පිළිකා ප්‍රතිකාර ක්‍රම යනුවෙන් ජාත්‍යන්තරයේ මෙන්ම මෙරටද, බොහෝ පිළියම් පිලිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනු අපට සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්. වෛද්‍යවරුන් නියම කොට ඇති ප්‍රතිකාර වලට යොමු නොවී, සායනිකව තහවුරු නොකරන ලද මෙවැනි සටහන් වල දක්වා ඇති ප්‍රතිකාර විධි යනුවෙන් සඳහන් දේවල් වෙත යොමු වීමෙන් ජීවිතවලින් වන්දි ගෙවීම පවා සිදු විය හැකි. එසේම තවත් සමහරු විසින් මේ ආකාරයේ සටහන් හුවමාරු කරගන්නේ ඒවායේ සඳහන් කරුණු මඟින් අයහපතක් නොවන බැවින් හුවමාරු කර ගැනීමේ වරදක් නොමැති බව සඳහන් කරමින්.

හිස්බඩ පළතුරු කෑමෙන් පිළිකා සුව වන බවටත්, සිසිල් ජලය පානය කිරීමෙන් පිළිකා සෑදෙන බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් මේ. 

සමාජ මාධ්‍ය සටහන් :

හිස්බඩ පලතුරු අනුභව කිරීම

කොව්ඩ් නිසා ශරීර සෞඛ්‍ය ගැන වගේම ප්‍රතිශක්තිකරණය ගැනත් අපේ අවධානය වැඩිපුර යොමු වෙලා තියෙන අවස්තාවේ ,අපි අදහස් කළා ඔබ ආහාරයට පසුව ගන්නා පලතුරු ගැන සටහනක් තියන්න.

ඇත්තටම පලතුරු ආහාරයට ගතයුත්තේ කොහොමද කොයි වෙලාවෙද . ඇත්තටම පලතුරු ගත යුත්තේ ආහාර ගැනීමට පෙරයි.ඉතින් කියවලාම බලන්නකෝ ,,,

හිස් බඩ පලතුරු අනුභව කිරීමම

ඔබේ ඇස් විවෘත කරනු ඇත! ලිපිය අවසානය දක්වා කියවලා ම තේරුම් ගන්නකෝ

බටහිර වෛද්‍ය වරයෙකු වන ස්ටීවන් මාක් මාරාන්තික පිළිකා රෝගීන්ට “ඕතඩොක්ස්” ක්‍රමයක් මගින් ප්‍රතිකාර කරන අතර බොහෝ රෝගීන් සුවය ලබා ඇත.

ඔහු සිය රෝගීන්ගේ රෝගාබාධ ඉවත් කිරීමට සූර්ය ශක්තිය භාවිතා කිරීමට පෙර, රෝගාබාධවලට එරෙහිව ශරීරයේ ස්වාභාවික සුවය ගැන විශ්වාස කරයි.

එය පිළිකා සුව කිරීමේ එක් උපාය මාර්ගයකි.

ප්‍රමාද වන විට, පිළිකා සුව කිරීමේ මගේ සාර්ථකත්ව අනුපාතය 80% ක් පමණ වේ.

පිළිකා රෝගීන් මිය නොයා යුතුය. පිළිකා සඳහා ප්‍රතිකාරය දැනටමත් සොයාගෙන ඇත - එය අප පලතුරු අනුභව කරන ආකාරයයි.

එය ඔබ විශ්වාස කළත් නැතත්.

"සාම්ප්‍රදායික ප්‍රතිකාර යටතේ මිය යන පිළිකා රෝගීන් සිය ගණනක් ගැන මට කණගාටුයි." වෛද්‍ය වරයා පැවසීය .

පලතුරු අනුභව කිරීම

අපි හැමෝම හිතන්නේ පලතුරු අනුභව කිරීම යනු පලතුරු මිලදී ගැනීම, කැපීම සහ එය අපගේ කටට දැමීම පමණයි.

එය ඔබ සිතන තරම් පහසු නැත. පලතුරු අනුභව කරන්නේ කෙසේද සහ කවදාද යන්න දැනගැනීම වැදගත්ය.

පලතුරු අනුභව කිරීමේ නිවැරදි ක්‍රමය කුමක්ද?

●●ඔබේ ආහාර අනුභවයට ප්‍රථම පළතුරු අනුභව කලයුතු අතර ආහාරයෙන් පසු පලතුරු අනුභව නොකල යුතුය!

●●පලතුරු ආහාරයට ගත යුත්තේ අනිත් සියලුම ආහාර අනුභවයට ප්‍රථම වියයුතුය.

ඔබ හිස් බඩ මත පලතුරු අනුභව කරන්නේ නම්, එය ඔබේ පද්ධතිය ඩෙටොක්සයිෆ් කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇත, බර අඩු කර ගැනීම සහ අනෙකුත් ජීවිත ක්‍රියාකාරකම් සඳහා ඔබට විශාල ශක්තියක් සපයයි.

Facebook

සම්පූර්ණ සටහන මෙතනින්.

එමෙන්ම මෙම සටහන්වල වැඩි දුරටත් දක්වා තිබුණේ, ආහාර වේලකට පසු සිසිල් ජලය හෝ බීම පානය කිරීම පිළිකා වලට හේතු වන බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link

හිස් බඩ මත පළතුරු අනුභව කිරීම සැබවින්ම පිළිකා ප්‍රතිකාරයක් ද යන්න පිළිබඳව සහ ආහාර වේලකට පසු සිසිල් ජලය හෝ බීම පානය කිරීම පිළිකා වලට හේතු විය හැකිද, යන්න පිළිබඳව අප විමර්ශනය කිරීමට පියවර ගනු ලැබීය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම සටහනේ දැක්වෙන පරිදි බටහිර වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ස්ටීවන් මැක් විසින්, කුමන වර්ගයේ පිළිකා ප්‍රතිකාර අවස්ථාවක් ද යන්න සඳහන් කර නොතිබුණ අතර මේ පිළිබඳව තොරතුරු පරීක්ෂා කිරීම සඳහා අප අන්තර්ජාලය හරහා එම වෛද්‍යවරයා සඳහන් කළ හිස්බඩ පළතුරු ලබා ගැනීම පිළිබඳ ප්‍රතිකාර අවස්ථාව සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලැබුවා.

නමුත් අපට එවැනි වෛද්‍යවරයෙකු පිළිබඳ තොරතුරක් ඉහත ප්‍රතිකාරය සම්බන්ධයෙන් හෝ එම වෛද්‍යවරයා සඳහන් කළ ලිපියක් හෝ පුවත් වාර්තාවක් දැක ගන්නට නොලැබුණි.

පිළිකා පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අරවින්ද දිසානායක

අප මේ පිළිබඳව පිළිකා පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය, වෛද්‍ය අරවින්ද දිසානායක මහතාගෙන් විමසීමක් කරනු ලැබීය, ඔහු සඳහන් කළේ, පළතුරු හිස්බස ආහාරයට ගැනීමෙන් පිළිකා සුව වන බවට, විද්‍යාත්මකව ඔප්පු කළ අධ්‍යයනයන් නොමැති බවයි.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ

එමෙන්ම, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය මේ පිළිබඳව සඳහන් කළේ, පළතුරු මෙන්ම එළවළු ශරීරයට අහිතකර නොමැති හෙයින් ඒවා හිස්බඩ ආහාරයට ගැනීමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

පළතුරු, එළවළු ආහාරයට ගැනීම, පිළිකා වර්ග මෙන්ම, දියවැඩියාව, අධික රුධිරපීඩනය, අධික ස්ථුලතාවය වැනි රෝග වළක්වා ගැනීමට හේතු වන නමුත් පිළිකාවට ප්‍රතිකාරයක් ලෙස හැඳින්විය නොහැකි බව තහවුරු කර සිටියා.

පිළිකා වලට ප්‍රතිකාර ක්‍රම බොහෝමයක් ඇති අතර බටහිර විද්‍යාවේ ප්‍රතිකාර ලෙස, ඖෂධ ලබා ගැනීම, සැත්කම් කර පිළිකා ඉවත් කිරීම්, විකිරණ ප්‍රතිකාර වැනි දෑ ඇති අතර කුමන ප්‍රහිකර්මයකට යොමු විය යුතු ද යන්න අදාළ වෛද්‍යවරුන් තීරණය කරන අතර එම ප්‍රතිකාර වෛද්‍යවරුන් නොවන අයට ප්‍රතිකාර ක්‍රම ලෙස උපදෙස් ලබා දිය නොහැකි බවයි සඳහන් කළේ.

පිළිකා වැනි තත්ත්වයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙවැනි සටහන් වල දැක්වෙන උපදෙස් අනුගමනය නොකර ප්‍රතිකාර අවස්ථා සඳහා පිළිකා සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා එම ප්‍රතිකාර වලට ඉක්මනින්ම යොමු වීම කළ යුතු බවයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය තවදුරටත් අවධාරණය කළේ.

එමෙන්ම පළතුරු පිළිකා සුව කිරීමේ ක්‍රමයක් ලෙස හඳුන්වා දී තිබූ ඇතැම් සටහන්වල දක්වා තිබුණේ, ආහාර වේලකට පසු සිසිල් ජලය හෝ බීම පානය කිරීම පිළිකා වලට හේතු විය හැකි බව සම්බන්ධයෙන් ද, අප ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මියන් විමසා සිටි අතර ඇය පවසා සිටියේ. එම තොරතුරු ද අසත්‍ය බවත්, මෙතෙක් එවැනි තොරතුරක් සායනිකව අත්හදා බැලූ තොරතුරු නොමැති බවයි.

ඕස්ට්‍රේලියාවේ පිළිකා කවුන්සිලය

ඕස්ට්‍රේලියාවේ පිළිකා කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය Sanchia Aranda, 2019 අගෝස්තු 7 වන දින AFP පුවත් ඒජන්සිය වෙත පවසා තිබුණේ, සීතල ජලය පානය කිරීම පිළිකාවක් වර්ධනය වීමට හේතු වන බවට ප්‍රකාශ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, සිසිල් බීම පානය කරන විට, දියර ඉක්මනින් ශරීර උෂ්ණත්වයට උණුසුම් වන අතර ශරීරය ආහාර ජීර්ණය කරන ආකාරය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති නොකරන බවයි. එම වාර්තාව මෙතනින්.

අමෙරිකානු පිළිකා සංගමය

එමෙන්ම අමරිකානු පිළිකා සංගමයේ ප්‍රකාශකයෙකු ද සඳහන් කර ඇත්තේ, මෙතෙක් සීතල ජලය පානය කිරීම පිළිකාවක් වර්ධනය වීමට හේතු වන බවට සාක්ෂි හමු වී නොමැති බවයි. එම වාර්තාව මෙතනින්.

ප්‍රංශයේ වසංගත රෝග හා ජනගහන සෞඛ්‍ය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ

ප්‍රංශ පර්යේෂණ ආයතනයක් වන Inserm හි වසංගත රෝග හා ජනගහන සෞඛ්‍ය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ පැරිස් Saclay විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය මහාචාර්ය Bruno Falissard පවසා ඇත්තේ ජලය ජීවිතයට අත්‍යවශ්‍ය නමුත් සත්‍ය වශයෙන්ම එයට රෝග සුව කිරීමට බලයක් නොමැති බවයි.

"ජලය උණුසුම්ද සීතලද යන්න ගැටළුවක් නොවන අතර එය සුවයක් නොවන අතර එය හානිකරද, නොවන බවත් ශරීරයට ‘අංශක 0 ත් 40’ ත් අතර ප්‍රමාණයක් ජලය දරාගත හැකි බවයි ඔහු AFP වෙත පවසා තිබුණේ. එම වාර්තාව මෙතනින්.

මේ පිළිබඳ ජාත්‍යන්තර කරුණු විමර්ශන කණ්ඩායම් සිදු කළ වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Also Read :

උණු පොල් වතුර, පිළිකා සෛල විනාශ කරනවාද?

පිළිකාව සම්පුර්ණයෙන්ම සුව කිරීමට වෛද්‍ය ගෝමික සොයාගත් බවට නොමඟ යවන සුළු සටහන් පෙළක්!

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශන වාර්තාවෙන් පෙන්වා දෙන්නේ, හිස් බඩ පළතුරු අනුභව කිරීම පිළිකා ප්‍රතිකාර ක්‍රමයන් බවට හා ආහාර වේලකට පසු සිසිල් ජලය හෝ බීම පානය කිරීම පිළිකා වලට හේතු විය හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවයි.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂවරිය සඳහන් කළේ, පළතුරු ආහාරයට ගැනීම මගින් පිළිකා වර්ග මෙන්ම, දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධික ස්ථුලතාවය වැනි රෝග වළක්වා ගැනීමට හේතු වන නමුත් පිළිකා වලට ප්‍රතිකාරයක් ලෙස හැඳින්විය නොහැකි බවයි. එමෙන්ම සීතල ජලය පානය කිරීම පිළිකාවක් වර්ධනය වීමට හේතු වන බවට සායනික පරීක්ෂණ වලින් තහවුරු වී නොමැති බවයි.

Avatar

Title:හිස්බඩ පළතුරු කෑම පිළිකාවට ප්‍රතිකර්මයක් ද? ආහාර වේලකට පසු සිසිල් ජලය පානය කිරීමෙන් පිළිකා සෑදෙනවාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading