දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බ්‍රසීලය හා දකුණු කොරියාව අතර පැවති අවසන් 16 දෙනාගේ වටයේ තරගය පැවැත්වූ ක්‍රීඩාංගණය බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූවා ඒ එම තරගාවලිය වෙනුවෙන්ම සැකසූ තාවකාලික ක්‍රීඩාංගණයක් වීම හේතුවෙනි. මෙම තරගයෙන් අනතුරුව මෙම ක්‍රිඩාංගණය ගලවා ඉවත් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප වල නිරවද්‍යතාවය සොයා අප කරුණු විමර්ශනයක් සිදු කළේ මේ අයුරින්.

සමාජ මාධ්‍ය සටහන් :

බ්‍රසීලය සහ කොරියාව අතර තරගයෙන් පසු ලොව පළමුවරට කටාර් හී ගලවා වෙන්කළ හැකි ලෙස නිර්මාණය කළ Stadium 974 ක්‍රීඩාංගණය ගලවා ඉවත් කරන අයුරු දැක්වෙන ඡායාරූප ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප කිහිපයක් සංසරණය වුණා.

Facebook | Archived Link

එම තේමාවෙන් පළ වූ ඡායාරූප සටහන් බහුලව ‍ෆේස්බුක් පරිශීලකයින් විසින් සංසරණය කර ගෙන තිබුණේ මේ අයුරින්.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා කරුණු විමර්ශනයක් කරන ලෙසට අපට ලැබුණු පාඨක ඉල්ලීම් කිහිපයක්ම මුල් කරගනිමින් අප මේ පිළිබඳ විමර්ශනයක් කිරීමට පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව තැබූ ලංසු පරදා 2010 දී FIFA හි විධායක සාමාජිකයින් 22 දෙනෙකුගෙන් යුත් ඡන්දය දිනා ගනිමින් කටාර් ලෝක කුසලානයේ අයිතිය ලබා ගත්තේ, මැදපෙරදිග පැවැත්වෙන පළමු පාපන්දු ලෝක කුසලානය බවට පත්වෙමින්.

මෙවර ලෝක කුසලාන පාපන්දු කුසලාන තරඟය පැවැත් වූ STADIUM 974 ක්‍රීඩාංගනය ලෝක කුසලාන තරග පැවැත්වූ ක්‍රීඩාංගණ 8න් එක් ක්‍රීඩාංගණයකි.

974 ක්‍රීඩාංගණයේ දෙසැම්බර් 5 වන සඳුදා අවසන් තරඟය පැවැත්වීමෙන් අනතුරුව මේ වන විට ගලවා ඉවත් කරමින් ඇත්දැයි යන්න පිළිබඳ අප ජාත්‍යන්තර මාධ්‍ය ධාරා ඔස්සේ පරීක්ෂා කළද අපට එවැනි පුවතක් දැක ගන්නට නොලැබුණි.

එමෙන්ම ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එම අවස්ථාවේදී අපට දැක ගන්නට ලැබුණේ, එම ඡායාරූප කටාර් රාජ්‍යයේ Ras Abu Aboud ප්‍රදේශයේ Stadium 974 ඉදිවෙමින් පවතින අවස්ථාවේ ලබා ගත් ඡායාරූප බවයි.

ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට චලනය කළ හැකි ක්‍රීඩාංගණය වන Ras Abu Aboud ක්‍රීඩාංගනය 2022 න් පසු සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලබන අතර තරඟාවලියේ තිරසාරභාවය සහ උරුමය පිළිබඳ නව ප්‍රමිතියක් සකස් කරනු ඇති බවට පවසමින් කටාර් 2022 ලෝක කුසලානය අධීක්‍ෂණය කරන භාරදීම සහ උරුමය සඳහා උත්තරීතර කමිටුව (SC) විසින් මෙය ඉදිකරන අවස්ථාවේ දක්වා තිබූ ඡායාරූප එකතුවේ ඉහත ඡායාරූපය ද දක්නට ලැබුණා.

https://twitter.com/roadto2022news/status/1317060887509934083

Archived Link

මෙම ට්විටර් පණිවිඩය මේ වසරේ ඔක්තෝම්බර් මස දී පළ කර තිබූ බැවින් STADIUM 974 ක්‍රීඩාංගනය ඉවත් කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් ලෙස පළ වී තිබුණේ එය ඉදිකරන අවස්ථාවේ ගනු ලැබූ ඡායාරූපයක් බවට තහවුරු වෙයි. STADIUM 974 ක්‍රීඩාංගනයේ අවසන් තරඟය නිමවීමට ප්‍රථම එම ඡායාරූප පළ වී තිබූ තවත් අවස්ථාවන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

සමාජ මාධ්‍ය ඔස්සේ STADIUM 974 ක්‍රීඩාංගණය පසුගිය 15 වන දින තුරුත් ගලවා ඉවත් කර නොතිබුණු අතර එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කළ මාධ්‍යවේදියෙකු විසින් තහවුරු කර තිබුණේ මේ අයුරින්.

https://www.youtube.com/watch?v=I-rHAGLeryA

එමෙන්ම ඊයේ(16) දින STADIUM 974 හි පැවැත් වූ විලාසිතා සංදර්ශනය මෙතනින්.

Stadium 974

2017 වසරේදී Fenwick Iribarren නම් නිර්මාණ ශිල්පියා අතින් මෙම ක්‍රීඩාංගණයේ සැකැස්ම නිර්මාණය වී ඇත. එමෙන්ම Stadium 974 යන නාමය මෙම ක්‍රීඩාංගණය සඳහා යොදා ගෙන ඇත්තේ කටාර් රාජ්‍යයේ දුරකථන කේතය වන්නේ 974 වන බැවින් සහ මෙම ක්‍රීඩාංගණය නිර්මාණය කිරීම සඳහා කන්ටේනර් බහාලුම් 974ක් භාවිත කර ඇති හෙයිනි.

මෙහි ගොඩනැගීමේ කටයුතු 2017 වසරේ ඔක්තෝබර් මස පමණ ආරම්භ වූ අතර එය අවසන් වූයේ 2021 වසරේ නොවැම්බර් මස පමණ වන විට ය. මෙම ක්‍රීඩාංගණය තුළ ප්‍රේක්ෂකයන් 44,089 කට පහසුවෙන් අසුන්ගත හැකි වන අතර අනෙක් ක්‍රීඩාංගන මෙන්ම මේ සඳහා ද පහසුකම් සලසා තිබීම දක්නට ලැබෙන කරුණකි. මෙම ක්‍රීඩාංගණය තුළ පැවති ප්‍රථම තරඟය ලෙස වාර්තා වන්නේ 2021 වසරේ නොවැම්බර් මස 30 වන දින පැවති එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ සිරියාව අතර පැවති තරඟයයි.

මෙම ක්‍රීඩාංගණය තාවකාලික ක්‍රීඩාංගණයක් වන අතර එය නැවත ගලවා ඉවත් කිරීමේ හැකියාවක් තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

කෙසේ වෙතත් අප මෙමගින් පෙන්වා තිබෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය එම ක්‍රීඩාංගණය ඉදිකරන අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් බවත්, මෙතෙක් Stadium 974 ක්‍රීඩාංගණයේ ඉවත් කිරීමේ කටයුතු කිරීමට පියවර නොගෙන ඇති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ලෝක කුසලාන පාපන්දු කුසලාන තරඟය වෙනුවෙන් ලොව පළමුවරට කටාර් හී ගලවා වෙන්කළ හැකි ලෙස නිර්මාණය කළ Stadium 974 ක්‍රීඩාංගණය ගලවා ඉවත් කරන අයුරු දැක්වෙන ඡායාරූප ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප වල දැක්වෙන්නේ, එම ක්‍රීඩාංගණය ඉදිකරන අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් බවයි. මෙතෙක් Stadium 974 ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කටයුතු කිරීමට පියවර ගෙන නොමැත.

Avatar

Title:කටාර් හී Stadium 974 ක්‍රීඩාංගණය ගලවා ඉවත් කරන අයුරු දැක්වෙන ඡායාරූප ද? (PHOTO)

Fact Check By: Pavithra Sandamali

Result: Misleading