Update :

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම පසුගිය 20 වන දා අනුමැතිය ලබා දුන්නා.

ස්ථාවර ගාස්තු හා විදුලි ඒකක ගාස්තු ඒ ඒ කාණ්ඩවලට අනුව ඉහළ යන්නේ මෙලෙසිනි.

ඒකක 0-30 කාණ්ඩයේ ස්ථාවර ගාස්තු රුපියල් 150 සිට 180 දක්වා වැඩි වී ඇත. එමෙන්ම එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 10 සිට 12 දක්වා වැඩි වී ඇත.

ඒකක 31-60 කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 300 සිට 360 දක්වා වැඩි වී ඇත. එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 25 සිට 30 දක්වා වැඩි වී තිබේ.

ඒකක 61 – 90 කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 400 සිට රුපියල් 480 දක්වා ඉහළ දමා ඇත. ඒ අනුව ඒකකයක මිල රුපියල් 35 සිට 41 දක්වා වැඩි වේ.

ඒකක 91 – 120 කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1000 සිට 1180 දක්වා වැඩි වී ඇති අතර එම කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 91 සිට 120 දක්වා වැඩි වී තිබේ.

ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට 1770 දක්වා වැඩිවන අතර ඒකකයක මිල රුපියල් 50 සිට 59 දක්වා වැඩි වේ.

ඒකක 180 ට වැඩි කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 2000 සිට 2360 දක්වා වැඩි වේ. ඒ අනුව එම කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 75 සිට රුපියල් 89 දක්වා වැඩි වේ. ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු මෙතනින්.

සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වන සටහන් වල දැක්වෙන කරුණු පිළිබඳ නිරවද්‍යතාවය විමසීමකින් තෝරව බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු කරගනු ලබනවා. ඇතැම් කරුණු වර්තමානයේ දක්වා ඇති නව කරුණු ලෙසින් පෙන්වා දෙනු ලැබුවද, එම කරුණු බොහෝ කලකට පෙර සිදුවූ සිද්ධින් වේ.

මේ ආකාරයට, විදුලිය භාවිතා කෙරෙන ඒකක ඔස්සේ මිලෙහි සිදුවන වෙනස්වීම් බව හඟවමින් නැවත වරක් මේ දිනවල ජනතාව නොමග යවමින් හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි බිල ගණනය කිරීමේදී විදුලි ඒකක සඳහා කාලය අනුව ගණනය කරනු ලබන ආකාරයේ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව බොහෝ කලක සිට සංසරණය වෙමින් පැවතුණ මේ දිනවලත් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන මෙම පණිවිඩයේ දක්වා තිබුණේ,

පස්වරු 10.30 සිට පෙරවරු 05.30 දක්වා කාලය සඳහා ඒකකයක් සඳහා වැයවන මිල වන්නේ, රු.13ක් බවත්,

පෙරවරු 05.30 සිට - පස්වරු 06.30 දක්වා කාලය සඳහා ඒකකයක් සඳහා වැයවන මිල රු.25ක් බවත්,

පස්වරු 06.30 සිට පස්වරු 10.30 දක්වා කාලය සඳහා ඒකකයක් සඳහා වැයවන මිල රු.54ක් බවත්,

පස්වරු 06.30 සිට පස්වරු 10.30 දක්වා කාලය තුළ විදුලි ශීතකරණය නිවා දැමීමටත්, විදුලි ස්ත්‍රික්ක පස්වරු 10.30 න් පසුව භාවිතා කරන ලෙසත්ය.

මේ පිළිබඳ ඉංග්‍රීසි බසින් WhatsApp ඔස්සේ බහුලව සංසරණය වූ එම පණිවිඩය පහතින්.

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

2017 වසරේ ද එම කරුණු ඇතුලත් සටහනක් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Update : එසේම ඉහත තොරතුරු ම දැක්වෙන සටහන් නැවත වරක් 2022 ජුනි මාසයේ දී හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

Facebook | Archived

කෙසේනමුත් මෙම සටහන් සඳහා මුල් වී තිබුනේ 2021 වසරේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිකුත් කර තිබූ අත්පත්‍රිකාවක් ඇසුරින් පළකර තිබු සටහන් බව ද දක්නට ලැබුණා.

Facebook | Archived Link

එමෙන්ම මෙම සටහන් සඳහා දක්වා තිබූ ඇතැම් ප්‍රතිචාර වලින් පෙනී ගියේ බොහෝ පිරිසක් නොමග ගොස් ඇති බවයි.

ඒ, සෑම නිවසකම සවි කර ඇති විදුලි මණු වලින් ඉහත සටහන් වල දක්වා ඇති කාල පරාසයේදී වැඩි හෝ අඩු වශයෙන් විදුලිය භාවිත කිරීමේදී විදුලි බිල් වල වෙනසක් සිදු වන බවත්ය.

තවත් පිරිසක් පවසා සිටියේ, සෑම නිවසකම ඇති විදුලි මණුවලින්(Meter) කාල පරාසය අනුව ගණනය කළ නොහැකි බැවින් මෙය අසත්‍ය බවයි.

සැබවින්ම ඉහත සඳහන් ආකාරයට පැය 24ක කාලය අනුව බෙදා වෙන් කරමින්විදුලිය භාවිත කරන්නේ නම් විදුලිය අඩුවනවාද? එලෙස අඩු වන්නේ නම් කාල වකවානුව හඳුනා ගත හැකි පරිදි විදුලි මණුව සකසා ඇද්ද? මේ වන විට විදුලි ගාස්තුවේ යම්කිසි සංශෝධනයකට ලක්වී ඇත්ද? යන කරුණුවල නිරවද්‍යතාවය සෙවීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඒ අනුව අප ප්‍රථමයෙන්ම මේ පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයෙන් විමසීමක් සිදු කළා. විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මුලින් දක්වා ඇති සටහන් වලින් පවසන්නේ, කාල පාදක අයක්‍රමය (TOU Tariff) බවයි. මෙහිදී මුදල් අයකරණු ලබන්නේ විදුලිය පාරිභෝජනය කරන කාල සීමාව අනුව බවත් දිවා කාලය (පෙරවරු 05.30 සිට පස්වරු 6.30 දක්වා), කාර්‍යබහුල කාලය(පස්වරු 6.30 සිට පස්වරු 10.30 දක්වා) , කාර්‍යබහුල නොවන කාලය(පස්වරු 10.30 සිට පෙරවරු 5.30 දක්වා) යනුවෙන් කොටස් 3කට බෙදා කාර්‍යබහුල නොවන කාලය (පස්වරු 10.30 සිට පෙරවරු 5.30 දක්වා) විදුලිය භාවිතය දිරි ගැන්වීමට මෙම ක්‍රමය හඳුන්වා දී ඇති බවත් වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම ඒකක 200ට වැඩියෙන් ගෘහස්ථ විදුලිය භාවිත කෙරෙන පාරිභෝගිකයන්ට මෙම කාල පරාසයට අනුව විදුලිව භාවිත කිරීමෙන් විදුලි බිල අවම කර ගැනීමට හැකි වන බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.

විශේෂයෙන් විදුලියෙන් ධාවනය වන මෝටර් රථවල බැටරිය නිවසේදී ආරෝපණය කිරීමට (Charge) කාර්‍යබහුල නොවන කාලය තුල අඩු පිරිවැයකින් මෝටර් රථ බැටරිය ආරෝපනය කර ගත හැකිවීම වැනි වාසි මෙමගින් ඇති වන බවයි වැඩිදුරටත් එම මණ්ඩලය කරුණු පැහැදිලි කරනු ලැබුවේ.

මේ සඳහා නව විදුලි මෙණු සකසා ඇති බවත්, එහිදී කුමන වේලාවකදී , විදුලිය පාරිභෝජනය සිදු කර ඇත්දැයි යන්න සටහන් වන බවත්, පැරණි විදුලි මෙණු සඳහා මෙය අදාළ නොවන බවත් ඔවුන් අප කළ විමසීමේදී සඳහන් කළා.

මෙහිදී ස්ථාවර ගාස්තුව වන්නේ රු. 580 ක් බවත්, මෙම නව මෙණුව ලබා ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඔස්සේ ඉල්ලීමක් කළ හැකි බවත් ඔවුන් පැවසුවා.

ඉහත දැක්වූ අත්පත්‍රිකාවේ දැක්වෙන්නේ, එම කාල පාදක අයක්‍රමය (TOU Tariff) පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ලබා දී ජනතාව අතර බෙදා දී ඇති අත්පත්‍රිකාවකි.

ගෘහස්ත විදුලි සම්බන්ධතා වර්ග:

ගෘහස්ත විදුලි සම්බන්ධතා වර්ග කිහිපයක් පවතියි. ගෘහස්ත අරමුණු සඳහා පුද්ගලික නිවාසයන්හි පරිභෝජනයට විදුලිය සැපයීමට අදාල අය ක්‍රම පහත පරිදි වෙයි.

  1. භාවිතා කරන ඒකක ප්‍රමාණයට අයකිරීම් කරන විදුලි සම්බන්ධතාව (Block)

2014 වර්ෂයේ සිදුකල විදුලි අයක්‍රම සංශෝධනයට (දැනට බලාත්මක විදුලි අයක්‍රම) අනුව ගෘහස්ත විදුලි පාරිභෝගිකයින්ගෙන් ගාස්තු අයකරගන්නා ආකාරය

මෙහිදී විදුලි බිල ගනනය කරණු ලබන්නේ දින 30ක කාල සීමාවකට වේ.

ceb.lk

  1. විදුලිය භාවිතා කරන කාලය අනුව කරන අය ක්‍රමය (Time of Use (TOU) tariff)

කාල පාදක අය ක්‍රමය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් සියළු ගෘහස්ථ පාරිභෝගිකයන්ට බලපැවැත්විය හැකිවන පරිදි 2017 මැයි මස 2 වැනිදා සිට අනුමත කරනු ලැබ ඇත. මෙම කාල පාදක අය ක්‍රමය ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා විකල්ප අයක්‍රමයක් වන අතර මෙය ක්‍රියාත්මක කරනු ලන්නේ ඔවුන් ඉල්ලීම් කළ විටය. මේ පිළිබඳ උනන්දුවක් දක්වන පාරිභෝගිකයින් හට අදාල ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය හෝ ලංවිම ඇමතුම් මධ්‍යස්ථානය 1987 ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

ceb.lk

2017 වසරේ දී හඳුන්වා දුන් කාල පාදක අය ක්‍රමය (Time of Use Tariff) අනුව ගණනය කෙරෙන විදුලි බිල්පත් ගාස්තුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ අතීතයේ සිට භාවිතා වන පැරණි විදුලි මෙණු හරහා ද පාරිභෝජනය කෙරෙන විදුලි ඒකක කාලය අනුව බෙදා අය කරන බවටයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවියේ දක්වා තිබූ කාල පාදක අය ක්‍රමය (Time of Use Tariff) ගාස්තුව සහ WhatsApp ඔස්සේ නව අය කිරීමක් ලෙස පළ වී තිබුණේ ද, කාල පාදක අය ක්‍රමයේම ගාස්තුව බවට පෙන්වීමට කළ ඡායාරූප සංසන්දනය පහතින්.

මේ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිල ෆේස්බුක් පිටුවේ මේ පිළිබඳව පළ වූ වීඩියෝවක් මෙතනින්.

විද්‍යුත් මෝටර් රථ ආරෝපණයට විදුලි බල මණ්ඩලයෙන් සහන ගාස්තු ක්‍රමයක් යනුවෙන් මේ පිළබඳව පළ වූ ෆේස්බුක් සටහන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link

මෙම TOU ක්‍රමය සම්බන්ධයෙන් 2015 වසරේදී පළ වූ වෙබ් පුවතක් මෙතනින්.

මෝටර් රථ ආරෝපණය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් හඳුන්වා දුන් සහනදායි අනුපාතයක් යනුවෙන් මෙම TOU ක්‍රමය පිළිබඳ අද දෙරණ වෙබ් අඩවියේ පළ වූ මාධ්‍ය වාර්තාවක් මෙතනින්. Archived Link

වත්මන් විදුලි බිලෙහි ඇතිවිය හැකි වෙනස්කම් පිළිබඳ හුවමාරු වන සටහන්:

එමෙන්ම විදුලි බිල්පත් ගණනය කිරීමේ ඇතිවිය හැකි වෙනසක් පිළිබඳ සාකච්ඡා වන සමයක, තවත් ෆේස්බුක් සටහන් කිහිපයක් හුවමාරු වු‍ණේ, මේ වන විට විදුලි ගාස්තූ ඉහළ දමා ඇති ආකාරය පිළිඹිබු කරන ආකාරයෙන්.

Facebook | Archived Link

ඒ පිළිබඳ පළ වූ තවත් සටහනක් මෙතනින්.

විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව විදුලි බිලෙහි වැඩිවීමක් සිදුවිය හැකි බවත්, ඒකක 30 ක මිල පැවති මිලට වඩා සියයට 500 කින් පමණ වැඩිවීමක් සිදුවිය හැකි බවට තොරතුරු වාර්තාවී ඇති බවට පසුගිය දා ආණමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා තිබුණා. මෙම ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කළේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන්ද , ලංකා විදුලි බල මණ්ඩලයෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, විදුලි ගාස්තුව වැඩි කිරීම පිළිබඳ අවධානය යොමු වී ඇතත්, මෙතෙක් ඒ කොපමණ ප්‍රමාණයකින්ද යන්න ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම් දී නොමැති බවයි. මෙතෙක් අය කිරීම් සිදු වන්නේ පරණ ගාස්තුව පමණක් බවත් ඔවුන් පවසා සිටියා.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා 500% කින් විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් අද දෙරණ වැඩසටහනකට සහභාගි වෙමින් අදහස් දක්වා සිටියේ, ඒ දේශාපලන අධිකාරියේ ප්‍රකාශ පමණක් බවයි. 2014 සිට 2022 දක්වා කාලය තුළ විදුලි ගාස්තුව වැඩි නොවුණේ, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැනි ස්වාධීන ආයතනයක් පවතින බැවින් බවත්, මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල වැඩි කරනවා මෙන් කවුරුත් නොදැන විදුලි ගාස්තුව ඉහළ දැමීම සිදු කළ නොහැකි බවත්, විදුලි බිල ඉහළ දැමීම සිදු කරනු ලබන්නේ, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් බවත් එයටත් ක්‍රමවේදයක් පවතින බවත්, ඒ පිළිබඳව පුවත් පත් දැන්වීම් මගින් ජනතාවට දැනුම් දී මහජන උපදෙස් පවත්වමින් ඊට අදාළ උපදෙස් අනුගමනය කරමින් විදුලි බිල වැඩි කරනවාද, නැත්නම් ආධාර ලබා දෙනවාද යන්න රජයෙන් විමසීම මගින් ඒ ලබා දෙන තීරණය අනුව රජය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ.

https://youtu.be/8DSJI58TXSI?t=1067

මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඉහත දැක්වූ මෙවැනි සටහන් ඔස්සේ ද, විදුලි බිල 200%න් ඉහළ දමන බවට ප්‍රධාන මාධ්‍ය දාරා ඔස්සේ වාර්තා වූ මෙවැනි සටහන්ද දැක්වෙන ආකාරයේ මිල වැඩිවීමක් ද මේ වන තෙක් සිදු වී නොමැත.

ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කර ඇත්තේ විදුලි බිල වැඩි කිරීමට අවසර දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති බවයි. මේ අතර ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් සලකා බැලීමට වෙනත් විකල්පයක් නොමැති බව අමාත්‍යාංශ ලේකම් වසන්ත පෙරේරා ප්‍රකාශ කළ බැවින් විදුලි බිල අනිවාර්යයෙන්ම ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසූ බවත් විදුලි බිල ඉහළ දැමීමෙන් ඉන්ධන පිරිවැය යම් ප්‍රමාණයකට පියවා ගැනීමට අමාත්‍යාංශයට හැකිවන බවද සඳහන් වන බවයි. Newsfirst වෙබ් අඩවියේ පළ වූ එම මාධ්‍ය වාර්තාව මෙතනින්.

කෙසේනමුත් නුදුරු දිනයේදී විදුලි ගාස්තු ඉහළ දමන්නේ නම් ඒ පිළිබඳවද, මෙම පුවත් ලිපිය මගින් තොරතුරු යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ නව විදුලි ගාස්තු යනුවෙන් සඳහන් සටහන් නොමග යවන සුළු බවයි. මෙතෙක් විදුලි ගාස්තු ඉහළ දමා නොමැති අතර, හුවමාරු වන සටහන් මඟින් දැක්වෙන්නේ අධික විදුලි භාවිතයක් තිබෙන ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා විකල්ප අයක්‍රමයක් ලෙස 2017 වසරේ දී හඳුන්වා දුන් කාල පාදක අය ක්‍රමය (Time of Use Tariff) අනුව විදුලි බිල්පත් ගණනය කිරීමේ ක්‍රමවේදයකි. මෙහිදී විදුලි ගාස්තු ගණනය කරනු ලබන්නේ, පැරණි විදුලි මෙණු හරහා නොව, TOU ක්‍රමය යටතේ නව ඩිජිටල් විදුලි මෙණු හරහාය.

මේ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම පාරිභෝගිකයකුට අදාළ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය හෝ ලංවිම ඇමතුම් මධ්‍යස්ථානය 1987 ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

Avatar

Title:පැය 24ක කාලය බෙදා වෙන් කර විදුලි බිල සැකසීමේ නව ක්‍රමවේදයක්?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading