රජිනිකාන්ත් දකුණු ඉන්දියානු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රබල මෙන්ම ජනප්‍රිය චරිතයකි. ඔහු රඟපාන චිත්‍රපටි නැරඹීමට රසිකයෝ මහත් රුචියක් දක්වති. රඟපෑම් ක්ෂේත්‍රයේ ඔහුගේ ඇති නිපුණතාවය අගය කිරීම සඳහා ඉන්දීය රජය විසින් දෙවරක් ම ඔහුට සම්මාන මගින් ගෞරව ලබා දෙන ලදී. තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලන ප්‍රවාහයට විවිධාකාරයෙන් ඔහුගේ සම්බන්ධයෙන් අතීතයේදී දක්නට ලැබුණු අතර උතුරු ලක පැවති දමිළ බෙදුම්වාදයට ඔහු විවෘතවම සහාය දක්වන බවටද වාර්තා රැසක් දක්නට ලැබුණි. මේ අතර රජිනිකාන්ත් ඇතුළු දමිළ නළු කිහිපදෙනෙකුගේම සිනමාපට වර්ජනය කරන ලෙස සටහන් රැසක් ද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පසුගිය දින කිහිපය තුළ හුවමාරු වනු අපට දැක ගැනීමට ලැබුණා

එසේම උතුරු පළාතේ හිටපු මහ ඇමති C.V. විග්නේශ්වරන් මහතා ආන්දෝලනාත්මක චරිතයකි. උපරිමාධිකරණ විනිසුරුවරයකුව සිට අධිකරණ සේවයෙන් විශ්‍රාම ලැබූ විග්නේෂ්වරන් මහතා TNA සන්ධානය තුළින් දේශපාලනයට පිවිසියේය. දමිල ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු පැවැත්වූ ප්‍රථම උතුරු පළාත් සභා මැතිවරණය ජයගත් ඔහු උතුරු පළාතේ මහ ඇමැති ලෙස පත්වීම ලැබීය.

පසුගිය දිනක තමිල්නාඩුවේ සංචාරයක නියැළුණු හිටපු උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේශ්වරන් මහතා සුපිරි නළු රජිනි කාන්ත් මුණගැසී යාපනයේ සංචාරයක් සඳහා ඇරයුම් කළ බවට වාර්තා පළ විය. එම ඇරයුම සතුටින් පිළිගත් රජිනිකාන්ත් මහතා නුදුරු දිනයකදීම යාපනය සංචාරයක් සඳහා පැමිණෙන බවට ද වාර්තා විය.

මෙවන් පසුබිමක රජිනිකාන්ත් මහතාගේ ලංකා සංචාරය අළලා සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ප්‍රවෘත්ති ඉදිරිපත් වන්නට පටන් ගත්තේය. SRI JUDGE නැමැති ෆේස්බුක් පිටුවක “ඊළම් වාදියකු වූ තමිල්නාඩු නළු රජිනි කාන්ත්ට යාපනය සංචාරය සඳහා වීසා නොදීමට නව රජය තීරණය කරයි” මාතෘකාව යටතේ සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. ප්‍රතිචාර සටහන් රාශියක් සමඟ මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් විශාල සංඛ්‍යාවක් අතර හුවමාරු වෙමින් තිබෙනු දක්නට ලැබිණි. මේ හා සමාන සටහනක් තවත් ෆේස්බුක් පිටු රැසකද ඉදිරිපත් කර තිබෙණු නිරීක්ෂණය විය.

Link1Link2
Archived Link1Archived Link2

ලංකාව තුළ ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක්ද සිය ෆේස්බුක් පිටු හරහා මෙම ප්‍රවෘත්තිය ඉදිරිපත් කර තිබෙනවා අපට නිරීක්ෂණය විය

Link1Archived Link1

එසේම NewsHub නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවිය සිය ෆේස්බුක් පිටුවෙහි “රජිනිකාන්ත්ගේ වීසා අයදුම්පත ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ පළ වන පුවත අසත්‍යයක්” ප්‍රවෘත්ති සටහනක් ඉදිරිපත් කර තිබෙනුද අපට නිරීක්ෂණය විය.

රජිනිකාන්ත්ගේ ශ්‍රී ලංකා සංචාරයට වීසා නිකුත් නොකිරීම පිළිබඳව පලවන ප්‍රවෘත්ති වල ඇති ජනප්‍රියතාවය මෙන්ම ඒ පිළිබඳව පළ වන පරස්පර විරෝධී අදහස් ඇති ප්‍රවෘත්ති සටහන් නිසා මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමට අප පසුගිය දින කිහිපය තුළදී රජිනිකාන්ත් සහ C.V. විග්නේෂ්වරන් සම්බන්ධයෙන් පළ වූ පුවත් කෙරෙහි අවධානය යොමු කළෙමු. එසේ පළව තිබූ වාර්තා බොහොමයකම වගේ සඳහන් වී තිබුණේ තමන් සුපිරි නළු රජිනිකාන්ත් හමුවීමට ගියේ දේශපාලනික කාරණයක් මත නොව පෞද්ගලික හමුවීමක් ලෙස බවත් එහිදී උතුරේ මෙන්ම තමිල්නාඩුවේ යම් යම් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ය. පහත දැක්වෙන්නේ එසේ පළවූ සටහන් කිහිපයකි

Silumina | Neth News | Resa

මේ අතර අපට දැනගත ලැබුනේ Neth FM මගින් පවත්වාගෙන යන offair.lk මඟින් පළවූ වර්තාවක් පාදක කර ගනිමින් ඉහත සමාජ මාධ්‍ය ජාල සටහන් සියල්ලක්ම පාහේ “ තමිල්නාඩු නළු රැජිනි කාන්ත්ගේ ශ්‍රී ලංකා වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කෙරේ”යන පුවත පළ කර තිබෙන බවයි.

FB PostWeb LinkArchived Link

කෙසේවෙතත් රජිනි කාන්තගේ වීසා අයදුම් පත ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව පලවන ප්‍රවෘත්ති වල සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගනු වස් අප විදේශ සබඳතා අමාත්‍යායංශය සමඟ පසුගිය 16 වැනිදා සම්බන්ධ වීමු. එහි මාධ්‍ය ඒකකය ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව වීසා නිකුත් කරන්නේ කටුනායක ගුවන්තොටුපලේදී ඔවුන් විට පැමිණි (on arrival visa) බව අවධාරණය කළ අතර එම නිලධාරිනිය මෙය ඕනෑම ඉන්දියානු සංචාරකයෙකුට අන්තර්ජාලය හරහා සිදු කළ හැකි බව ද දන්වා සිටියා. Online ETA

මීට අමතරව රජිනිකාන්ත් ශ්‍රී ලංකා සංචාරයක් සඳහා වීසා අයදුම් පතක් මේ වන තෙක් කිසිඳු ඉන්දියාවේ පවතින ශ්‍රී ලංකා තානාපති කාර්යාලයකට හෝ මෙරට ඉන්දියානු තානාපති කාර්යාලයට හෝ ඉදිරිපත් කර නොමැති බවද ඇය තහවුරු කර සිටියා.

එසේම තමා හා තම පියා මෙන්ම මෙරට රසික රසිකාවියන් බොහොමයකගේ ජනාදරයට පාත්‍ර වී තිබෙන සුපිරි නළු රජිනි කාන්ත් මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට කිසිදු බාධාවක් නොමැති බවත් එලෙස පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් නාමල් රාජපක්ෂ මහතා තම නිල ට්විටර් ගිණුමේ පළකර තිබුනේ මෙලෙසිනි

Namal Rajapaksa Tweet

Conclusion (අවසාන නිගමනය)

අප කළ කරුණු විමර්ශනයෙන් තහවුරු වූයේ ශ්‍රී ලංකා සංචාරයක් සඳහා රජිනිකාන්ත්ට වීසා ලබා නොදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවට පළ වන සියලු ෆේස්බුක් ප්‍රවෘත්ති සටහන් සම්පූර්ණයෙන් අසත්‍ය සහ සාවද්‍ය ප්‍රවෘත්ති සටහන් බවයි.

Avatar

Title:Fact Check : රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා නිකුත් නොකිරීමට රජය තීරණය කර ඇත්ද?

Fact Check By: Sahan Perera

Result: False