House centipede නම් කුඩා පත්තෑ විශේෂය මිනිසුන්ට මාරාන්තිකද? අධික පිපාසය ඇතිකර, ඒ සඳහා ජලය පානය කිරීම ඔස්සේ මිනිසුන්ව මරා දැමීමට ඔවුන්ගේ විෂට හැකිද?

Update: 2024-03-30 17:31 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ලොව පුරා සත්ත්ව විශේෂ විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. මෙම සත්ත්ව විශේෂ අතරින් බොහෝ සත්ත්ව විශේෂ විවිධ ආරක්ෂණ උපක්‍රම දරනවා. විවිධ විෂ වර්ග දැරීමත් මෙවැනි සත්ත්ව විශේෂ දරන එක් ආරක්ෂණ යාන්ත්‍රණයක්. මෙවැනි සත්ත්ව විෂ විවිධ ආකාරයේ විෂ විය හැකියි. ඒ අනුව, මෙම දෂ්ඨනයන්වලට ලක්වෙන සතුන්ට විවිධ ආකාරයේ සංකූලතා ඇතිවිය හැකියි.

මෙවැනි සතුන් පිළිබඳව විවිධ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර හුවමාරු වීම සිදුවෙනවා. එම සටහන් මුලුමනින්ම විශ්වාස කිරීමට පෙර, පිළිබඳව සත්‍ය අසත්‍යතාව විමසා බැලීම ඉතා වැදගත්.

සමාජ මාධ්‍ය සටහන්

Facebook ඔස්සේ පසුගියදා හුවමාරු වූ සටහනක කුඩා සත්ත්වයෙකුගේ ඡායාරූපයක් සමඟ සටහනක් දක්වා තිබුණේ එම සත්ත්වයා දෂ්ට කළවිට, එම විෂ නිසා පිපාසය වැඩි වී දෂ්ඨනයට ලක්වූ මිනිසා පිපාසය සඳහා ජලය පානය කර වැඩි වී මිය යාමට ඉඩ ඇති බවයි.

Facebook | Archived

මෙම පලකිරීම මේ වන විට විශාල හුවමාරුවීම් ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. මෙම පලකිරීමෙන් පෙන්වා දෙන්නේ මෙම සත්ත්වයන් ගිම්හාන කාලය තුළ නිවාස තුළ දක්නට ලැබිය හැකි බවයි.

මේ පිළිබඳව සත්‍ය අසත්‍යතාවය විමසා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය):

ඉහත පලකිරීමේ සඳහන් අන්දමට එම ඡායාරූපයෙන් දැක්වෙන්නේ කෘමියෙකු නොවෙයි. කෘමියෙකු යනු පාද යුගල් තුනක් සහිත, සිරුර හිස, උරස, උදරය ලෙස කොටස් ඛණ්ඩ තුනකින් සමන්විත ජීවීන් කොට්ඨාශයක්. නමුත් මෙම ජීවියාට පාද යුගල් තුනකට වැඩි ප්‍රමාණයක් මෙන්ම, සිරුරේ ඛණ්ඩ තුනකට වැඩි ප්‍රමාණයක්ද සහිත වෙනවා. ඒ අනුව මේ කෘමියෙක් නොවෙයි. නමුත් මෙම ජීවියා කෘමීන්ට ආසන්න සබඳතාවක් දක්වනවා. කෘමින් මෙන්ම මෙම ජීවියාත් ආත්‍රොපෝඩා වංශයට අයත් ජීවීන්. නමුත් කෘමින් අයත් වන්නේ ආත්‍රොපෝඩා වංශය යටතේ ඇති hexapoda උපවංශයටයි. මෙහි දැක්වෙන ජීවියා ආත්‍රොපෝඩා වංශය යටතේම එන myriapoda උපවංශය යටතට ගැනෙනවා. මෙම උපවංශයට අයත්වන්නේ පත්තෑයන්, හැකරැල්ලන් වැනි පාද යුගල් 4කට වඩා වැඩි ගණනක් ඇති ආත්‍රොපෝඩාවනුයි. මෙම ජීවී ආකාර පිළිබඳ පැහැදිළි කිරීමක් මෙතනින්.

පහත රූපයෙන් මෙම උපවංශ දෙකේ සත්ත්වයින් අතර වෙනස්කම් දැක්වෙනවා. එහි පළමුවෙන් දැක්වෙන්නේ කාවා ලෙස හැඳින්වෙන කෘමියායි. දේහ හැඩය තරමක් දුරට සමාන වීමට හැකි වුවත්, පාද යුගල් ගණනේ සහ ශරීරයේ ඛණ්ඩ ගණනේ වෙනස මෙහි පැහැදිලිව පෙනීමට තිබෙනවා.

ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය පලකිරීමේ දැක්වෙන ජීවියා වන්නේ කුඩා පත්තෑ විශේෂයකුයි. House centipede ලෙස මෙම ජීවියාව හැඳින්වෙනවා. මොවුන්ගේ විද්‍යාත්මක නාමය, Scutigera coleoptrata වෙනවා. ශ්‍රී ලංකාවේදී ඇතැමුන් මේ සත්ත්වයා සුළු විෂ පරුස්සා ලෙසද හඳුන්වනවා. මොවුන්ට දිගැති පාද සහිතයි. සාමාන්‍යයෙන් වැඩිහිටි සතෙකුට පාද යුගල් 15ක් පමණ තිබෙනවා. මොවුන් ආහාරයට ගන්නේ කුඩා අත්‍රොපෝඩා වංශික සත්ත්ව විශේෂයි.මොවුන් ඉතා වේගයෙන් ඇවිද යාමට සමත් සත්ත්ව කොට්ඨාශයක්. ලෝකයේ වේගවත්ම පත්තෑ විශේෂය ලෙසත් මොවුන්ව හැඳින්වෙනවා. මොවුන්ගේ පාද ලා සහ තද වර්ණවලින් පටි ආහාර මෝස්තරයක් සහිතයි. සිරුරද දිගු අතට ඇති කහ සහ තද වර්ණිත පටි මෝස්තරයක් සහිතයි.

අනෙක් පත්තෑ විශේෂවලට වඩා මොවුන්ගේ ඇති විශේෂිත ලක්ෂණ වන්නේ දිගු පාද, වේගවත් බව මෙන්ම, ඔවුන්ට සිය ජීවන චක්‍රය මුළුමනින්ම නිවෙස් වැනි පරිසර තුළ සම්පූර්න කළ හැකිවීමයි.

ඇන්ටාක්ටිකාව හැර ලෝකයේ සෑම ප්‍රදේශයකම පාහේ මෙම ජීවියා මේ වන විට ව්‍යාප්ත්ව සිටිනවා. විශේෂයෙන්ම ඇමෙරිකාව ආශ්‍රිතව මොවුන් ඉතා සුලබයි. ශීත සමයේදී නොනැසී සිටීමට මෙම ජීවියාට හැකි අතර, අධික උෂ්ණත්ව කාලවලදී ඉතා හොඳින් ප්‍රජනනය සිදුකිරීමට මෙම කුඩා පත්තෑ විශේෂය සමත් වෙනවා.

Scutigera coleoptrata ජීවියාගේ විෂ -

සාමාන්‍යයෙන් පත්තෑයන් විෂ සහිත බව අප අසා ඇති කරුණක්. සාමාන්‍යයෙන් සෑම පත්තෑයෙකු තුළම විෂ අඩංගු වෙනවා. ඔවුන් සාමාන්‍යයෙන් කුඩා ජීවීන් ආහාරයට ගන්නා අතර, එම ගොදුරු අඩපණ කරගැනීමට සහ මරාදැමීම සඳහා හෝ ආරක්ෂාව සඳහා භාවිතය සඳහා ඔවුන් තුළ අඩංගු විෂ උපයෝගී කරගන්නවා. කෙසේ නමුත්, විවිධ පත්තෑ විශේෂවල අඩංගු විෂ විවිධ ආකාරයේ වන අතර, ඒවාගේ ස්වභාවය සහ හානිකර භාවය එකිනෙකින් වෙනස් වෙනවා. නෙමුත් මෙයින් මිනිසාට හානි සිදුවීම් වාර්තාවීම තරමක් අඩු මට්ටමක පවතිනවා.

පත්තෑයන් අතරින් වඩාත්ම විෂ සහිත විශේෂය ලෙස වාර්තා වන්නේ Scolopendra gigantea (යෝධ ඇමසන් පත්තෑයා) නම් පත්තෑ විශේෂයයි. මේ පිළිබඳව ගිනස් සටහන මෙතනින්.

මීට අමතරව වැඩිපුරම පත්තෑ විෂ පිළිබඳව අධ්‍යනයේදී යොදාගෙන ඇත්තේ Scolopendra subspinipes නම් පත්තෑ විශේෂයේ විෂයි. මෙම විෂ පිළිබඳව සිදුකළ පර්‍යේෂණවලදී පෙනී ගොස් ඇත්තේ, ග්‍රෑම් 3ක් බරවන මෙම සත්ත්වයාගේ විෂට ග්‍රෑම් 45ක් බර මීයෙකුව අඩපණ කිරීමට සමත් බවයි.

ලෝකයේ වඩාත්ම විෂ සහිත පත්තෑයන් විශේෂ පිළිබඳව සටහනක් මෙතනින්. කෙසේ නමුත්, මෙම ලොව වඩාත්ම විෂ සහිත පත්තෑ විශේෂ අතරට house centipede ඇතුලත් වන්නේ නැහැ.

පත්තෑ දෂ්ඨනවලින් මිනිසුන් මිය යාම එතරම් සුලබ සිදුවීමක් නොවෙයි. සාමාන්‍යයෙන් ඉතාම විෂ සහිත පත්තෑ දෂ්ඨනයන්ගෙන් සිදුවූ මිනිස් මරණ කිහිපයක් පිළිබඳව වාර්තා වී තිබෙනවා. ඒ පිළිබඳව සටහන මෙතනින්.

කෙසේවෙතත්, house centipede පිළිබඳව සිදුකළ පර්‍යේෂණ ඔස්සේ පෙන්වා දෙන්නේ මෙම පත්තෑ විශේෂයද විෂ සහිත පත්තෑ වර්ගයක් වුවත්, එම විෂ වෙනත් විශේෂවල පත්තෑයන් විසින් ස්‍රාවය කරන තරම් ක්‍රියාකාරී විෂක් නොවන බවයි. ඒ පිළිබඳව පර්යේෂණ වාර්තාවක් මෙතනින්.

අතීතයේදී මධ්‍යධරණී මුහුද ආශ්‍රිත රටවල්වල ජීවත් වූ මෙම පත්තෑයන් මේ වන විට ලෝකයේ බොහෝ රටවල ව්‍යාප්‍ත වී සිටිනවා. 2024 වසර වන විට මොවුන් එංගලන්තයේ, නොටිංහැම්ශයර් තුළින් සොයා ගැනුණා. ඒ ආශ්‍රිතව අදහස් පලකරමින් එක්සත් රාජධානියේ ලෙයිකෙස්ටර් විශ්වද්‍යාලයේ, පරිසර ඉතිහාසය පිළිබඳව ආචාර්‍ය රිචඩ් ජෝන්ස් මහතා කියා සිටින්නේ, දේශගුණ විපර්‍යාස හේතුවෙන් මෙම සත්ත්වයින් මෙලෙස වෙනත් රටවල් කරා ව්‍යාප්ත වෙමින් සිටිනවා විය හැකි බවයි. කෙසේ නමුත් ඔහු එහිදී අදහස් පලකර තිබුනේ, මොවුන් විෂ සහිත වුවත්, මෙය මිනිසුන්ට මාරාන්තික නොවන බවයි. මී මැසි දෂ්ඨනයක් තරමේ හානියක් පමණක් මොවුන්ගේ දෂ්ඨනයෙන් මිනිසාට ඇතිවිය හැකි බව එතුමා පෙන්වා දී තිබුණා. එම ලිපිය මෙතනින්.

සාමාන්‍යයෙන් මෙම පත්තෑයා තරමක් කුලෑටි සත්ත්වයෙක්. මිනිසුන් වෙතින් හැකිතාක් දිව යාමට මොවුන් උත්සාහ කරනවා. මොවුන් ඉතා වේගයෙන් දිව ගොස් ස්ථානවලින් ඉවත් වීම සිදු කරනවා. නමුත් ඔවුන්ට යම් යම් ආකාරවලින් හිරිහැර කිරීම හෝ බාධා කිරීම ඔස්සේ ඔවුන් දෂ්ඨනයට පෙලඹීමට හැකියි. මොවුන්ගේ භයානක පෙනුම නිසා මිනිසුන් මොවුන් මඟහැර සිටීමත්, ඔවුන්ගේ වහා පලායාම නිසාත්, මොවුන්ගේ දෂ්ඨන පිළිබඳව වාර්තා වීම් අඩුයි.

මෙම දෂ්ඨනයක් සාමාන්‍ය මී මැසි දෂ්ඨනයකට සමාන වන අතර, තරමක සුළු වේදනාවක් ඇතිවිය හැකියි. එමෙන්ම රතුවීමක්, ඉදිමීමක් වැනි සුළු අපහසුතා මේ ඔස්සේ ඇතිවිය හැකියි.

කෙසේනමුත්, ඇතැම් පිරිස් මීමැස්සන්ට ආසාත්මික වන්නාක් මෙන්, house centipede දෂ්ඨනයද ඇතැමුන්ට තරමක ආසාත්මිකතා ඇතිකිරීමට ඉඩ පවතිනවා. තද වේදනාව, සිරුර කැසීම, අඩු නොවන ඉදිමීම සහ රතුවීම, සිරුරේ පලු හෝ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවීම ආදී ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම සුදුසුයි.

House centipede දෂ්ඨනයකදී ලබාදිය යුතු ප්‍රථමාධාර -

  • දෂ්ඨනයට ලක් වූ ස්ථානය හොඳින් සෝදන්න. සාමාන්‍ය සබන් සහ උණුසුම් ජලය යොදාගෙන දෂ්ඨනයට ලක්වූ ස්ථානය සේදීමෙන් බලපෑම් ඇතිවීම අවම වෙනවා.
  • විෂබීජනාශක සහ ප්‍රතිජීවක ඖෂධ යොදාගෙන දෂ්ඨනයට ලක්වූ ස්ථානය පිරිසිදු කිරීම මඟින් තවදුරටත් ඇතිවන බලපෑම අවම කරගත හැකියි.
  • සම්මත වේදනා නාශක ලබාගැනීමත් සිදුකළ හැකියි.
  • ඊට අමතරව, අයිස් මඟින් හෝ සීතල වතුර බෝතලයක් ආසාදිත ස්ථානය මත තබා තැවීම ඔස්සේ ඉදිමීම යම්තාක් දුරට පාලනය වෙනවා.
  • කැසීම් වැනි තත්ත්වයක් ඇතිවූවත්, තවදුරටත් කැසීම සිදුනොකර, අදාල ස්ථානය සීරීම සහ තුවාල ඇතිකරගැනීමෙන් වැලකිය යුතුයි.
  • යම් ආසාත්මික තත්ත්වයක් පෙන්නුම් කරන බවක් පෙනී ගියොත් හෝ දෂ්ඨනයට ලක්වූ ස්ථානයේ ලක්ෂණ තවදුරටත් වැඩිවීමට වූවොත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම සිදුකළ යුතුයි.

කෙසේ නමුත්, බොහෝ පුද්ගලයින්ට මෙම දෂ්ඨනය වෛද්‍ය ප්‍රතිකාරවලින් තොරව ක්‍රමයෙන් සුවවීම සිදු වෙනවා. ඒ නිසා නිවසේදීම ප්‍රථමාධාර ලබාදෙන විට ලක්ෂණ වැඩිවීමක් පිළිබඳව අවදානයෙන් සිටීම වැදගත්.

ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථනයේ තහවුරු කිරීම -

මේ ඵිලිබඳව වැඩිදුරටත් විමසීමට ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය අප විසින් සම්බන්ධ කර ගැනුණා. එහිදී පෙන්වා දුන්නේ මෙම ජීවියා එතරම් සුලබ නොවන අතර, ඇතැම් අවස්ථාවලදී අප අවට පරිසරයේදී හමුවිය හැකි බවයි. එමෙන්ම, සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පරිදි රෝග ලක්ෂණ මොවුන්ගේ දෂ්ඨනවලදී ඇති නොවන බව ඔවුන් පෙන්වා දුන්නා. මොවුන් සුළුවිෂ සහිත සත්ත්වයෙකු බවත්, මොවුන්ගේ විෂ මිනිසුන්ගේ මරණයට හේතු නොවන බවත් ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය පැහැදිළි කළා. ඇතැම් අවස්ථාවලදී ආසාත්මිකතා ඇතිවීමට හැකියාවක් පැවතියත් ඒවාද මාරාන්තික හෝ දරුණු තත්ත්ව නොවන බවට ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

අධික පිපාසය -

අධික පිපාසය house centipede දෂ්ඨනයෙන් ඇතිවන ලක්ෂණයක් නොවෙයි. නමුත් මෙය ඇතැම් අවස්ථාවලදී වෙනත් රෝගාබාධ නිසා ඇතිවීමට හැකියි. මෙය නිදන්ගත රෝග සහ හදවත, වකුගඩු සහ අක්මාව වැනි අවයවවල දුර්වලතා සමඟ හටගත හැකියි. මෙලෙස මතුවන අධික පිපාසය සඳහා අධික ලෙස ජලය සහ වෙනත් දියර වර්ග පානය කිරීම තුළින් අධි සජලනය ඇතිවිය හැකියි. යමෙක් ශරීරය තුළට ලබාගන්නා ද්‍රව ප්‍රමාණය පිටකරන ප්‍රමාණයට වඩා වැඩි වීමේදී මෙම තත්ත්වය ඇති වෙනවා. මෙලෙස අධිකව සජලනය වීම නිසා රුධිරයේ සෝඩියම් මට්ටම දැඩි ලෙස අඩුවී විවිධ සංකූලතා ඇතිවීමේ හැකියාව පවතිනවා.

කෙසේ නමුත් මෙය house centipede දෂ්ඨනයෙක් සිදුවන තත්වයක් නොවන බව තහවුරු වෙනවා.

House centipede පරිසරයට වැදගත් වන්නේ ඇයි -

තරමක් භයානක පෙනුමක් සහ සුළු විෂක් අන්තර්ගත වුවත්, house centipede විසින් පරිසරයට විශාල සේවාවාක් ඉටු කෙරෙනවා. නිවෙස්වල ජීවත් වන විවිධ පලිභෝධකයින් මොවුන් විසින් ගොදුරු කරගෙන ආහාරයට ගනු ලබනවා. විශේෂයෙන්ම මකුණන්, වේයන් වැනි සතුන් ඔවුන්ගේ ගොදුරු බවට පත්වෙනවා. එමෙන්ම මෙමඟින් පරිසර සමතුලිතතාවය ආරක්ෂා වීමට විශාල දායකත්වයක් ලබා දෙනවා.

තවත් මෙවන් කරුණු විමර්ෂණ සඳහා අප සමඟ එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

ඉහත විමර්ෂණයට අනුව, සමාජ මාධ්‍ය ජාලා සටහනේ පෙන්වා දෙන පරිදි එම ජීවීන් මිනිසුන්ට මාරාන්තික නොවන බව පෙනී යනවා. මෙතෙක් කළකට මෙම සතුන් නිසා සිදුවූ මරණ පිළිබද එතරම් ප්‍රකට වාර්තා නැහැ . නමුත් ඔවුන් සුළු විෂ සහිතයි. එම දෂ්ඨනය සුළු වේදනාවක් ඇති කිරීමට ඉඩ පවතින අතර, ඇතැමුන්ට පමණක් යම් සැලකිය යුතු ආසාත්මික තත්ත්වයන් ඇති  විය හැකියි. එමෙන්ම, මෙම දෂ්ඨනයකදී අධික පිපාසය ඇතිවී, ඒ හේතුවෙන් අධිකව ජලය පානය කර සජලනය වීමට ඉඩක් පවතින්නේ නැහැ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:House centipede නම් කුඩා පත්තෑ විශේෂය මිනිසුන්ට මාරාන්තිකද? අධික පිපාසය ඇතිකර, ඒ සඳහා ජලය පානය කිරීම ඔස්සේ මිනිසුන්ව මරා දැමීමට ඔවුන්ගේ විෂට හැකිද?

Written By: Fact Crescendo Team

Result: Misleading

Tags:    

Similar News