දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ජාතික ජන බලවේගයේ විජිත හේරත්, වෛද්‍ය නලින්ද ජයතිස්ස සම්බන්ධ කර ගනිමින් සහ ජාතික ජන බලවේගයේ කාන්තා රැළි සම්බන්ධ කරගෙන පළ වූ නොමගය යන සුළු සටහනක සත්‍ය කරුණු සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

Claim - (සමාජ මාධ්‍ය සටහන්)

"'තිරුපති ගියොත් දායක සභාව කේස් නිසා මම පල්ලි ගියා" යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය සංචාරය අතර තුර දේවස්ථානයක ට ගිය බවට ඡායාරූපයක් ද, පළ කරමින්.

Facebook | Archived Link

Fact-check

ඉන්දියානු රජයේ නිල ආරාධනයකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු නියෝජිත පිරිස පසුගිය පෙබරවාරි 09 වන දා වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (Vikram Sarabhai Space Centre) නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබූ බව එම පක්ෂය විසින් එදින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දක්වා තිබුණා.

වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත්‍රෙය් ප්‍රධාන අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක් වන අතර එය ඉන්දියාවේ චන්ද්‍රිකා වැඩසටහන සඳහා අවශ්‍ය රොකට් සහ අභ්‍යවකාශ යානා නිෂ්පාදනය කරයි. මේ අතර ජාතික ජන බලවේගයයේ සාමාජිකයින් එහි පාලන මධ්‍යස්ථානය සහ අභ්‍යවකාශ කෞතුකාගාරය නැරඹීමට ගිය අවස්ථාවේ එම මධ්‍යස්ථානය අසල සිට ලබා ගත් ඡායාරූපයක් මෙලෙසින් දේවස්ථානයකට ගිය බව ට දක්වා තිබූ බවට අප ට නිරීක්ෂණය වූවා.

අප කළ නිරීක්ෂණයේදී අනාවරණය වූයේ දේවස්ථානයක් බවට දැක ගන්නට ලැබෙන්නේ කලකදී ශාන්ත මරිය මග්දලේනා නමින් හඳුන්වා දී තිබූ දේවස්ථානය 1962 වසරේ දී ඉන්දීය රජයට පවරා ඇති බව යි. ඉන්පසු එහි ආගමික කටයුතු සිදු නොවූ අතර දේවස්ථාන ගොඩනැගිල්ල වික්‍රම් සාරාබයි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටසක් ලෙස එම භූමියේ ම අභ්‍යාවකාශ කෞතුකාගාරයක් ලෙස භාවිත වන බව ත් ඉන්දීය මාධ්‍ය වාර්තා මෙන් ම එම මධ්‍යස්ථානයේ වෙබ් අඩවියේද සඳහන් වන්නේ මෙලෙසින් සහ මෙලෙසින්.

1960 ගණන් වලදී, තුම්බා තිරුවානන්තපුරම් නගරයට මායිමේ පිහිටි කුඩා ධීවර ගම්මානයක් විය. නමුත් රටේ අභ්‍යවකාශ විද්‍යාඥයින්ට මෙම පිහිටීම පෘථිවි චුම්බක සමකයට ඉතා ආසන්නව පිහිටා තිබීම සුවිශේෂී විය. APJ අබ්දුල් කලාම් විසින් සිය ස්වයං චරිතාපදානයේ 'Wings of Fire' හි සඳහන් කර ඇති පරිදි, "තුම්බා හි තෝරාගත් ස්ථානය දුම්රිය මාර්ගය සහ මුහුදු වෙරළ අතර කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරක් ආවරණය කරමින් අක්කර 600 ක් පමණ විහිදෙන බව ත්, එය අත්පත් කර ගැනීම ට සිදුවූ බව ඔහු දක්වා ඇති මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. එලෙසින් අත්පත් කර ගත් දේවස්ථානය වන්නේ මෙම ඉහත ඡායාරූපයේ දැක්වෙන ශාන්ත මරිය මග්දලේනා දේවස්ථානයයි. ඒ පිළිබඳ තොරතුරු මෙතනින්.

එමෙන් ම ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරක අප කළ විමසීමේදී සඳහන් කළේ, අනුර කුමාර මහතා ඉන්දීය සංචාරය තුළ කිසිදු දේවස්ථානයක ට යාමට අවස්ථාවක් නොලැබුණු බවයි. එමෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන්නේ, කේරළයේ වික්‍රම් සාරාබයි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කෞතුකාගාරය බවයි.

එමෙන්ම අප Factcrescendo ඉන්දීය කේරළ භාෂා කණ්ඩායම ද, තහවුරු කළේ, ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ, කලකදී දේවස්ථානයක් ලෙස භාවිත වුණු වර්තමානය වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක කොටසක් ලෙස භාවිත වන ගොඩනැගිල්ලක් බවයි.

Claim - (සමාජ මාධ්‍ය සටහන්)

"දරුවෙක් නැත්නම් හදා ගන්න ඒත් සජිත් තමන්ට ලැබුන විදියට ගොන් පාට් දාන්න එපා. සජිත් ජලනි පුළුවන්නම් දරුවා තමන්ගේ කියලා විද්‍යාත්මකව ඔප්පු කරන්න" යනුවෙන් වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා සඳහන් කළ බවට සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණා.

Facebook | Archived Link

Fact-check

ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතාගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා ද, අප පරීක්ෂා කළේ ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්නයි. නමුත් එවැනි ප්‍රකාශයක් කළ බවට තොරතුරු අනාවරණය නොවූ අතර ඉහත පෙන්වා දී ඇති පරිදි 'ඉරි' නිල ෆේස්බුක් පිටුවේ ද, එවැනි පුවතක් පළ වී ඇති බව ට දැක ගන්නට නොලැබුණි. මේ හේතුවෙන් අප වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මේ පිළිබඳ අප විමසීමක් සිදු කළා.

එහිදී ඒ මහතා සඳහන් කළේ, තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව ත්, තමන් සිදුකළ බව ට දක්වා තිබූ එම ප්‍රකාශයන් සදාචාර විරෝධී සහ අශිෂ්ට බව ත්, තමන් එලෙසින් කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් සඳහන් නොකළ බවයි.

Claim - (සමාජ මාධ්‍ය සටහන්)

“වෛද්‍ය කමල් ධම්මවංශ සහෝදරයා හිතලා තියෙන්නේ අරණායක රෝහලට අළුතින් පත්වීම අරෙගන ආපු වෛද්‍යවරිය අපේ මාලිමාවෙ සාමාජිකාවක් කියලා. එහෙම දේවල් අප අතරේ වෙනවා. රහස් තැනකින් ඇල්ලුවා කියන එක අපි අතරේ සිදුවන සාමාන්‍ය දෙයක්. ආදරණීය විහිළුවක් විතරයි. නැතුව ඒක අතවරයක් නෙවෙයි. මෙහෙම පුංචි දෙයකටත් පොලිස් පැමිණිලි දාන මේ නවක වෛද්‍යවරිය වගේ අය ඉදිරියේදී රෝගීන් එක්ක කොහොම කටයුතු කරාවිද කියන ප්‍රශ්නාර්ථය අපට තියෙනවා” යනුවෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය 10 වන දින ප්‍රකාශයක් සිදු කළ බව ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් බහුලව ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Fact-check

ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සත්‍ය වශයෙන් මෙවැනි ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ මෙන් ම මෑතකදී ඒ මහතා සහභාගි වී තිබූ වැඩසටහන් මෙන් ම මාධ්‍ය හමුද අප පරීක්ෂා කළ ත්, එවැනි ප්‍රකාශයක් සිදු නොකර ඇති බවට දැක ගන්නට ලැබුණා.

අප මේ පිළිබඳ ව තවදුරට ත් තහවුරු කර ගැනීම සඳහා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා පවසා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ තමන් සිදු කළ බවට පවසන ප්‍රකාශයන් ඇතුළත් ඉහත සටහන අසත්‍ය බවයි.

පසුගිය පෙබරවාරි 08 වන දා අරණායක ප්‍රාදේශීය රෝහලේ සේවය කරන අවිවාහක වෛද්‍යවරියකට ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු අරණායක පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා. එමෙන් ම එම වෛද්‍යවරයා ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් බවට පළවූ මාධ්‍ය මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

Claim (සමාජ මාධ්‍ය සටහන්)

“අනුරාධපුරයේ සිට ගාල්ලේ මාලිමාවේ කාන්තා රැලියකට සෙනග ඇද්ද බස් රථයක ගැටී යතුරුපැදිකරුවෙක් මරුට. රැලියේ සංවිධායකයන් රියදුරුට මත්පැන් දීලා” යනුවෙන් සඳහන් කළ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link

Fact-check

ඉහත සමාජ මාධ්‍ය සටහනේ පුවත් පතක පළ වූ ලිපියක ඡායාරූපයක් ලෙස දක්වා තිබූ බැවින් අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළේ, මෙවැනි පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරා වල වාර්තා වුණා ද, යන්නයි. නමුත් එවැනි පුවත් ලිපියක් අපට දැක ගන්නට නොලැබුණි.

ඉන් පසුව අප පරීක්ෂා කළේ, මෙම සමාජ මාධ්‍ය සටහන් මුලින්ම සංසරණය වී ඇති අවස්ථා පිළිබඳව අප පරික්ෂා කළ අතර පසුගිය ජනවාරි 08 වන දා සිට එම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු අයුරු දක්නට ලැබුනේ මෙලෙසින්.

එමෙන් ම ගාල්ලෙහි අවසන් වරට මාලිමාවේ කාන්තා සමුළුව පවත්වා තිබුණේ පසුගිය ජනවාරි මස 7වන දා බවට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්. ඒ අනුව ජනවාරි 06, 07, 08 යන දිනවල පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදන මෙන්ම පුවත් වාර්තා ද අප පරීක්ෂා කළ අතර එම දිනයන් හි අනුරාධපුර සිට ගාල්ල බලා ධාවනය වූ බස් රථයක ගැටීමෙන් යතුරුපැදි කරුවෙකු මරණයට පත් වූ බවට වාර්තා වී නොතිබුණි.

අප මේ පිළබඳව ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් ද,විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, පුවතක් පතක පළ වූ ප්‍රවෘත්තියක් බවට සංස්කරණය කරමින් අසත්‍ය තොරතුරක් ජනගත කිරීමේ උත්සහයක් බවත්, පසුගිය ජනවාරි මස ගාල්ලේ පැවති කාන්තා සමුළුව අත්රතුර දී මේ ආකාරයේ සිදුවීමක් වාර්තා නොවූ බවයි.

Claim (සමාජ මාධ්‍ය සටහන්)

එසේම ජාතික ජන බලවේගයේ පසුගිය ඉන්දීය සංචාරයට සහභාගී වූ පා.ම විජිත හේරත් මහතා තිරුපති පුදබිම වැඳ පුදාගත් බවට ද සටහනක් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

FB | Archived FB

Fact-check

ජාතික ජන බලවේගයේ ඉන්දීය සංචාරයේ දී විජිත හේරත් මන්ත්‍රීවරයා තිරුපති පුදබිමට ගිය බවට මාධ්‍ය වාර්තා වුයේ නැති අතර ඉහත ආකාරයේ පුවතක් දසත ලංකා පුවත් සේවය මගින් ද වාර්තා කර තිබුනේ නැහැ.

එසේම ඉහත නොමඟ යවන සුළු ව්‍යාජ සටහන් නිර්මාණය කර තිබුනේ, 2020 වසරේ නව අවුරුදු උදාවීම නිමිත්තෙන් හේකිත්ත විහාරස්ථානයේ සහ වත්තල කෝවිලේ ආගමික වතාවත්වලට සහභාගී වූ අවස්ථාවක දී ලබාගෙන තිබු ඡායාරුපයක් යොදාගනිමිනි. කලින් කලට මෙම ඡායාරුපය යොදාගනිමින් නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වන අතර ඒ පිළිබඳව අප සිදුකළ කරුණු විමසුමක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Avatar

Title:ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් පළ වූ අසත්‍ය සටහන් පෙළක්!

Written By: Fact Crescendo Team

Result: False