මැයි මස තෙවන සතියේ සිදු කළ කරුණු විමසා බැලීම් වල සාරාංශය !

Update: 2023-05-24 10:42 GMT

Fact Crescendo Sri Lanka ආයතනය මගින් ගෙවී ගිය සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් ඇසුරෙන් ලබාගන්නා ලදි. මෙහි මුල් ලිපි srilanka.factcrescendo.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

සමාජ ජාලා තුළ පැතිරෙන වැරැදි හෝ නොමගයවන සුළු සටහන් ඔබට හැඟෙන ඡායාරූප, වීඩියෝ හෝ වෙබ් පුවත් යනාදිය 0771514696 ඔස්සේ Fact Crescendo කණ්ඩායමට වට්ස්ඇප් හරහා යොමු කොට කරුණු තහවුරු කර ගත හැක.

කොළඹ ආරක්ෂාව තර කළේ මහින්දව අගමැති කරන්න ද ?

-පවිත්‍රා සඳමාලි -

පසුගිය දා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  නැවත වරක් අගමැති ධුරයට පත් කිරීමට සුදානමක් ලෙස කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරෙමින් සිටින බව හඟවමින් සමාජයේ විශාල කතිකාවතක් ඇතිව තිබුණා.

විශේෂයෙන්ම පසුගිය 12 වන දා කොළඹ ඇතැම් ස්ථානවලට විශේෂ පොලිස් සහ හමුදා ආරක්ෂාවක් ලබා දී තිබුණේ, මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති ධුරය හෙබවීමට නියමිත නිසා ද යන්න පිළිබඳ සමාජ මාධ්‍ය ඇතැම් පිරිස් ප්‍රශ්න කර තිබුණා. මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද පෙනී ගියේ, මෙය සත්‍යයක් බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ බවයි. නමුත් FactCrescendo කණ්ඩායම මගින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වුයේ එම සටහන් නොමඟ යවන සුළු බවයි.

මෙම කරුණ පිලිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම අදහස් දක්වා ද තිබුණා. මැයි දින සැමරුමට පෙර දින, මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගෙන් මාධ්‍යවේදියෙකු විසින් විමසීමක් කරන්නේ, මැයි දින සැමරුමේදී මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ යෝජනාවක් ගෙන එන්නේ ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් අලුත්ගමගේ සඳහන් කළේ, මැයි දින සැමරුමේ එවන් යෝජනාවක් ගෙන නොඑන බවයි.

එමෙන් ම පසුගිය මැයි 07 වන දා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර ද මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් පැන නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සඳහන් කළේ, පවත්නා රජය විසින් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට සූදානම් කිරීම සඳහා කොළඹ ප්‍රදේශයේ හමුදාව ස්ථානගත කර ඇති බවට පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරණයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ බවත්, මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් කිසිදු ඉල්ලීමක් සිදු නොකළ බවත්, පොදුජන පෙරමුණ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් ද එම පක්ෂයේ මැයි 15 දා පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළා.

එමෙන් ම මහින්ද රාජපක්ෂ රටේ ජනතාව වෙනුවෙන් බලය ලබා ගන්නත්, බලය අතහරින්න ත් පුළුවන් නායකයෙක් බවත්, ඔහු නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත් වනවානම් ජනතාව රහසේ, හමුදා ආරක්ෂාව ලබාගෙන ජනතා මතයට විරුද්ධව සිදු කරන දෙයක් නොවන බවත්, රටේ බහුතර ජනතාවගේ ආශිර්වාදයෙන් තමයි එවැනි තීරණයක් ගන්නවානම් ගනු ලබන්නේ බවටත්, නාමල් රාජපක්ෂ ද සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් අප මේ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති ධුරයට පත් කිරීම සඳහා එවැනි යෝජනාවක් පොදුජන පෙරමුණ විසින් නොලැබුණු බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ද, එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

එමෙන් ම ඇතැම් සමාජ මාධ්‍ය සටහන් හි දක්වා තිබූ පරිදි කොළඹ නගරය තුල ආරක්ෂක හමුදාවන් හා විශේෂ පොලිස් බලකාය, කැරළි මර්දන ඒකකය ඇතුලු පොලිස් නිලධාරීන් සියගණනින් රැස්කර තිබීම පිලිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා ඇත්තේ, අන්තර් විශ්ව විද්‍යාලයේ සිසු කණ්ඩායමක් පසුගිය 12 වන දා රාත්‍රී කොළඹ ස්ථානගත වෙමින් පසුගිය 13 වන දිනයේ දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවට ජනාධිපති කාර්යාලයට ලැබී තිබු තොරතුරක් මත කොළඹ විශ්ව විද්‍යාලය අවට ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බවටයි. තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැයි 15 දිනයේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමේදී සඳහන් කර තිබුණේ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙර පුහුණු වැඩමළුවක් පැවැත්වූවා විය හැකි බවයි.

අප මේ පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම් බී බී නලින් හේරත්ගෙන් විමසීමක් සිදු කළා. ඔහු සඳහන් කළේ, ත්‍රස්තවාදය, ආපදා ප්‍රතිචාර ආදී ඕනෑම විපතකට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න කොළඹ ආරක්ෂාව තර කරමින් සිදු කළ සැලසුම් සහගත හදිසි පෙරහුරුවක් මෙහිදී සිදුවූ බවයි.

දණහිසෙන් පහළ පොල්තෙල් ආලේප කරගැනීම මගින් ඩෙංගු ආසාදනය වීම වැළකිය නොහැකියි!

-කලණ ක්‍රිශාන්ත -

දණහිසේ සිට දෙපතුළ දක්වා පොල්තෙල් ආලේප කිරීමෙන් ඩෙංගු උවදුරෙන් බේරිය හැකි බවට සමාජ ජාලා සටහන් පළව තිබුණා. මෙම සටහන්වලින් දැක්වෙන ප්‍රධාන කරුණු 2 ක් තිබෙනවා. එනම්, දණහිසේ සිට දෙපතුළ දක්වා පොල්තෙල් ආලේප කිරීමෙන් ඩෙංගු මදුරු ආසාදනයෙන් වැළකිය හැකි බව සහ ඩෙංගු මදුරුවන් පියාසර කරන්නේ දණහිසට පහලින් බවයි. මෙම කරුණු වට්ස්ඇප් ඔස්සේ ද ඉංග්‍රීසි බසින් වේගයෙන් පැතිරෙන ආකාරයක් දැකගන්නට ලැබුණා. නමුත් FactCrescendo කණ්ඩායම මගින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුයේ මෙම කරුණු සාවද්‍ය බවයි.

වසර කිහිපයක් තිස්සේ හුවමාරු වන සමාජ ජාලා සටහන්හි මෙම කරුණු දැක්වෙන්නේ, ඉන්දියාවේ තිරුපති ප්‍රදේශයේ Saisudha නම් රෝහලේ B.සුකුමාර් නමැති වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් ලෙසින්.

ඉන්දියාවෙ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ සැබැවින්ම Saisudha Hospital ලෙස රෝහලක් පවතින අතර එහි සුකුමාර් ලෙස වෛද්‍යවරයෙක්ද සිටිනවා. අප FactCrescendo ඉන්දීය කණ්ඩායම, ඔහුගෙන් විමසා සිටියේ වට්ස්ඇප් සමාජ ජාලා හරහා හුවමාරු වන ආකාරයේ කරුණු ඔහු විසින් නිර්දේශ කර ඇතිද යන්නයි. තමන් අස්ථිවේද (orthopedist) වෛද්‍යවරයෙක් බව පැවසූ වෛද්‍ය සුකුමාර් වැඩිදුරටත් කියා සිටියේ කිසිදු අවස්ථාවක මෙවන් ඩෙංගු රෝගයෙන් වැළකිය හැකි ක්‍රමවේදයක් පිලිබඳ නිර්දේශ කර නොමැති බවත් මෙම ව්‍යාජ සටහන් වසර ගණනාවක් පුරා තමාගේ නම අවභාවිතා කරමින් හුවමාරු වෙන බවයි. එමෙන්ම පොල්තෙල් ආලේප කිරීම මගින් ඩෙංගු උවදුරෙන් ආරක්ෂා විය හැකි බවක් වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පුවී නොමැති බවත් වෛද්‍ය සුකුමාර් පැවසුවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට වසර කිහිපයකට පෙර පෙන්වාදුන්නේ ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් අනාගතය බියකරු විය හැකි බවයි. විශේෂයෙන්ම ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ තත්ත්වය වඩාත් පීඩාකාරී තත්වයක් ඇතිවිය හැකි බවට ද ඔවුන් නිවැරදිව අනුමාන කර තිබුණා. තවද ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සිදු කරන ලද අධ්‍යනයකට අනුව තහවුරුව ඇත්තේ ඩෙංගු රෝග වාහක මදුරුවන්ට (Aedes aegypti) මීටර 400 ක පරාසයක් දක්වා පියාසැරිය හැකි බවයි. එසේම සාමාන්‍යයෙන් ඩෙංගු රෝග වාහක මදුරුවන්ට පොළව මට්ටමේ සිට අඩි 50ක් පමණ දක්වා සීමාවකට පියාසර කිරීමේ හැකියාවක් පවතිනවා. එමනිසා ම මහල් නිවාස තුළින් ද ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා. එබැවින් ඩෙංගු මදුරුවන් පියාසර කරන්නේ දණහිසෙන් පහල උසකින් පමණක් යනුවෙන් සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන ප්‍රකාශය ද සාවද්‍ය බව තහවුරුවේ.

ලෝරික් අම්ලය පොල් තෙල්වල සංඝටකයක් ලෙස පවතින නිසා පොල්තෙල්ද ප්‍රතිජිවකයක් ලෙස සැලකිය හැකි බවට සමාජ ජාලා සටහන් ඔස්සේ පැතිරෙනවා විය හැකියි. ලෝරික් අම්ලයේ ව්‍යුත්පන්නයක් වන Monolaurin යම් ප්‍රතිජීවක ගුණ පෙන්වනවා. නමුත් පිරිසිදු පොල්තෙල් වල හෝ නිස්සාරණය කරන ලද පොල්තෙල්වල එම ගුණ නොමැති බව පර්යේෂණවලදී තහවුරුව තිබෙනවා. Monolaurin නිස්සාරණය කිරීම සදහා පොල්තෙල් උපයෝගී කරගන්නවා. එහි බැක්ටීරියා, වෛරස් සහ දිලිර ආසාදනයන්ට එරෙහිව සටන් කිරීමේ ගුණ පවතිනවා. කෙසේ වෙතත් පොල්තෙල්වල ඍජුව මෙම සංයෝගය දැකගත නොහැකියි. එය නිස්සාරණය කරන්නේ පොල්තෙල්වල අඩංගු ලෝරික් අම්ලය භාවිතයෙන්. එසේම පොල්තෙල් ආසාදනයවීම් වලට එරෙහිව ක්‍රියා නොකරන බව මීයන් යොදාගෙන සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මේ පිලිබදව අප ශ්‍රී ලංකාවේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් කරුණාරත්නගෙන්ද විමසා සිටියා. ඔහු පවසා සිටියේ ද දණහිසට පහලින් පොල්තෙල් ආලේප කර ඩෙංගු උවදුරෙන් ගැලවිය හැකි බවට වන සටහන් වල විද්‍යාත්මක සත්‍යතාවයක් නොමැති බවයි. සමාජ ජාලාවල මේ දිනවල ඩෙංගු පිළිබද බොහෝ දේ පළවන බව පවසා සිටි ඔහු ඒවායේ ඇතැම් කරුණුවල වැඩිදුර සිතීමට ,සොයා බැලීමට දේ ඇති බවත්, ඇතැම් කරුණු සාවද්‍ය බවත් පැවසුවා.

වැලිගම ප්‍රදේශයේ පියෙකු, තම දියණිය රෙදි සෝදන යන්ත්‍රයකට දමා මරුමුවට පත් කළ පුවතේ ඇත්ත, නැත්ත!

-පවිත්‍රා සඳමාලි -

“මාතර වැලිගම පදිංචි වෙලා හිටපු දිලුෂිකා ලියෝනි කියන්නේ අවුරුදු පහ හමාරක දරුවෙක්. පාසලේ කරපු නරක වැඩ හින්දා පුංචි දිලුෂිකාට දඩුවමක් ලැබුනා. වෙනදට දඩුවම් දීලා තියෙන්නේ අම්මා. අම්මා එයාව අල්මාරියේ දාලා වහලා තියලලු. ඒත් මේ පාර ඊට වඩා පාඩමක් උගන්නන්න ඕනේ කියලා වොශින් මැෂින් එකට දාලා තියෙන්නේ තාත්තා.”, යන සටහන සමගින් සමාජ ජාලා සටහන් පැතිරුණා.නමුත් FactCrescendo කණ්ඩායම සිදුකල කරුණු විමසා බැලීමේදී තහවුරු වූවේ එම සටහන් අසත්‍ය සහ නොමගයවනසුලු බවයි.

ඉහත සමාජ මාධ්‍ය සටහන් වල සඳහන් ලෙස සිදුවීමක් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂාවක් සිදු කළා. නමුත් අපට මාතර, වැලිගම ප්‍රදේශයේ එවැනි සිදුවීමක් වූ බවට මාධ්‍ය වාර්තා දැක ගන්න ට නොලැබුණි.

කෙසේ වෙතත් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වූ ලෙස රෙදි සෝදන යන්ත්‍රයකට තම දියණියව දැමූ පියෙකු ගැන සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වූවාද යන්න පිළිබඳ අප වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ද විමසීමක් සිදු කළා. පොලිස් ස්ථානාධිපතිවරයා පවසුවේ, එවැනි පැමිණිල්ලක් නොලැබුණු බවත්, ඒ පිළිබඳ විමසා බොහෝ දුරකථන ඇමතුම් ලැබුණු බවයි. ඒ අනුව රෙදි සෝදන යන්ත්‍රයකට දියණියක දැමූ සිදුවීමක් හෝ තට්ටු නිවාසයකින් වැටුණු දරුවෙකු ස්නානය කිරීමේදී ගිලී මැරුණු බවට හෝ සිදුවීමක් එම ප්‍රදේශයෙන් වාර්තා නොවූ බව ස්ථානාධිපතිවරයා තහවුරු කර සිටියා.

එසේම අප ඉහත සටහනේ දැක්වෙන දියණියගේ ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව දැක ගන්නට ලැබුණේ, එම ඡායාරූපයේ දැක්වෙන්නේ පසුගිය වසරේ, එනම් 2022 සැප්තැම්බර් මස විදෙස් රටක වූ සිදුවීමක් බවයි. කටාර් රාජ්‍යයේ අල් වක්‍රා නම් ප්‍රදේශයේ අධ්‍යාපනය ලබමින් සිටි කුඩා දැරියක්, තම පාසලේම බස් රියක් තුළ මිය ගොස් තිබූ සිදුවීමකට අදාළ දැරියකගේ රූප රාමු පෙළකුයි මෙහි දැක්වෙන්නේ.

එමෙන් ම සමාජ මාධ්‍ය සටහන් වල දැක්වූ පරිදි මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබුණේ දිලුෂිකා ලියෝනි නමැති ලංකාවේ දැරියක් නොව ‘මින්සා’ නමැති ඉන්දියාවේ කේරළයේ දෙමාපියන්ට දාව උපන් කටාර් රාජ්‍යයේ විසූ සිව්හැවිරිදි දැරියෙකි.

‘මින්සා’ පසුගිය (2022) සැප්තැම්බර් 11 වන දා සිය උපන් දින දා පාසල බලා ගොස් තිබූ පාසල් බස් රථයේ දී ඇයට නින්ද ගොස් තිබූ අතර බස් රථයේ කාර්ය මණ්ඩලයේ නොසැලකිළිමත්කම හේතුවෙන් දැරිය බස් රථය තුළ දමා අගුළු දමා ගොස් තිබූ බැවින් ද, පැය හතරකට වැඩි කාලයක් නවතා තිබූ වාහනය තුළ කුඩා දැරිය සිරවී සිට ඇති අතර වාතාශ්‍රයක් නොමැති කමින් එළිමහනේ නවතා තිබූ බස් රථය හේතුවෙන් ඇය දැඩි රස්නයට නිරාවරණය වීම මෙලෙස මිය යාමට හේතු වී තිබුණු බවත්, එදින අල් වක්‍රා හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 43ක් පමණ වූ බව ත් එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. පාසල නිම වී පැමිණි පාසල් සේවා මණ්ඩලය සිහිසුන්ව සිටි දරුවා පසුව දැක ඇති අතර එම අවස්ථාවේ මින්සා දැරිය රෝහල්ගත කළද ඇයගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී තිබේ.

එසේම සමාජ මාධ්‍ය සටහන්හි සඳහන් කර ඇති ලෙස සත්‍ය සිදුවීමක් ලොව වෙනත් ප්‍රදේශයක හෝ වී තිබේ ද යන්න පිළිබඳ අප කළ නිරීක්ෂණයේදී අපට දැක ගන්නට ලැබුණේ, රෙදි සෝදන යන්ත්‍රයකට දමා එය ක්‍රියාත්මක කර ඔහුගේ තුන් හැවිරිදි පුතු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට වසර ගණනාවකට පෙර ප්‍රංශයේ පියෙකුට චෝදනා එල්ල වී තිබුණු සිදුවීමක් වාර්තා වන බවයි. ඒ අනුව පෙනී යන්නේ 2011 වර්ෂයේ ප්‍රංශයේ සිදු වූ සත්‍ය සිදුවීමක් මාතර, වැලිගම වූ සිදුවීමක් බවට දක්වමින් වෙනත් සිදුවීමකට අදාළ දරුවෙකුගේ ඡායාරූප අවභාවිත කරමින් නොමග යන සුළු සටහන් නිර්මාණය කර ඇති බවයි.

ගාල්ල අක්මීමන පාසල් ළමුන් පැහැර ගැනීමක් සිදුව ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි!

-කලණ ක්‍රිශාන්ත -

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ සිසුන් පැහැර ගැනීමට කිසියම් පිරිසක් උත්සාහ කළ බවත් ,රට පුරා සිටින සිසු දරු දැරියන් ,දෙමාපියන් සහ ගුරුවරුන් ,මෙම පිරිස් පිලිබදව විමසුමෙන් කටයුතු කල යුතු බව සදහන් කරමින් සමාජ ජාලා සටහන් පැතිරුණා. මෙම අනාවරණය සිදු කලේ අක්මීමන පොලිසිය මගින් බවද එහි සදහන් කරමින්වු හුවමාරු වූ සමාජ ජාලා සටහන්වල දක්නට ලැබුණා.

නමුත් අප FactCrescendo කණ්ඩායම විසින් සිදුකරන ලද කරුණු විමසුමේදී තහවුරු වුවේ මෙම සමාජ ජාලා සටහන්වල ඇති කරුණු අසත්‍ය සහ පදනම් විරහිත බවයි.

අප මුලින්ම මේ පිලිබදව අක්මීමන පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කරුණු විමසා සිටියා. එහිදී ඔහු පැවසුවේ අක්මීමන පොලිසිය මගින් මෙවැනි ළමුන් පැහැර ගන්නා කණ්ඩායමක් පිළිබඳව කිසිඳු අනතුරු හැගවීමක් සිදු නොකළ බවයි. එමෙන්ම තම බල ප්‍රදේශය තුළ මෙවන් කිසිදු ගැටලුවක් සිදුව නොමැති බව ද පැවසූ පොලිස් ස්ථානාධිපතිවරයා, මෙම සමාජ ජාලා සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය සහ ගොතන ලද ඒවා බව තහවුරු කළා.

අප මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුවගෙන්ද විමසීමක් කළ අතර ඔහු ද පැවසුවේ මෙම සමාජ ජාලා සටහන් අසත්‍ය බවයි. ඡායාරූපයේ සිටින පුද්ගලයා පිළිබඳව විශේෂ තොරතුරක් ලැබී නැති බවත් ඔහු පැවසුවා. එසේම මේ දිනවල හුවමාරු වන ළමුන් පැහැරගැනීම් සම්බන්ධ පැමිණිලි සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී පැහැදිලි කරමින් නිහාල් තල්දුව තවදුරටත් පවසා සිටියේ මේ දක්වා සිදුකර තිබු විමර්ෂණවලදී ළමුන් පැහැරගැනීම් සිදුවූ බවට අනාවරණය වීමක් සිදුව නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තහවුරු කරගැනීම සදහා අක්මීමන ප්‍රදේශයේ පාසල් පරිපාලන කටයුතු භාරව කටයුතු කරන ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යාපන අධ්‍යක්ෂ වරියගෙන්ද අප කරුණු විමසා සිටියා. ඇය පැහැදිලි කර සිටියේ අක්මීමන අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන් සම්බන්ධව මෙවැනි සිදුවීමක් සිදුව ඇති බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍ය බවයි. අක්මීමන හෝ ගාල්ල අධ්‍යාපන කලාපයට අයත් කිසිදු විදුහල්පතිවරයෙක් විසින් හෝ දෙමාපියන් විසින් මෙවැන්නක් සම්බන්ධයෙන් තම කාර්යාලයට පැමිණිලි කර නොමැති බවත් ඇය පැවසුවා. වේගයෙන් පැතිරෙන සමාජ ජාලා සටහන් නිසා , තමන් ද මේ පිළිබඳව පොලිසියෙන් කරුණු විමසා සිටි බවත් එවන් සිදුවීමක් සිදුව නොමැති බවක් පොලිසියෙන් ද තහවුරු කර සිටි බවත් ඇය පැවසුවා.

මීට අමතරව අප දකුණු පළාතේ අධ්‍යාපන පරිපාලනයට සම්බන්ධ ඇතැම් නිලධාරීන්ගෙන් මෙන්ම ගාල්ල ප්‍රදේශයේ ඇතැම් පාසල් විදුහල්පතිවරුන්ගෙන් කරුණු විමසා සිටි අතර ඔවුන් පැවසුවේ සමාජ ජාලා සටහන්වල ඇති කරුණු හැරුණු කොට මෙවන් සත්‍ය සිදුවීමක් සිදුව ඇති බව ට වාර්තා නොවූ බවයි.

කෙසේ වෙතත් මෙම සමාජ ජාලා සටහන්වල ඇති සේයාරුව සම්බන්ධයෙන්ද අප විසින් අවධානය යොමුකළ අතර ,මෙය අක්මිමන, කොට්ටව දී ඇතිවූ සිදු වීමක බව පවසමින් සමාජ ජාලා ඔස්සේ පැතිර ගියත්, පසුගිය සමයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පාසල් සිසුන් පැහැර ගෙන යාම් සිදුවන බවට පවසමින් දෙමළ බසින් පලවූ බොහෝ සමාජ ජාලා සටහන් බොහොමයක ද මෙම සේයාරුව දක්නට ලැබුණා.

මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් පැහැර ගෙනයාමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට මීට සති කිහිපයකට පෙර පැමිණිලි ලැබී තිබු නමුත් ඒ සම්බන්ධයෙන්වූ නිසි ආකාර සාක්ෂි සාධක සොයා ගැනීමට මෙතෙක් හැකිව නැහැ. කෙසේ වෙතත් එම ප්‍රදේශයේ පාසල් අවට ආරක්ෂාව තර කිරීමට කටයුතු ක්‍රීයාත්මක කර තිබුණා.

ඉලොන් මස්ක් රොබෝ භාර්යාවන් නිර්මාණය කළා ද?

-පවිත්‍රා සඳමාලි -

“Elon Musk සහ ඔහුගේ සමාගම Robot Wife කෙනෙක් සෑදීමේ අවසන් අදියරේ ඉන්නේ. රොබෝ භාර්යාවන්ගේ සැපයුම 2023 සැප්තැම්බර් මාසයේදී නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.Robot Wife බැටරි ආරෝපණයට සම්පූර්ණ දින තුනක් වැයවේ.. ආර්ථව චක්‍රයක නියමිත දින වගේ. බැටරි ආරෝපණයෙන් පසු මාසයක් ක්‍රියාත්මක වේ.Robot Wife සමඟ ලිංගික කටයුතු වලදී ඇයව කෝප නොගැන්වා අදාල කාර්‍ය කිරීමට මුරපදයක්, රටාවක් හෝ ඇඟිලි සලකුණක් භාවිතා වේ.ඩොලර් 3,144 ක මුදලක් පමණක් වැය වේ ” යනුවෙන් සඳහන් කරමින් Elon Musk රොබෝ භාර්යාවත් සමග සිටින ඡායාරූප බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

නමුත් FactCrescendo අප කණ්ඩායම මගින් සිදුකල කරුණු විමසුමේදී තහවුරු වුවේ මේවා සත්‍ය සේයාරූ නොව කෘතීම බුද්ධිය ඇසුරින් නිර්මාණය කරන ලද ඒවා බවයි.

ප්‍රකට කෘතීම බුද්ධිය යටතේ සේයාරූ නිර්මාණය කරන කලා ශිල්පින් කිහිප දෙනෙක් විසින් මෙම නිර්මාණ දැනට සති කිහිපයකට පෙර සිය සමාජ ජාලා හරහා අන්තර්ජාලයට මුදාහැර තිබුණා.

කෙසේවෙතත් Elon Musk ගේ Tesla හි හියුමනොයිඩ් රොබෝවරු නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් ද ඇත. එහෙත්, ඔවුන් මෙතෙක් ඡායාරූප පෙළ මඟින් දැක්වීමට උත්සහ කර තිබූ තරම් අති නවීන මාදිලියේ රොබෝවරුන් නිෂ්පාදනය කර නොමැත.

Tags:    

Similar News