දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පවතින අධික වියළි කාලගුණයත් සමග මේ දිනවල උෂ්ණත්වය වෙනදාට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙමගින් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රම පිළිබඳ බොහෝ උපදෙස් ඇතුළත් පණිවිඩ ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වනවා. එලෙසින් හුවමාරු වන ක්‍රමවේදයන්හි නිරවද්‍යතාව පිළිබඳ සොයා බැලීමකින් තොරව ඒවා අනුගමනය කිරීමට බොහෝ අවස්ථාවල දී ජනතාව යොමුවෙනවා.

මේ ආකාරයට බහුලව සංසරණය වූ සටහනක් පිළිබඳ අප සිදු කරන ලද කරුණු විමර්ෂණයේ දී අනාවරණය වුයේ එළිමනේ අධික උෂ්ණ තත්වයක සිට පැමිණ සීතල වතුර පානය කිරීම වැනි හදිසි උෂ්ණත්ව වෙනස්වීම් හේතුවෙන් කුඩා කම්පනය තත්වයන් අත්විඳීමේ අවස්ථාවක් ඇතැම්විට සිදුවිය හැකි නමුත් එම අවදානම ද ඉතා අවම බවයි. ජලය අවශ්‍ය ප්‍රමාණයට දෛනිකව ලබාගැනීමට යොමුවීම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වන්නේ උෂ්ණාධික තත්වක දී පහසුවෙන් විජලන ත්ත්වයන් ඇතිවිය හැකි බැවින් එවැනි අවස්ථා මඟහරවා ගැනීමටයි.

සමාජ මාධ්‍ය සටහන් :

මීළඟ තාප තරංගය 40 සිට 50 °C අතර සඳහා සූදානම් වන්න. සෑම විටම කාමර උෂ්ණත්වයේ ජලය සෙමින් පානය කරන්න. සීතල හෝ අයිස් ජලය පානය කිරීමෙන් වළකින්න.” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. එමෙන්ම මෙම කාලයේදී සිදු කළ යුතු හා නොකළ යුතු දේවල් පිළිබඳ ද කරුණු කිහිපයක් දක්වා තිබුණා.

එම සටහනින් වැඩිදුරටත් පවසා තිබුණේ, උණුසුම් මාසවලදී ඔබ ඉතා වෙහෙසට පත්ව සිටී නම්, වහාම සීතල ජලය පානය කිරීමෙන් වළකින ලෙසත්, එය ශිරා හෝ රුධිර නාල පටු වීමට හේතු විය හැකි අතර එය ආඝාතයට ද හේතු විය හැකි බවයි. එම සම්පුර්ණ සටහන පහතින්.

Facebook | Archived Link

මෙම සටහන සමාජ මාධ්‍ය පරිශිලකයින් අතර බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාව විමසා බලන ලෙස බොහෝ දෙනෙකු කළ ඉල්ලීම් මුල් කරගනිමින් මේ පිළිබඳව කරුණු විමර්ශනයක යෙදීමට අප පියවර ගත්තා.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

උණුසුම් කාලගුණය සහිත දින වල සිසිල් ජලය පානය කිරීම හේතුවෙන් ආඝාතය වැනි අසනීප තත්ත්වයන් ඇතිවීමේ හැකියාව සම්බන්ධයෙන් අධීක්ෂණ වාර්තා, පරීක්ෂණයන් ඇත්ද යන්න පිළිබඳ වාර්තා වී ඇත්ද යන්න පිළිබඳ අප ජාත්‍යන්තර වාර්තා ඔස්සේ පරීක්ෂාවක් සිදු කළා.

පිලිපීනයේ හදිසි වෛද්‍ය විද්‍යාලය

එහිදී අපට දැක ගන්නට ලැබුණේ, පිලිපීනයේ හදිසි කටයුතු පිලිබඳ වෛද්‍ය විද්‍යාලයේ (Philippine College of Emergency Medicine) සභාපති වෛද්‍ය රිචඩ් සැන්ටෝස් පවසන්නේ, ඉහත සටහනේ යම් නිවැරදි තොරතුරු අඩංගු වුවද, එය ආඝාතය සහ උණුසුම් කාලගුණය තුළ සීතල ජලය පානය කිරීම අතර වැරදි සම්බන්ධයක් ඇති කර ඇති බවයි.

එම සටහනේ සඳහන් ලෙස සීතල වතුර රුධිර වාහිනී පටු වීමට හේතු වන බවත්, එය සීතලට නිරාවරණය වන විට ශරීරයේ භෞතික විද්‍යාත්මක ප්‍රතිචාරය බවත් ඔහු AFP වෙත පවසා තිබුණා.

නමුත් සීතල ජලය පානය කිරීම සැබෑ ලෙසම ආඝාතයකට සෘජුවම සම්බන්ධ වන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, එය සිදු වන්නේ අවහිර වූ ධමනි හෝ පුපුරා ගිය රුධිර නාලයක් හරහා බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.

එසේම උෂ්ණ අධික කාලය තුළදී, විජලනය වීමේ අවදානම නිසා, දිගු කලක් අධික උෂ්ණත්වයකට නිරාවරණය වන්නේ නම් ජලය පානය කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම පෙර සිට පැවත එන යම්කිසි රෝග තත්ත්වයන් ඇති පුද්ගලයින්ට සීතල වතුර අනතුරක් විය හැකි නමුත් මෙය ඉතා දුර්ලභ බවත්, සීතල වතුර පානය කිරීම ඔබට අහිතකර ප්‍රතිචාරයක් දැක්වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවයි ඔහු පවසන්නේ.

තවද සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ඉහත සඳහන් උපදෙස් නොසලකා හැරිය යුතු බව වෛද්‍ය සැන්ටෝස් පවසනවා. මිනිසුන් අධික උෂ්ණත්වයට නිරාවරණය වීම සීමා කළ යුතු බවත්, අපේ ශරීරයට උෂ්ණත්වය නියාමනය කළ හැක්කේ මිනිත්තු 30 සිට පැයක් පමණ උෂ්ණත්වයකට නිරාවරණය වීමෙන් පමණක් බවත්, එබැවින් හැකි තරම්, ඔබේ ශරීරය වහාම සිසිල් කිරීමට අවශ්‍ය බවත් එම වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

ස්නායු විශේෂඥ ජෝස් පැසියානෝ රෙයිස් (Jose Paciano Reyes)

පිලිපීන ස්නායු සංගමයේ සභාපති ද වන ස්නායු විශේෂඥ ජෝස් පැසියානෝ රෙයිස් සඳහන් කරන්නේ, ස්නා රුධිර නාල සීතලට නිරාවරණය වීමේදී පිපිරෙන්නේ නැති බවයි.

ශරීරය හදිසියේ සීතල වතුරේ ගිල්වා ස්නානය කිරීමෙන් "සීතල කම්පනය (cold shock)" ඇති විය හැකි අතර එහිදී හුස්ම ගැනීමේ පාලනය ක්ෂණිකව නැතිවීම, රුධිර වාහිනී සංකෝචනය වීම සහ රුධිර පීඩනය වැඩි වීමක් සිදු විය හැකි බව ද ඔහු පවසනවා.

නමුත් සිසිල් ජලය පානය කිරීම සහ ස්නානය කිරීම "සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයන්ට ගැටලුවක් නොවේ" යනුවෙන් Reyes පැවසුවේ ශරීරය සිසිල් කිරීම, අධික උනුසුම් වීම වැළැක්වීම සහ දැවිල්ල අඩු කිරීම ඇතුළු සමහර ප්‍රතිලාභ ඇති බවද, සඳහන් කරමින්.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාව “හෘද රෝග ඇති පුද්ගලයන් සඳහා හොඳ අදහසක් නොවිය හැකි” බව රෙයිස් අනතුරු ඇඟවීය. රුධිර පීඩනය වැඩිවීම සහ හෘදයේ වැඩ ප්‍රමාණය වැඩිවීම නිසා අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ගේ හෘදයාබාධ හා ආඝාතය ඇතිවීමේ සම්භාවිතාව වැඩි විය හැකි බව ඔහු සඳහන් කර තිබුණා. වෙනත් කරුණු පරීක්ෂක කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් කළ විමර්ශන වාර්තාව මෙතනින්.

කාර්ලා රොබින්සන් (Dr. Karla Robinson)

උතුරු කැරොලිනාවේ පවුල් වෛද්‍යවරියක් සහ වෛද්‍ය අක්‍රමිකතා පිළිබඳ විශේෂඥ මෙන්ම මාධ්‍ය උපදේශක සහ වෛද්‍ය ලේඛිකාවක් ලෙස කටයුතු කරන CDCහි කාර්ලා රොබින්සන් වෛද්‍යවරිය සඳහන් කරන්නේ, අධික ලෙස උණුසුම් වූ විට මිනිසුන්ට සීතල වතුර පානය කිරීම හෝ සීතල වතුරෙන් කෙනෙකු සිසිල් වීම පිළියමක් බවයි.

උණුසුම ආශ්‍රිත රෝගාබාධයකින් මිනිසුන් හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණෙන විට හෝ ඔවුන්ට තාප ආඝාතය හෝ එවැනි දෙයක් ඇති වූ විට ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඔවුන් වේගයෙන් සිසිල් කිරීම තමන් ඇතුළු වෛද්‍යවරුන් කරන ප්‍රතිකාරයක් බවයි එම වෛද්‍යවරිය පවසන්නේ.

උණුසුම් උෂ්ණත්වයට සම්බන්ධ වන පරිදි හිස කැක්කුම් හෝ කරකැවිල්ල දැනෙන අයට එය සාමාන්‍යයෙන් ඔවුන් පානය කළ සිසිල් බීම නිසා ඇති වූ තත්ත්වයක් නොව තාප විඩාව හෝ තාපය ආශ්‍රිත රෝගයක් සමඟ සම්බන්ධ වීම නිසා ඇති වූ රෝගි තත්ත්වයන් බව ද, ඇය සඳහන් කර තිබුණේ මෙලෙසින්.

පසුගිය වසරේ ඇමරිකාවේ උෂ්ණාධික තත්වය හමුවේ මෙම සටහන් බොහෝ සේ හුවමාරු වී තිබු අතර එම අවස්ථාවේ දී වෛද්‍ය කාර්ලා මෙම දුර්මතය පිලිබඳ VERIFY වෙත කරුණු පැහැදිලි කළ වීඩියෝවක් මෙතනින්.

රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC)

CDC නිර්දේශ කරන්නේ මිනිසුන් උණුසුම් උෂ්ණත්වය හේතුවෙන් වැඩිපුර ජලය පානය කිරීම, එළිමහන් ක්‍රියාකාරකම් සීමා කිරීම සහ වායු සමීකරණය හෝ තටාකයක් වැනි සිසිල් වීමට ක්‍රමයක් සොයා ගත යුතු බවයි. සිසිල් කිරීම සඳහා සිසිල් වතුර ස්නානය හෝ සාමාන්‍ය වතුර ස්නානය කිරීම කළ යුතු බවයි. ඒ පිළිබඳව CDC වාර්තාව මෙතනින්.

මරියා රොසාරියෝ වර්ජියර් (Maria Rosario Vergeire)

උණුසුම් කාලගුණයට නිරාවරණය වීමෙන් පසු ශරීරය සිසිල් කිරීම සඳහා "වඩාත්ම ඵලදායී" ක්‍රමය ස්නානය බව පිලිපීනයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව භාර නිලධාරී Vergeire සඳහන් කරනවා. එමගින් අපගේ ශරීරය සිසිල් වන බවත්, පුද්ගලයෙකු සිහිකල්පනාවෙන් සිටින තාක් සහ නැගී සිටීමට හැකි තාක් කල්, ඔවුන්ගේ ශරීරය සිසිල් කිරීම සඳහා සීතල වතුරෙන් ස්නානය කළ හැකි බව යි ඇය පවසන්නේ.

තාපයට නිරාවරණය වන පුද්ගලයින්ට සිසිල් ජලය උගුරක් පානය කිරීම ආරක්ෂිත බව Vergeire පවසන අතර, සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් පසු හදිසියේම සීතල වතුර පානය කරන පුද්ගලයින් හිසරදයට හේතු විය හැකි බවත් ඇය සඳහන් කරනවා. එම වාර්තාව මෙතනින්.

තාප ආඝාත අවදානම (Heat stroke risk)

එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් වෛද්‍ය විද්‍යාලයට අනුව, අසාමාන්‍ය හෝ දිගුකාලීන තාපයට සහ ආර්ද්‍රතාවයට නිරාවරණය වීම ප්‍රමාණවත් තරල පරිභෝජනයකින් තොරව විවිධ වර්ගයේ තාපය ආශ්‍රිත රෝග ඇති විය හැක.

මේවාට තාප කැක්කුම, තාප විඩාව සහ තාප ආඝාතය ඇතුළත් වේ, එය ජීවිතයට තර්ජනයක් වන හදිසි අවස්ථාවකි. ඒ පිළිබඳ විස්තර මෙතනින්.

https://youtu.be/zBucn7iPKTI

ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (Health Promotions Bureau)

ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ, පවතින උෂ්ණාධික තත්ත්වය හමුවේ සිරුර සිසිල් කරන දේවල් ශරීරයට ලබා ගත යුතු බවයි.

අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පහත පියවර දැඩි අවධානයෙන් අනුගමනය කළ යුතු බව ද, ඔවුන් පෙන්වා දෙනවා.

1. පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)

2. පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම

3. පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම

4. හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම

5. එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම

6. වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම.

මෙම අවදානම් තත්ත්වය උද්ගතව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල (විශේෂයෙන් බටහිර හා දකුණු දිග වෙරළ තීරයන් හි) පවතින අධික වියළි කාලගුණයත් සමග උෂ්ණත්වය වෙනදාට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමඟයි.

මෙම උෂ්ණත්වය අධික වකවානුවේ තමන්ගේ මෙන්ම අන් අයගේ ද යහ පැවැත්ම උදෙසා ඉහත කරුණු පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඔබට අප යළිත් සිහිපත් කරමු. මේ සම්බන්ධයෙන් එම ආයතනයේ නිල ෆේස්බුක් ගිණුමේ ද, සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

අධික උෂ්ණාධික තත්වයක දී සුරක්ෂිතව සිටීමට උපදෙස් කිහිපයක් මෙතනින්

මේ දිනවල ලංකාවේ දැකගන්නට ලැබෙන දැඩි උෂ්ණත්වය දකුණු සහ අගිනිදිග ආසියානු කලාපයේ ම දැකගනන්ට ලැබෙන අතර, මෑත ඉතිහාසයේ වාර්තා වූ මෙම අධික උෂ්ණාධික තත්වයන් හේතුවෙන් ඇතිවූ තාප ආඝාත ඇතුළු තත්වයන් නිසා මෙම කලාපයේ මරණ කිහිපයක් ද වාර්තා වී ඇති තිබෙනවා. එසේම මේ වසරේ ඇතිවිය හැකි එල් නිනෝ තත්වය හේතුවෙන් මෙම උෂ්ණාධික තත්වය ඉදිරියේ දී උග්‍ර වීමේ අවදානමක් ද ඇති බව කාලගුණ විද්‍යාඥයන් පවසනවා. ඒ පිලිබඳ වාර්තාවක් මෙතනින්

ලංකාවේ ද අධික උෂ්ණත්වයට සම්බන්ධව පුද්ගල මරණ 2ක් පසුගිය දින කිහිපයේ වාර්තා වී තිබුනේ මෙලෙසින්. කෙසේනමුත් මෙම පුද්ගලයින්ට පුර්ව හෘද ආශ්‍රිත රෝගී තත්වයන් ද තිබු බව අනාවරණය වී තිබු අතර වෛදවරුන් පවසා තිබුනේ දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම ඔස්සේ හටගත් තාප ආඝාත තත්වයන් මෙම මරණයන් ට හේතු වී තිබු බවයි.

ඒ අනුව පැවසිය හැක්කේ, තාප විඩාව හෝ තාප ආඝාතය වළක්වා ගැනීම සඳහා උණුසුම් කාලගුණය තුළ විජලන තත්වයන් ඇතිවීම වළක්වා ගැනීම ඉතා වැදගත් බවයි. උණුසුම් උෂ්ණත්වයකට නිරාවරණය වීමෙන් පසු සිසිල් ජලය පානය කිරීම ඇතැම් පුද්ගලයින් තුළ කම්පනය වැනි තත්වයක් ඇති කළ හැකි නමුත් බොහෝ අවස්ථාවලදී එයට හේතුව වන්නේ හෘද රෝග වැනි පෙර පැවති රෝගී තත්වයන් හා සම්බන්ධ කරුණක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. විශේෂයෙන් එවැනි රෝගීන්ට මෙන්ම ළමුන්, ගර්භනී කාන්තාවන් සහ වැඩිහිටියන් වැනි අවදානම් තත්වය වැඩි කණ්ඩායම්, දවසේ උණුසුම්ම කාලවලදී සජලනය වීම, සිසිල්ව සිටීම සහ සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වළක්වා ගැනීම වැදගත් වේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:උණුසුම් කාලගුණය තුළ සිසිල් ජලය පානය කිරීම, ස්නානය කිරීමේදී තාප ආඝාත අවදානමක් නොමැත!

Fact Check By: Pavithra Sandamali

Result: Explainer