FACT CHECK: ගිනිගත් නැවේ මූලික වන්දියෙන් බාගයක් සැප වාහන ගේන්න වැය වුණා ද?

Update: 2021-06-16 11:34 GMT

මෙරට මුහුදු සීමාවේදී X-Press Pearl නෞකාව ගිනි ගැනීමට ලක්වීමත් සමග මෙරටට සමුද්‍රි සහ වෙරළබඩ කලාපයේ දැවැන්ත පරිසර හානියක් සිදුවෙමින් පවතින බවට පුවත් වාර්තා වුණා. මෙම ව්‍යසනය හේතුවෙන් ලංකාවට වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් ද විශාල කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා.

මේ අතර ගිනිගත් නැවේ මූලික වන්දියෙන් භාගයක් අමාත්‍ය මණ්ඩලයේ වාහන ආනයනය කිරීම සඳහා වැය වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පළකර තිබු කරුණු පිලිබඳ අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

Sumith Thilakarathne යන අය විසින් “ජනතා සේවකයො 225න් කී දෙනෙක් ජනතාවට ආදරය කරනවාද කියලා බලමු . විරුද්ධ පක්ෂය සහ ආන්ඩු පක්ශය මේ වාහන ප්‍රතික්ෂේප කරන්නේ කවුද බලමු .නියම ජනතා සේවකයො හදුනා ගනිමු” යනුවෙන් ඡායාරූපයක් සහිත සටහනක් “තුලාව” නම් ෆේස්බුක් සමූහයේ දක්වා තිබුණේ මෙලෙසිනි.

Facebook | Archived Link

මෙමසටහන සඳහා යොදාගෙන තිබූ ඡායාරූපයේ දැක්වුණේ, “ගිනිගත් නැවේ මූලික වන්දියෙන් බාගයක් සැප වාහන ගේන්න වැය වෙයි. එක් මන්ත්‍රී රථයක වියදමෙන් 22,500කට එන්නත් දිය හැකියි” යනුවෙනි.

මෙම සේයාරුව සහිත තවත් සටහන් කිහිපයක් ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ අයුරු ද අපට දැක ගන්නට ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ගිනිගත් නැවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් මූලික වන්දියක් ලංකාවට මේ වන විට ලැබුණාදැයි අප ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු වෙබ් පුවත් වාර්තාද නිරීක්ෂණය කළෙමු. මෙතෙක් නැව ගිනි ගැනීම සම්බන්ධයෙන් වන්දියක් මෙරටට ලැබී ඇති බවට ඒ වාර්තා කිසිවක දැක ගන්නට නොලැබුණි. ඩොලර් මිලියන 40ක මුලික වන්දියක් ඉල්ලීමක් සිදුකර තිබු බවට මාධ්‍ය වාර්තා කිහිපයක් ම මෙසේ දැක ගන්නට ලැබුණි.

නමුත් ජුනි 14 දිනයේදී අධිකරණ අමාත්‍යාංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව MV -X Press Pearl නෞකාවේ ඇති වූ ගින්නෙන් මෙරටට සිදු වූ බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබා ගැනීම හා ඊට අදාළ නෛතික කටයුතු සිදු කිරීම සඳහා නීතිපතිතුමාට අවශ්‍ය සහාය ලබාදීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත් අබේගුණවර්ධන, නාගරික සංවර්ධන වෙරළ සංරකෂණ හා අපද්‍රවය බැහැරලීමේ කටයුතු රාජය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර වරාය කටයුතු හා මත්ස්‍ය අපනයන රාජය අමාත්‍ය කංචන විජේස්කර අමාත්‍යවරුන්ගේ හා නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ සහභාගිත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වා ඇති බවයි. එ් සම්බන්ධයෙන් පළවූ දිනමිණ වෙබ් පුවත් වාර්තාව මෙතනින්.

එම නිවේදනය පහතින්.

මේ වන විට සිදු වු හානිය සම්බන්ධයෙන් පළමු අතුරු හිමිකම් පෑම ලෙස මැයි මස 23 වැනි දින සිට ජුනි මස 03 වන දින දක්වා දින දහයක කාලය තුළ රජගේ ආයතනවලට වැය වූ වියදම් හා රටට වු හානිය පිළිබඳව ඇමරිකානු ඩොලර් මිලියන 40 ක වන්දියක් සතියකට පමණ පෙර ලන්ඩනයේ ඇති එම ගිනිගත් නැවේ අයතිකරුවන්ගේ සංගමයෙන් ඉල්ලා ඇති බවත් වැඩිදුර සාකච්ඡා නීතිපති විසින් සිදුකෙරෙන බවත් මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙතට අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවා. එම වීඩියෝව පහතින්.

https://www.youtube.com/watch?v=7SCNSzzshmM

නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් මෙරටටට සිදු වූ හානිය සම්බන්ධයෙන් වූ ප්‍රධාන හිමිකම් පෑම වෙනුවෙන් කටයුතු කිරීම සඳහා කමිටු 05 ක් පත් කර තිබෙන බවත් මෙරටට සිදු වු හානිය සම්බන්ධව අදාළ වන්දි ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගැනීමට පියවර ගෙන ඇති බවත් එක්සත් ජාතීන්ගේ විශේඥයින් තිදෙනෙකු මෙරටට පැමිණීමට නියමිත බවත් අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

මේ වන විට එම පළමු අතුරු හිමිකම් පෑම ලබාගැනීම සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් සමඟ සකච්ඡා කෙරෙමින් පවතින බවත් එම වන්දිය මෙතෙක් ලැබී නොමැති බවත් අප කළ විමසීමකදී අධිකරණ මාධ්‍ය ලේකම්වරයා ද තහවුරු කළා.

එමෙන්ම මෙතෙක් මෙරටට කොපමණ විනාශයක් සිදු වූවාදැයි යන්න සම්පූර්ණ විගණනයක් සිදු කර නොමැති හෙයින් ලබා ගන්නා සම්පුර්ණ වන්දි ප්‍රමාණය කොපමණද යන්න සහ එම වන්දිය පියවෙන අංශ මෙතෙක් මුළුමනින්ම සාකච්ඡාවට බඳුන් වී නොමැති අතර සිදුවූ හානිය ගණනය කිරීමේ මූලික අවධියේ සිටින බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

මෙම මුලික වන්දිය ලංකාවට ලබාදී ඇති බවට X Press Pearl පරිපාලන අංශ විසින් ද මෙතෙන් නිවේදනයක් නිකුත් කර තිබුනේ නැහැ.

ඒ අනුව සඳහන් කළ හැක්කේ සමාජයේ මහත් ආන්දෝලනයට භාජනයවූ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ඇතුලු ආණ්ඩුවේ භාවිතය සඳහා සුපිරි වාහන ආනයනය කිරීම, ගිනි ගැනීමට ලක්වුණු X Press Pearl නෞකාවේ මූලික වන්දියෙන් අඩක් වැය වූ බවට සඳහන් සටහන් නොමඟ යවන සුළු අසත්‍ය බවයි.

එමෙන්ම පසුගිය මැයි මස 25 වන දා කැබිනට් තීරණ දැනුම්දීමේදී සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, අග්‍රමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ රටේ පවතින මෙම තත්ත්වය යටතේ මෙලෙස වාහන ආනයනය නොකරන බවයි. එම වීඩියෝව මෙතනින්. (15.56) අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මැයි මස 24 වැනිදා නිකුත් කළ නිවේදනය මෙතනින්.

කෙසේවෙතත් පසුගිය ජුනි මස 07 වන සඳුදා දින හිරු ‘සලකුණ’ රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ ජනමාධ්‍ය අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් පැනයක් යොමු කරන්නේ රුපියල් බිලියන 3.7 ක වියදමින් සුපිරි වාහන 399ක් ආනයනය කිරීම සඳහා කලින් ගෙන තිබූ කැබිනට් තීරණය මේ වන විට අවලංගු කර ඇත්ද යන්නයි. එම අවස්ථාවේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිතුරු ලබා දෙමින් පවසන්නේ රාජ්‍ය බැංකු හරහා ණයවර ලිපි විවෘත කර ඇති බැවින් හා එය ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් බැවින්ද ඒකපාර්ශවිකව එම ගිවිසුම අවලංගු කළ නොහැකි බවයි. එසේ ලබාදුන් පිළිතුර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නැවතත් මේ පිළිබඳ විශාල කතිකාවතක් ඇතිවී තිබුණා. (2:12:23)

මෙයට ප්‍රතිචාර වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පවසා තිබුනේ තමා සිදුකළ ප්‍රකාශයට වෙනත් අර්ථකතනයක් ලබාදී ඇති බවත් තමා අදහස් කළේ අදාළ පාර්ශවයන් සමඟ අවශ්‍ය කටයුතු සමථයකට පත්කිරීමට දින කිහිපයක් අවශ්‍ය බවත්ය. එම කටයුතු සම්පුර්ණ වී ඇති බව අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයකින් මෙසේ දැනුම් දුන්නා.

මේ පිළිබඳ පළවූ පුවත් වාර්තාවක් මෙතනින්. SUV රථ ආනයන කිරීමට නැවතීමට ගැනුම්කරු සහ විකුණුම්කරු එකඟ වී ඇති නමුත් ගිලන්රථ වැනි අනෙකුත් වාහන ආනයනයන් සිදුවනු ඇති බවත් බැංකු පාර්ශවය ද උපුටා දක්වමින් එහි දැක්වෙනවා.

කෙසේවෙතත් මෙම වාහන ලැයිස්තුවේ තිබු ගිලන් රථ ආදී වාහන පමණක් ගෙන්වීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මිල දී ගැනීමට නියමිතව තිබු වාහන ආනයනය සම්පුර්ණයෙන්ම අත්හිටුවා ඇති බවත් ජුනි මස 15 වැනිදා අදහස් දක්වමින් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කරුණු දක්වා තිබුණා. එම කරුණු පැහැදිලි කිරීම පහතින්.

https://vimeo.com/563296354

මීට පෙර සිදුවූයේ මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර (vehicle permit) ලබාදීමක් බව පාර්ලිම්නේතු මාධ්‍ය අංශයෙන් ද අපට තහවුරු කර සිටියා. එසේ තීරුබදු රහිත මන්ත්‍රී වාහන බලපත්‍රය වෙනත් පාර්ශවයකට විකිණීම ඇතුළු විවිධ ප්‍රශ්න ද මතුවූ බවට සංවාදයක් ගොඩනැගී තිබුණා. මේ අනුව කල්බදු පහසු ක්‍රමය යටතේ ජීප් රථ මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා ආනයනය කිරීමට කටයුතු සිදු කිරීම මුලින් කටයුතු කර තිබෙන්නේ ද පළමු වරට බව පැහැදිලි වෙනවා.

කෙසේවෙතත් එම වාහන ආනයනය කිරීමට කටයුතු යොදා තිබුනේ රාජ්‍ය බැංකු හරහා ඉදිරිපත් කර තිබු ණයවර ලිපි හරහාය.

මෙම රාජ්‍ය බැංකුව ලංකා බැංකුව බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා. ඒ බවට පුවත් වාර්තාද පළ වුණා.

සිරස Newsfirst හි ප්‍රධාන පුවත් ප්‍රකාශයේ මේ සම්බන්ධයෙන් පළ වූ ප්‍රවෘත්තියේදී ලංකා බැංකුව බවට සඳහන් වන්නේ මෙලෙසින්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කිරීම සඳහා ලබාගත් ණය මුදල පිළිබඳ තොරතුරු හෙළි කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් ලංකා බැංකුවෙන් කළ ඉල්ලීම සහිත ලිපිය මෙතනින්.

එමෙන්ම හිරු සළකුණ වැඩසටහනේදී මාධ්‍යවේදී චමුදිත ලංකා බැංකුව මගින් එම ගණුදෙණුව කළ බවට ප්‍රකාශ කිරීමේදීද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඊට විරුද්ධත්වයක් දක්වන්නේද නැහැ.

අප මේ සම්බන්ධයෙන් විමසීමට ලංකා බැංකුව ප්‍රධාන කාර්යාලය හා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් එම අවස්ථා ව්‍යර්ථක වුණා. කෙසේ වෙතත් ඔවුන්ගේ පිළිතුර සමග මෙම වාර්තාව යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

කෙසේනමුත් X Press Pearl නෞකාවේ මූලික වන්දිය මෙතක් ලැබී නොමැති බැවින් සහ සාකච්ඡාමය මට්ටමේ පමණක් පවතින බැවින් එයින් ලැබුණු වන්දිය, වාහන ආනයනය සඳහා යොදාගෙන තිබෙන බව පදනම් විරහිත ප්‍රකාශයකි.

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ Xpress Pearl ගිනිගත් නෞකාවේ සිදුවූ හානිය සම්බන්ධයෙන් මූලික වන්දියෙන් අඩක් වාහන ආනයනය සඳහා යෙදවූ බවට සඳහන් නොමඟ යවන සුළු අසත්‍ය සටහන් පෙළක් බවයි.

අධිකරණ අමාත්‍යාංශය තහවුරු කළේ මූලික වන්දියක් (ඇමරිකානු ඩොලර් මිලියන 40ක) මේ වනවිට නැව් සමාගමෙන් ඉල්ලා ඇති අතර මෙතෙක් එම මුදල ලැබී නොමැති බවත් ඒ පිළිබඳව සාකච්ඡා මට්ටමේ පවතින බවත්ය. මෙම වන්දිය ලබාදී ඇති බවට X Press Pearl පරිපාලන අංශ විසින් ද මෙතෙක් කිසිඳු හෝ නිවේදනයක් නිකුත් කර තිබුනේ නැහැ.

එමෙන්ම මේ වන විට මන්ත්‍රී සුඛෝපභෝගී වාහන ආනයන අත්හිටුවා ඉතිරි ගිලන් රථ ඇතුළු වාහන ගෙන්වීමට කටයුතු කරන බව රජය විසින් තහවුරු කර සිටිනවා. මේ පිළිබඳව අනෙකුත් පාර්ශවයන් දෙක බැංකු පාර්ශවයෙන් සහ නිපැයුම්කරු විසින් නිල ප්‍රකාශයක් මේ වන තෙක් දැක ගන්නට ලැබුනේ නැහැ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ගිනිගත් නැවේ මූලික වන්දියෙන් බාගයක් සැප වාහන ගේන්න වැය වුණා ද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading

Tags:    

Similar News