FACT CHECK: සිංහරාජයේ වන විනාශය ගැන යුනෙස්කෝව පසුගිය දා ප්‍රකාශයක් සිදු කළා ද?

Update: 2021-04-02 08:43 GMT

සිංහරාජ රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව සිදුවන වන සංහාරයන් පිළිබඳව පසුගිය කාලයේ නොයෙකුත් දෙනා අදහස් පළ කරද්දි ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ (SLNCU) ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා මාධ්‍ය වෙත පැවසූ ප්‍රකාශයක් හේතුවෙන් සමාජය යළි කැළඹී තිබෙනවා.

එ්, සිංහරාජ වනාන්තරයේ කිසිදු වන විනාශයක් සිදු නොවුනු බවට UNESCO කියයි යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ධාරා සටහන් කර තිබීම හේතුවෙන්. මෙම ප්‍රකාශය හේතුවෙන් ජනතාව නොමග යෑමක් සිදු වී ඇති බවට දකින්නට තිබුණා. මේ ඒ සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි.

සමාජ මාධ්‍ය සටහන් :

ස්වාරණවාහිනියේ “Live at 8” ප්‍රවෘත්ති නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත්තේ “සිංහරාජයට කිසිදු හානියක් සිදුව නොමැති බවට යුනෙස්කෝව කියයි” යනුවෙනි. එම සටහන පහතින් දක්වා තිබේ.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් පළ වූ සටහන් පෙළක්.

"සිංහරාජයට කිසිදු හානියක් සිදුව නොමැති බව යුනෙස්කෝව කියයි" යනුවෙන් මෙම සටහන් ඉදිරිපත් කර තිබුණේ, ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා කළ ප්‍රකාශය මුල්කරගනිමින්.

එම ප්‍රකාශය,

“සිංහරාජයට මුකුත් හානියක් වෙලා නැහැ. සිංහරාජයෙන් පිට එහෙම කියන තරම් හානියකුත් නැහැ. මේ වෙලාවේ ඒක නිකන් දේශපාලන රැල්ලකට යන්න හදනවා වගේ මට දැනෙනවා.”

මාධ්‍ය වෙත එලෙස අදහස් පළ කළ වීඩියෝව පහතින්.

(එම ප්‍රකාශය සම්බන්ධයෙන් එම වීඩියෝවේ දැක්වෙන්නේ 1.34 විනාඩියේ සිට 1.48 වන විනාඩිය දක්වා)

https://www.youtube.com/watch?v=L1BRtQLxYUo&t=100s

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

සත්‍ය තොරතුරු විමර්ශනයට පෙර අප බලමු UNESCO යනු කුමක්ද කියලා. UNESCO යනු 1945 දී ස්ථාපනය කරන ලද එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය වන අතර එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (United Nations) විශේෂිත නියෝජිත ආයතනයක් වන අතර එහි මූලස්ථානය ප්‍රංශයේ පැරිස් නුවර පිහිටා තිබෙනවා. බහු පාර්ශ්වික සංවිධානයක් ලෙස එය ලොව පුරා සාමාජිකයන් රැසකගේ හා ආශ්‍රිත සාමාජිකයන් ඒකාබද්ධ කර ඇත.

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සිංහරාජ රක්ෂිතය මෙසේ නම් කර තිබෙනු ද දැක ගන්නට ලැබුණි.

යුනෙස්කෝ නිල වෙබ් අඩවියේ ලංකාව පිලිබඳ පල කර තිබු සබැඳිය මෙතනින්. එහි ලංකාව අයත් වන කාර්යාලය සහ ලංකාවේ යුනෙස්කෝ ස්ථිර නියෝජිත කණ්ඩායම සහ ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව පිළිබඳව තොරතුරු මෙසේ පෙන්වා දී තිබුනා.

ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව: (SLNCU)

මෙම ප්‍රකාශයට තුඩු දුන් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා නියෝජනය කරන ආයතනය වන SLNCU නැතහොත් ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව යනු, ශ්‍රී ලංකාව තුළ යුනෙස්කෝ සංවිධානයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ රජයේ ආයතනය ලෙස ක්‍රියා කරන ආයතනයයි.

මෙම කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින අතර අධ්‍යාපන අමාත්‍ය වරයා එහි සභාපතිත්වය උසුලයි. ඒ අනුව මහාචාර්ය ජී. එල් පීරිස් මහතා එහි සභාපති ලෙස කටයුතු කරයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයා එහි උප සභාපති ලෙස ක්‍රියාකරන අතර මහ ලේකම් වරයා (ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා) කොමිෂන් සභාවේ ප්‍රධාන නිලධාරියා වේ. සංවිධානයේ ව්‍යුහය මෙලෙසින්

යුනෙස්කෝ විෂය පථයට අදාල අමාත්‍යාංශ සහ ජාතික ආයතන වල නියෝජිතයන් ඇතුළු සාමාජිකයන් 35 දෙනකුගෙන් මෙම කොමිෂන් සභාවේ මහ සභාව සමන්විත වේ. මෙම කොමිෂන් සභාවේ ප්‍රධාන ක්‍රියාකාරී අංශ වන්නේ අධ්‍යාපනය, විද්‍යා, සංස්කෘතිය, මාධ්‍ය සහ සන්නිවේදනයයි. ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ කාර්යයන් පිළිබඳ එහි නිල වෙබ් අඩවියේ දක්වා ඇත්තේ මෙලෙසිනි.

අප යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ (SLNCU) ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතාගෙන් ද ආන්දෝලනයට තුඩු දුන් ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමක් කළා. අප එහිදී ඔහුගෙන් විමසා සිටියේ UNESCO ආයතනය විසින් මේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කළාද යන්නයි. මීගස්වත්ත මහතා සඳහන් කළේ UNESCO ආයතනය එලෙස වාර්තාවක් ඉදිරිපත් කර නොමැති අතර වන විනාශයක් සිදු වී නොමැති හෙයින් වාර්තාවක් නිකුත් කරන්නට හේතුවක් නොමැති බවයි.

තවද UNESCO ආයතනයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අධිකාරිය තමන් සතුවන බැවින් තමන්ගේ ප්‍රකාශය පිළිගත හැකි කරුණක් බවටයි ඔහු සඳහන් කළේ. ඒ අනුව සිංහරාජ වනාන්තරයේ වන විනාශයක් සිදු වී නොමැති බවට තමන්ට ප්‍රකාශ කළ හැකි බවද ඔහු වැඩිදුරටත් අවධාරනය කළා.

මත භේදයට තුඩුදුන් මීගස්වත්ත මහතා සහභාගි වූ ඉහත සඳහන් මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝවේ වුවද දැකගන්නට ලැබෙන්නේ UNESCO විසින් එම ප්‍රකාශය සඳහන් කළ බවට ඔහු ද කිසිදු තැනක සඳහන් නොකරන බවයි.

ප්‍රංශයේ පැරිසියේ පිහිටි ලංකාවේ යුනෙස්කෝ ස්ථිර නියෝජිත කණ්ඩායමෙන් ද මේ පිලිබඳ සිදුකළ විමසීමේදී ඉහත මීගස්වත්ත මහතා සිදුකර තිබු ප්‍රකාශය හා එකඟ විය හැකි බව පවසා සිටියා.

ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය:

කෙසේවෙතත් මේ පිලිබඳ වැඩිදුර තොරතුරු විමර්ශනය සඳහා අප මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක, මහජන තොරතුරු නිලධාරීතුමාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු අපට දන්වා තිබුනේ එක්සත් ජාතීන්ගේ ආයතන සමඟ විවිධ අංශවලින් සම්බන්ධ වී ඇති පුද්ගලික / ලාභ නොලබන / රාජ්‍ය ආයතන, ECOSOC වැනි ක්‍රියාකාරී කොමිෂන් සභා හෝ එක්සත් ජාතීන්ගේ සිවිල් සමාජ හවුල් කාර්යාල වැනි ආයතන බොහෝ විට තමන් එක්සත් ජාතීන්ගේ ව්‍යුහයේ කොටසක් බවට මහජනතාවට හැඟවීමට මෙලෙස නම් හා තනතුරු භාවිතා කරන බවයි. ඇතමුන් එසේ ප්‍රකාශ කරත් ඔවුන් සැබවින්ම එම රටවල රජයේ ආයතනවල, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන වල හෝ අරමුදල් සහ වැඩසටහන් වල කොටසක් නොවන බවයි.

කෙසේවෙතත් ලංකාවේ යුනෙස්කෝ සංවිධානයේ කාර්යාලයක් පිහිටා නැති බැවින් මේ පිලිබඳ විස්තර දකුණු ආසියාවේ යුනෙස්කෝ කාර්යාලයෙන් ලබාගත යුතු බවත් දන්වා සිටියා.

දකුණු ආසියාවේ යුනෙස්කෝ කාර්යාලය

මේ අනුව ලංකාවේ යුනෙස්කෝ නේවාසික සම්බන්ධීකාරක මහජන තොරතුරු නිලධාරීතුමා ඉන්දියාවේ නව දිල්ලියෙහි ඇති දකුණු ආසියාවේ යුනෙස්කෝ ප්‍රාදේශීය කාර්යාලයෙන් (UNESCO regional office in South Asia) විමසීමක් කළා. ලංකාව ද ඇතුළුව දකුණු ආසියාතික රටවල් සම්බන්ධයෙන් යුනෙස්කෝ ආයතන වශයෙන් නිල ප්‍රකාශයක් ලබා දිය හැක්කේ මෙම ආයතනයටයි.

මේ සම්බන්ධයෙන් ඔවුන් සඳහන් කළේ, යුනෙස්කෝව සඳහා වන ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාවේ ලේකම්වරයා පත් කරනු ලබන්නේ, පවත්නා රජය විසින් බවයි. ඒ අනුව ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා UNESCO කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකු නොවන බවට ඔවුන් සඳහන් කළා.

තවද, සෑම රටකම යුනෙස්කෝ සඳහා වන ජාතික කොමිෂන් සභා යනාදිය, සිවිල් සමාජය ඇතුළු ජාතික හවුල්කරුවන් සමඟ හවුල්කාරිත්වය බල ගැන්වීමට සහ සම්බන්ධීකරණ කටයුතු කිරීමට රජය වෙනුවෙන් උපදේශන, සම්බන්ධතා සහ තොරතුරු සපයන ආයතන ලෙස ක්‍රියා කරන බවද, ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුනා.

මාධ්‍ය සටහන්:

“සිංහරාජයට කිසිදු හානියක් සිදුව නොමැති බවට SLNCU නැතහොත් ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව කියයි” වෙනුවට බොහෝ මාධ්‍ය භාවිතා කළේ “සිංහරාජයට කිසිදු හානියක් සිදුව නොමැති බවට UNESCO කියයි”යන්නයි.

UNESCOව යනු බහු පාර්ශ්වික සංවිධානයක් ලෙස ලොව පුරා ව්‍යාප්ත සාමාජිකයන් රැසක් ඒකාබද්ධ කර පිහිටුවා ඇති සංවිධානයකි. එසේ තිබියදීත් මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින සාමාජීය ගැටලුවකට පිළියම් වශයෙන් ශ්‍රී ලංකාව තුළ යුනෙස්කෝ සංවිධානයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ රජයේ ආයතනය ලෙස ක්‍රියාකරන ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මතයක් හෝ ප්‍රකාශයක් “UNESCO කියයි” යනුවෙන් සමාජගත කිරීම මඟින් බොහෝ දෙනා නොමඟ ගොස් ඇති අබව පෙනී යනවා.

මේ පිලිබඳ බොහෝ දෙනා පැහැදිලි කිරීම් ද ඉදිරිපත් කර තිබු අතර බී.බී.සී සිංහල සේවය මඟින් ඉදිරිපත් කර තිබු වාර්තාවක් මෙතනින්.

මීට පෙර ද සිංහරාජ රක්ෂිතව ආශ්‍රිතව මාර්ගයක් තැනීම පිළිබඳව යුනෙස්කෝ සංවිධානයෙන් විමසීම් රැසක් සිදුකර තිබෙන අතර මේ පිළිබඳව ඔවුන් පළකර තිබු නිවේදනයක් මෙලෙසින්. කෙසේවෙතත් සිංහරාජ වන විනාශය සම්බන්ධයෙන් යුනෙස්කෝ සංවිධානය මඟින් මෙතෙක් කිසිඳු නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනු දැක ගන්නට ලැබුනේ නැහැ.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයට අනුව පෙනී යන්නේ මාධ්‍ය මගින් “සිංහරාජයට කිසිදු හානියක් සිදුව නොමැති බවට යුනෙස්කෝව කියයි” යන්න පවසා තිබීම හේතුවෙන් මෙලෙස ජනතාව නොමග යෑමට තුඩු දුන් කරුණක් වූ බවයි. UNESCO හා SLNCU ආයතනයන්හි වෙනස සම්බන්ධයෙන් හරි හැටි අවබෝධ නොමැතිව එය සමාජගත කිරීම තුළින් ජනතාව මුලා කොට නොමග යෑවීමට උත්සහ දරා ඇති බව පෙනී යයි.

සිංහරාජ රක්ෂිත වනාන්තරේ සිදුවූවා යැයි බවට කියවෙන වන සංහාරය පිළිබඳ UNESCO සංවිධානය හෝ දකුණු ආසියාතික කාර්යාලය විසින් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් ‍සිදු කර නැහැ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සිංහරාජයේ වන විනාශය ගැන යුනෙස්කෝව පසුගිය දා ප්‍රකාශයක් සිදු කළා ද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading

Tags:    

Similar News