සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතර ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකරුවන් වේ. මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අවස්ථාවක් නොලැබුණද ඔවුන් නගන ප්‍රබල හඬ ද හේතුවෙන් සමාජ මාධ්‍ය ජාලය තුළ ඔවුන් අළලා විවිධාකාරයේ අසත්‍ය සටහන් ද නිර්මාණය වේ. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකරුවන් අළලා ඉදිරිපත්වන එබඳු අසත්‍ය සටහන් පිලිබඳ වාර්තා කිහිපයක් මෙතනින් සහ මෙතනින්

මාතර එලියකන්ද ප්‍රදේශයේ තට්ටු තුනකින් සහ පිහිණුම් තටාකයක් සහිතව සුනිල් හඳුනෙත්ති මහතාට නිවසක් හිමි බවට ඡායරූප සහිතව ෆේස්බුක් ජාලයේ පළවී තිබු සටහන් සම්පුර්ණයෙන් අසත්‍යකි. එම ජායාරූපයෙන් දක්වෙන නිවස කඳාන හල්පේ මාවතේ විකිණීමට ඇති සුඛෝපභෝගි නිවසකි. පිහිණුම් තටාකය සුප්‍රසිද්ධ නිළියක් වන සෙන්ඩායාගේ ලොස් ඇන්ජලීස්හි පිහිටි නිවසේ පිහිණුම් තටාකයයි.

එමෙන්ම කාති උසාවි තහනම් කළහොත් අධිකරණ සංඝ නායක පදවිය ඉවත් කළයුතු බවට සහ දියුණු රටවල මුදලට හෝ ගත නොහැකි එන්නත් ලංකාවට නොමිලේ ලැබෙන්නේ ප්‍රමිතියකින් තොර නිසා බවට බිමල් රත්නායක මහතා පවසා තිබුනේ ද නැහැ.

සමාජ මාධ්‍ය සටහන්:

“ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුනෙත්ගේ මාතර එලියකන්ද සුපිරි නිවස. තට්ටු තුනයි. නාන තටාකයයි.” වදන රෝපනය කර “පීඩිත පංති නියෝජනයේ අසහාය වීරයෙක්!” තේමාවෙන් Mithra Rathnayake නමැති ෆේස්බුක් ගිණුමක් විසින් ඉදිරිපත් කර තිබූ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වී තිබුණි

FacebookArchived Link

“මුස්ලිම්වරුන්ට කාති උසාවි තහනම් කරනවා නම් හාමුදුරුවන්ගේ අධිකරණ සංඝනායක පදවිත් අයින් කරන්න ඕනේ” යන වදන රෝපණය කර “සියල්ල දත් කාලකණ්ණි ජෙප්පො” තේමාවෙන් Jason Dissanayake නමැති ෆේස්බුක් ගිනුමක සටහනක් ද දක්නට ලැබුණි.

එමෙන්ම “දියුණු රටවල මුදලට හෝ ගත නොහැකි එන්නත ලංකාවට නොමිලේ ලැබෙන්නේ ප්‍රමිතියකින් තොර නිසයි” වදන රෝපනය කර “100% සාර්ථක නැති ප්‍රමිතියකින් තොර එන්නත් ලංකාවට” තේමාවෙන් Ashan Sandeep Dias නමින් SYSTEM CHANGE නමැති ෆේස්බුක් පිටුවක නිරීක්ෂණය විය.

මෙම ප්‍රකාශ දෙකම ජනතා විමුක්ති පෙරමුණේ ජාතිකසවිධායක බිමල් රත්නායක මහතාගේ ප්‍රකාශ ලෙස ඉදිරපත් කර තිබුණි. මෙම සටහන්ද ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වී තිබුණි.

FacebookArchived LinkFacebookArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

සුනිල් හඳුන්හෙත්ති මහතාගේ නිවසක් යනුවෙන් ඉදිරිපත් කර තිබූ සටහනේ අන්තර්ගත ජායාරූප reverse image සෙවීමකට යොමු කළෙමු. 2018 වසරේ adahari.com ඇතුළු දේපළ වෙළදාම් දැන්වීම් පළ කරන වෙබ් අඩවි කිහිපයකම පළකර තිබු දැන්වීමක් වෙත අපගේ අවධානය යොමු විය.

එම දැන්වීම් වල නිවසක ඡායාරුපයක් මෙම සටහන් නිර්මාණය කිරීම සඳහා යොදාගෙන ඇති බව අපට පෙනී ගියා. කඳාන හල්පේ මාවතේ එම නිවස පිහිටි බවක් ද එම දැන්වීම් වල දක්වා තිබුණි. එහි ඡායාරුප පෙළක් පහතින්

Adahari.comArchived

එම වෙබ් අඩවියේ ඇති සේයාරුව සහ Mithra Rathnayake ෆේස්බුක් පිටුවේ සේයාරුව සංසන්දනය කිරිමේදි එය එකම සේයාරුව බවට තහවුරු විය.

නාන තටාකයේ සේයාරුව ද Reverse Image සෙවුමකින් පරීක්ෂා කිරිමේදීZendaya’s New Home Has Plenty of Room for Slip Dresses and Pool Floatsසිරස්තලයෙන් observer.com නමැති වෙබ් අඩවිය ඉදිරිපත් කර තිබු වාර්තාව වෙත අවධානය යොමුවිය. 2017 වසරේ පළකර තිබු එම වාර්තාවට අනුව මෙම එළිමහන් තටාකය සෙන්ඩායා නමැති යොවුන් සුප්‍රකට නිළිය මිලදී ගත් සුඛෝපභොගි නිවසේ නාන තටාකයයි.

හිරු රූපවහිනී සේවය මඟින් ද එම ඡායරූප ඇතුළත් වාර්තාව “සුපිරි නිවසක් හිමි ලාබාල කෝටිපතිනිය” යන තේමාවෙන් මෙසේ පළකර තිබුණි

මෙම වාර්තාවල පලවී තිබු නාන තටාකයේ සේයාරුව සහ සුනිල් හඳුන්හෙත්ති මහතාගේ නිවසේ එළිමහන් නාන තටාකය යනුවෙන් හුවමාරු වන සේයාරුව සංසන්දනය කිරිමේදි එය එකම සේයාරුව බවට තහවුරු විය.

වැඩිදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප සුනිල් හඳුන්නෙත්ති මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. තමාට මෙවැනි නිවසක් මාතර එළියකන්ද ප්‍රදේශයේ නොමැති බවත්, මෙම සටහන් දේශපාලන ප්‍රතිවාදීන්ගේ අසත්‍ය ප්‍රචාරවල කොටසක් බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා අපට අවධාරණය කළේය.

මුස්ලිම්වරුන්ට කාති උසාවි තහනම් කරනවා නම් හාමුදුරුවන්ගේ අධිකරණ සංඝනායක පදවිත් අයින් කරන්න ඕනේ” සහ “දියුණු රටවල මුදලට හෝ ගත නොහැකි එන්නත ලංකාවට නොමිලේ ලැබෙන්නේ ප්‍රමිතියකින් තොර නිසයි” යනාදී ප්‍රකාශයන් බිමල් රත්නායක මහතා විසින් සිදුකර ඇති බවට ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි වාර්තා ඇද්දැයි පරීක්ෂා කළ නමුදු එවැනි වාර්තා දැක ගණනට ලැබුනේ නැත.

මෙම ප්‍රකාශයන් අන්තර්ගත ෆේස්බුක් සටහන් අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය වෙත යොමු කළෙමු. මෙවැනි ප්‍රකාශයන් බිමල් රත්නායක මහතා විසින් නොපැවසූ බවට ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා අප හා අවධාරණය කළේය.

ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති මෙම සටහන් පිළිබඳව අප බිමල් රත්නායක මහතා ගෙන් ද විමසා සිටියෙමු. තමන් විසින් කිසිදු අවස්ථාවක සිදු නොකළ ප්‍රකාශයන්, තමාට ආදේශ කරමින් දේශපාලන එදිරිකරුවන් ඔහුට විරුද්ධව අසත්‍ය ප්‍රචාර දියත් කර ඇති බවත් ඒවා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් පවසා සිටියේය.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් වල යොදාගෙන තිබු පසුබිම මීට පෙරද ව්‍යාජ සටහන් නිර්මාණය කිරීමට යොදාගත් පසුබිම් වන අතර මේවා පැහැදිලි සංස්කරණ බව පෙනී යන අතර මුලාශ්‍ර වලින් තොර සටහන් ය. බිමල් රත්නායක මහතා අළලා පළවූ ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් අප විසින් පසුගිය කාලයේදී සිදුකරන ලද විමර්ෂණ පෙළක් මෙතනින්.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ෆේස්බුක් ජාලයේ සැරිසරන “ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුනෙත්ගේ මාතර එලියකන්ද සුපිරි නිවස. තට්ටු තුනයි. නාන තටාකයයි.” වදන් රොපණය කර හුවමාරු වන්නේ දේපළ වෙළඳාම් වෙබ් අඩවියක පළවූ කඳාන ප්‍රදේශයේ නිවසක සහ ඇමරිකානු සුපිරි නිළියකගේ නිවසක නාන තටාකයක ඡායරූප යොදාගනිමින් සිදුකර තිබු ව්‍යාජ සටහන් පෙළක් බවයි

එමෙන්ම “මුස්ලිම්වරුන්ට කාති උසාවි තහනම් කරනවා නම් හාමුදුරුවන්ගේ අධිකරණ සංඝනායක පදවිත් අයින් කරන්න ඕනේ” සහ “දියුණු රටවල මුදලට හෝ ගත නොහැකි එන්නත ලංකාවට නොමිලේ ලැබෙන්නේ ප්‍රමිතියකින් තොර නිසයි”යනාදී  ප්‍රකාශයන් බිමල් රත්නායක මහතා පවසා නොමැත.

Avatar

Title:සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක මහතුන් අළලා ඉදිරිපත්වී ඇති අසත්‍ය සටහන් පෙළක්!

Fact Check By: Nelson Mani

Result: False