මැතිවරණ සඳහා අපේක්ෂිකාවන්ගේ දයකත්වය අවම වන්නේ ඇයි?

Update: 2024-08-31 11:04 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයෙහි, ස්ත්‍රී පුරුෂ සමජභාවීය සමානාත්මතාව තහවුරු කරමින් ලෝක ප්‍රජාවගෙන් හරි අඩක් නියෝජනය කරන කාන්තාවටද පුරුෂයා හා සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු වුවද, නිදහස, සමානාත්මතාව හා අයිතිවාසිකම් සමානව භුක්ති විදීමේ නිර්ණායකයක් වන දේශපාලන සහභාගිත්වය තුළ ලොව අති බහුතරයක් කාන්තාවන් පෙන්නුම් කරන්නේ අක්‍රිය මැදිහත්වීමකි. සංවිධානාත්මක දේශපාලන ක්‍රමයක් තුළ සක්‍රිය දේශපාලන ජීවියෙකු වීමට පුරවැසියාට ඇති ඉඩ ප්‍රශ්ථාව දේශපාලන සහභාගිත්වය යනුවෙන් හදුන්වනු ලැබේ. පාලකයන් තෝරා ගැනීමත්, හා පාලන බලය ලබාගැනීමත් දේශපාලන සහභාගිත්වය තුළ අන්තර්ගත වුවද, මානව ඉතිහාසය පුරාම කාන්තාව පාලනයට සහභාගී වී ඇත්තේ ඉතාම අල්ප වශයෙන් බව පෙනී යයි.

කාන්තාවන් දේශපාලන කටයුතු වලින් ඈත්ව සිටින්නේ ඇයි ?

සමාජය තුළ දැඩි ලෙස ප්‍රථිස්ථාපනය වී තිබෙන සම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව වූ ආකල්ප කාන්තාවන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඇත්කිරීමට බලපෑ ප්‍රධානතම හේතුව වේ. විචාරකයන්ට අනුව කාන්තාවන් දේශපාලනය කෙරෙහි අල්ප වූ උනන්දුවක් දැක්වීමට වඩා පුරුෂධිපත්‍ය සහිත දේශපාලන ලෝකයක දේශපාලන අපේක්ෂකත්වය ලැබීමට ඇති පසුබට බව මෙහිදී කැපී පෙනේ. මැතිවරණ කටයුතු, ඡන්දය දීම, උද්ඝෝෂණ, පෙළපාලි, පිකටින්, රැස්වීම් වලට සහභාගී වීම, කාන්තා බලමණ්ඩල හා පක්ෂ සාමාජිකත්වය ලැබීම ආදිය තුළ දේශපාලනික වශයෙන් කාන්තාවගේ කිසියම් සක්‍රියමැදිහත්වීමක් දැක ගත හැකි වුවද, රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරන හා ජාතියේ පැවැත්මට වැදගත් තීරණ ගන්නා ස්ථානය වන ව්‍යවස්ථාදායකය තුළ කාන්තා සහභාගිත්වයේ කැපී පෙනෙන අඩුවක් ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයන්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 2000 සිට මේ දක්වා (2024) නියෝජනය පහත පරිදි වේ. වැඩිදුරටත්

කාල සීමාවමත්‍රීවරියදිස්ත්‍රික්කයසංඛ්‍යාව
2000-2001සුමේධා ජී. ජයසේන මහත්මිය මොණරාගල10
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රත්නපුර
ෆේරියල් අෂ්රෆ් මහත්මියදිගාමඩුල්ල
අමරා පියසීලි රත්නායක මහත්මියකුරුණෑගල
සුරංගනී එල්ලාවල මහත්මිය රත්නපුර
සෝමකුමාරි ‌තෙන්න‌කොන් මහත්මිය කුරුණෑගල
ඉ‌වෝන් ශ්‍රියාණි ප්‍රනාන්දු මහත්මිය පුත්තලම
චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මියඅනුරාධපුර
ඒ. ඩී. අන්ජාන් උම්මා මහත්මිය ජාතික ලැයිස්තුව
2000-2004සු‌මේධා ජී. ජය‌සේන මහත්මියමොණරාගල13
පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය රත්නපුර
ෆේරියල් අෂ්‌රොෆ් මහත්මිය දිගාමඩුල්ල
අමරා පියසීලි රත්නායක මහත්මිය කුරුණෑගල
මේරි ලැරීන් පෙ‌රේරා මහත්මිය පුත්තලම
චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මිය අනුරාධපුර
සුජාතා අලහකෝන් මහත්මිය මාතලේ
තලතා අතුකෝරාල මහත්මිය රත්නපුර
පත්මිණී සිදම්පරනාදන් මහත්මියයාපනය
තංගේශ්වරී කදිරමන් මෙනෙවිය මඩකලපුව
ඒ. ඩී. අන්ජාන් ‌උම්මා මහත්මියගම්පහ
නිරූපමා රාජපක්ෂ මහත්මියහම්බන්‌තොට
රේණුකා හේරත් මහත්මිය නුවරඑළිය
2010-2015සු‌මේධා ජී. ජය‌සේන මහත්මිය මොණරාගල13
පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියරත්නපුර
නිරූපමා රාජපක්ෂ මහත්මිය හම්බන්‌තොට
චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මිය අනුරාධපුර
තලතා අතුකෝරාල මහත්මිය රත්නපුර
වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය ගම්පහ
ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය දිගාමඩුල්ල
රෝසි සේනානායක මහත්මියකොළඹ
උපේක්‍ෂා ස්වර්ණමාලි මහත්මිය ගම්පහ
විජයකලා මහේස්වරන් මහත්මිය යාපනය
මාලනී ෆොන්සේකා මහත්මිය ජාතික ලැයිස්තුව
කමලා රණතුංග මෙනෙවියජාතික ලැයිස්තුව
අනෝමා ගමගේ මහත්මිය ජාතික ලැයිස්තුව
2015-2020චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අනුරාධපුර13
තලතා අතුකෝරාල මහත්මිය රත්නපුර
විජයකලා මහේස්වරන් මහත්මිය යාපනය
වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය ගම්පහ
සු‌මේධා ජී. ජය‌සේන මහත්මිය මොණරාගල
වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියජාතික ලැයිස්තුව
පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය රත්නපුර
ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය දිගාමඩුල්ල
ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියගාල්ල
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ
වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මියකෑගල්ල
රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය මාතලේ
ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මියජාතික ලැයිස්තුව
2020 - මේ දක්වාපවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියරත්නපුර12
(වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මියගම්පහ
(වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මියජාතික ලැයිස්තුව
තලතා අතුකෝරල මහත්මිය රත්නපුර
රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මාතලේ
ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය ගාල්ල
කෝකිලා ගුණවර්ධන මහත්මිය ගම්පහ
මුදිතා ප්‍රිශාන්ති මහත්මිය රත්නපුර
රාජිකා වික්‍රමසිංහ මහත්මිය කෑගල්ල
මංජුලා දිසානායක මහත්මිය ජාතික ලැයිස්තුව
(ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මියජාතික ලැයිස්තුව
ඩයනා ගමගේ මහත්මිය ජාතික ලැයිස්තුව

නිදහසින් පසු ශ්‍රී ලාංකික කාන්තාව සෞඛ්‍ය, අධ්‍යාපනය, රැකියා ආදි ක්ෂේත්‍රයන්හි වේගවත් වර්ධනයක් පෙන්වමින් මානව සංවර්ධන දර්ශකය තුළ දකුණු ආසියාවට ආදර්ශයක්වි තිබුනද, ලෝකයේ ඇතැම් රටවල් හා සාපේක්ෂව බැලීමේදී එකී සමාජ ආර්ථීක වර්ධනයේ සාධනීය වෙනස මෙරට කාන්තාව දේශපාලනික වශයෙන් බලගැන්වීමකට හේතු වී නොමැති බව පසුගිය මැතිවරණ ප්‍රතිපල වලින්ද පැහැදිලි වේ. ඒ මෙරට පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ප්‍රතිශතාත්මකව බැලූ විටය.

මෙරට දේශපාලන පක්ෂ කාන්තාවගේ දේශපාලන සහභාගිත්වය වර්ධනය කිරීම පිළිබද අදහස් ඉදිරිපත් කරමින් ඇතැම් විට ඒ සඳහා ක්‍රියාත්මක වුව ද, දේශපාලන ක්ෂේත්‍රය තුල කාන්තා සහභාගිත්වය වර්ධනය කිරීම ඔස්සේ ඇය බල ගැන්වීමේ සාර්ථක හා ඵලදායි වැඩපිළිවෙලකට ප්‍රවිෂ්ට වී නොමැති බව පෙනේ. තවද, පර්ලිමේන්තුවේද මේ පිළිබඳව සංවාද ගොඩ නැඟී තිබුණි. වැඩිදුරටත්

කාන්තා නියෝජනය වැඩි කිරීමට ගත උත්සාහයන් සාර්ථකව නැහැ

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ කාන්තා නියෝජනය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරමින් මැතිවරණ ලැයිස්තු වල කාන්තා ප්‍රතිශතය ඉහළ නැංවීමට ක්‍රියා කළද, කාන්තා නියෝජිතයන් ලෙස පත්වන සංඛ්‍යාවේ සැලකිය යුතු වෙනසක් සිදු නොවූ අතර ඊට ප්‍රධාන හේතුව වන්නේ දේශපාලන පක්ෂ විසින් කාන්තාවන් තම පක්ෂ ලැයිස්තුවට ඇතුලත් කළද ඔවුන් වටිනා අපේක්ෂකයන් ලෙස නොසැලකීමත්, කාන්තාවගේ භූමිකාව දේශපාලන නායකත්වය දක්වා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි යන ආකල්පයන් තුළ තම ලැයිස්තුවේ සිටින කාන්තා අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය උදෙසා පක්ෂ මට්ටමින් සුවිශේෂී කැපවීමක් නොකිරීමත්ය. මෙරට පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය 5.8%ක් වන අතර පළාත් පාලන ආයතන වල 1.8%ක් හා පළාත් සභාවල 0%ක් ලෙස සටහන් වෙන්නේ දකුණු ආසියාවේ පමණක් නොව ලෝකයේම කාන්තා දේශපාලන නියෝජනයේ ඉතා පහළ මට්ටමක බව සනිටුහන් කරමිනි. වැඩිදුරටත්

කාන්තා නියෝජනය අවම වීමට හේතු

කාන්තා දේශපාලන නියෝජනය අඩු වීම කෙරෙහි බලපා ඇති ප්‍රධාන සාධක ලෙස හදුනාගෙන ඇත්තේ කාන්තාවන් තුළ තම දරුවන් පිළිබද ඇති වගකීම, ඉහළ තත්ත්වයන් දැරීමට තමන්ට ඇති සුදුසුකම් පිළිබද ඇති අවිශ්වාසය හා තමන්ගේ හැකියාවන් පිළිබද අවතක් සේරුවයි. විශේෂයෙන්ම සම්ප්‍රදායික කාන්තා භූමිකාවට අයත් දරුවන් රැක බල ගැනීම හා ගෘහස්ත කටයුතු මේ අතර ප්‍රධාන වේ. ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලය 2001 දි කරනු ලැබූ අධ්‍යනයකින් මේ බැව් තහවුරු කර තිබේ. ශ්‍රී ලාංකික සමාජයේද කාන්තාවන් දේශපාලනයෙන් දුරස් වීම කෙරෙහි මේ සධක බලපා ඇත. එනම්, පවුලේ වගකීම් පිළිබඳව මූලිකත්වය ගෙන ක්‍රියා කරන අතර තමන්ගේ හැකියාවන් පිළිබද ඇති අවතක්සේරුවද සැලකිය යුතු බලපෑමක් කර ඇත. කෙසේ වුවද, ඉහත අධ්‍යයන වාර්තාව තවදුරටත් සඳහන් කරන්නේ, කාන්තාව හා දේශපාලනය පිළිබද ගැටළුව හුදෙක් කාන්තාව සතු පවුලේ වගකීම පිළිබද කාරණයක් පමණක් නොවේ. වැඩිදුරටත්.

රැකියා නියුක්ත කාන්තාවගේ භූමිකාව ආදර්ශමත් ගෘහනියකගේ වගකීම හා ගලපා ගැනීමේ සංස්කෘතිකමය අවශ්‍යතාව ද මේ කෙරෙහි බලපාන බව වේ. මේ හැර, දේශපාලන සවිඥානය, දේශපාලනික වශයෙන් බලගැන්වීම දේශපාලන නියෝජනය හා සම්බන්ධ ප්‍රධාන සාධකයකි. කාන්තා භූමිකාව හා සබැදි සමාජ ධර්මතාවන් මේ කෙරෙහි ප්‍රබල බලපෑමක් කරන අතර, බොහෝ විට ප්‍රජාවේ විවිධ සමාජ සංවිධාන තුළ ක්‍රියාකාරී සාමාජිකාවන් ලෙස ක්‍රියා කළද, ජාතික දේශපාලන පද්ධතිය තුළ පිරිමි දේශපාලන තරඟකරුවන් හා උරෙනුර ගැටී තරග කිරීමට තරම් ප්‍රමාණවත් දේශපාලන දැනුමක්, බලයක් හා හැකියාවක් නොමැති වීම ද සැලකිය යුතු කරුණකි. දේශපාලන සුදුසුකම් පිළිබද අදහස කාන්තාවන් දේශපාලනයෙන් ඈත් කිරීම කෙරෙහි බොහෝ සෙයින් බලපා ඇත. ඇමෙරිකාවේ මිනසෝටා විශ්ව විද්‍යාලයේ කැත්රින් පියර්සන් හා කැලිපෝනියාවේ මහජන ප්‍රතිපත්ති ආයතනයේ එරික් මැගී සිය පර්යේෂණ තුළින් පෙන්වා දෙන්නේ දෙශපාලන කටයුතු වලදී කාන්තාවන්ට පුරුෂයන් හා සමාන සුදුසුකම් ඇති අතර ඇතැම් විට පුරුෂයාට වඩා ඉහළ සුදුසුකම් පෙන්වන බවත් දේශපාලන දැනුමේ හීන බව හා කාන්තාවට මැතිවරණ අපේක්ෂකත්වය ලැබීම අතර සහ සම්බන්ධතාවක් ඇති බවත්, දේශපාලන දැනුමේ ඌනතාව මාධ්‍යයට මුහුණදීම පසුබට කරවන බවත් ඒ තත්ත්වය දේශපාලන මාධ්‍යයන්ගේ අවධානය අඩු වීමට හේතු වන බවත්ය.

දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිත්වය මේ කෙරෙහි බලපාන තවත් වැදගත් කරුණකි. දේශපාලන පක්ෂ ඔවුන්ගේ නිරන්තර සාකච්ජාවන් තුළින් මෙන්ම ව්‍යවස්ථාවෙන් ද කාන්තා නියෝජනය වැඩි කිරීමට පියවර ගෙන තිබුනද, මැතිවරණ සඳහා නාමයෝජනා ලබාදීමේදී ප්‍රමුඛතාව දෙනු ලබන්නේ පිරිමි අපේක්ෂකයන්ටය. ප්‍රධාන පක්ෂ විසින් ඇතැම්විට, කැපී පෙනෙන කාන්තා චරිත අත්ලොස්සක් ජයග්‍රහණය පිළිබද විශ්වාසය තැබිය හැකි අපේක්ෂකයන් ලෙස සලකමින් ඔවුන්ට මැතිවරණ ක්‍රියාවලිය තුළ වැඩි සැලකිල්ලක් හා සහයෝගයක් දක්වයි. මෙබඳු අපේක්ෂිකාවන් බොහෝ විට ජනප්‍රිය දේශපාලනඥයන් හා ඉතා කිට්ටු සම්බන්ධතා ඇති එනම් මියගිය හෝ ජීවත්ව සිටින දේශපාලනඥයෙකුගේ බිරිදක්, දියණියක්, වැන්දඹුවක්, හෝ සොයුරියක් වේ.

මැතිවරණ ක්‍රියාවලිය හා සම්බන්ධ බොහොමයක් ක්‍රියාකරීත්වයන්හිදී එනම්, තමන් නියෝජනය කරන පක්ෂය වෙනුවෙන් පුර්ණ කාලිනව කැපවෙමින් පක්ෂයේ ජයග්‍රහණය උදෙසා ජනතාව අතරට ගොස් ඔවුන් සංවිධානය කරමින්, රැස්වීම්, පෙළපාලි, විවාද, මාධ්‍ය සාකච්ජා, විවිධ සමාජ අවස්ථාවන්ට සහභාගි වීම පමණක් නොව විවිධ දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ද සම්බන්ධ වෙමින් හෝ ඒවාට මුහුණ දෙමින්ද ඇතැම්විට පොලිසි, උසාව, බන්ධනාරගත වෙමින් ආදී වශයෙන් දැවැන්ත කැපකිරීම් කරමින් කෙසේ හෝ තමා නියෝජනය කරන දේශපාලන පක්ෂය ජයග්‍රහණය කරවීමට අතිශය වැදගත් කාර්‌යභාරයක් ඉටුකරන පුරුෂ පක්ෂය අමතක කරමින් ඔවුනට සාපේක්ෂව බලය ලබා ගැනීමේ ක්‍රියාවලියට අවම සහභාගිත්වයක් දරන කාන්තාවන්ට මැතිවරණ අපේක්ෂකත්වය ලබා දීමට ප්‍රධාන දේශපාලන පක්ෂ නොපෙළෙඹෙයි. එහෙත් මෙහිදී අමතක නොකළ යුතු කරුණක් වන්නේ, පුරුෂ පක්ෂය මෙන් කැපී පෙනෙන්නේ නැති වුවද දේශපාලන පක්ෂ හා පුරුෂ අපේක්ෂකයන් පසුපස සිට පක්ෂයේ ජයග්‍රහණය උදෙසා කාන්තාවන් ඉටුකරන සුවිශේෂී කාර්යභාරය දේශපාලන පක්ෂ විසින් හදුනා නොගැනීමය. හදුනාගත්ත ද එය ඇගයීමට ලක්කිරීමට තරම් දේශපාලන සමාජය කෘතවේදී නොවීමයි.

දේශපාලන පක්ෂ කාන්තාවන් කෙරෙහි දක්වන ආකල්පයන්

ජාතික ලැයිස්තුවට නියෝජිතයන් නම් කිරීමේදී ද මෙරට දේශපාලන පක්ෂ කාන්තාවන් කෙරෙහි දක්වන්නේ අල්ප සැලකිල්ලකි. ඒ සමගම බොහෝ විට දේශපාලන පක්ෂ විසින් තම පක්ෂයේ කැපී පෙනෙන කාන්තා චරිත යොදාගන්නේ ස්ත්‍රීවාදී ආකල්ප සමාජය තුල වපුරුවාලමින් ස්ත්‍රීන්ට සමාජ ආර්ථික වශයෙන් ඇති ඉඩ ප්‍රස්තාවන්හි අල්ප බවත්, නිදහස, සමානත්මතාව වැනි සංකල්ප තුළ කාන්තාවන්ට හිමි තැන ලබා ගනිමින් කාන්තාව බලගැන්වීමට තමන් නියෝජනය කරන පක්ෂයේ ඇති වැඩපිළිවෙලත්, පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ බව සදහන් කෙරෙන අවශ්ථා උපුටා දක්වමින් කාන්තා ඡන්ද පක්ෂයට ලබා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් පමණි. මෙහිදී මතුවන ප්‍රධාන තර්කය වන්නේ එසේ කෙසේ හෝ මැතිවරණ අපේක්ෂකත්වය ලැබුණු අවස්ථාවන්හිදී ද ජනතා නියෝජිතයෙක් ලෙස කාන්තා අපේක්ෂකයින්ට පර්ලිමේන්තුවට තේරී පත්වීමේ හැකියාව කෙතෙක් දුරට තිබේද යන්නයි. එසේ මැතිවරණය ජයග්‍රහණය කළද, ආණ්ඩු බලය ලබාගත් දේශපාලන පක්ෂයේ ඇමතිවරියක් ලෙස රටේ ප්‍රතිපත්ති සම්පාදනයට සම්මාදම් වීමට ඔවුනට ලැබෙන අවස්ථාව ඊටත් වඩා අල්පය.

මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිවල කාන්තා දේශපාලනයේ අවම දායකත්වය

තවද, මැතිවරණ නියෝජිතයන් ලෙස බලය ලබාගැනීමේ ක්‍රියාවලිය තුළ කාන්තාවන්ට ඇති ඉඩප්‍රස්තා අවම වීම පමණක් නොව කෙසේ හෝ ඇයට ඒ අවස්ථාව හිමි වුවද, මැතිවරණයේ අත්‍යවශ්‍ය අංගයක් වන ප්‍රචාරණ ක්‍රියාවලිය තුළදී ද, කාන්තා නියෝජිතවරියන් බෙහෙවින් අසරණ වන්නේ පුරුෂ අපේක්ෂකයන්ට මෙන් තමන්ට සාර්ථක ප්‍රචාරණයකට ඇති ඉඩ ප්‍රස්ථා අවමවීම නිසාය. දේශපාලන බලය ලබ ගැනීමේදී මාධ්‍යයේ බලපෑම බෙහෙවින් තීරණාත්මක වුවද, කාන්තා නියෝජිතවරියන් කෙරෙහි මාධ්‍ය අවධානය යොමු වන්නේ මද වශයෙනි. යුරෝපා මැතිවරණ නිරීක්ෂන වාර්තාවන්ට අනුව කාන්තා අපේක්ෂකයින්ට ලැබෙන මැතිවරණ ප්‍රචාරණය ඉතාම අල්ප වේ. ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රථම අගමැතිනිය හා වැඩිම බලයක් සහිත විධයක ජනපතිනියක් බිහිකළ රාජ්‍ය වුවද, ඒ පසුපස ඇත්තේ දකුණු ආසියාවේ දේශපාලන ක්ෂෙත්‍රය තුළ ප්‍රකට ලක්ෂණයක් වන වැන්දඹු දේශපාලනයේ කදුළට ආකර්ෂණය වන සානුකම්පිත ජන්දවල බලපෑමයි.

1994 හා 2019 ජනාධිපතිවරණ අපේක්ෂිකාවන් ලෙස කාන්තාවන් ඉදිරිපත් වුවද ඊට පසු ජනාධිපතිවරණ සඳහා අපේක්ෂිකාවන්ගේ ඉදිරිපත් වීමක් දැකගත නොහැක. කෙසේ නමුත් මෙහිදී සැලකිය යුත්තක් නම්, සමස්ත ජනාධිපතිවරණ ප්‍රතිඵලයන්හි ප්‍රතිශතය ගතහොත්, වැඩිම මනාප ප්‍රතිශතක හිමි කර ගෙන ඇත්තේද කාන්තාවක් වීමය.එනම්, 1994 ජනාධිපතිවරණයේදී ප්‍රථම වරට අපේක්ෂිකාවන් දෙදෙනෙක් අතර මනාප සටන පැවති අතර ඉන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජයග්‍රහණය කළේ ඡන්ද 47,09,205 ලබා ගෙනය. එය 62% ප්‍රතිශතයක් හිමි කර ගැනීමෙනි. විශේෂත්වය නම්, එම ප්‍රතිශතය කිසිම අපේක්ෂකයෙකු මේවන තෙක් ලබා නොගෙනීම ය. වැඩිදුරටත්.

වර්ෂයඅපේක්ෂකයා / අපේක්ෂිකාවප්‍රතිශතය
1982ජේ. ආර්. ජයවර්ධන53%
1988රණසිංහ ප්‍රේමදාස50%
1994චන්ද්‍රිකා කුමාරතුංග62%
1999චන්ද්‍රිකා කුමාරතුංග51%
2005මහින්ද රාජපක්ෂ50%
2010මහින්ද රාජපක්ෂ58%
2015මෛත්‍රීපාල සිරිසේන51%
2019ගෝඨාභය රාජපක්ෂ52%

ගතානුගතික ආකල්ප

රටේ ජන්දදායකයන්ගෙන් අර්ධයක් සමන්විත වන කාන්තාවන් ස්වකීය වර්ගයා දේශපාලන පක්ෂ අපේක්ෂිකාවන් ලෙස ඉදිරිපත්වූ විට තම ඡන්දය ලබා දෙමින් ඔවුන් තම නියෝජිතවරියන් ලෙස තෝරා ගැනීමට මැලිකමක් දැක්වීම විශේෂ අවධානයට ලක්විය යුතු ය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ පාලනය යන්න ඓතිහාසිකවම පුරුෂයාට අයත් කාර්යයක් ලෙසත්, ඊට යටත් වීම කාන්තාවගේ වගකීම ලෙසටත් මුල් බැසගෙන ඇති සමාජ පිළිගැනීම්, අයිතිවාසිකම්, නිදහස, සමානාත්මතාව ආදී ප්‍රජාතාන්ත්‍රික මුලධර්ම ලොව පුරා ව්‍යාප්ත වෙමින් ගෞරවනීය හා අවිවාදාත්මක පිළිගැනීමට ලක්ව ඇති වර්තමානයේදීත් ලොව සැම සමාජයකම පාහේ තවදුරටත් පැවතීම කාන්තාව පවා සිය වර්ගයාගේ දේශපාලන නායකත්වය නොපිළිගැනීමට හේතු වී තිබේ.

දේශපාලනය තුළ කාන්තා නියෝජනය ජාතික මට්ටමේ මෙන්ම ප්‍රාදේශීය මට්ටමේ ද අවම වීම තුළ කාන්තාව සුරක්ෂිත සමාජයක් කරා යාමට ඇති ප්‍රධානතම බාධාවක් වී පවතී. කාන්තාව දේශපාලන වශයෙන් සක්‍රිය වීම තුළ ඇයගේ ස්වාධිනත්වය වර්ධනය වන අතරම රටේ සැලසුම් හා ප්‍රතිපත්ති සම්පාදනයට සම්බන්ධ වීමේ ඉඩ කඩ පුළුල්වීම තුළ කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගත හැකි වේ. එහිදී එක අතකින් දේශපාලන ක්ෂේත්‍රය කාන්තාවන්ට සහභාගි විය හැකි තැනක් බවට පත්කිරීමට පියවර ගත යුතු අතර අනෙක් අතින් ඊට සරිලන දේශපාලන පෞරුෂත්වයක් වර්ධනය කර ගැනීම කාන්තාවගේ ද වගකීම වේ.

ඒ අනුව, කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය වර්ධනය කිරීමේදී, කාන්තාව හා සම්බන්ධ සමාජ සංස්කෘතික මතවාද, පිළිගැනීම්, ආකල්පවල වෙනස් වීම් ඔස්සේ කාන්තාවටද පිරිමියා හා සමානව නිදහස හා අයිතිවාසිකම් භුක්ති විදීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඒ පිළිබද සමාජය දැනුවත් කරමින්, ඒ ඔස්සේ කාන්තා දේශපාලන සහභාගිත්වය වර්ධනය කිරීම සදහා සමාජයේ විවිධ අංශවල අවධිමත් අවධානය වඩාත් යොමුවිය යුතු වේ.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Tags:    

Similar News