විපක්ෂ නායකවරයාගේ නිවස බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ වසර ගණනක සිටි සංසරණය වන ඡායාරූපයක දැක්වෙන්නේ සත්‍ය වශයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසේ ඡායාරූපයක්ද යන්න සොයා අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“මේ තියෙන්නේ දුප්පතාගෙ හිතවතා පුන්චි ප්‍රේමදාසගෙ පුන්චි පැල්පත. කාමර 13යි, බාත් රූම් 14 යි ලයිට් බිල මාසෙකට ලක්ෂ හතරයි.” යනුවෙන් සඳහන් කරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසේ ඡායාරූපයක් බවට දක්වමින් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

2019 වසරේ සිට මේ දක්වා හුවමාරු වී තිබු සටහනක් මෙතනින්

ෆේස්බුක් පරිශීලකයින් විසින් පසුගිය වසර කිහිපයේ දී ම මේ ආකාරයේ සටහන් හුවමාරු කර ගෙන තිබුණේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසේ ඡායාරූපයක් බවට දක්වමින් සංසරණය වූ ඡායාරූපය අප ප්‍රථමයෙන්ම Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

එහිදී Tripadvisor නම් සුප්‍රකට සංචාරක කටයුතු හා සම්බන්ධ වෙබ් අඩවියට 2018 වසරේ එකතුකර තිබු ඡායරුපක අපට මෙම ඡායාරුපය සොයා ගැනීමට හැකිවුණා.

Tripadvisor

Crescat Apartments (ක්‍රෙස්කැට් මහල් නිවාස සංකීරණයේ) හි රැඳී සිටි සංචාරකයෙක් විසින් එම ඡායාරුපය එකතු කර තිබුණා. ඒ ආකාරයෙන් එම ස්ථානයේම ලබාගත් තවත් ඡායාරුපයක් මෙතනින්

මේ අනුව අප Google Map ඔස්සේ මෙම ප්‍රදේශය පරීක්ෂා කිරීමේ දී මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) බව පැහැදලි වුණා.

1964 වසරේ දී ස්ථාපිත ව මේ වන විට සංචාරක අමාත්‍යංශය යටතේ ලංකාවේ ප්‍රදේශ කිහිපයක පුහුණු පාඨමාලා සපයන ශ්‍රී ලංකා සංචාරක හෝටල් හා කළමනාකරණ ආයතනය (SLITHM) පිළිබඳ වැඩි විස්තර මෙතනින්.

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ 37 වැනි උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවක ද, එම ගොඩනැගිල්ලේ ඡායාරූපයක් සමඟ මෙලෙසින් විස්තර සපයා තිබුණා. Ada derana | Archived Link

අප මේ පිළිබඳ වැඩි දුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක හෝටල් හා කළමනාකරණ ආයතනයෙන් මේ පිළිබඳව විමසීමක් සිදු කළා.

ඔවුන් සඳහන් කළේ, මෙම ගොඩනැගිල්ලේ සංචාරක කර්මාන්තයට අනුබද්ධ ආයතන 04ක් ඇති බවත් ඉන් එකක් වන්නේ ශ්‍රී ලංකා සංචාරක හෝටල් හා කළමනාකරණ ආයතනය බවත්, මෙහි සිසුන් සඳහා හෝ නවාතැන් පහසුකම් සපයනු නොලබන අතර කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 6 දෙනෙකු පමණ මෙහි නැවතී සිටින බවයි. කිසිදු පිටස්තර පුද්ගලයෙකුට එහි නවාතැන් පහසුකමක් සපයනු නොලබන බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ.

සජිත් මහතාගේ නිවස බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ශ්‍රී ලංකා සංචාරක හෝටල් හා කළමනාකරණ ආයතනයෙන් ගොඩනැගිල්ලේ ඡායාරූපය එම කෝණයෙන් ක්‍රෙස්කැට් මහල් නිවාස සංකීරණයේ සිට 2019 වර්ෂයේදී ලබා ගත් ඡායාරූපයක් මෙන්ම 2015 වර්ෂයේදී එම ගොඩනැගිල්ලේ ගූගල් ස්ට්‍රීට් විව් ඔස්සේ ලබා ගත් ඡායාරූප අතර සංසන්දනය.

මේ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ නිවස බවට පැවසූ ගොඩනැගිල්ලේ ඡායාරූපය හා ශ්‍රී ලංකා සංචාරක හෝටල් හා කළමනාකරණ ආයතනයෙන් ගොඩනැගිල්ලේ ඡායාරූපය එකම ස්ථානයේ ඡායාරූපයක් බවත්, ඒ අවට ඇති ගොඩනැගිලි මෙන්ම එම ස්ථානය අවට පසුබිමින් ද, තවදුරටත් තහවුරු වේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ සැබෑ නිවසේ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ පළ වී ඇත්දැයි අප නිරීක්ෂණය කළ අතර එ් පිළිබඳ තහවුරු වූ නිල ඡායාරූප දැක ගන්නට නොලැබිණි. කොවිඩ් වසංගත ලංකාවේ ව්‍යාප්ත වීම ආරම්භ වූ 2020 මාර්තු මාසයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිවසේ සිට සිදුකල ප්‍රකාශයක වීඩියෝ දර්ශන මෙතනින්.

අප සජිත් ප්‍රේමදාස මහතාගේ නිවස සම්බන්ධයෙන් විපක්ෂ නායකගේ ලේකම්වරයෙකුගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, සජිත් ප්‍රේමදාස මහතා සිටින්නේ, රෝයල්පාක් නිවාස සංකීර්ණයේ නිවෙසක බවත් ඔහු සතුව වෙනත් නිවෙස් කිසිවක් නොමැති බවයි.

සැ.යු : කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාට අයත් වෙනත් නිවාස පවතිනවාද යන්න සහ එම නිවාස වල ඇති කාමර සහ නානකාමර ගණන හෝ විදුලි බිල කොපමණද යන්න පිළිබඳ ස්වාධීනව සත්‍යාපනය කළ හැකි නොවන කරුණක් බැවින් මෙහි කරුණු විමර්ශනය සීමා කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ නිවස බවට දක්වමින් පළ කර තිබූ ඉහත ඡායාරූපයේ දැක්වෙන ගොඩනැගිල්ල පිළිබඳව පමණි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවස බවට දක්වමින් පළ කර තිබූ ඡායාරූපයේ දැක්වෙන්නේ, කොළඹ 03 පිහිටි ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ (SLITHM) ගොඩනැගිල්ල බවයි.

Avatar

Title:විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසේ ඡායාරූපයක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading