දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ඈත අතීතයෙන් පටන් අද දක්වාම, විවිධාකාරයේ ලෙඩ රෝග සඳහා අත්බෙහෙත් භාවිත කිරීමට බොහෝ පිරිස් යොමු වෙනු අපට දක්නට ලැබෙනවා. මෙවැනි අත්බෙහෙත්, විධික්‍රම යනාදිය ඇතැම් තත්වයන් සඳහා යම්කිසි මට්ටමකට පිළිතුරක් ලබා දුන්නද, මෙම ක්‍රම සියල්ලක් තුළින්ම පමණක් අපේක්ෂිත ප්‍රතිඵල සෑමවිටම ලබාගැනීම අපහසුයි. කෙසේවෙතත්, එවැනි ක්‍රම පිලිබඳ උපදෙස් අඩංගු සටහන් හුවමාරු කරගැනීමට බොහෝ දෙනා පෙළඹෙනවා.

නැවත ඩෙංගු උවදුර හිස ඔසවා ඇති මේ සමයේ, ඩෙංගු මදුරුවන් යම්කිසි ස්ථානයකට පැමිණීම වළක්වා ගතහැකි උපක්‍රමයක් ලෙස සංසරණය වූ සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්ෂා වීමේ ක්‍රමයක් ලෙස හුවමාරු වූ ෆේස්බුක් සටහනක දැක්වුණේ, දෙහි ගෙඩි 4ක් පමණ ගෙන දෙකට පලා එයට අලුත් කරාබුනැටි පහත ඡායරුපයේ දැක්වෙන ආකාරයට ගසා, මුදුරුවන් නිවසට ඇතුළුවන දොරකඩ සහ ජනලේ අසල තැබීන ලෙසයි. දින දෙකකට වරක් අලුත් දෙහි සහ කරාබුනැටි යොදාගන්නා ලෙසත් එහි කියවෙනවා. මෙම කෙම් ක්‍රමය මඟින් විහිදෙන ක්ලොව් සුවඳ මුසු සිට්රස් සුවඳ ඩෙංගි මදුරුවාට දරාගන්නට අපහසු බවත් සඳහන් වී තිබිණි.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් පරිශීලකයින් අතර බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙම අත්බෙහෙත සම්බන්ධයෙන් දක්වා තිබූ ප්‍රතිචාර පහතින්.

මෙහි නිරවද්‍යතාවය සොයා බලන ලෙස ට අපට ලැබුණු කිහිපයක් මුල් කර ගනිමින් මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු පරික්ෂා කිරීම) :

නිරන්තරයෙන් අප මුහුණ දෙන බරපතළ සෞඛ්‍ය ගැටලුවක් ලෙස ඩෙංගු උණ රෝග තත්ත්වය හැඳින්විය හැක. වාර්ෂිකව අපේ රටේ ඉහළ ජන ප‍්‍රතිශතයක් ඩෙංගු රෝගයට ගොදුරු වෙනවා වගේ ම එයින් සිදුවන මරණ ප‍්‍රමාණයත් පසුගිය කාලයේ දී නැවත වරක් සැලකිය යුතු අන්දමේ ඉහළ අගයක් ගෙන තිබෙනවා.

ඩෙංගු මර්ධනය කිරීමේ අරමුණින්, ඩෙංගු වෛරසය මනුෂ්‍ය ශරීරයට ඇතුළු කරන වාහක මදුරුවන් මර්ධනය කිරීමට රට තුළ බොහෝ විධිවිධානත් ක‍්‍රියාත්මක වෙනවා. ඩෙංගු මදුරුවන්(Aedes aegypti) බෝවීම වළක්වන්නට මදුරු මර්ධන ව්‍යාපෘති අතුරෙන් වර්තමානයේ බහුලව භාවිත කරනුයේ රසායනික දුම් භාවිතයයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු

ඉහත සඳහන් උපක්‍රමය ඩෙංගු මදුරුවන් නිවසට පැමිණීම වළක්වා ගත හැකි ද යන්න පිළිබඳ අප විමසීමට ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතාගෙන් විමසීමක් කළා.

වෛද්‍යවරයා සඳහන් කළේ, පැඟිරි සහ කරාබුනැටි යනු කෘමීන්ට එරෙහිව ස්වාභාවික විකර්ෂක (repellents) ලෙස සැලකුණ ද, එහි දිගුකාලින කාර්යක්ෂමතාවක් නොමැති බවත්, මෙම උපක්‍රමය ඩෙංගු මදුරුවන්ගෙන බේරීමට සාර්ථක ක්‍රමයක් ලෙස පැවසිය හැකි විද්‍යාත්මක දත්ත නොමැති බවයි.

මෙරට මදුරුවන් ආශ්‍රිත පරීක්ෂණ සිදු කරනු ලබන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ හෝ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පමණක් බවත්, මෙම ආයතන දෙකෙහිම ඉහත සඳහන් උපක්‍රමය සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කර නොමැති අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම උපක්‍රමය සම්බන්ධ ජාත්‍යන්තර පර්යේෂණයන් හෝ සිදු කර ඇත් ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීමේදී එ් පිළිබඳ ව පිළිගත හැකි අධ්‍යනයක් සිදු කර නොමැති බවක් දැකගන්නට ලැබෙන බවයි, වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු වැඩිදුරටත් පවසන්නේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා ද, තහවුරු කළේ, දෙහිගෙඩි සහ කරාඹු නැටි භාවිත කරමින් ඩෙංගු මදුරුවන් වැළැක්වීමේ ඉහත ක්‍රමය ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා නිර්දේශ කළ නොහැකි බවයි.

ඩෙංගු මදුරුවන් වළක්වා ගැනීමට ඉහත උපක්‍රමය භාවිත කිරීම සම්බන්ධයෙන් දේශිය වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීම කුමක් ද යන්න පිළිබඳව අප පරීක්ෂා කළා.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය එල්. පී. ඒ. කරුණාතිලක

ඩෙංගු මදුරුවන් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට මේ ක්‍රමය සාර්ථක බවට පැවසිය නොහැකි වූවත්, දෙහි, කරාබුනැටි ආදිය මදුරුවන් සහ ක්ෂුද්‍ර ජීවීන් වැනි කෘමීන් පළවා හැරීමේ හා විනාශ කිරීමේ ගුණ ඇති බවත් එය අවට වාතය ද පිරිසිඳු කරන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍යවරයා පවසා සිටියේ.

මෙම උපක්‍රමය සම්බන්ධ ජාත්‍යන්තර අධ්‍යන වාර්තා

අමෙරිකාවේ ජාතික පළිබෝධනාශක තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ, ගඳ සුවඳ දැනීම මදුරුවන් අපව සොයා ගැනීමට භාවිතා කරන ප්‍රමුඛතම ඉන්ද්‍රියක් බවත් අපගේ දහදිය සුවඳට සහ අප පිට කරන කාබන්ඩයොක්සයිඩ්වලට මදුරුවන් ආකර්ෂණය වන බැවින්, කෘමි විකර්ෂක (Inset Repellents) ක්‍රියා කරන්නේ, ඩෙංගු මදුරුවා ට අප සොයා ගැනීම සහ අපව දෂ්ට කිරීම වැළැක්වීම සඳහා අපගේ සුවඳ වසන් කිරීම මගින් බවත්, කෘමි විකර්ෂකයක් සක්‍රිය කළ විට, මදුරුවන්ට එහි මිනිසා හෝ සත්ව ධාරකය සොයා ගැනීමට අපහසු වන බවත් ය. Archived Link

විකර්ෂකයක කාර්යක්ෂමතාව සහ කාලසීමාව කෙරෙහි බලපෑම් කළ හැකි බොහෝ සාධක ඇති බවත්, ඒවා නම් මදුරු විශේෂය, උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, පුද්ගලයෙකු දහඩිය දැමීම සහ ජීව විද්‍යාත්මකව විවිධ පුද්ගලයින් මදුරුවන්ට කෙතරම් ආකර්ශනීයද යන්න වැනි කරුණු ඇති බවත් අමෙරිකාවේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය(CDC) සඳහන් කරයි. Archived Link

කරාබුනැටි සහ දෙහි ලෙලිවල ඇති සගන්ධ තෙල් (වෙන වෙන ම පරීක්‍ෂා කළ විට) අනෙකුත් ස්වභාවික ශාක වන ලෙමන්ග්‍රාස්, යුකැලිප්ටස්, බැසිල්, දොඩම් සහ පැඟිරි සමගින් භාවිත කිරීමෙන් ඉහළ මදුරු විකර්ෂක ක්‍රියාකාරිත්වයක් ඇති බව Asian Journal of Research in Pharmaceutical Science හි පළ වූ ලිපියක පෙන්වා තිබුණේ මෙලෙසින්. Archived Link

එක් පරීක්ෂණයකින් පෙන්නුම් කළේ කරාබුනැටි තෙල් මිනිත්තු 76 ක් දක්වා මදුරුවන්ගෙන් ආරක්ෂා වන අතර අනෙකුත් පරීක්ෂණවලින් එය පැය දෙකේ සිට හතර දක්වා ආරක්ෂාවක් පවතින බවයි. එම පර්යේෂණ සම්බන්ධ තොරතුරු මෙතනින්. Archived Link

මදුරුවන්ට එරෙහිව මධ්‍යස්ථ විකර්ෂණ ක්‍රියාකාරකම් පෙන්වීමට කරාබුනැටි තෙල්වලින් පස් ගුණයකින් සාන්ද්‍ර කොට ගත සාරය අවශ්‍ය බවට තවත් අධ්‍යයනයකින් පෙන්වා තිබුණේ මෙලෙසින්. Archived Link

කෙසේ වෙතත්, අමෙරිකානු මදුරු මර්දන සංගමයේ තාක්ෂණික උපදේශක සහ විශ්‍රාමික කීට විද්‍යාඥ Joe Conlon සඳහන් කර ඇත්තේ, දෙහි සහ කරාබුනැටි වලින් ලබාගත් මූලික තෙල් හොඳ මදුරු විකර්ෂක වූවත්, දෙහි ගෙඩියක කරාබුනැටි සිටුවීමෙන් ඵලදායී ලබාගත හැකි බවක් මින් අදහස් නොකරන බවත්, මදුරු විකර්ෂකයක් ලෙස භාවිත කිරීම කිසිදු ප්‍රයෝජනයක් සහිත දෙයක් නොවන බවයි.

එමෙන්ම ම ඉහත උපක්‍රමය භාවිතා කිරීමෙන් මදුරු උවදුරෙන් ආරක්ෂා වීමට හැකි බවට වැරදි හැඟීමක් මතු කරන බවත්, එම ක්‍රමය සාර්ථක බවට සහාය දැක්වීමට කිසිදු සාක්ෂියක් නොමැති බවත් අමෙරිකානු මදුරු පාලන සංගමයේ තාක්ෂණික උපදේශක ඩැනියෙල් මාර්කොව්ස්කි AFP වෙත අදහස් දක්වා තිබුණේ මෙලෙසින්. Archived Link

එමෙන් ම ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ශාක සාරය හෝ සගන්ධ තෙල් විකර්ෂක ලෙස යම් මට්ටමක කාර්යක්ෂමතාවයක් පෙන්විය හැකි බවත්, සාන්ද්‍ර කරාබු නැටි තෙල් වලට විකර්ෂක ගුණ තිබිය හැකි වුවද, එය ඔබේ නිවස වටා කරාබු නැටි තනිවම හෝ වෙනත් පළතුරු සමඟින් තැබීමෙන් මදුරුවන් පළවා හැරීමට නොහැකි වනු ඇති බවයි.

දෙහි පළුවකට සහ කරාබුනැටි ගැසීම සම්බන්ධ පරීක්ෂණයක් !

මේ පිළිබඳව Natalia De Cuba Romero නමැති උපදේශකවරික් විසින් තම අත්දැකීම් විස්තර කරමින් සඳහන් කරන්නේ, ඇය විසින් සමාජ මාධ්‍යජාලා වල පවසන පරිදි දෙහි පළුවකට කරාබුනැටි ගසා මදුරුවන් පළවා හැරීමේ අයුරින් එම උපක්‍රමය සිදු කළද, ඉන් ඵලක් නොවූ බවයි. ඒ සම්බන්ධ බ්ලොග් ලිපිය මෙතනින්. Archived Link

ඉහත ක්‍රමය අපද අත්හදා බැලූව ද මදුරුවන් පළවා හැරීමේ සැලකිය යුතු බලපෑමක් මෙම ක්‍රමය මගින් සිදු වූ බවක් දැක ගන්නට ලැබුනේ නැහැ.

දෙහි සහ කරාබුනැටි මගින් මදුරුවන් වළක්වාගැනීමේ උපක්‍රමය සාර්ථක වන බවට විද්‍යාත්මක දත්ත නොමැති බව දක්වමින් ඒ පිළිබඳව තවත් කරුණු ඇතුළත්ව ජාත්‍යන්තර කරුණු විමර්ශන කණ්ඩායම් සිදු කළ තවත් විමර්ශන වාර්තාවක් මෙතනින්.

ජාතික ඩෙංගු මර්දන ඒකකය

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු කරුණු දක්වා තිබේ.

  • භාවිත කළ හැකි ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල්, ටින් ආදිය ප්‍රතිචක්‍රීකරණය කිරීම, අනෙකුත් බඳුන් මදුරුවන් බෝ නොවන ලෙස විනා කිරීම.
  • වැහි පිහිලිවල හිරවී ඇති කොළ රොඩු ඉවත් කර නිතර පිරිසිදු කිරීම, වතුර ටැංකි, බැරල්, මල් බඳුන්, ශිතකරණ තැටි බුරුසුවකින් අතුල්ලා පිරිසිදු කිරීම.
  • වතුර එක්රැස්වන ස්ථාන, ලිං සහ ටැංකිවලට මදුරුවන්ට ඇතුල්විය නොහැකි ලෙස දැල් යොදා ආවරණය කිරීම.
  • නිරන්තරයෙන් සතියකට වරක් ගෙවත්ත හා ගෙතුළ හොඳින් පිරීක්ෂා කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කිරීම.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්

එමෙන් ම ඩෙංගු අවදානම් කලාපවල රැඳී සිටින විට මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීම සඳහා අනුගමනය කළ යුතු පුද්ගලික ආරක්ෂක පියවර කිහිපයක් ද, එම ඒකකයේ වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ මෙලෙසින්.

  • මදුරුවන්ගෙන් ආරක්ෂා වන දැල් භාවිත කිරීම මගින් ඔබ සිටින පරිශ්‍රයේ දොරවල් සහ ජනෙල් වසා දැමීම.
  • විශේෂයෙන් උදේ සහ සවස එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදෙන දරුවන්ට ශරීරය ආවරණය වන පරිදි ආරක්ෂිත ඇඳුම් භාවිතය.
  • පැඟිරි තෙල්, Lemongrass (සේර) තෙල්, කොහොඹ තෙල් යනාදි ස්වභාවික විකර්ෂක මෙන්ම DEET (N,N-Diethyl-m-toluamide) අඩංගු රසායනික විකර්ෂක යෙදීම. කෙසේ වෙතත්, විකර්ෂකවල බලපෑම කෙටි කාලීන වේ. (පැය ½- 6) *නිෂ්පාදන ලේබලයේ දක්වා ඇති උපදෙස් වලට අනුකූලව විකර්ෂක භාවිතය සිදු කළ යුතු බව ද, ඔවුන් පෙන්වා දෙනවා.

එසේම DEET අඩංගු රසායනික විකර්ෂකයන්හි මදුරුවන් පළවා හැරීමේ කාර්යක්ෂමතාව, ස්වාභාවික පැළෑටි මඟින් නිස්සාරණය කළ තෙල් මඟින් නිපදවන විකර්ෂකවලට වඩා වැඩි බව පර්යේෂණ කිහිපයකින්ම සනාථ වී තිබුණ ද එම රසායනික ද්‍රව්‍ය මගින් ඇතැම් පුද්ගලින්ගේ යම් ආසාත්මිකතා ඇතිවූ අවස්ථා පිළිබඳව ද වාර්තා වෙනවා.

මේ හේතුවෙන් බොහෝ දෙනා ස්වාභාවික නිස්සාරක සහිත නිෂ්පාදන වෙත වඩාත් විමසිලිමත් වීමේ ප්‍රවණතාවයක් ද ලොව පුරා දැක ගන්නට ලැබෙනවා. මෙම තෙල් වර්ග භාවිතයේදී ද සාන්ද්‍රණය අඩු කොට භාවිතය සහ ආසාත්මික නොමැති බව තහවුරු කරගැනීම වැදගත් වෙනවා. එවැනි ස්වභාවික තෙල් කිහිපයක් සහ DEET නිෂ්පාදන පිළිබඳ තොරතුරු අඩංගු ලිපියක් මෙතනින්.

පැඟිරි තෙල් අඩංගු මදුරු විකර්ෂක රැසක් ලංකාවේ වෙළඳපොලේ ද දැක ගන්නට ලැබෙන අතර විශේෂයෙන්ම ලෙමන් යුකැලිප්ටස් තෙල් තුළ ඇති විකර්ෂක ගුණය පිලිබඳ මෑතකදී බොහෝ වාර්තා දැක ගන්නට ලැබෙනවා. වීඩියෝවක් මෙතනින්

එසේම මදුරු විකර්ෂක පිළිබඳ පවතින ඇතැම් දුර්මත පිළිබඳ සිදුකරන ලද කෙටි වීඩියෝවක් මෙතනින්

Also Read: දණහිසෙන් පහළ පොල්තෙල් ආලේප කරගැනීම මගින් ඩෙංගු ආසාදනය වීම වැළකිය නොහැකියි!

මේ සතියේ සහ එළැඹෙන සතිය තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක්

බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් මේ සතියේ සහ එළැඹෙන සතිය තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ජාතික මට්ටමින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් මෙම මර්දන ව්‍යාපාරය ක්‍රියාත්මක බවයි.

මේ මාසයේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගින් 7069 දෙනෙකු වාර්තාවී ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,473 කි. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 27කි.

ලංකාවේ දිස්ත්‍රික්ක 06 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 67 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් තත්නවයේ පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම තත්ත්වය පවතින්නේ ගම්පහ , කොළඹ , කළුතර , මහනුවර , කුරුණෑගල සහ පුත්තලම එම දිස්ත්‍රික්කවලයි.

මේ අතර පවතින වර්ෂාව හමුවේ ලබන මාසය වනවිට ඩෙංගු තවදුරටත් ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එබැවින් මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර දමන්නැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.

මේ අතර බස්නාහිර පළාත් පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව ඇඳුමක් ඇඳීමට අවසර හිමි වී තිබේ. පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත් මහතා සඳහන් කර ඇත්තේ, ඩෙංගුවලින් දරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් එම පියවර ගත් බවයි.ඒ අනුව, ලා පැහැති, දිග ඇඳුමක්, නිල ඇඳුමට යටින් ඇඳීමට අවසර හිමිවන බව, ඔහු ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් මෙතනින් සහ මෙතනින්.

මදුරුවන් ඇතුළු කෘමි උවදුරුවලින් ආරක්ෂා වීමට ගතහැකි පියවර පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්මාණය කර තිබූ සටහනක් මෙතනින්.

Also Read: How is Climate Change Contributing to the Spread of Dengue?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ, දෙහි ගෙඩි පළුවල කරාඹුනැටි ගසා මදුරුවන් නිවසන ඇතුළුවන ස්ථාන අසළ තැබීම ඔබට මදුරු උවදුරින් බේරිය හැකි බවට කරන හුවමාරු වන්නේ නොමඟ යවන සුළු සටහන් පෙළක් බවයි. දෙහි සහ කරාබුනැටි ඵලදායී විය හැකි බවට ඔප්පු කළ හැකි එකම ක්‍රමය වන්නේ ඒවායින් නිස්සාරණය කරන තෙල් අඩංගු විකර්ෂක භාවිතා කිරීමයි.

එහෙත් බොහෝ අධ්‍යයන වලින් පෙන්වා දෙන්නේ මෙවැනි තෙල් අඩංගු විකර්ෂක (repellents) සමට යොදන විට මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීම සඳහා අපගේ සිරුරින් නිකුත්වන ගන්ධය ඒවා මගින් වසන් කළ ද බොහෝ වර්ගවල ක්‍රියාකාරිත්වය පැය කිහිපයකට සීමා වන අතර ඇතැම් විකර්ෂක අනෙකුත් වර්ගලවට වඩා කාර්යක්ෂමතාව අතින් අඩු බවයි. ලෙමන් යුකැලිප්ටස් තෙල් තුළ ඇති විකර්ෂක ගුණය පිලිබඳ මෑතකදී බොහෝ වාර්තා දැක ගන්නට ලැබෙනවා.

Avatar

Title:දෙහි ගෙඩි පාළුවකට කරාඹුනැටි ගසා මදුරුවන් නිවසන ඇතුළුවන ස්ථාන අසළ තැබීම, ඩෙංගු මදුරු උවදුරින් වැළකීමේ සාර්ථක ක්‍රමයක් නොවේ!

Written By: Pavithra Sandamali

Result: Misleading