දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

අංශභාග සඳහා ප්‍රතිකාර කිරීමේ අවස්ථාව කෑගල්ලේ රෝහලට පමණක් සීමා වී ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාවය පිළිබඳ Fact Crescendo අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

අංශභාග රෝගය සෑදී කෑගල්ල මහ රෝහලට ආවොත් සම්පූර්ණ සුවය - කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් පුවත් පතක ශීර්ෂ පාඨය පමණක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වී තිබුණේ මෙලෙසින්. Archived Link

අපට දැක ගන්නට ලැබුනේ 2019 වසරේ සිටම මෙම සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

ෆේස්බුක් පරිශීලකයින් විසින් මෙම සටහන බහුලව සංසරණය කරගෙන ඇති අයුරු.

මෙම ෆේස්බුක් සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ, බොහෝ පිරිසක් උපකල්පනය කර තිබුණේ, අංශභාග සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ, කෑගල්ල රෝහලේ පමණක් බවයි.

එමෙන්ම මෑතකදී මෙම සටහන නැවත හුවමාරු වීම තුළින් මෑතකදී වූ බෙහෙත් හිඟ තත්ත්වය මත අංශභාග සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ කෑගල්ල රෝහලේ පමණක් බවට ද, ඇතැම් පිරිසක් වටහාගෙන තිබුණා.

මේ පිළිබඳ සත්‍ය කරුණු විමසා පාඨකයින් විසින් අප වෙත සිදු කරන ලද ඉල්ලීම් කිහිපයක් ද, මුල් කර ගනිමින් මෙහි නිරවද්‍යතාව පිළිබඳ අප කරුණු විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි ඖෂධ හිඟය හේතුවෙන් ආඝාතය , අංශභාග තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීම කෑගල්ල රෝහලට පමණක් සීමා කර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පතක පළ වී ඇත් ද යන්න පිළිබඳ අප නිරීක්ෂණයක් සිදු කළා. නමුත් එවැනි පුවතක් පළ වී ඇති බවට දැක ගන්නට නොලැබුණි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක

පසුගිය 06 වන දා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ, මෙරට ජීවිතාරක්ෂක ඖෂධ 14ම රට තුළ පවතින බවයි. එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 683 අතරින් 151 ක හිගයක් වෛද්‍ය සැපයුම් අංශයේ පැවතියද රෝහල් පද්ධතිය තුළ එම හිඟය ඖෂධ 22 දක්වා අඩුව ඇති බවත් පවසා සිටියා. ජීවිතාරක්ෂක ඖෂධ 14 අතරින් 02 ක් මේ වන විට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන අතර විශේෂයෙන් මේ වන විට දේශීයව නිෂ්පාදනය කරන අනෙකුත් ඖෂධ වැඩි වශයෙන් රෝහල් හා සායන කටයුතු වලදී බෝ නොවන රෝග , හෘද රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය හා ගර්භණී මව්වරුන්ගේ විටමින් සඳහා භාවිතා කරන බවත් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා .

මෙරට සෞඛ්‍ය පද්ධතිය සදහා එළැඹෙන වසර වන විට හිගයකින් තොරව ඖෂධ ලබාදීමට හැකිවෙතැයි සෞඛ්‍ය අමාත්‍යංශය එහිදී පවසා සිටියා. ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය මෙතනින්.

අංශභාග රෝගයට ලබා දෙන ඖෂධ වල හිඟ තත්ත්වයක් පවතිනවාද?

අංශභාග රෝගයට ලබා දෙන ඖෂධ වල හිඟ තත්ත්වයක් පවතිනවාද යන්න සහ අංශභාග සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ කෑගල්ල රෝහලේ පමණක් ද, යන්න පිළිබඳව විමසීමක් සිදු කිරීමට අප සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගනු ලැබුවා.

වෛද්‍යවරයා සඳහන් කළේ, සාමාන්‍යයෙන් මූලික රෝහල් වලට වඩා ඉහළ මට්ටමේ පවතින රෝහල් වල ආඝාතය සඳහා ප්‍රතිකාර කිරීමට පහසුකම් පවතින බවයි. විශේෂයෙන්ම ස්නායූ රෝග සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අවශ්‍යතාව පවතී නම්, ඒ සඳහා විශේෂයෙන්ම ජාතික රෝහල් වලටත්, පළාත් රෝහල් වලටත්, දිස්ත්‍රික් මහ රෝහල් වලටත්, කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ, ආඝාතය ක්ෂණිකව ඇති වූ රෝගියෙකු සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සහ බෙහෙත් වර්ග ඇති බවත් ඉහත සඳහන් කළ ඕනෑම රෝහලකට රෝගියෙකු යොමු කිරීමේ හැකියාව පවතින බවයි වෛද්‍යවරයා තහවුරු කළේ.

එසේම ඇතැම් අවස්ථාවලදී බරපතල තත්ත්වයකින් යුතු ලෙස ශරීරයේ එක් පැත්තක් අංශභාග තත්වයක් වෙත යොමු වී ඇත්නම් ජාතික රෝහල් ඇතුළු ඉහත සඳහන් කළ රෝහල් වලට රෝගියාව යොමු කිරීම සිදු කළ හැකි බව ද, වෛද්‍ය සමන් රත්නායක මහතා අවධාරණය කරනවා.

ඒ සම්බන්ධ සිදු කරන ලද පරීක්ෂණ වලින් ලේ කැටි සිර වී ඇති ස්ථානය හඳුනා ගැනීමෙන් අනතුරුව ඖෂධ වලින් ප්‍රතිකාර කිරීමට නොහැකි නම්, නහරය ඇතුළේ ඇති ලේ කැටිය ඉවත් කිරීමේ හැකියාව පවතින ප්‍රතිකාර ක්‍රමයන් (stent) ද, කොළඹ අවට රෝහල් වල පවතින බව ද, සඳහන් කළා.

එමෙන්ම රුධිර නාලයක් අවහිර වීම හේතුවෙන් නම් ආඝාතය සෑදුණේ පැය 3ක් ඇතුළත,රෝහල වෙත ගෙන ඒමට හැකි නම් ලේ කැටිය සම්පූර්ණයෙන් දිය කර හැරීමේ හැකියාව පවතින බව ත්, නහරයක් පිපිරී ඇති අවස්ථාවක (cerebrovascular accident) අභ්‍යන්තර ලේ වහණ වී මොළයට රුධිරය බැස ඇත්නම් එවිට ප්‍රතිකාර කිරීමේ හැකියාව සීමා සහිත වන බව ත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසා සිටියා.

විදේශ විනිමය හිඟකම නිසා ඇතැම් ඖෂධ හිඟ වූවත් ආඝාතය සඳහා ඇති ඖෂධ වර්ග වල හිඟයක් නොමැති බව ද, වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළා.

නොමග යන සුළු පුවත් ශීර්ෂ පාඨයක් රැගත් ලිපිය

මෙම ශීර්ෂ පාඨය රැගත් පුවත් ලිපියේ පළ වී තිබුණේ කුමන කරුණු ද, යන්න අප ප්‍රථමයෙන්ම අවධානය යොමු කළා.

2019 වසරේ, ජූලි 19දා කෑගල්ල නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැති වෙළෙඳසල් හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් එවකට කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂව සිටි වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා විසින් පවසා තිබුණේ, අංශභාග රෝගය සෑදී පැය තුනක් යෑමට මත්තෙන් කෑගල්ල මහ රෝහල වෙත රෝගියා ඇතුළත් කළහොත් නිට්ටාවටම එම රෝගියා සුව කළ හැකි බවයි.

වෛද්‍යවරයා එලෙස පවසා ඇත්තේ, කෑගල්ල රෝහලේ එවකට ආරම්භ කළ නව ස්නායු රෝග ඒකකයේ අංශභාග රෝගය සුව කිරීමට අවශ්‍යය ප්‍රතිකාර ඖෂධ හා විශේෂඥ වෛද්‍ය පහසුකම් ඇතුළු සියලුම නවීන පහසුකම් ඇති බවට සඳහන් කිරීමටයි. ඒ බවට පළ වූ සම්පූර්ණ පුවත් වාර්තාව මෙතනින්. ෆේස්බුක් සටහනක් මෙතනින්. Archived Link

වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ - සබරගමුව නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

අප මේ පිළිබඳව මේ වන විට සබරගමුව නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තනතුර හොබවන එවකට කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂව සිටි වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් සිදු කළා. වෛද්‍යවරයා තහවුරු කළේ, කෑගල්ල රෝහලේත් ආඝාතය සඳහා ප්‍රතිකාර කරන බවට තමන් ප්‍රකාශ කළ බවත්, ඒ දිනවල කෑගල්ල රෝහලට එක් වූ නවතම ස්නායූ රෝග ඒකකය හේතුවෙන් ආඝාතය සඳහා ප්‍රතිකාර කිරීමේ අවස්ථාව හිමිවීම සම්බන්ධයෙන් තමන් සිදු කළ ප්‍රකාශයක් බවත්, අනෙක් රෝහල් වල ද, මේ සඳහා ප්‍රතිකාර අවස්ථා ඇති බව යි වෛද්‍යවරයා තහවුරු කළේ.

සර්වාංග විශේෂඥ වෛද්‍ය තුරුල් ආටිගල

අංශභාග (ආඝාතය) රෝගී තත්ත්වයක් ඇතිවෙන ප්‍රධානම හේතුව කුමක්ද?

දැනට වාර්තා වෙන අංශභාග රෝගීන්ගෙන් 85% - 90% කට පමණ මෙම රෝගී තත්ත්වය ඇති වෙන්නේ මොළයට ලේ ගෙන යන රුධිර නාළවල ලේ කැටි සිර වී ඔලුවේ ස්නායු සෛල වෙත ලේ ගෙන යාමට නොහැකි වීමෙන් එම සෛල විනාශ වීම හේතුවෙනි. අපගේ ශරීරයේ සෑම ක්‍රියාවලියක්ම පාලනය කරන්නේ මොළයේ ඇති සෛල මගින්. මෙම සෛල විනාශ වීම හේතුවෙන් අපගේ එම ක්‍රියාවලීන් අකර්මන්ය තත්ත්වයට පත්වේ. සෛල විනාශ වීමෙන් පසු නැවත ලේ සැපයීමක් කළද නැවත එම සෛල යතා පරිදි ක්‍රියාත්මක නොවීම මෙම සෛලවල ඇති විශේෂත්වයයි.

අංශභාග රෝගයේ ලක්ෂණයන් 

අංශභාග රෝගයේ මූලික රෝග ලක්ෂණයන් විදියට කට ඇදවීම, මුහුණේ හදිසි හිරිවැටීම, අත එසවීමට නොහැකි වීම, කකුලක් පණ නැති වීම, පහසුවෙන් හිටගෙන සිටින අවස්ථාවක කකුල පණ නැති වී වැටීමට යාම, කතා කිරීමේදී වචන පැටලීම ආදී රෝග ලක්ෂණයන් හඳුන්වා දීමට පුළුවන්. මෙම රෝග ලක්ෂණයන්ගෙන් එකක් හෝ කීපයක් ඇති විය හැකිය. මෙය මොළයට රුධිරය ගලා යාම ඇනහිටි අවස්ථාවේම පෙන්නුම් කරන රෝග ලක්ෂණයි.

මෙවැනි අවස්ථාවක යම් අයෙක් කළ යුතු ප්‍රධානම කාර්යය කුමක්ද?

මෙවැනි රෝග ලක්ෂණයක් පහල වූ සැනින් එම රෝගියා ඉක්මනින්ම ආඝාත රෝගී තත්ත්වයන් සඳහා එන්නත් සහ ස්ටෙන්ට් ප්‍රතිකාරයන් ඇති රෝහලක් වෙත යොමු කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. මෙතැනදී කාලය කියන කාරණය ඉතා වැදගත්. මන්ද මේ රෝග ලක්ෂණයන් මතු වූ අවස්ථාවේ සිට මොළයේ සෛලයන් විනාශ වීම ආරම්භ වෙනවා. සාමාන්‍යයෙන් මොළයේ සෛලයන්ගේ විනාශ වීමේ වේගය තත්පරයට මිලියන 5ක් පමණ ලෙසයි වාර්තා වෙන්නේ. මේ නිසා මෙම රෝගී තත්ත්වයෙන් පහසුවෙන් සුව වීමට ඇත්තේ පැය 4ක් පමණ ඉතා සුළු කාලයක් පමණි.

ඒ නිසා ඔබ ඉක්මනින්ම ඉහත ප්‍රතිකාරයන් සාර්ථකව සිදුකරන රෝහලක් වෙත පළමුවෙන්ම යොමු වීම අත්‍යාවශ්‍ය වෙනවා.

ඇතැම් රෝගීන් ප්‍රමාද වී මේ ඒකකයට පැමිණෙනවා. නමුත් ඒ වෙනකොටත් විශාල කාලයක් ගත වී අවසන්. ප්‍රතිකාරයන් සඳහා ගතවන කාලය අවම කර ගැනීම තුළ මොළයේ විශාල සෛල ප්‍රමාණයක් ආරක්ෂා කර ගැනීමට හැකි වීම විශේෂත්වයක්. අපි මුලින්ම කරන ස්කෑන් පරීක්ෂාව සමඟ එන්නත් ප්‍රතිකාරය විනාඩි 20කින් පමණ සිදුකරනවා. දෙවන ප්‍රතිකාර ක්‍රමයෙන් ලේ කැටිය ඉවත් කිරීම සඳහා සැලකියයුතු වේලාවක් ගතවෙනවා.

Asirihealth| Archived Link

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අංශභාග සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ, කෑගල්ල රෝහලේ පමණක් බවත්, ඊට හේතුව මෑතකදී වූ බෙහෙත් හිඟ තත්ත්වය මත බවට අඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන නොමග යන සුළු බවයි.

මෙම සටහන් සඳහා මුල් වී තිබුනේ, 2019 වසරේ කෑගල්ල රෝහලට එක්වූ ස්නායූ ඒකකය පිළිබඳ එවකට කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂව සිටි වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශයක්, නොමඟ යවන සුළු සිරස්තලයක් සමඟ පුවත් පතක පළ වීම හේතුවෙන් එහි ශීර්ෂ පාඨය පමණක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වීම මෙම නොමග යෑමට හේතුවී තිබුණා. ලංකවේ මූලික රෝහල් වලට ඉහළින් ඇති සියලුම රෝහල් මඟින් ආඝතය සඳහා ප්‍රතිකාර කරන බවත් ආඝාතය සඳහා ප්‍රමාණවත් ඖෂධ ඇති බවටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළා.

Also Read: ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මොළයට හානි කරන පුරුදු 07ක් ඇතුළත් ලැයිස්තුවක් නිකුත්කර නැහැ!

Avatar

Title:ඖෂධ හිඟ වීම නිසා අංශභාග සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ, කෑගල්ල රෝහලේ පමණක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading