මැල්කම් රංජිත් කාදිනල් තුමන් කොළඹ අගරදගුරු තනතුරෙන් විශ්‍රාම යාමට සූදානමක්?

Update: 2022-12-22 12:38 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

වසර 22ක හිඩැස පුරවමින් අති උතුම් දොන් ඇල්බට් මැල්කම් රංජිත් හිමිපාණෝ සිරිලක පත් වූ දෙවෙනි කාදිනල් ලෙස 2010 වසරේදී අභිෂේක ලැබුවා. එමෙන්ම 2009 වසරේදී කොළඹ අගරදගුරු තනතුරට පදවි ප්‍රාප්ත වූ මැල්කම් රංජිත් හිමිපාණෝ, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ඨ කිරීම වෙනුවෙන් පසුගිය කාලය පුරාම මහත් හඬක් නැගුවා.

මේ අතර පසුගිය දා හුවමාරු වූ , මැල්කම් රංජිත් හිමිපාණන් විසින් අගරදගුරු පදවියෙන් විශ්‍රාම ගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා මේ පිළිබඳ සත්‍ය තතු අප විමර්ශනය කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

අගරදගුරු විශ‍්‍රාම යයි.. ඒ බව පාප් වහන්සේටත් දන්වයි…?

මැල්කම් රංජිත් කාදිනල් තුමන් කොළඹ අගරදගුරු තනතුරෙන් විශ්‍රාම යාමට සූදානම් වෙයි. ඒ බව දන්වමින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙත කාදිනල් හිමියන් විසින් ලිපියක් යොමු කර තිබේ.

වයස අවුරුදු 75 ඉක්මවන අගරදගුරු තුමන්ලා ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දීම ක්‍රිස්තියානි ආගමේ සම්ප්‍රදාය වෙයි.

ඒ අනුව මැල්කම් රංජිත් කාදිනල් හිමියන් මේ බව පාප් වහන්සේට දන්වා තිබේ.

එ් අනුව තවදුරටත් අගරදගුරු තනතුරේ තබා ගන්නවා ද නැද්ද යන්න පාප් වහන්සේ විසින් තීරණය කරනු ලබයි.

කෙසේ වුවත් තනතුරේ වෙනසක් වුවද මැල්කම් රන්ජිත් හිමියන්ගෙ කාදිනල් ධුරය එලෙසින්ම පවතී.

Facebook | Archived Link Facebook | Archived Link

මැල්කම් රංජිත් කාදිනල් තුමන් කොළඹ අගරදගුරු තනතුරෙන් විශ්‍රාම යාමට සූදානම් බවට දක්වමින් Twitter ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින්.

https://twitter.com/Wizetvlk/status/1605237477673164801

Archived Link

WhatsApp ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මැල්කම් රංජිත් කාදිනල් තුමන් කොළඹ අගරදගුරු තනතුරෙන් විශ්‍රාම යාමට සූදානම් බවට බොහෝ දෙනෙකු විශ්වාස කර ඇති බවයි.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප කටයුතු කිරීමට පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

කොළඹ අගරදගුරු පදවිය

මැල්කම් රංජිත් මාහිමිපාණෝ කොළඹ අගරදගුරු පදවිය හොබවන අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කතෝලික රදගුරු වසම වන නිසා ශ්‍රී ලංකාවේ කොළඹ පළාතේ පුරවර අගරදගුරු (Metropolitan Archbishop) වෙති. කොළඹ කතෝලික අගරදගුරු පදවිය පිළිබඳ තොරතුරු මෙතනින්

පී. දොන් ඇල්බට් මැල්කම් රංජිත් හිමිපාණන් කොළඹ පදවියේ 09 වන අගරදගුරු හිමිපාණන් ලෙස ඔහුගේ පදවි ප්‍රාප්තිය 2009 අගෝස්තු 05 දින කොටහේන ශා. ලුසියා ආසන දෙව්මැදුරේදී සිදුකෙරුණා.

පසුගිය නොවැම්බර් මස උන්වහන්සේ 75 වන වියට පා තැබුවා. එම අවස්ථාවේ දී ද උන්වහන්සේගේ විශ්‍රාම ගැනීමේ ලිපිය සම්බන්ධයෙන් කතාබහක් ඇති වී තිබුණේ මෙලෙසින්.

කොළඹ අගරදගුරු පදවි සන්නිවේදන අධ්‍යක්ෂක

කෙසේ වෙතත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් තනතුරෙන් විශ්‍රාම යෑම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පිළිබඳ විමසා බැලීමට අප කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමාගෙන් විමසීමක් සිදු කළා.

පියතුමන් අවධාරණය කළේ, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ධුරයෙන් විශ්‍රාම යාමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. ඇතැම් පිරිස් මේ පිළිබඳව වැරදි ආකල්පයක් ඇති කර ගෙන ඇති බවත්, කාදිනල් හිමිපාණෝ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර තවදුරටත් එතුමන්ගේ සේවාව දේව සභාවට අවශ්‍ය බවත් පියතුමන් වැඩි දුරටත් පවසා සිටියා. එම තොරතුරු සහිතව පළවූ පුවත් වාර්තාවක් මෙතනින්. Archived

අගරදගුරුන්ට සේවය කළ හැකි කාල සීමාව

වතිකානුවේ නිලධරයේ සේවය කරන කාදිනල් නොවන බිෂොප්වරුන්ටත් වයස අවුරුදු 75 ඉක්ම වීමෙන් අගරදගුරු පදවිය ස්වයංක්‍රීයව අහිමි වන බවට කලින් සම්මතය වී තිබුණත් වර්තමාන ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් බලාත්මක කෙරුණු නව නීතියට අනුව (motu proprio ) පාප් වහන්සේගේ අභිමතය පරිදි ඔවුන්ගෙන් සිදුවන සිදුවන සේවය ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් වයස අවුරුදු 75 ඉක්ම වීමෙන් පසුත් අගරදගුරුන්ට ඔවුන්ගේ කාර්යාලවල දිගටම රැඳී සිටීමට හැකි වනවා.

මෙමගින්, පාප් වහන්සේ අදහස් කරන්නේ රදගුරුවරුන්ගේ (Bishops) විශ්‍රාම ගැනීමේ කාලය රදගුරු බිෂොප්වරුන් (Diocesan bishops) විශ්‍රාම ගැනීමේ ක්‍රියාදාමයකට යම්තාක් දුරකට සමාන කිරීමටයි. එනම් වතිකානුවේ සේවය කරන රදගුරුවරුන්ගේ ඉල්ලා අස්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාප් වහන්සේ සඳහන් කර ඇත්තේ, ඔවුන් වයස අවුරුදු 75 දී ඉල්ලා අස්වීම් ඉදිරිපත් කළ යුතු නමුත් තනතුරේ රැඳී සිටිය හැකි බවයි.

කෙසේවෙතත්, මෙම නීතිය වතිකානුවේ සේවය කරන කාදිනල් මැල්කම් රන්ජිත් වැනි කාදිනල්වරුන්ට බලපාන්නේ නැති බවත්, ඔවුන් දැනටමත් ඉල්ලා අස්වීමේ ක්‍රියාවලියේදී රදගුරු බිෂොප්වරුන් (Diocesan bishops) මෙන් සලකනු ලැබෙන බැවින් විශ්‍රාම යන වයස ඉක්මවා ද නිලතල දැරිය හැකි වනවා.

2014 වසරේ පෙබරවාරි මස ඉතාලි භාෂාවෙන් එළිදැක්වූ නව motu proprio දෙවන වගන්තියේ මෙසේ සඳහන් වේ: "වයස අවුරුදු 75 ඉක්මවන විට, රෝමානු කියුරියාවේ කාදිනල් නොවන ප්‍රධානීන්, රෝමානු කියුරියාවේ නායක-උසස්වරු සහ ශුද්ධාසනයට බැඳුණු වෙනත් නිලතල දරන බිෂොප්වරු ඔවුන්ගේ නිලය සාධනීය ලෙස දැරීම නතර නොකර සිටිය යුතු අතර ඔවුන්ගේ ඉල්ලා අස්වීම උත්තරීතර පාප් වහන්සේට ඉදිරිපත් කළ යුතුය”

එවැනි ඉල්ලා අස්වීමක් ක්‍රියාත්මක වීමට නම් එය උත්තරීතර පාප් වහන්සේ විසින් පිළිගත යුතු අතර, ඔහු සියලු තත්ත්වයන් පරීක්ෂා කිරීමෙන් පසුව තීරණය කරනු ඇති බවයි.

motu proprio පස්වන වගන්තියෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැහැදිලි කරන්නේ රදගුරුවරයෙකුගේ ඉල්ලා අස්වීම පිළිගන්නවාද නැතහොත් ඔහුට ඔහුගේ තනතුරේ අඛණ්ඩව සේවය කිරීමට ඉඩ දෙනවාද යන්න තීරණය කිරීමට පාප් වහන්සේට කාල සීමාවක් නොමැති බවයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ, වතිකානුවේ සේවය කරන නාහිමිපාණන්වරුන්ට සිය සේවාවේ අඛණ්ඩව කරගෙන යන ලෙස ඉල්ලා සිටින්නේ "පල්ලිය සඳහා ඉතා ඵලදායි ව්‍යාපෘතියක් ප්‍රමාණවත් ලෙස නිම කිරීමේ වැදගත්කම" හෝ "පුද්ගලයාට ගෙන ආ හැකි දායකත්වයේ වැදගත්කම" මෙන්ම ශුද්ධාසනය විසින් මෑතකදී ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දෙන දායකත්වය මත බවයි. මේ පිළිබඳ වතිකානු වාර්තාකරු JOSHUA J. MCELWEE පළ කර ඇති සම්පූර්ණ වාර්තාව මෙතනින්. Archived Link

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් සිය අගරදගුරු ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ලිපියක් යොමු කරා ද, යන්න පිළිබඳ වැඩිදුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප වතිකානු වාර්තාකරු වෙත විද්‍යුත් ලිපියක් යොමු කරමින් මේ පිළිබඳ විමසා ඇති අතර එම පිළිතුරු ලිපිය සමගින් මෙම වාර්තාව යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

එසේම වන විට වයස අවුරුදු 75 ඉක්මවූවත්, තවදුරටත් රදගුරු තනතුරේ සේවය යෙදන රදගුරුවරුන් 232කින් යුත් ලැයිස්තුව මෙතනින්. Archived Link තවද මෙම ලයිස්තුවේ කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් ඇතුළු කාදිනල්වරු 53 දෙනෙක් පමණ සිටින බවත් දැක ගන්නට ලැබෙන අතර ලංකාවෙන් වයස අවුරුදු 75 ඉක්මවූ රත්නපුර සහ බදුල්ල ප්‍රදේශවල බිෂොප්වරු දෙදෙනෙකු ද සිටින බව දැක ගන්නට ලැබෙනවා.

කාදිනල් මණ්ඩලය

ලෝකය පුරා විසිරී පැතිරී සිටින කෝටි සංඛ්‍යාත කතෝලිකයන්ගේ අසහාය සහ එකම දුර්ශමාන නායකයා වන්නේ ශුද්ධෝත්තමපියාණෝය. මෙතුමාට උපදෙස් දීමට සහ පරිපාලනය වශයෙන් සහය වීමට උත්තරීතර කාදිනල් මණ්ඩලයක් සිටී. මොවුන් ශුද්ධෝත්තම පියතුමන් පත් කර ගැනීමේ කාර්යභාර්යට සහභාගි වෙති. මෙම කාර්දිනල්වරු ලොව පුරා පැතිරී සිටින විවිධ භාෂා කථා කරන විවිධ ජාතිවලට අයත් වූවන් වෙති.

ශුද්ධොත්තමපියතුමාගේ අභිප්‍රායට අනුකූලව අවස්ථානුකූලව කලින් කලට එතුමෝ මෙ කාදිනල්වරු පත් කරති. 2010 ඔක්තෝම්බර් මස 20 වන දින ශුද්ධෝත්තමපියාණෝ නව කාර්දිනල්වරු 24 දෙනෙකු පත් කරන ලදී. ඔවුන් අතරින් ආසියාවෙන් නම් කරන ලද එකම කාදිනල්තුමා වූයේ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ මහ පුදදුරාණන් වන අති උතුම් දෙව්දහම් විශාරද ආචාර්ය දොන් ඇල්බට් මැල්කම් රංජිත් මාහිමිපාණෝය.

මැල්කම් රංජිත් මාහිමිපාණෝ - කාදිනල් ධුරය

පාප් පදවියට පමණක් දෙවෙනි, කාදිනල් ධුරය ලබාගන්නා බිෂොප්වරුන් සභා භාෂාවෙන් හඳුන්වන්නේ “කුමාරවරු” ලෙසයි.

2010 ඔක්තෝම්බර් 24 වන ශුද්ධොත්තම පියතුමන් විසින් අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් කාදිනල් ධුරයට පත්කිරීම වතිකානුවේ සිට ප්‍රකාශ කිරීම සිදු කළා. ඒ අනුව, 2010 නොවැම්බර් 20 වන දින කාදිනල් හිස්වැසුම ප්‍රදානය සමගින් සාන්ත පීතර බැසිලිකාවේදී අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් කාදිනල්වරයට පත්වූ අතර අති උතුම් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් අතිඋතුම් සොළොස්වන බෙනඩික් ශුද්ධෝත්තම පාප් වහන්සේ විසින් කාදිනල් තනතුරට පත්කරනු ලැබීය.

එමෙන්ම වසර 21ක හිඩැස පුරවමින් අති උතුම් දොන් ඇල්බට් මැල්කම් රංජිත් හිමිපාණෝ සිරිලක දෙවෙනි කාදිනල් ලෙස අභිෂේක ලැබුවේ සිය 63 වැනි උපන් දින වසරේදීය. මේ පිළිබඳ පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්.

කතෝලික පල්ලියේ ධුරාවලිය

පහතින් දක්වා ඇති සරල පිරමීඩ ප්‍රස්ථාරයකින් පැහැදිලි කරනු ලබන්නේ, කතෝලික පල්ලියක ධුරාවලියේ අභ්‍යන්තර ව්‍යුහයේ නිරූපණයකි. පාප් වහන්සේ ඉහළම ශ්‍රේණියේ පල්ලියේ සාමාජිකයා වන අතර කාදිනල්වරුන්, බිෂොප්වරුන්, පූජකවරුන් සහ උපස්ථායකයන් පිළිවලින් දක්වා ඇත.

edrawmax | Archived Link

මැල්කම් රංජිත් මාහිමිපාණෝ

1947 නොවැම්බර් 15 දා පටබැඳිගේ දොන් විලියම් හා මේරි විනිප්‍රීඩා යුවළට දාව පොල්ගහවෙල දී උපත ලද කුළුඳුල් පිරිමි දරුවා පටබැඳිගේ දොන් ඇල්බට් මැල්කම් රංජිත් විය. මෝදර ද ලාසාල් විදුහලේ සිප් සතර හදාරා 1965 බොරැල්ල සා. ඇලෝසියස් කනිටු දෙව්සත්හලට ඇතුළු වූ එතුමා 1966 – 1970 අම්පිටිය ජාතික දෙව්සත්හලේ ඉගෙනුම ලබමින් සිටියදී රෝමයේදී උර්බානියානු සසුන් පිය දෙව්සත්හලේ වැඩිදුර අධ්‍යාපනය ලබා 1975 ජූනි 29 දා අති උත්තම සවැනි පාවුළු ශුද්ධෝත්තම පියතුමන් අතින් පූජකවරය ලැබීය.

1991 අගෝස්තු 31 දා රදගුරු වරයට ඔසොවාලූ එතුමා අගරදගුරු පදවි සහයක රදගුරු, රත්නපුර රදගුරු ලෙස කටයුතු කරමින් සිටියදී ශුද්ධාසනයට පත් වූයේ 2001 ඔක්තෝබර් 1 දා ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම් වෙමිනි.

ප්‍රථම ශ්‍රී ලාංකේය අපෝස්තලික තානාපති ලෙස එතුමා 2004 අප්‍රේල් 29 දා ඉන්දුනීසියාවේ හා නැගෙනහිර තිමෝරයේ සේවාවට එක් විය.

අති උත්තම සොළොස්වන බෙනඩික් සසුන් පිය පදවි ප්‍රාප්තියත් සමග රෝම කියුරියාවේ ඉහළ තනතුරක් වූ ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම් ධුරයට පත්විය.

භාෂා දහයක් භාවිතයේ ප්‍රවීණයකු වන කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන්, ඉතාලි, ජර්මන්, ප්‍රංශ, හේබ්‍රෙව්, ග්‍රීක, ලතින්, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, සිංහල හා දමිළ භාෂා භාවිතයේ ප්‍රවීණයෙකි. 2009 ජූනි 16 දා නමවැනි කොළඹ අගරදගුරු ලෙස පත්ව ජූනි 29 දා වතිකානු සා. පීතර බැසිලිකාවේ දී පැල්ලියම් පළඳනාව ලබාගත් එතුමෝ අගෝස්තු 5 දා පදවි ප්‍රාප්ත වූහ. ඒ පිළිබඳ තොරතුරු මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් සඳහන් කළේ, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට සැරසුණු බවට හුවමාරු වන පුවත් අසත්‍ය බවත් උන්වහන්සේ විශ්‍රාම යාමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. ඇතැම් පිරිස් මේ පිළිබඳව වැරදි ආකල්පයක් ඇති කර ගෙන ඇති බවත්, කාදිනල් හිමිපාණෝ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර තවදුරටත්, එතුමන්ගේ සේවාව දේව සභාවට අවශ්‍ය බවත් පියතුමන් අවධාරණය කළා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මැල්කම් රංජිත් කාදිනල් තුමන් කොළඹ අගරදගුරු තනතුරෙන් විශ්‍රාම යාමට සූදානමක්?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News