Update: (July 06th 2021)

කොවිඩ් සඳහා ලබා දෙන එන්නත් වර්ග දෙකක් මිශ්‍ර කර ලබා දීම සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ මට්ටමින් දත්ත වාර්තා එකතු කරමින් ඇති අතර එන්නත් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මූලික මූලධර්ම මත පදනම්ව, එන්නත් මිශ්‍ර ලෙස ලබා දීම සඳහා පියවර ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය Kate O’Brien පවසනවා.

පසුගිය ජුනි 30 වනදා ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් මෙහෙයවූ ප්‍රශ්න සඳහා පිළිතුරු දීමේ වැඩසටහනක දී Mix & Matching පිලිබඳ නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස වෛද්‍ය Kate O’Brien පවසා සිටියේ තවමත් මෙම විෂය සම්බන්ධයෙන් බොහෝ දත්ත නොමැති බැවින් එන්නත් දෙකම එකම මාත්‍රාවකින් ලබා ගැනීම නිර්දේශ කළද මෙතෙක් ලැබී ඇති සීමිත දත්ත වලට අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගැනීමෙන් පසුව ෆයිසර් එන්නත දෙවන එන්නත ලෙස ලබා දීම ආරක්ෂිත හා ඵලදායී බවට පරීක්ෂණ මඟින් පෙනී ගොස් තිබෙන බවයි.

එම වීඩියෝව පහතින්.(17.30)

https://twitter.com/WHO/status/1410270080873598979

Archived Link

මෙලෙස එන්නත් මිශ්‍ර කර ලබා දීමෙන් ප්‍රතිශක්තීකරණය වැඩි වන බවට පළ වූ BBC වාර්තාව මෙතනින්. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ ඇතුළු කරුණු පිලිබඳ සිදුකළ පැහැදිලි කිරීමක් මෙතනින්. තවත් පුවත් වර්තාවක් පහතින්.

මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය Kate O’Brien පවසා තිබුනේ මෙසේ අස්ට්‍රසෙනකා එන්නත ලබාගෙන ෆයිසර් එන්නත ලබාගැනීමෙන් පසුව තාවකාලිකව කැක්කුම් ඇතිවීමේ සම්භාවිතාව වැඩිවිය හැකි බවයි. මිශ්‍ර එනන්ත්කරණ පරීක්ෂණවලදී මෙය පෙන්නුම් කර තිබු බව අප ඉහත පරියේෂණ තොරතුරු වලදී ද දක්වා තිබුණා.

හෙට (ජූලි 07) සිට මෙරටදී ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමට පියවර ගෙන තිබෙනවා. ඒ බවට පළ වූ පුවත් වාර්තාවක් මෙතනින්.

*මෙය Explainer වර්ගයේ කරුණු විස්තර කෙරෙන ලිපියක් පමණක් බවත් මෙම ලිපිය මත පදනම්ව කිසිඳු සමාජ මාධ්‍ය සටහනක් ශ්‍රේණිගත (Rating) වී නැති බව ද කරුණාවෙන් සලකන්න.

ඉන්දියාවේ පවතින කෝවිඩ් තත්ත්වය හේතුවෙන් ඇස්ට්‍රාසෙනකා එන්නත මෙරටට ගෙන්වීමට නොහැකි වීම නිසා එහි පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයන් සඳහා දෙවන මාත්‍රාව ලබා දීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් සමාජයේ මහත් කතිකාවතක් පසුගිය වකවානුවේ ඇති වුණා.

එවන් වාතාවරණයකදී පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ, විශේෂඥ මතයට අනුව පළමු එන්නත් මාත්‍රාව එක් එන්නත් වර්ගයකිනුත් අනෙක් මාත්‍රාව තවත් එන්නත් වර්ගයකිනුත් ලබා ගැනීම ප්‍රශ්නයක් නොවන බවයි. මෙහි නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ ද බොහෝ සෙයින් කතාබහට ලක්වූ මෙම පුවත ප්‍රධාන මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු අවස්ථාවක් පහතින්

Facebook | Archived Link

ඇස්ට්‍රාසෙනකා පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලබා දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ කැබිනට් තීරණ දැනුම්දීමේදී අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළේ මෙලෙසිනි.

https://www.youtube.com/watch?v=XgzTPrN2BZk

මෙහිදී උදය ගම්ම්න්පිල් මහතා පවසා සිටින්නේ ඇස්ට්‍රාසෙනකා එන්නත ඉන්දියාවේ සීරම් ආයතනය හරහා ලබාගැනීමේ ප්‍රශ්නයක් මතුව තිබෙන බැවින් එහි පළමු මාත්‍රාව ලබාදුන් පිරිසට දෙවන එන්නත ලබාදීමේ එක් ක්‍රමයක් වන්නේ දැනට හිඟ තත්වයක් පවතින ඇස්ට්‍රාසෙනකා එන්නත වෙනත් රජයක් හරහා ලබා ගැනීම ලෙසයි. මේ අනුව මේ පිළිබඳව වෙනත් රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා සිදුව තිබෙන බවත් ඔහු පවසනවා.

තවද විකල්පයයක් ලෙස දෙවන එන්නත සඳහා වෙනත් එන්නතක් ලබාදීමක් ද සිදුකළ හැකි බවත් විශේෂඥ පිරිස් එමඟින් ප්‍රශ්නයක් නොවන බවත් පවසා තිබෙන අතර අවසාන තීරණය ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාගනු ඇති බවත් තමා එම විෂයෙහි ප්‍රවීණයෙක් නොවන බවත් අමාත්‍යවරයා එහිදී පවසා සිටියා.

එසේම දෙවන එන්නත ලබාදීමේ කාල පරාසය සම්බන්ධයෙන් ද සකච්ඡා වන අතර මේ පිළිබඳ විද්‍යාත්මක කරුණු නිරන්තරයෙන්ම යාවත්කාලීන වෙමින් පවතින බව ද එහිදී අමත්‍යවරයා පවසා සිටිනවා.

මෙහි විකල්පයයක් ලෙස දෙවන එන්නත සඳහා වෙනත් එන්නතක් ලබාදීම සිදුකිරීමේ හැකියාව පිළිබඳ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් පිළිබඳ කරුණු විමර්ෂණය කරන ලෙස පාර්ශව කිහිපයක් අපගෙන් විමසා සිටි අතර ඒ පිලිබඳ කරුණු පැහැදිලි කිරීම පහතින්.

Explained (කරුණු පැහැදිලි කිරීම) :

අප ප්‍රථමයෙන්ම කෝවිඩ් පාලන එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් ලබා ගැනීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වා ඇති අදහස් දෙස විමසා බැලීමු.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරියකගේ අදහස්:

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය සෞම්‍යා ස්වාමිනාදන් මීට මාස තුනකට පමණ පෙර මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ කෝව්ඩ් සඳහා පළමු මාත්‍රාව එක් එන්නත් වර්ගයකිනුත් දෙවන මාත්‍රාව තවත් එන්නත් වර්ගයකින් ලබා ගැනීම (mixing and matching) සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදු කෙරෙන බවයි.

මේ පිළිබඳව සායනික අත්හදා බැලීම් ලොව පුරා සිදුවන බවත් මේ පිළිබඳ විද්‍යාත්මක කරුණු නිරන්තරයෙන් යාවත්කාලීන වන බවත් ඇය පවසා සිටියා. ප්‍රතිශක්තිකරණය සඳහා විද්‍යාත්මකව මෙසේ එන්නත් මිශ්‍ර කර ලබාගැනීම න්‍යායාත්මකව සිදුවිය හැකි වුවත් මේ පිලිබඳ සිදුකෙරෙන පර්යේෂණ හරහා නිශ්චිත ප්‍රතිඵල ලැබෙන තෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නත්කරණය සම්බන්ධයෙන් දැනට ලබා ඇති මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව ඇය අවධාරණය කරනවා. එනම් මාත්‍රා දෙකේදීම එකම එන්නත ලබාගැනීමයි.

දැනට (පසුගිය පෙබරවාරි) මෙසේ එන්නත් මිශ්‍ර කිරීම නිර්දේශ කිරීම සඳහා අවශ්‍ය දත්ත නොමැති බවත් මෙහිදී වෛද්‍ය ස්වාමිනාදන් මහත්මිය පවසා සිටිනවා. එම වීඩියෝව පහතින් දක්වා තිබේ.( 2.20 )

https://youtu.be/GnwW0baQ1_Q?t=140

කෙසේනමුත් මේ මොහොත වන විට ද ලොව පුරා පර්යේෂණ රැසක් මෙම විෂය සම්බන්ධයෙන් සිදුවන බවට තොරතුරු වාර්තා වන බැවින් වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ සම්බන්ධයෙන් දරන අදහස් අප විමසා බැලුවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්තමාන මතය:

එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකාවේ ශාඛාව විසින් අපට දන්වා සිටියේ වර්තමානයේ, මෙසේ කොවිඩ් එන්නත් මිශ්‍ර කිරීමේ (Mixing and Marching) කාර්යක්ෂමතාව පිළිබඳ අවශ්‍ය තරම් විද්‍යාත්මක දත්ත නොමැති බවයි. හදිසි භාවිත ලැයිස්තු (EUL) සහිත COVID-19 එන්නත් තක්සේරු කර ඇත්තේ තනි තනි වශයෙන් ලබාදෙන නිෂ්පාදන රෙගුලාසි යටතේ පමණක් බවත් පවසා සිටියා.

දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් අනුමැති ලබාදී සහ සලකා බැලෙන එන්නත ලැයිස්තුව පරීක්ෂා කිරීමේ දී ද මෙය දැක ගන්නට පුළුවන්.

Status of COVID-19 Vaccines within WHO EUL/PQ evaluation process (As of May 04th)

එසේම එක්සත් රාජධානියේ සායනික අත්හදා බැලීමක් මේ වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත හා ෆයිසර් එන්නත මිශ්‍ර කිරීම පිළිබඳව විමර්ෂණය කරමින් සිටින බවත් එම අත්හදා බැලීම මෑතකදී මෝඩර්නා (Moderna) සහ නොවෝවාක්ස් (Novovax) එන්නත් ඇතුළත් කිරීම සඳහා පුළුල් කළ බවටත් අපට පැහැදිලි කර සිටියා. මේ පිලිබඳ වැඩිපුර දත්ත ළඟදීම ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔවුන් පවසා සිටියා.

ඉහත කරුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ද අපට තහවුරු කළා.

වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා:

පළමු මාත්‍රාව එක එන්නත් වර්ගයකින් ලබාදී දෙවැනි මාත්‍රාව වෙනත් එන්නත් වර්ගයකින් ලබාදීමට හැකියාව ඇත්දැයි සෙවීමට මේ දිනවල පරීක්ෂණ පැවැත්වෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා ද මීට දින සති කිහිපයකට ප්‍රකාශ කර තිබුණා.

එසේ ලබා දිය හැකි යැයි පරීක්ෂණවලදී තහවුරු වුවහොත් ඉන්දියාවේ පවතින තත්ත්වය හමුවේ අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගැනීමේ ගැටලුකාරී තත්වයක් ද මතු වී තිබෙන පසුබිමක දෙවෙනි මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍යව පවතින එන්නත් මාත්‍රා ලක්ෂ හය වෙනත් රජයන් හරහා ලබාගැනීම හෝ වෙනත් වර්ගයක එන්නතක් ගෙනැවිත් දෙවන මාත්‍රාව හැටියට ලබාදීමට ද හැකියාව තිබෙන බවද ඔහු පවසා තිබුණා.

Lankadeepa | Neth News

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය

උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කර තිබුනේ, විද්‍යානුකූලව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නත් මිශ්‍ර කර ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කර නොමැති බවයි. තහවුරු කළ වහාම රටේ ජනතාව ඒ ගැන දැනුවත් කරන බවටත් ඇය සඳහන් කළා.

එන්නත් පිළිබඳව ලංකාවේ තිබෙන තාක්ෂණික කමිටුව තවමත් නිර්දේශ කර ඇත්තේ පළවෙනි එන්නත් මාත්‍රාව ලබාගත් වර්ගයෙන් ම දෙවන එන්නත් මාත්‍රාව ලබා ගැනීමට බවද ඉදිරියේදී ගෝලීය වශයෙන් සිදුවන පර්යේෂණවල ප්‍රතිඵලත් සමඟ මෙම නිර්දේශ වෙනස් විය හැකි බවද එතුමිය සඳහන් කළා. එම වීඩියෝව පහතින්. පුවත් වාර්තාවක් මෙතනින්

https://www.youtube.com/watch?v=zKbCWprqxB8

එන්නත් මිශ්‍ර කිරීම පිලිබඳ පර්යේෂණ මාධ්‍ය වාර්තා:

කෝව්ඩ් එන්නත් වර්ග දෙකක් මාත්‍රා දෙකකදී ලබා දීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ කෝවිඩ් එන්නත අත්හදා බැලීම පුළුල් කර ඇති බව ද BBC වාර්තාවල දැක්වුනේ මෙලෙසිනි. කෙසේනමුත් එම පර්යේෂණ මෙතෙක් විශේඥයන් විසින් තහවුරු නොකළ බවට දැක්වෙන වාර්තාවක් මෙතනින්.

කොරෝන වෛරස් එන්නත් මිශ්‍ර කර මෙලෙස ලබා දීම අතුරු ආබාධවලින් පීඩා විඳීමේ අවස්ථාව වැඩි වන නමුත් කොරෝනා වලින් ආරක්ෂා වීමට ගැටලුවක් නොමැති බව එක්සත් රාජධානිය විසින් මීට දින කිහිපයකට පෙර කළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙන බව Sky News වාර්තා කරනවා. ඔවුන් සඳහන් කරන්නේ එන්නත්කරණයෙන් පසුදින මෘදු හා මධ්‍යස්ථ අතුරු ආබාධ වන අතර (mild and moderate side-effects) අතර එය දීර්ඝ කාලීන රෝග නොවන බවයි.

එම අධ්‍යනයෙන් සඳහන් කරන්නේ, ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් යන COVID-19 සඳහා ලබා දෙන එන්නත් මාත්‍රා භාවිතා කරමින් පර්යේෂණය කරන ලද අතර, ඉන් එක් එන්නතක් පළමු මාත්‍රාව ලෙසත්, අනෙක් එන්නත දෙවැන්න ලෙසත් ලබා දී ඇති බවට සඳහන්. එම පර්යේෂණ මෙහෙයවන ප්‍රධානී සහ උපදේශක වෛද්‍ය Bryan Williams සඳහන් කර ඇත්තේ මාත්‍රා දෙකකදී ලබා ගන්නා එකම එන්නතට වඩා විශාල ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් මාත්‍රා දෙකකදී එන්නත් වර්ග 2ක් ලබා ගැනීමෙන් ඇතැම් අවස්තාවලදී ලැබිය හැකි බවයි. කෙසේවෙතත් මෙම නිල ප්‍රතිඵල සැලකීමට කාලයක් ගතවනු ඇති බවත් එහි සඳහන්. එම වාර්තාව මෙතනින්.

එමෙන්ම CNN වාර්තාවලින්ද දැක්වුණේ, කොරෝනා වෛරස් එන්නත් මිශ්‍ර මාත්‍රාවක් ලබා ගත් පුද්ගලයින්ට පළමු මාත්‍රාවට වඩා දෙවන මාත්‍රාවක් ලෙස වෙනස් එන්නත් වර්ගයක් ලැබීම හේතුවෙන් උණ, තෙහෙට්ටුව හෝ හිසරදය වැනි මෘදු අතුරු ආබාධ ඇතිවීමට වැඩි ඉඩක් ඇති බව එක්සත් රාජධානියේ පර්යේෂකයෝ වාර්තා කළ බවයි.

දෙවන එන්නත මාස 4ක් වැනි කාලයක් ප්‍රමාද කොට සහ වෙනත් වර්ගයක එනන්තක් ලබාදීම පිළිබඳ ව කැනඩාවේ ද පර්යේෂණ සිදුවෙමින් පවතින අතර එමඟින් ලැබෙන වැඩි ප්‍රතික්‍රියා හේතුවෙන් වඩා හොඳ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ලැබීමේ හැකියාව පිළිබඳව වාර්තාවක් මෙතනින්.

අස්ට්‍රාසෙනෙකා ලබාගැනීමේ අපහසුතා සහ එන්නතේ රුධිර කැටි ගැසීම පිළිබඳ කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල මතුව තිබෙන ප්‍රශ්න හමුවේ මින් ඉදිරියට එම එන්නත් ලබාදීම එහි ඇතැම් ප්‍රදේශවල තාවකාලිකව නවතා තිබෙනවා. එසේම විශාල පිරිසකට මුල් එන්නත ලබාදී ඇති බැවින් දෙවන එන්නත ලෙස වෙනත් එන්නතක් ලබාදීම පිළිබද අප ඉහත සඳහන් කළ පර්යේෂණ දෙකෙහි විස්තර ද සහිතව දීර්ඝ පැහැදිලි කිරීමක් මෙම ලිපියෙන් දක්වා තිබෙනවා. ඉබෝලා රෝගය සඳහා මිශ්‍ර එන්නත් ක්‍රමයක් පසුගිය වසරේදී අනුමත වූ බවද එහි දක්වෙනවා.

කෙසේවෙතත් මෙම සියලුම කටයුතු පර්යේෂණ මට්ටමේ පවතින අතර එමඟින් නිල සායනික අත්හදා බැලීම් හරහා ප්‍රතිඵල ලැබීමට තවත් කාලයක් ගතවනු ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම Reuters වෙබ්අඩවිය වාර්තා කළේ සම්පූර්ණයෙන්ම එකම කෝවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින් සැලකිය යුතු ප්‍රමාණයකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සීෂෙල්ස් හි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීමන් පසු එහි දත්ත සමාලෝචනය කරමින් සිටින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසූ බවයි.

එම අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ, සීෂෙල්ස් හි කොවිඩ් ආසදනය වී තිබූ වැඩි පිරිසක් එනනත් ලබා නොතිබුණ හෝ එක් එනන්තක් පමණක් ලබාගෙන තිබු පිරිස් වුව ද, එසේ ආසාදිත පුද්ගලයන්ගෙන් 37% කට පමණ එකම එන්නතේ මාත්‍රාවන් දෙකම ලබාගෙන තිබු බවද එම වාර්තාවේ දැක්වේ. එම වාර්තාව මෙතනින්.

මේ අනුව එකම එන්නතේ මාත්‍රා දෙකම ලබාගැනීම 100% ම කෝවිඩ් ආසාදනය වීමෙන් වැළකී සිටිය හැකි බවට නිර්නායකයක් නොවුන ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිරන්තරයෙන් ම එන්නත්කරණයේ අවශ්‍යතාව පෙන්වා දෙන්නේ එන්නත් ලබාගෙන සිටීම මඟින් එසේ කොවිඩ් ආසාදනය වී තිබුණ ද රෝගය තීව්‍ර වීම පාලනය කිරීමේ හැකියාවක් ඇති බැවින්.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද නිරන්තරයෙන් ම අවධාරණය කරන්නේ එන්නත්කරණයට සමගාමීව සමාජ දුරස්තතාව පවත්වාගනිමින් නිරන්තරයෙන් යපහත් සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කරන ලෙසයි.

Avatar

Title:කෝවිඩ් සඳහා මිශ්‍ර එන්නත් ලබා ගැනීම සුදුසු ද?

Fact Check By: Sara Gunaratne

Result: Explainer