කලොත සොරි ඩොට් කොම් තමයි.

එහෙත් වෛද්‍ය වරයා යොදනු ලබන " අරක්කු ගද වහනය වේ" යන සටහන මත පමණක් පදනම්ව බීමත්ව සිටි බව ලොවෙත් ඔප්පු කල නොහැක.

MOTOR TRAFFIC ACT (SIN)MOTOR TRAFFIC ACT (ENG)

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ Free Democracy Freedom ෆේස්බුක් පිටුව පොලිස් නිලධාරියෙකු සතු බලතල පිළිබඳව ඉදිරිපත් කර ඇති සටහෙනේ ඇති කරුණු කිහිපයක් හැර බොහෝ කරුණු අසත්‍ය බවයි.

Avatar

Title:පොලිස් නිලධාරීන්ට බලපාන නෛතික කරුණු පිලිබඳ සාවද්‍ය සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: Partly False