ශ්‍රී ලංකාවේ භූගත ජලයේ ලවණතාවය වෙනස් වීමට දේශගුණික විපර්‍යාසවල බලපෑමක් තිබෙනවාද?

Update: 2023-08-29 12:36 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පවතින වියළි කාළගුණික තත්ත්වය හමුවේ භූගත ජලය භාවිතයේදී ජලයේ රසය, ගන්ධය හෝ වර්ණයේ වෙනසක් පවතී නම්, ඒ පිළිබඳව වහාම ජල සම්පත් මණ්ඩලයට දැනුම් දී එම කාර්‍යාලයකින් අදාල ජල සාම්පල පරික්ෂාවට ලක් කර භාවිතයට ගන්නා ලෙස එම මණ්ඩලය මේ වන විට මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

අධික උෂ්ණත්වයත් සමඟ ජලයේ ලවණතාව වැඩි වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ජල සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්. එම්. එස්. රත්නායක මහතා ප්‍රකාශ කර තිබුණා. මීට අදාල පුවත මෙතනින්.

මෙවැනි අවස්ථාවක භූගත ජලය සහ එහි ගුණාත්මකතාව පිළිබඳව මෙන්ම මේ තත්ත්වය සඳහා දේශගුණික විපර්‍යාසවල දායකත්වය පිළිබඳවත් වැඩි දැනුවත්භාවයක් ලබා දීම වැදගත් නිසා ඒ පිළිබඳ වැඩි අධ්‍යනයක් සිදු කිරීමට අප කණ්ඩායම තීරණය කළා.

භූගත ජල සම්පත යනු කුමක්ද?

භූගත ජලය යනු, පොළොවේ මතුපිටට පහළ, පස් හෝ ගස් අතර ඇති අවකාශ තුළ තැන්පත්ව පවතින ජලයයි. මෙම ස්ථරයට ඉහළින් ඇති පෘථිවි මතුපිට පාෂාණ ස්ථරය කැඩී යාමේදී මෙම ජලය මතුපිටට ලබාගෙන, භාවිතයට ගැනීම සඳහා සතුන්ට සහ මිනිසුන්ට අවස්ථාව සැලසෙනවා.

ලෝකයේ භාවිතයට ගත හැකි ස්වරූපයෙන් පවතින මිරිදිය ජලයෙන් 30%ක්ම පවතින්නේ භූගත ජලය ලෙසයි. ළිං, නල ළිං ආදිය නිර්මාණය කිරීමේදී මිනිසුන් විසින් මෙවැනි භූගත ජල මූලාශ්‍රයක් ඔස්සේ ජලය ලබා ගැනීම සිදු කරනවා.

ශ්‍රී ලාංකික ග්‍රාමීය ජල අවශ්‍යතාවයෙන් 80%ක් පමණ ළිං සහ නල ළිං ඔස්සේ ලබාගන්නා භූගත ජලය මඟින් සපුරා ගැනෙනවා.

භූගත ජලය සෘජුවම බාහිර පරිසරය සමඟ නොගැටීම හේතුවෙන් මතුපිට ජල මූලාශ්‍ර තරමටම දුෂණයට ලක් වීමේ ඉඩ කඩක් පවතින්නෙ නැහැ. නමුත් භූගත ජල මූලාශ්‍ර පවා විවිධ ද්‍රව්‍ය සමඟ එක් වීම නිසා විවිධ අන්දමින් දූෂණයට ලක් වෙනවා.

ශ්‍රී ලංකාවේ පානීය ජල අවශ්‍යතාවයට ගැටළුවක් ඇති නොවන පරිද්දෙන්, සෞඛ්‍යයට හිතකර ජල සැපයුමක් පවත්වා ගැනීමට භූගත ජල සම්පත මනාව පරිහරණය සහ සුරැකීම ඉතා වැදගත්.

භූමිය මතුපිට ඇති ඇතැම් ජල දූෂක ද්‍රව්‍ය පස හරහා ගමන් කර භූගත ජල මූලාශ්‍ර වෙත ලඟා වී එම ජලය දූෂණයට ලක් කරයි. පලිබෝධනාශක, පොහොරවල අඩංගු ඇතැම් රසායනික ද්‍රව්‍ය, කසල මඟින් භූමි ගොඩකිරීමේදී එම කසල මඟින් කාන්දු වන ද්‍රව්‍ය ඇතුළු තවත් බොහෝ රසායනික ද්‍රව්‍ය, පෙට්‍රෝලියම් තෙල් ආදිය පවා මෙම භූගත ජලය සමඟ මිශ්‍ර වී එම ජලයේ සං‍යුතියට බලපෑම් ඇති කරනවා. එමෙන්ම කසලවලින් කාන්දු වන ද්‍රව නිසාවෙන් අපවිත්‍රවන භූගත ජලය ක්ෂුද්‍ර ජීවීන්ගේ ග්‍රහණයට ලක් විය හැකියි. මෙමඟින් මෙම ජලය භාවිත කරන මිනිසුන්ට අතීසාරය, පාචනය වැනි රෝග තත්ත්ව ඇති වීමට ඉඩ තිබෙනවා.

දේශගුණික විපර්‍යාස සහ ශ්‍රී ලංකාවේ භූගත ජලයේ ගුණාත්මකභාවය

සාමාන්‍යයෙන් භූගත ජලයේ සං‍යුතිය තීරණය කරන සාධක වන්නේ භූවිද්‍යාත්මක සාධක සහ දේශගුණික තත්ත්ව ආදියයි. එම නිසා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මෙම සාධකවල සිදුවන වෙනස්වීම්වලට අනුව භූගත ජලයේ ගුණාත්මකභාවය වෙනස් වෙනවා.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව සැලකූ විට, ශ්‍රී ලංකාවේ වියළි කලාපය ආශ්‍රිත භූගත ජලයේ ගුණාත්මකභාවය, තෙත් කලාපයට වඩා අඩු බවක් පෙන්නුම් කරනවා. සාමාන්‍යයෙන් වියළි කලාපයේ ජලයේ ඉහළ කිවුල සහිත බවක්, ෆ්ලෝරයිඩ් මට්ටමක්, ලවණ මට්ටමක් මෙන්ම ක්ෂාරීය ස්වභාවයක් වාර්තා වෙනවා. මෙම තත්ත්ව මිනිස් සිරුරට හිතකර වන්නේ නැහැ. අනුරාධපුර, පොළොන්නරුව වැනි ප්‍රදේශවල ජනතාව අතර සුලබ වකුගඩු රෝගයට ඔවුන් භාවිත කරන ජලයේ ඇති යම් සාධකයක් හේතු වන බවට සැක පලකෙරෙනවා.

මෙවන් පසුබිමක මේ වන විට ඇතිවී ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ භූගත ජලයට සිදුවන බලපෑම පිළිබඳව අවබෝධයෙන් පසුවීම වැදගත් බව පැහැදිලියි.

සාමාන්‍යයෙන් දේශගුණික විපර්‍යාස මඟින් භූගත ජලයේ ප්‍රමාණයට මෙන්ම, ගුණාත්මකභාවයටද සෘජුවම බලපෑම් එල්ල කරනවා. එය සිදුවිය හැකි ආකාර කිහිපයක් පවතිනවා.

වාෂ්පීකරණය සාමාන්‍යයෙන් මතුපිට ජල මූලාශ්‍රවලට පොදු දෙයක්. ඒ හා සමානම හෝ ඊටත් වඩා වැඩි බලපෑමක් වාෂ්පීකරණය මඟින් භූගත ජල මූලාශ්‍ර වෙතත් ඇති කරනවා. මෙසේ භූගත ජලය වාෂ්ප වීමෙන් භූගත ජල ප්‍රමාණය සෘජුවම අඩු වීමට ලක් වෙනවා. මතුපිට ජල මූලාශ්‍ර ඔස්සේ ජලය වාෂ්පීකරණය තරම් සරලව සහ පහසුවෙන් සිදු නොවන භූගත ජල වාෂ්පීකරණය සිදු වන්නේ ඉතා වියළි බාහිර පරිසරයක් සහිත ප්‍රදේශ ආශ්‍රිතවයි. මෙම ක්‍රියාවලිය සම්බන්ධ වැඩි දුර අධ්‍යයන සඳහා මෙතනින් කියවන්න.

මේ දිනවල ඇති උෂ්ණාධික සහ වියළි පාරිසරික තත්ත්වය හමුවේ මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සිදු වනවා.

එමනිසා වාෂ්පීකරණය හේතුවෙන් අඩු වූ භූගත ජල මට්ටමේ ලවණතාවය ඉහළ නංවනවා. එනම් ජලය වාෂ්පීකරණයත් සමඟ ජලයේ අඩංගු ජල අණු අඩු වී ලවණ සාන්ද්‍රණය ඉහළ යනවා. සාන්ද්‍රණය ඉහල යන නිසා මෙම ජලය පරිභෝජනය කරන ජනතාවගේ සිරුරු තුළට ලවණ ඇතිවීම වැඩි වෙනවා. ලවණ අධික ජලය නිරන්තර භාවිතය සෞඛ්‍ය හිතකර වන්නේ නැහැ.

මීට අමතරව, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ සිදුවන මුහුදු මට්ටම් ඉහළ යාමත් ඒ අශ්‍රිත ගොඩබිම් ප්‍රදේශවල භූගත ජලයේ සං‍යුතියේ වෙනස්කම් ඇති කරනවා. මෙහිදී මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිත භූගත ජල මූලාශ්‍රවලට ලවණාධික මුහුදු ජලය කාන්දු වීමේ අවස්ථාව වැඩි වෙනවා. මෙම ලවණ ජලය සමඟ එක් වන භූගත ජලය අමිහිරි, ලුණු සහිත හෝ කිවුල් සහිත ස්වභාවයක් ලබා දෙනවා.

මෙලෙස භූගත ජලය කාළගුණයේ බලපෑමට ලක්ව එහි ගුණාත්මකබවට හානි වන ආකරාය පිළිබඳව චීනය ආශ්‍රිතව සිදුකළ පර්‍යේෂණයක් මෙතනින්.

කෙසේ නමුත් මෙවැනි ලවණාධික, කිවුල සහිත ජලය අධික ලෙස ශරීරගත වීම ශරීරයට හිතකර වන්නේ නැහැ. මෙවැනි ජලයේ පවතින අධික ලුණු ප්‍රමාණය ශරීරයෙන් ඉවත් කිරීමට වකුගඩු අධික ලෙස මුත්‍රා නිපදවමින් ශරීරය විජලනයට ලක් වීමේ අවදානම ඇති කරනවා. එමෙන්ම මෙම ජලය භාවිතය ඉහළ යාමෙන් ශරීරගතවන ලුණු ප්‍රමාණය ඉහළ ගොස් අධික රුධිර පීඩනය සහ ආඝාත තත්ත්ව වැනි සෞඛ්‍ය ආබාධ ඇති වීම සඳහා වැඩි සම්භාවිතාවයක් ඇති වෙනවා. මෙම රෝග තත්ත්ව ගර්භනී කාන්තාවන්ට වැළඳීමේදී දරුවාට පවා ඉන් සංකූලතා ඇතිවිය හැකියි.

ලවණතාව අධික ජලය සහ ඒවාගේ සෞඛ්‍ය බලපෑම පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා බංගලාදේශයේ වෙරළාසන්න ප්‍රදේශවල පානීය ජලයේ ලවණතාව සහ ජනතාවගේ සෞඛ්‍යට එයින් ඇති බලපෑම සම්බන්ධ පර්‍යේශණ වාර්තාව මෙතනින්.

මේ අනුව වියළි කලාපයේ, මේ දිනවල අධික උෂ්ණත්ව සහිත පරිසරවල, විශේෂයෙන්ම වෙරළාශ්‍රිත භූගත ජලය මේ දිනවල වඩාත් අවදානම් තත්ත්වයක පවතිනවා.

ලවණ සහිත සහ කිවුල් ජලය හඳුනාගත හැක්කේ කෙසේද ?

විද්‍යාගාර තුළ ජලයේ ලවණතාව හඳුනාගැනීම සඳහා විවිධ ක්‍රම පවතිනවා. නමුත් එදිනෙදා ජීවිතයේ භාවිත කරන ජලයේ එවැනි වෙනස්කම් පරීක්ෂණ ඔස්සේ හඳුනාගැනීම තරමක් අපහසුයි. එනිසා ජලයේ භෞතික ස්වභාවයේ ඇති ඕනෑම වෙනසක් නිරීක්ෂණය කර ජල සම්පත් මණ්ඩලයට දැන්වීම සිදුකළ හැකියි.

සාමාන්‍යයෙන් පිරිසිදු ජලය අවර්ණ, පැහැදිළි පාරදෘ‍ශ්‍ය, අපද්‍රව්‍යවලින් තොර, ගන්ධයකින් තොර සහ ආම්ලික භාශ්මිකතාවලින් තොර, උදාසීන ගතිගුණ දක්වනවා. නමුත් සාමාන්‍යයෙන් අප පානය සඳහා යොදාගන්නා ජලයේ යම් ලෙසින් ඛණිජලවණ අන්තර්ගත වෙනවා. එය සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා යන විට දිනපතා එම ජලය භාවිත කරන්නන් හට රසයේ වෙනස්වීම් වලට අනුව එය සංවේදනය වෙනවා. මෙම ගති ලක්ෂණ සාමාන්‍ය මට්ටමට වඩා වෙනස් බවක් දැනුනොත්, අදාල අංශ දැනුවත් කර ජල පරික්ෂාවක් සිදු කරගැනීමට හැකියි.

අදාල අංශවල පවතින තාක්ෂණික සහ රසායනාගාර පහසුකම් ඔස්සේ ජලයේ සං‍යුතිය සහ සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව පරීක්ෂණ සිදු කෙරෙනවා. කොළඹ, පුත්තලම, අනුරාධපුර, යාපනය පරීක්ෂණාගාරවලදී මෙම ජල සාම්පල පරික්ෂාව සිදු කර ගත හැකි බවට ජල සම්පත් මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ශ්‍රී ලංකාවේ භූගත ජලයේ ලවණතාවය වෙනස් වීමට දේශගුණික විපර්‍යාසවල බලපෑමක් තිබෙනවාද?

Written By: Fact Crescendo Team

Result: Insight

Tags:    

Similar News