දකුණු ආසියාවේ උස ම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණ හෙට (සැප්තැම්බර් 15) සිට ජනතාවට විවෘත වනවා. මේ සඳහා ලබා ගත යුතු ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතා බහට ලක් වුණේ, ලංකාවේ ප්‍රධාන භාෂා ත්‍රිත්වයෙන් එකක් වන දෙමළ භාෂාව නොමැතිව චීන භාෂාවෙන් විස්තර ලබා දී තිබීමත්, චීන ජාතිකටන්ට නොමිලේ නෙළුම් කුළුණ නැරඹීමට හැකි වන බවත් හඟවමින් සටහන් පළ වීමත් සමඟයි. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

චීනුන්ටම ගිය රට අපිට මුදල් අය කරලා. චීන්නුන්ට නොමිලේ” යනුවෙන් සඳහන් කරමින් කොළඹ නෙළුම් කුළුණේ ප්‍රවේශපත්‍රය ලෙස එහි ඡායාරූපයක් ද දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙවැනි ටිකට් පතක් නිකුත් කිරීම විශ්මයජනක කරුණක් බව සඳහන් කරමින් ට්විටර් ඔස්සේ ද සටහන් පලවී තිබුනේ මෙලෙසින්

https://twitter.com/SumaleeSinghey/status/1569737688785502208

Archived

තම විදේශ ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් පසුව චීන ජාතිකයින්ට නෙළුම් කුළුණ නොමිලේ නැරඹීමට හැකි බවත්, එම ප්‍රවේශ පත්‍රයේ දෙමළ භාෂාවෙන් විස්තර සඳහන් නොවීමත් හේතුවෙන් බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් විවේචනයන් ද, එල්ල කර තිබුණා. එවැනි සටහන් මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

මෙම ප්‍රවේශ පත්‍රය නිල ප්‍රවේශ පත්‍රයක් ද නැද්ද යන්න පිළිබඳ සොයා බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප කටයුතු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ප්‍රවේශ පත්‍රය සඳහා යොදාගෙන තිබූ QR කේතය දෙකම පරීක්ෂා කළ අතර එහි දැක්වෙන්නේ “ශ්‍රී ලංකාවේ ඉන්ධන” (Sri Lanka Fuel) යන අක්ෂර පෙළක් බව දැක ගන්නට ලැබෙනවා.

මෙලෙසින් විශාල වශයෙන් වැරදීම් සමගින් නෙළුම් කුළුණ නැරඹීම සඳහා ලබාදෙන ප්‍රවේශ පත්‍රය නිකුත් කරනු ඇතැයි අනුමාන කිරීමට අපහසුය.

නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී

මහා භාණ්ඩාගාරය යටතේ මේ වසරේ මාර්තු මාසයේ දී ස්ථාපනය කරන ලද නෙළුම් කුළුණ පුද්ගලික සමාගම විසින් එහි කළමනාකරණ කටයුතු දැනට සිදුකරන අතර , එම සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතාගෙන් අප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ටිකට් පත සම්බන්ධයෙන් විමසීමක් සිදු කළා.

ඒ මහතා සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ ව්‍යාජ ලෙස සකස් කරන ලද ටිකට් පතක් බවයි. චීන ජාතිකයන්ට පමණක් නෙළුම් කුළුණ නැරඹීමට විශේෂ වරප්‍රසාදයක් හිමි නොවන බවත්, විදේශිකයින් සියලු දෙනාට අය කරන්නේ එකම මිලක් (USD 20ක්) බවත් පවසමින් විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා වැඩි දුරටත් අවධාරණය කළේ, එම ටිකට් පත් වල සඳහන් වන්නේ ඉංග්‍රීසි භාෂාව පමණක් බවයි. 

විදේශිකයින් සඳහා වන මෙම USD 20 ගෙවීම, ඇමරිකානු ඩොලර්වලට අමතරව එම අගයට සමාන මුදලක් වෙනත් විදේශ විනිමය ඔස්සේ හෝ ලංකාවේ රුපියල් වලින් ද ගෙවිය හැකි බව ප්‍රසාද් සමරසිංහ මහතා පවසනවා.

අපගේ ඉල්ලීම පරිදි ඒ මහතා අප වෙත යොමු කළ සත්‍ය ප්‍රවේශපතයන්හි ඡායාරූප පහතින්.

ඉහත කරුණු සමඟින් මේ පිළිබඳව ප්‍රසාද් සමරසිංහ මහතාගේ අදහස් දැක්වීමක් පහතින්

https://www.facebook.com/lankadeepa/videos/1164251527857699/

රුපියල් දෙදහසේ ටිකට් පත online ක්‍රමයට නිකුත් කිරීමට කටයුතු සුදානම් කරමින් පවතින බවත් බවත් ඉදිරි සති කිහිපයක දී අවශ්‍ය තාක්ෂණික කටයුතු අවසන් කොට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසා සිටිනවා.

එසේම නිල ටිකට් පතේ සඳහන් කර තිබෙන නෙළුම් කුළුනේ වෙබ් අඩවිය ද එහි ඉහත සඳහන් මිල ගණන් යටතේ නිකුත් කෙරෙන ටිකට් පත් ගැන විස්තර මෙසේ සඳහන් වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය 

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම ඡායාරූපය අසත්‍ය බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින්ද Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

සත්‍ය ප්‍රවේශ පත්‍රයේ සහ ව්‍යාජ ප්‍රවේශ පත්‍රයේ ඡායාරූප දෙකක් පළ කරමින් ඔවුන් පෙන්වා දුන්නේ මෙවැනි සටහන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු කර ගැනීමට ප්‍රථම, ව්‍යාජ නොවන බවට තහවුරු කර ගන්නා ලෙසයි. එම පණවිඩය පහතින්. Archived

https://twitter.com/ChinaEmbSL/status/1569895543211700226

එසේම සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ ව්‍යාජ ටිකට්පතක් බව අප කළ විමසීමේදී තරයේ අවධාරණය කර සිටියා.

මෙම ව්‍යාජ ටිකට් පතේ සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇති බවයි. මේ හේතුවෙන් ඊට පිළිතුරු දෙමින්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ද, Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, නෙළුම් කුළුණ එම අධිකාරිය යටතේ නොමැති බවත්, The Lotus Tower Management Company Pvt Ltd යටතට අයත් බවත්ය. ඒ හේතුවෙන් ව්‍යාජ ටිකට් පතේ දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නෙළුම් කුළුණ නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කොට නොමැති අතර ඉදිරියේ හෝ නිකුත් කිරීමක් සිදු නොකරන බවත් දැක්වෙන එම පණිවිඩය පහතින්. Archived

https://twitter.com/sltda_srilanka/status/1569956111071195137

ජනාධිපති මාධ්‍ය අංශය

ජනපති මාධ්‍ය අංශය ද ඉහත කරුණු තහවුරු කර සිටි අතර දකුණු ආසියාවේ උස ම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු හෙට (15) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවට පසුගිය අගෝස්තු 31 වන දා ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එහි ද පැහැදිලිවම දක්වා තිබුනේ ඉහත පරිදි රු. 500 සහ 2000 යටතේ ලාංකික වැඩිහිටියන්ටත්, ඇමරිකානු ඩොලර් 20 ක් (කුමන හෝ මුදල් වර්ගයකින් එම වටිනාකම යටතේ මිලදී ගත හැක) යටතේ විදේශිකයින්ටත්, නෙළුම් කුළුණ නැරඹීමේ පහසුකම් ලැබෙන බවයි.

රු. 500 ප්‍රවේශපත්‍රයකින් කණ්ඩායමක කොටසක් ලෙස කුළුණ සංචාරය කිරීමට හැකි වනු ඇති අතර, රුපියල් දෙදහසේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනෑම අයෙකුට පෝළිම්වල රැදී නොසිට නෙළුම් කුළුණ පරිශ්‍රයට ඇතුළුවිය හැකි අතර, අවස්ථා කිහිපයක් වුවද කුළුණේ ඉහළට යා හැකිය.

එසේම අවුරුදු 10 ට අඩු ළමා කාණ්ඩය යටතේ මේ ආකාරයෙන් ම රු.200 සහ රු.500 යටතේ සීමිත සහ දිනකට අසීමිත වාර ගණනක් නෙළුම් කුළුණ නැරඹිය හැකි වනවා.

එසේම විශේෂ අවස්ථාවක් ලෙසින්, ඔක්තෝබර් 01දා සිට දු.අ. 0742012354 / 0742012357 ඔස්සේ කලින් වෙන්කරවා ගත් පාසල් සංචාර සඳහා පාසල් සිසුවෙකුට ප්‍රවේශපත්‍රයක් නිකුත්කෙරෙනුයේ රු. 200ක් යටතේයි. මෙම අවස්ථාව සතියේ දිනවල උදේ 9 සිට දහවල් 2 දක්වා ක්‍රියාත්මක වෙනු ඇත.

මේ පිළිබඳව ජනපති මාධ්‍ය ඒකකය ඊයේ නිවේදනය කර තිබුණේ මෙලෙසින්.

ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදෙමින් නෙළුම් කුළුණ හෙට (සැප්තැම්බර් 15) සිට සතියේ දිනවල ප.ව. 2 - රාත්‍රී 10/11 පමණ දක්වා සහ සති අන්තයේ දී දහවල් 12.00 - රාත්‍රී 11/12 දක්වාත් මහජනතාව සඳහා විවෘතව පවතින බවත් ඉදිරියේ දී මෙය දීර්ඝ කිරීමටත් බලාපොරොත්තු වන බවත් නෙළුම් කුළුණ කළමනාකාරිත්වය පවසනවා. සතියේ දිනවල රාත්‍රී 7.00 සිට රාත්‍රී 10.00 දක්වා සහ සතියේ දිනවල රාත්‍රී 7.00 සිට රාත්‍රී 11.00 දක්වා කුළුණ ආලෝකමත් කිරීමට නියමිතයි.

මෙම කරුණු ඇතුළත් වීඩියෝවක් මෙතනින්

https://youtu.be/IgSIriWYP9U?t=22

එමෙන්ම සෑම නරඹන්නෙකුටම කුළුණේ 29 වන මහලෙහි පිහිටි නැරඹුම් ස්ථානයේ රැඳී සිටිය හැක්කේ විනාඩි 30 ක කාලයක් පමණි. එම නිරීක්ෂණ මහලේ එකවර රැඳී සිටීමට අවසර ඇත්තේ 150 දෙනෙකුට පමණි.

ඉදිරි මාස කිහිපයේදී ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. නෙළුම් පොහොට්ටුවක හැඩයේ පළමු මහළේ 400කට පමණ අසුන්ගත හැකි සම්මන්ත්‍රණ ශාලාවක් පවතින අතර, ඉන් ඉහළ මහළ කැරකෙන අවහලකින් සමන්විතය. ඉහළම නැරඹුම් මැදිරියේ දී “කොළඹ අහස යට” නවමු අත්දැකීමක් විඳගැනීමට හැකියාව පවතී.

ලංකාවේ තිබෙන වේගවත්ම විදුලි සෝපාන තුනක් නෙළුම් කුළුණ සතු අතර, එය ජපාන තාක්ෂණය යටතේ නිර්මාණය වී තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. තවත් වීඩියෝවක් මෙතනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සැප්තැම්බර් 15 වැනිදා මහජනතාව සඳහා විවෘත වන නෙළුම් කුළුණේ ප්‍රවේශ පත්‍රයේ, දෙමළ භාෂාව සඳහන් නොවීමත්, චීන ජාතිකයන් ට නොමිලේ කුළුණ නැරඹීට අවස්ථාවක් ලැබෙන බවටත් පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ප්‍රවේශ පත්‍රය ව්‍යාජ ලෙස සකසන ලද්දක් බවයි.

එහි දක්වා ඇති QR කේතය, නෙළුම් කුළුණට කිසිසේත් සම්බන්ධ නොවන කේතයක් බවට අපගේ නිරීක්ෂණයේදී තහවුරු වුණා. එසේම නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා විසින් හෙට දිනයේ දී නිකුත් කෙරෙන සත්‍ය ප්‍රවේශ පත්‍රයන් හි ඡායාරූප අප වෙත යොමු කරමින් හුවමාරු වන්නේ ව්‍යාජ ප්‍රවේශ පත්‍ර බව තහවුරු කර සිටියා.

චීන ඇතුළු සෑම විදේශිකයෙකුට ම USD 20 ක ටිකට් පතක් ලබාගැනීමෙන් පසුව නෙළුම් කුළුණනැරඹීමේ අවස්ථාව හිමිවේ.

Avatar

Title:නෙළුම් කුළුණ නැරඹීමේ ප්‍රවේශ පත්‍රයේ චීන ජාතිකයන්ට විශේෂ වරප්‍රසාදයක් ?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading