CALIN ළදරු සබන් පිළිබඳ පළවන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් !

Update: 2024-10-14 11:15 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

CALIN ළදරු සබන් ළදරුවන්ගේ සමට හානිකර බවත්, බාල අමුද්‍රව්‍ය අඩංගු බවත්, රතු බිබිලි සහ ලප ඇතුළුව ළදරු සමට හානි සිදු වූ බවත් දැක්වෙන සටහන් පෙළක් කාලයක් පුරා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

මේ පිළිබඳ බොහෝ දෙනා විමසිලිමත් වූ අතර මේ පිළිබඳ අදාළ පාර්ශවයන් සම්බන්ධ කර ගනිමින් කරුණු පැහැදිලි කිරීමක් කිරීමට අප තීරණය කළ අතර එම වාර්තාව පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):

කැලින් බෙබ් සබන් යනු, කෝස්ටික් වැඩි, අත් සම යන ‍රෙදි සෝදන සබන් වලටත් වඩා අහිතකර, බාල අමුද්‍රව්‍ය යොදා ‍සුවඳ සහ පාට යොදාගනිමින්, විශාල ලෙස ලබා ලබාගැනීමේ පරමාර්ථයෙන් විකුණන සබන් වර්ගයක් බව සඳහන් කරමින් නැවත වරක් පුවත් පතක පළ වූ දැන්වීමක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා.

මෙම සටහන් මගින් වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම සබන් වර්ගය භාවිත කළ ළදරුවන් විශාල පිරිසකට රතු බිබිලි හා පැල්ලම් මතු වීම දැකගනන්ට ලැබුණු බවත්, එම කරුණ වැටලීමකට ප්‍රධාන හේතුව බවත් පාරිභෝගික අධිකාරිය පැවසූ බවයි.

එසේම මේ සම්බන්ධ‍ෙන් කොළඹ මාලිගාකන්ද උසාවියේදී නඩු අංක 46557/24 යටතේ නඩුවක් පවතින අතර කැලින් සබන් නිෂ්පාදනය කරන ආයතන විසින් එම වරද පිළිගෙන ඇති බවත් දැක්වෙන එවැනි සටහනක් පහතින්.


එම තේමාවෙන් ම හුවමාරු වන තවත් සටහන් පෙළක් පහතින්.



මේ අතර පාරිභෝගික අධිකාරිය විසින් ද, ඩෙල්මා ලංකා (පුද්ගලික) සමාගම විසින් නිෂ්පාදන කර බෙදාහරින, කැලින් බේබි සබන් වර්ගයේ කාණ්ඩ අංක (Batch No. CBAPE002) දරන නිෂ්පාදනවල සටහන් TFM අගය සම්බන්ධව කළ රසායනාගාර පරීක්ෂාවට අනුව, අදාළ නියැදියේ තිබු නිපැයුම්වල ලේබලයේ සටහන් TFM අගය නොමැති බව සනාථ වී ඇති බවත්, එම සමාගම විසින් හබ කිරීමකින් තොරව වරද පිළිගෙන ඇති බවත්, කැලින් සබන් මිලදී ගැනීමේදී හා භාවිත කිරීමේදී සැළකිළිමත් වන ලෙස සඳහන් කරමින් දැන්වීමක් පුවත්පතක පළ කර තිබු බවට සටහන් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.


මෙය සත්‍ය සිදුවීමක් ද යන්න පිළිබඳ අපගේ Factcrescendo පාඨකයින් බොහෝ දෙනෙක් විමසූ අතර එම ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ අප අදාළ බලධාරීන් සම්බන්ධ කර ගනිමින් කරුණු පැහැදිලි කිරීමක් කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) විසින් Delma Lanka (Pvt) Ltd නිෂ්පාදනය කරන ලද CALIN Baby Soap මිලදී ගැනීමට එරෙහිව මහජන අනතුරු ඇඟවීමක් නිකුත් කළ බවට ඉහත දැක්වූ නිවේදනය, ලංකාදීප පුවත්පත් දැන්වීමක අපට දැක ගන්නට ලැබුණා. කැලීන් බේබි සබන් එක් විශේෂිත කාණ්ඩයක (batch no. CBAPE 002), TFM අන්තර්ගතය පිළිබඳව මතු වූ ගැටලුවක් හේතුවෙන් මෙම නිවේදනය නිකුත් කර ඇති බව දැක ගන්නට ලැබෙනවා.


මේ පිළිබඳව වැඩිදුර කරුණු සොයා බැලීමට පෙර අප TFM යනු කුමක් ද යන්න පරික්ෂා කළා.

TFM යනු කුමක්ද?

TFM (Total Fatty Matter) නැතහොත් සම්පූර්ණ මේද ද්‍රව්‍ය ප්‍රමාණය, සබන්වල ගුණාත්මකභාවය මැනීමට උපකාරී වේ. සබන්වල ඇති මේද ද්‍රව්‍ය සාමාන්‍යයෙන් ලබාගනු ලබන්නේ පැල්මිටික් අම්ලය, ස්ටියරික් අම්ලය, ඔලෙයික් අම්ලය සහ සෝඩියම් ඔලේට් වැනි අමුද්‍රව්‍යවලින්. TFM ඉහළ ප්‍රමාණයක් සහිත සබන් වැඩි දියුණු කළ පිරිසිදු කිරීමේ ගුණ සහිත වඩා හොඳ ගුණාත්මක බවින් සලකනු ලැබේ. එසේම සමේ තෙතමනය රැකදෙන සහ පෝෂණය කරන (more moisturizing and nourishing) ගුණයන්ගෙන් සමන්විත වේ. විශේෂයෙන්ම ළදරු සබන් වල සංවේදී සම සඳහා මෘදු බව සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඉහළ TFM අගයක් තිබිය යුතුය. මේ පිලිබඳ තවත් තොරතුරු මෙතනින්.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ළදරු සබන් සඳහා ලබාදී තිබෙන ප්‍රමිතිය වන (SLS 547:2009 SPECIFICATION FOR BABY SOAP) අනුව ISO 685 තත්ව යටතේ සිදුකරන පරික්ෂාවක දී TFM අගය 78%ක් වත් විය යුතු බව සඳහන්.


පාරිභෝගික කටයුතු අධිකාරිය

මේ පිළිබඳ විමසීමක් කිරීමට අප එම අධිකාරියේ ඉහළ කළමණාකාරිත්වය සම්බන්ධ කර ගනු ලැබුවා.

එම අධිකාරිය සඳහන් කළේ, පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් ඔස්සේ වෙළඳපළට නිකුත් ව තිබූ එක් කැලින් බේබි සබන් කාණ්ඩයක(CBAPE 002)ක සබන් පරීක්ෂා කළ බවයි.

එහිදී ළදරු සබන් වලට ශ්‍රී ලංකාවේ තිබිය යුතු TFM ප්‍රමිතිය වන 78%ක් ක අගයට වඩා අඩුවෙන්, එනම් TFM ප්‍රතිශත 63% දක්වා කැලින් ළදරු සබන් වල අඩු බව ට කාර්මික තාක්ෂණ ආයතනයේ(ITI) හරහා කළ රසායනාගාර පරීක්ෂාවේදී තහවුරු වී ඇති බව ත්, ඒ පිළිබඳ පාරිභෝගික අධිකාරිය විසින් මාලිගාකන්ද උසාවියේ කළ පැමිණිල්ලට එම සමාගම වරද පිළිගෙන ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.

සබන් වර්ගයේ කවරයේ සඳහන් කර ඇත්තේ TFM අගය 78%ක් වුවත්, එහි සැබෑ අගය 63%ක් වීම හේතුවෙන් පාරිභෝගික පනතේ 30 වගන්තිය අනුව පාරිභෝගියා නොමග යැවීම කියන වරදට එම සමාගම වැරදිකරු වන බව ත්, පාරිභෝගික අධිකාරිය පෙන්වා දෙනවා.

නමුත් මේ පිළිබඳ වැරදි අර්ථකතනයකින් වෙනත් තරඟකාරි සමාගම් විසින් අසත්‍ය පතුරවමින් කැලින් සබන් සම්බන්ධයෙන් මඩ ප්‍රහාර දියත් කරන බව ට ද, ඔවුන් පවසනවා.

ඉහත සටහන් වල පෙන්වා දෙන පරිදි “බිළිඳු සමට අහිතකර ඉරිදා පොළවල් වල ඇති කෝස්ටික් වැඩි, අත් සම යන ‍රෙදි සෝදන සබන් වලටත් වඩා අහිතකර බාල අමුද්‍රව්‍ය යොදා ‍සුවඳ සහ පාට යොදා විකුණන බව ත්, මෙම සබන් වර්ගය භාවිත කළ ළදරුවන් විශාල පිරිසකට රතු බිබිලි හා පැල්ලම් මතු වීම මෙම වැටලීමට ප්‍රධාන හේතුව බව පාරිභෝ ගික අධිකාරිය පැවසූ බවට” පළ වන වාර්තා අසත්‍ය බවත්, පාරිභෝගික අධිකාරිය විසින් එවන් ප්‍රකාශයක් සිදු නොකළ බවත්, රසායනාගාර පරීක්ෂණයෙන් ළමුන් ට මෙම සබන් ගැල්වීම මගින් ආසාදනය වූ බවට හෝ බාල අමුද්‍රව්‍ය යොදා මෙම සබන් වර්ගය නිෂ්පාදනය කරන බවට වාර්තා නොවූ බව ත් ඔවුන් අවධාරණය කරනවා.

එමෙන් ම මේ වන විට එම සමාගම ළදරු සබන් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය ISO සහතිකය මෙම සන්නාමය යටතේ ළදරු සබන් සඳහා ලබා ඇති බවත්, ඉහත සහතිකය ලද ශ්‍රී ලංකාවේ ළදරු සබන් තුනෙන් එකක් කැලින් ළදරු සබන් බව ත් ඔවුන් පෙන්වා දෙනවා.

එසේම, මෙතෙක් ළදරු සබන් සඳහා SLS සහතිකය ලබා ගැනීම අනිවාර්ය නොවුණු අතර සියලුම ළදරු සබන් සඳහා SLSI සහතිකය ලබා ගැනීම අනිවාර්ය කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වන විට අවධානය යොමු වී ඇති බව ත්, මෙමගින් රට තුළ අලෙවි කරන ළදරු සබන් වල ප්‍රමිතීන් ඉහළ නැංවීමටත්, පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පාරිභෝගිකයින් තවදුරටත් ආරක්ෂා කිරීම සඳහා, TFM අන්තර්ගතයෙන් ඔබ්බට සබන් වල වෙනත් රසායනික සංඝටක පරික්ශා කර බැලීමට, ඔවුන්ගේ පරීක්ෂණ නිර්ණායක පුළුල් කරන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වෙබ් අඩවිය පරික්ෂා කිරීමේ දී ද අපට දැක ගන්නට ලැබුනේ මේ වන විට කැලීන් බේබි සබන් සඳහා SLS 547 තත්ව සහතිකය, 2024 සැප්තැම්බර් මස 26 වනදා ලබාදී ඇති බවයි.


කැලින් බේබි සබන් නිෂ්පාදනය කරන ඩෙල්මා ලංකා පුද්ගලික සමාගම

යම්කිසි කාණ්ඩයකින් සබන් වර්ග නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව අලෙවියට පෙර සමාගම තුළින් තත්ත්ව පරීක්ෂාවක් සිදු කරන බවත්, මෙම ප්‍රශ්නය උද්ගත වී ඇති ළදරු සබන් කාණ්ඩයේද, TFM අගය ඔවුන්ගේ පරීක්ෂණවලට අනුව 79.1%ක් ව තිබූ බව ත්, මෙම සමාගමේ අලෙවි අංශයේ ඉහළ නිලධාරියෙකු අප කළ විමසීමේදී සඳහන් කළා.

නමුත් පාරිභෝගික අධිකාරිය විසින් CBAPE002 කාණ්ඩයේ ම TFM අගය පිළිබඳ කළ පරික්ෂාවේදී එම අගය 63%ක් බවට වාර්තා වී ඇති බවත්, ඒ ඔස්සේ පාරිභෝගික අධිකාරිය විසින් ඉහත කී නඩුව ගොනු කර ඇති බවත්, පවසා සිටියා.

එමෙන් ම මෙම ගැටලුව ඇති වීමෙන් පසු එම කාණ්ඩයේ ම මෙම වසරේ ජුනි 03 වන යන දින කැලින් බේබි සබන් වෙළඳපළට ඉදිරිපත් කිරීමේදී කැලීන් ආයතනය විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙයෙන් ලබා ගත් පර්යේෂණ වාර්තාව පහතින්.


එම කාණ්ඩයේ සබන් පසුගිය ජූලි 05 වන දා කාර්මික තාක්ෂණ ආයතනය(ITI) හරහා පරීක්ෂාවකට ලක් කර තිබූ අතර එම රසායනාගර වාර්තාවෙන් මෙම කාණ්ඩයේ TFM අගය 86.3%ක් තිබූ බව ඔහු පෙන්වා දෙනවා.


උසාවියේ මේ සම්බන්ධයෙන් පැවැති නඩුවේදී ඔවුන් වාද විවාද කිරීමට නොගිය බවත්, ගරු අධිකරණය ඉදිරියේ ලබා දුන් තීන්දුව පිළිගත් අතර වරදකරු වීමේන් දඩය රු.10,000ක් පමණ ගෙවීමට පමණක් ඇති බවට පාරිභෝගික අධිකාරිය විසින් ද, පැවසූ බවත්, එය නිවැරදිකරු ලෙස පැවසූ විට නඩුව දිගින් දිගට කල් යමින් ඉදිරියට ඇදෙන බැවින්, මෙම සිදුවීමේදී සමාගම වරදකරු ලෙස පිළිගත් බවයි ඔහු පැවසුවේ.

කෙසේනමුත් ඔවුන් සතුව ඇති රසායනාගාර වාර්තා ඔස්සේ මෙම නඩුව දිනන්න්ට හැකියාව පැවති බවත්, ඩෙල්මාර් සමාගමේ නියෝජිතයා පෙන්වා දුන්නා.

ළදරු සබන් සඳහා SLS සහතිකය ලබා ගැනීම මෙරට අනිවාර්ය නොවූව ත්, එම සමාගම මෙම ප්‍රශ්නය උද්ගත වීමට පෙර සිටම SLS සහතිකය ලබා ගැනීමේ ක්‍රියාපටිපාටියට ඉදිරිපත් වූ අතර මේ වන විට වෙළඳපොළේ ළදරු සබන් වර්ග 16ක් පමණ ඇති අතර ඒ අතරින් SLS සහතිකය ලබා ගෙන ඇත්තේ සබන් වර්ග 3ක් පමණක් බවත්, ඒ අතර කැලින් ළදරු සබන් බව ද ඩෙල්මා සමගම සඳහන් කරනවා.

එමෙන් ම ඉහත සඳහන් ලෙස ව්‍යාජ අත්පත්‍රිකා බෙදමින් කැලින් ආයතනය, කැලින් සබන් තහනම් කර ඇති බවට පළවන වාර්තා වල කිසිදු සත්‍යයක් නොමැති අතර ව්‍යාජ තොරතුරු සපයන පුද්ගලයන්ට දැනටම ත් නීතිමය පියවර රැගෙන ඇති බවත්, ඒ සඳහා පොලිස් විමර්ශනද, සිදු වන බව එම සමාගම වැඩි දුරටත් පෙන්වා දෙනවා.

කැලින් ළදරු සබන් සම්බන්ධයෙන් නිල ෆේස්බුක් පිටුවේ මේ ගැන සමාජය දැනුවත් කරමින් ඔවුන් තැබූ සටහන් කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක් මෙලෙසින්.

TMF ප්‍රතිශතය 78% වඩා අඩු නම්,

ළදරු සබන් වල සම්පූර්ණ තෙතමන සාධකය (TMF) 78% වඩා අඩු යැයි සැලකේ නම්, සබන් දරුවාගේ සියුම් සම වියලීමට ඉඩ ඇති වේ. සාමාන්‍යයෙන්, ළදරු සබන් මෘදු සහ මොයිස්චරයිසින් බව සහතික කිරීම සඳහා තෙතමනය සමතුලිතව නිර්මාණය කළ යුතුයි.

නියමිත ප්‍රතිශතයට වඩා අඩු නම්, ළමුන් තුළ විවිධ සමේ ගැටළු වලට හේතු විය හැක. තෙතමනය නොමැතිකම නිසා සම රැලි සහිත හෝ රළු වී වියළි බව ඇති වේ.

ළදරුවන්ට ඉතා සංවේදී සමක් ඇති අතර, අධික ලෙස රළු සබන් භාවිතා කිරීම රතු පැහැය, කැසීම හෝ කුෂ්ඨ ඇති විය හැක.

වියළන සබන් දිගු කාලීනව භාවිතා කිරීම දද වැනි තත්ත්වයන් උත්සන්න කිරීමට හෝ සමේ සංවේදීතාව වැඩි කිරීමට හේතු වී සමේ රෝග ඇතිවීමේ අවදානම වැඩි වේ.

මෙය වලක්වා ගැනීම සඳහා ළදරු සබන් සාමාන්‍යයෙන් සම මෘදු හා සජලනය කර තබා ගැනීම සඳහා මෘදුකාරක සහ ආලේපන ශීලි සහ තෙතමනයත් ඉහළ තෙතමනයක් සහිතව සකස් කර ඇත. ළදරු සබන් වල TMF අවම ප්‍රතිශතයක් සහතික කිරීම සඳහා නියාමනය කර ඇත්තේ, බිළිඳු සමේ එවැනි ගැටළු වලින් සම ආරක්ෂා කිරීමට වේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Claim :  CALIN ළදරු සබන් පිළිබඳ පළවන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් !
Claimed By :  Social Media Users
Fact Check :  MISSING CONTEXT
Tags:    

Similar News