Explainer: නවලෝක රෝහලේ කොරෝනා මාෆියාව?

Update: 2021-06-25 10:19 GMT

ප්‍රශ්නගත කරුණක් සම්බන්ධයෙන් නිවැරදි සහ සම්පුර්ණ තොරතුරු සමාජගත නොකරමින් චෝදනා එල්ල කිරීම මඟින් එම සටහන් පිළිබඳ සැලකිලිමත් වන සමාජ මාධ්‍ය පරිශීලකයින්ට ද පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

එවන් සිදුවීමක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් මෙලෙසින් දක්වනු ලබයි.

සමාජ මාධ්‍ය සටහන් :

Made in Sri Lanka ෆේස්බුක් පිටුවේ දීර්ඝ විස්තරයක් සහිතව නවලෝක රෝහල විසින් එහි ප්‍රතිකාර ලබාගත් මහතෙකු විසින් තමාට සිදුවූ අසාධාරණය පිලිබඳ දීර්ඝ විස්තරයක් සමඟ දක්වා තිබුණේ පහත දැක්වෙන සටහනයි.

“නවලෝක රෝහලේ කොරෝනා මාෆියාව..

දිනය - 03/06/2021

වෙලාව- ප.ව 04.30

ස්ථානය - නවලෝක රෝහල

උණ හදුන අවුරුද්දක් වයස මගේ පුතා කොවිඩ් Test එකෙන් Positive උනා

දැන් කොහෙද යන්නෙ කියලා මායි මගේ නෝනයි වාහනේට නැඟලා දස අතේ කල්පනා කරලා අන්තිමට කොවිඩ් Care Center එකකට යන්න තිරණය කලා. ඒ වෙද්දි වෙලාව ප.ව 07.00 පහු වෙලා නිසා Internet එකෙන් සර්ච් කලාම ලගම තියෙන Care Center එකට යන්න තිරණය කලා. මොකද ඕනම දෙමාපියෙක්ගේ වටිනාම වස්තුව තමන්ගේ දරැවා
ගල්කිස්ස හෝටලේ (Mount Lavinia Holel) ස්ථාපිත කරල තියෙන නවලෝක රෝහලේ කොවිඩ් Care Center එකට මම කතා කළාම පිරිමි ළමයෙක් කතා කළේ.
"සර් දවස් 10ක් ඉන්න ඕනෙ, හොටෙල් Room එකේ Health Guidelines අනුව බබාට අවුරුදු 04ට අඩු නිසා බබාට Charge කරන්නෙ නෑ. සර්ටයි, වයිෆ් ටයි තමා Charge කරන්නෙ" එ් කියන්නෙ රැ. 220,000යි දවස් 10 ටම (All Inclusive) ඉන්ටර්නෙට් Post එකට අනුව සහ මම කතා කරපු වෙලාවේ කියපු විස්තර අනුව.

දැන් රෑ වේගන එනවා, අපි ගෙදර ගිහින් දෙමව්පියන්ට බෝ කරන්නත් බෑ, මතක තිබ්බ විදිහට Company Insurance එකෙත් පොඩි ගාණක් තියෙනවා, ඉතින් අපි දෙන්නම් පොඩි එක්කෙනාවත් අරන් Care Center එකකට යන්න තීරණය කලා, ගල්කිස්සට යද්දි වෙලාව රෑ 09.00ට කිට්ටුයි, උදේ ඉදන් කාලා නෑ.. පොඩි එක්කෙනාට වගේම අපි දෙන්නටත් හොදටම බඩගිනි.. ඒත් අපිට උවමනාව තිබ්බේ ඉක්මනටම පොඩි එක්කෙනාව Care Center එකට අරන් යන්න. අපි Hotel එක ලගටම ලංවෙද්දිම තව කෝල් එකක් ආව... බලද්දි නවලෝක Hospital එකෙන්

" හලෝ මම කසුනි නවලෝක Hospital එකේ Mount Lavinia Care Center එකේ පේමන්ට් එක සම්බන්ධයෙන් කතා කරන්නෙ.. සර්ගේ Estimated Amount එක රැ. 270,000යි (පැයට රැ. 50,000ක් Add විය) පුදුම වීමට දෙයක් නැත. නවලෝකේ හැටි එහෙමය.. අවබෝධ වනවිට පමා වැඩිය

"මොකෝ.. මට කලින් කිව්වේ රැ. 220,000ක් කියලනේ"
"නෑ සර් කලින් කතාකරපු එක්කෙනාට වැරදිලා. බබා COVID Positive නිසා අවුරුදු 04ට අඩු උනත් බබාට එක්ක Charge කරන්න වෙනවා"

අපි දැන් Hotel එක පෙනෙන මානෙටම ඇවිත්,

" එතකොට අවුරැදු 04ක වයස Limit එක Negative ළමයිට විතරද තියෙන්නෙ?"
" ඔව් සර්.. Positive අම්මලා තාත්තාලා Negative ලමයි එක්කන් එන්නෙ නෑනෙ? එතකොට මේ අවුරැදු 04ට අඩු කතාව බොරුවක් නේ?"

"එ්ක දන්නෙ නෑ.. සර්, Total amount එක රැ. 270,000යි ඒක අපි හොල්ඩ් කරනවා Hotel එකට යන්න කලින්. මට කාඩ් Number එක එවන්න" වෙන කරන්න දෙයක් නැත
කාඩ් Numbers යැව්වෙමි.

වෙලාව රෑ 09.00යි අපි තුන්දෙනාම

Hotel එකට පැමිනියෙමු. කුඩා කාමරයකි Room No. 322
බැල්කනියක්වත් නැත. බබා Positive නිසා Triple Room එකකට බිල හැදුවද, අපිට ලබා දුන්නේ Double හෝ Single Room එකකි. Card Number එක කලින්ම ගත්තේ ඇයි කියලා තේරුනේ එතකොටයි. කොහොම හරි අපි මේ කාමරේ දවස් 02ක් හිටිය. Covid Care Center කිව්වාට එ් කාලය ඇතුලත කිසිම Doctor කෙනෙක් ආවේ නෑ කාමරේ පැත්ත පලාතේ..
හරියටම 05 වෙනිදා රෑ බබාට Ear Infection එකක් අවා
කනේ අගිල්ල ගහන් අඬනවා එක දිගට, රෑ 11.30ට විතර අපි Inform කලා Call එකක් දීලා; Nurse කෙනෙක් ආවා මිනිත්තු 10 කට විතර පස්සේ. ඒත් එයාගේ
මුහුණ හොද නැත. නින්ද කැඩුවාට විය යුතුය, අපි කිව්වා බබා පැය 04ක් තිස්සේ අඬනවා, කන්නෙත් නෑ Doctor ට එන්න කියන්න පුලුවන්ද කියලා? Nurse කිව්වා Doctor ට කියල බලන්නම් කොමහරි බබා නිදි කරගන්න කියලා., පොඩ්ඩා නින්දක් නෑ මුලු රෑම අඬනවා..අපි ආයෙත් Call එකක් දුන්නා එකට කිව්වෙත් Doctor ට පණිවිඩේ දිලා තියෙන්නෙ කියලා. උදේ වෙනකන්ම කිසිම Doctor කෙනෙක් ආවෙ නෑ
අපි රෑ පුරා නින්ද නැතුව ඇහැරීගෙන මරුවෙන් මරුවට බබා වඩාගෙන නලවනවා.. කොහොමත් උදේ 10.00ට විතර Doctor ආවා බබා බලන්න.. කිසිම හදිසියක් නෑ .. අපි ඒවෙනකල් බබා වඩාගෙන.. බබා බැලුවෙත් නෑ දොර ගාව ඉදන් බෙහෙත් ලිව්වා.. ගියා.. දැන් මොනවා කරන්නද? බෙහෙත් එනකන් බලන් ඉන්නවා.. හවස 06.00 වෙනකන් බැලුවා, ඇහුවාම කියන්නෙ "නවලෝකHospital එකෙන් බෙහෙත් Order දාලා තියෙන්නෙ එනකන් ටිකක් ඉන්න කියලා.. පොඩ්ඩා කන්නෙ බොන්නෙත් නෑ එක දිගට අන්ඩනවා... බලන් ඉන්න බැරිම තැන Prescription එක WhatsApp දාගෙන යාලුවෙකුට යැව්වා බෙහෙත් ඉක්මනටම ගෙනත් දෙන්න කියලා.. 07.00 වෙද්දි බෙහෙත එවලා gate එකට. කොහොමහරි තව Room එකට එන්න තව පැයක් ගියා... ඔන්න Care Center එකේ Careness එක
අවුරුද්දේ පොඩි එකාට මෙහෙම නම් තව මොනකතාද දැන් කරන්න දෙයක් නෑ... කොවිඩ් නිසා යන්නත් බෑ කොහොමත්, කොහොම හරි ඒ බෙහෙතටත් පොඩ්ඩට අඩු උනේ නෑ ... එදා රෑත් අඬනවා කන්නෙ බොන්නෙම නෑ.. පහුවදා අපි Request කලා Pediatrician කෙනෙකුට බබා පෙන්නන්න.. කොහොම හරි දවල් වෙද්දි Van එකකින් අපිව නවලෝක Hospital එකට අරන් අවා..

ආවට පස්සේ කොහොමහරි අපිට දුන්නා පොඩි Room එකක් වෙලාවෙ හැටියට මොකත් වටිනවා, බබාව සනීප කරන් ආයෙත් Hotel එකෙට යන්න තමා අපි බලාපොරොත්තු උනේ.. මෙහෙම දවස් 03ක් ගියා..

කතාවේ හොදම හරිය පටන් ගන්නේ දැන්‍. Billing Department එකෙන් call එකක් ආවා

"සර්ගේ දවස් 03 නේ Bill එක රැ. 265,000 තියෙනවා.. payment එකක් කළේ නැත්තම් Medicine Continue කරන්න අමාරැයි, (දවස් 3 ට රැ. 265,000 කියන්නේ දවසට රැ. 90,000 ක්)
"මේක වෙන්න බෑ... ආයෙත් පොඩ්ඩක් Check කරලා බලන්න.." මම පැවසුවෙමී
"බලන්න දෙයක් නෑ සර් බබාගේ Bill එක රැ. 151,000යි, මැඩම්ගේ 114,000 යි"
"මොකක් මැඩම් කොහෙද ඇඩ්මිට් උනේ..? අපි බබා විතරනේ Admit කලේ..?"
"නෑ සර් මැඩම්ට Medicine දීලා තියෙනවා.."
"මොකා මොන Medicineද? Vitamin-C පෙත්තෙයි, පැරසිටමෝල් පෙති 02යි දුන්නේ දවසට.. අනික අපි එයාව Admit කරන්න කිවෙ නෑ.. උදේට Nurse කෙනෙක් අවිත් අර රු. 3000 පාමසි එකෙ තියෙන Oxygen Meter එකෙන් Oxygen ලෙවල් බැලුවා එච්චරයි. කොහොමද එහෙම බිල් දාන්නෙ? මේක හරිම කැත වැඩක්නේ"
" සර් අපිට කරන්න දෙයක් නෑ Cashier Room එකෙන් එව්ව රු. 100,000 වත් ගෙව්වෙ නැත්තම් බබාගේ Medicine වත් Continue කරන්න අමරුයි අපිට" කියලා ඉවර වෙද්දිම මම Cashier Room එක ගාවට ආව.

කරන්න දෙයක් නෑ.. ගෙව්වෙ නැත්නම් බබාට බෙහෙත් කරන්නෙත් නැත.. එහෙම බලු රෑනක් තමයි එතන ඉන්නේ

මම රු. 100,000 ගෙව්වා... ගෙවලා Admission එක නතුවම Wife Discharge කරන්න කිව්වා.. නැත්නම් තවත් රැ.40,000 ගානෙ දවසට ගෙවන්නට වෙනවා මුන්ගෙ Vitamin-C පෙත්තට. මං හිටපු Room එක No. 2220 - 2B වාට්ටුව
කොහොම හරි Discharge කරලා එදාම හවස Final බිල ආවා රැ. 159,000ක්, එ්ක ඇහුවාම Doctor Fee එකයි, Medical Officer Fee එකයි තව ගොඩක් ඒව ඇඩ් කරලා
Doctor Fee කියන්නෙ Nurse Oxygen බලද්දි දොර ගාව තව මනුස්සයෙක් හිටියා.. මෑන් Doctor කියමු එතකොට Medical Officer Fee කියල Add කරපු එක තාමත් අබිරහසක්??

එකම Room එකට Room Charges කියලා වෙන වෙනම Add කරලා, එ් වෙද්දිත් බබාට හොද නෑ.. Covid Positive නිසා යන්න තැනකුත් නෑ..

මං ඉතිරි ගානත් ගෙවලා Wife Discharge කරගත්තා.. කොහොම හරි දවස් 05න් පස්සෙ බබාට ටිකට් කැපුවා කියවලා.. බබාගේ බිල රැ.234,000 ක්... එක කමක් නෑ කියමූ.

ඒත් මේ කොරෝනා කාලෙ මිනිස්සුන්ට රස්සා නැතිවෙලා, කන්න බොන්නෙ කොහොමද කියලා අමාරුවෙන් ඉන්න වෙලාවක මුන් මේ විදිහට මිනිස්සුන්ව හූරගෙන කන්නෙ ඇයි??

අනිවාර්යයෙන් මේ ආත්මයේම මේ දේවල් පඩිසන් දෙනවා. මේ වගේ හූරං කන හැමෝටම.

මේක මම නොකියා හිටියොත් මුන් මේක දිගටම කරනවා.. එකයි මම මේක ලියන්න තිරණය කලේ..

අවසානයේ කීමට ඇත්තේ මෙපමණයි "අසාධාරණයට විරැද්ධ වන්න"

Facebook | Archived Link

මෙම සටහන් මේ වන විට දහසකට ආසන්න පිරිසක් අතර හුවමාරු වී තිබු අතර බොහෝ දෙනා රෝහල විසින් සිදුකර තිබු බව කියවෙන මෙම අසාධාරණය පිලිබඳ සටහන හුවමාරු කර ගැනීමට පෙළඹී තිබුණා.

ඉහත සටහන සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පරීක්ෂා කිරීමට අප නවලෝක රෝහල මෙන්ම මෙම සටහන පලකරන්නට මුල්වූ පාර්ශවයෙන් ද කරුණු විමසීමක් සිදු කරනු ලැබුවා.

නවලෝක රෝහල:

ඉහත සටහනේ දක්වා තිබූ විස්තරයෙන් හැඟෙන්නේ කුඩා දරුවා සමඟ තනියට සිටි මවට මෙසේ රෝහල විසින් අසාධාරණ ලෙස මුදල් අයකිරීමක් සිදුකර ඇති බවක්. මේ සම්බන්ධයෙන් කරුණු ලබා ගැනීමට අප නවලෝක රෝහලේ මූල්‍ය කළමනාකරු සමඟ සම්බන්ධ වුණා. අප ඔවුන්ගෙන් විමසා සිටියේ කෝවිඩ් වැළඳුනු අවුරුද්දක් වයසැති බිළිදෙකු ළඟ සිටි මවකට ඉහත සටහනේ පරිදි මුදල් අය කළේ කුමන හේතුවක් සඳහාද යන්නයි.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් රෝහල කරුණු පැහැදිලි කළේ මව සහ දරුවා රෝහල ට ඇතුළත් වන විට, දරුවාට මෙන්ම මවට ද කෝවිඩ් ආසාදනය වී ඇති බවට ඔවුන් කළ සායනික පරීක්ෂණයෙන් හෙළි වී තිබූ හෙයින්, මව ද රෝගියෙකු සේ සලකා කෝඩිඩ් සඳහා නියමිත මූලික ප්‍රතිකාර කළ බවත් ඇයට අවශ්‍ය අධීක්ෂණ සහ ප්‍රතිකාර, ආහාර පාන ඇතුළු අනෙකුත් කටයුතු සඳහා ගාස්තු අය කිරීම කර ඇති බවත්ය.

ඉහත සටහනේ මවට කෝවිඩ් ආසාදානය වීම සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක සඳහන් වී නොතිබුණු හෙයින් දරුවා ළඟ නැවතී සිටීම හේතුවෙන් මෙලෙස අසාධාරණ ලෙස මුදල් අය කර ඇති බවට බොහෝ පිරිස් විමසා තිබූ අතර සම්පුර්ණ සිද්ධිය සම්බන්ධව අප තවදුරටත් පැහැදිලි කිරීමක් ලබා ගත්තා.

මෙම සිදුවීම හා සම්බන්ධ පවුල පසුගිය ජුනි 03 වන දා ඔවුන්ගේ කුඩා බිළිඳාට කෝවිඩ් වැළඳීම හේතුකොට ගෙන නවලෝක රෝහලට අනුබද්ධ Mount Lavinia (ගල්කිස්ස හෝටලය) හෝටලයේ කෝවිඩ් මධ්‍යස්ථානයට ඇතුළත් වූ බව අපට දන්වා සිටියා. ඔවුන් මුලින් දින 10ක් සඳහා ඉහත සටහනේ දක්වා තිබූ පරිදි සම්පුර්ණයෙන් රුපියල් 270,000 ක මුදලකට එකඟ වී එහි ප්‍රතිකාර ගැනීමට ඇතුලත් වී තිබේ. කෙසේවෙතත්, සටහනේ දක්වා තිබු පරිදි මෙම මුදල කාඩ් පතින් කිසිඳු අවස්ථාවක වෙන් කරවා ගත්තේ නැති බව රෝහල විසින් පවසා සිටියා.

කොවිඩ් මධ්‍යස්ථානයේ දී මවට සහ පියාට කළ PCR පරීක්ෂණයේදී මවට ද කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. අප කළ ඉල්ලීම මත, නවලෝක රෝහල විසින් සිදුකළ මවගේ PCR පරීක්ෂා වාර්තාවද යොමු කරනු ලැබුවා. ජුනි මස 05 වන දා ලබාගෙන තිබූ එම වාර්තාවෙන් ඇයට කොවිඩ් පොසිටිව් වී තිබෙන බව පෙනී යනවා.

ගල්කිස්ස හෝටලයේ කොවිඩ් මධ්‍යස්ථානයට ඇතුල් වී දින 3කට පසුව කණේ ආසාදනයක් ඇති වීම හේතුවෙන් දරුවාව නවලෝක රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමුකර තිබු අතර එහිදී එම වෛද්‍යවරයාගේ නිර්දේශ මත දරුවා රෝහලේ නවතා ප්‍රතිකාර ලබාගැනීමට යොමු කර තිබෙනවා.

එහිදී දරුවා සමඟ මව ද නවලෝක රෝහලේ නවතා තිබූ අතර මව ද කොවිඩ් ආසාදිතයෙකු බැවින් අවශ්‍ය ප්‍රතිකාර සහ අධීක්ෂණය කටයුතු සිදුකර තිබෙනවා . ඒ අනුව ඔවුන් Mount Lavinia කොවිඩ් මධ්‍යස්ථානයේ දින 3ක් පමණක් සිටි අතර ඉන් අනතුරව නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබාගනිමින් සිටි අවස්ථාවේ මවට සහ දරුවාට බිල්පත් නිකුත්කර තිබීම පිළිබඳ පියා විසින් ප්‍රශ්න කර තිබුණි.

ඉහත සමාජ මාධ්‍ය සටහනට අනුව, රෝහලේ දින 3ක් සිටි අවස්ථාවේ දී (ජුනි 09) බිළිදා සඳහා 151,000 මුදලකුත් මව සඳහා 114,000 බිල්පතක් රෝහල විසින් අතරමැදි බිල්පතක් ලෙස නිකුත් කර තිබේ. නමුත් මෙම බිලෙහි Mount Lavinia කොවිඩ් මධ්‍යස්ථානයේ දින 3හි ගාස්තු ද ඇතුලත්ව තිබුනේ ඒ සඳහා ඒ වන තෙක් කිසිඳු ගෙවීමක් අදාළ පාර්ශව විසින් සිදුකර තිබුනේ නැති බැවිනි. මේ අනුව බිරිඳ වෙනුවෙන් මුල් දින 3 සඳහා රු.40,000 ට ආසන්න ගණනක් දිනකට වැයවී තිබු බව ද අතිශයෝක්තියකි. එනම් ඉහත බිරිඳගේ බිල්පත් අගයේ මුල් දින 3 හි ගාස්තුව ද ඇතුළත් ව තිබු බැවිනි.

එසේම මෙසේ වෙන වෙනම බිල්පත් නිකුත් කර තිබුනේ, පියාගේ ඉල්ලීම පරිදි වෛද්‍ය රක්ෂණාවරණයෙන් ගාස්තුවේ කොටසක් ආවරණය කර ගැනීමේ අරමුණින් සිදුකළ ඉල්ලීම හේතුවෙනි.

ජුනි 09 වැනිදා පියා විමසා ඇත්තේ මව සඳහා බිලක් නිකුත් කළේ මන්ද යන්නයි. අප ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී නවලෝක රෝහල සඳහන් කළේ, බිළිඳා මෙන්ම මවද කොවිඩ් ප්‍රතිකාර ලබා ගන්නා නිසා ඇයට අවශ්‍ය ප්‍රතිකාර සහ අධීක්ෂණ කළ යුතු බැවින් ඇයද රෝගියෙකු ලෙස සැලකෙන බැවින් මෙසේ වෙනම ගාස්තුව එකතු වන බවයි.

ඒ සම්බන්ධයෙන් පියාව දැනුවත් කළ බව නවලෝක රෝහල පවසා සිටියද පසුව පියා අප සමඟ පැවසුවේ මෙසේ මුලින් දනුවන් කිරීමක් සිදු නොකළ බවයි. එබැවින් එම කරුණ අපට ස්වාධීනව සත්‍යාපනය කළ හැකි කරුණක් නොවේ.

කෙසේ වෙතත් නවලෝක රෝහල විසින් පවසා සිටියේ Bed Head Tickets (BHTs) නොහොත් ඇඳ ගණන අනුව ලබා දෙන බිල්පත මවට ද අදාළ වන අතර ඒ අනුව රෝහල් ගාස්තු, සේවා හා පහසුකම් ගාස්තූ(ආහාර තේ පාන ඇතුලත්ව) වෛද්‍ය ගාස්තු ද ඇතුළත්ව එම බිල සැකසී ඇති බවයි. මේ සම්බන්ධයෙන් නවලෝක රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අප වෙත කරුණු පැහැදිලි කරමින් යොමු කළ ලිපිනය පහතින්.

කෙසේ නමුත් පියාගෙන් එල්ල වූ චෝදනා හේතුවෙන්, රෝහල් ගත වී දින 3න් පසුවද (ජුනි 09 න් පසුව ද) දරුවාට ප්‍රතිකාර ගන්නා කාලය තුළ (ජුනි 11 තෙක්), මුදලක් අය නොකර (complimentary basis) මව ද රෝහලේ කලින් ලබාදුන් පහසුකම් යටතේම රඳවා තබාගැනීමට කටයුතු කළ බව රෝහල් කළමනාකාරිත්වය අපට පවසා සිටියා. එය ඉහත ලිපියේ ද සඳහන්.

ඒ අනුව වෙන් වෙන්ව සාදා තිබු අවසන් බිල් සඳහා එකතු වී ඇත්තේ බිළිඳාට කනේ ආසාදනය සඳහා ලබා ගත් වෛද්‍ය ගාස්තුද ඇතුළව කොවිඩ් ප්‍රතිකාර ඇතුළු අනෙකුත් ගාස්තු වන අතර එම බිලින්දාගේ අවසන් සම්පුර්ණ බිල රුපියල් 234,000ක්. ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනේ ප්‍රශ්න කර තිබුනේ නැහැ. දරුවාගේ එම බිලෙන් රු. 200,000 රක්ෂණ සමාගම හරහා ලබාගැනීමට ද කටයුතු කර තිබු බව රෝහල අපට පවසා සිටියා. දරුවාගේ අවසාන බිලතේ පිටපතක් ද අප ලබාගත් අතර ඉහත අගය සනාථ වූ අතර ඒ සඳහා රෝහල විසින් රු.9000 පමණ වට්ටමක් ද ලබා දී තිබුණා.

අවසන් බිල් ලෙස මවගේ නවලෝක රෝහලේ දින 3 හි ගාස්තු සහ මුලින් Mount Lavinia කොවිඩ් මධ්‍යස්ථානයේ දින 3ක ගාස්තු සහ පියාට Mount Lavinia කොවිඩ් මධ්‍යස්ථානයේ දින 3ක් සඳහා ගාස්තුද ඇතුළත් බව රෝහල විසින් පවසා සිටියා. එහිදී පියාගේ බිල්පතේ අගය රු.33,666 පමණ වූ අතර ඉහත සමාජ මාධ්‍ය සටනේ දක්වා තිබුනේ නැති වුවුද ජුනි 11 වනදා දක්වා පියා ද මව සහ බිළිඳා සමඟ රෝහල් කාමරයේ රැඳී සිටි බව ද අපට නවලෝක රෝහල දන්වා සිටියා.

කෙසේවෙතත් සමාජ මාධ්‍ය සටහනේ ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කර තිබුනේ බිරිඳගේ අවසාන බිල වශයෙන් රැ. 159,000ක් අය කර තිබීම සම්බන්ධයෙන්. මේ පිළිබඳව ද අප රෝහලෙන් විමසා සිටියා.

රෝහල විසින් බිරිඳ වෙනුවෙන් සකසා තිබූ අවසාන බිල්පත පරීක්ෂා කිරීමේ දී අපට පෙනී ගියේ එම අගය වුයේ රුපියල් 143,310 බවයි. ඒ රු.15,843ක වට්ටමක් ලබා දීමෙන් පසුවයි. එහි මුල් Mount Lavinia කොවිඩ් මධ්‍යස්ථානයේ දින 3හි ගාස්තුව වූ රු.33,000 ක් ද ඇතුළත් වී තිබුණා. එම දි මුල් Mount Lavinia කොවිඩ් මධ්‍යස්ථානයේ දින 3හි ගාස්තුව ඉවත් කිරීමෙන් පසුව බිරිඳ රෝහලේ සිටි දවස් වෙනුවෙන් ඇය කර තිබු සම්පුර්ණ මුදල වන්නේ රු. 110,216 පමණ වන බව ද අපට දැක ගන්නට ලැබුණා.

මෙම මුදල යම් හෙයකින් මව සහ පියා පමණක් Mount Lavinia කොවිඩ් මධ්‍යස්ථානයේ දින 7 ක් ගත කළා නම් අයවන මුදල වන ( රු. 22,000 x 7 ) ට වඩා ද අඩු බව අපට පෙනී ගිය අතර යම් හෙයකින් බිරිඳ පමණක් තනි කාමරයක (Single Room Mt Lavinia) සිටියානම් අයවන ගාස්තුව වන (රු.17,000 x 7) වන අගයට ද වඩා අඩු බව පෙනී යනවා

මෙයට හේතුව බිරිඳ කොවිඩ් ආසදිත වී තිබු බැවින්, දරුවා සමඟ නොසිට, නැවත නිවෙස කරා යාමට අවසර ලබා දිය නොහැකි බැවින් Mount Lavinia කොවිඩ් මධ්‍යස්ථානය හෝ වෙනත් කොවිඩ් මධ්‍යස්ථානයක් කර යොමු විය යුතුව තිබූ බැවින්.

රෝහල විසින් සඳහන් කරන්නේ නවලෝක රෝහලේ නැවතී ප්‍රතිකාර ලැබීම තුළින් Mount Lavinia කොවිඩ් මධ්‍යස්ථානයේ සිට ප්‍රතිකාර ගැනීමට ගෙවන ගාස්තුවට වඩා අඩු මුදලක් ඔවුන්ට වැය වීමට තිබුණු බවයි. (දරුවාගේ වියදම් සැලකුවේ නැති විට)

මුළු දවස් 10 ම මව සහ පියා පමණක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටියානම් අයවන ගාස්තුව වන රු.220,000ක්. නමුත් දවස් 3කින් පසුව මව රෝහල් ගත වී පියා කොවිඩ් වැළඳී නැති තත්ත්වය යටතේ මවට සහ පියාට අයවූ මුළු ගාස්තුව ( මවගේ රු. 143,310 (Mount Lavinia කොවිඩ් මධ්‍යස්ථානයේ ගාස්තුව ද ඇතුලත්ව) + පියාගේ දින 3 සඳහා රු 33,666 - Mount Lavinia කොවිඩ් මධ්‍යස්ථානයේ ගාස්තුව ද ඇතුලත් කර තිබුණි) යනුවෙන් සම්පුර්ණ වශයෙන් රු.176, 977 පමණ අගයකි

දරුවාට කනේ ආසාදනයත් සමග මවද නවලෝක රෝහලට පැමිණීම හේතුකොට ගෙන අමතර මුදලක් අය නොවූ බවත් ඇය කොවිඩ් රෝගය වැළඳීම හේතුවෙන් ඒ සඳහා නිරීක්ෂණය කටයුතු කරමින් අවශ්‍ය කටයුතු සිදු කිරීම හේතුවෙන්, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටියාට වඩා ඉහළ නිරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු කළ බවද රෝහල අවධාරණය කළා. එසේම නවලෝක රෝහල පවසා සිටියේ කොවිඩ් රෝගියෙකුගේ තත්ත්වය බරපතල වීම පිළිබඳ පෙර නිගමනයක් කළ නොහැකි බවත්, යම් හෙයකින් බිරිඳගේ තත්ත්වය අසාධ්‍ය වූවා නම් ඒ සඳහා සියලු ක්‍රියාමාර්ග ගැනීමට ද රෝහල සුදානම් ව සිටි බවයි.

මවට කොවිඩ් වැළඳී තිබු තත්ත්වය වසන් කරමින් ඒ සඳහා ප්‍රතිකාර සහ නිරීක්ෂණ කටයුතු වලට මෙන්ම ආහාර පාන ආදී කටයුතු සඳහා මුදල් වැය වූ බව සඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ නවලෝක රෝහලේ නාමයට පදනමකින් තොරව හානි කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් පොලිස් පැමිණිල්ලක් ද යොමු කර තිබු බව රෝහල් කළමනාකාරිත්වය පැවසුවා.

සමාජ මාධ්‍ය සටහන් මුලින්ම පළකර පියාගේ පැහැදිලි කිරීම:

අප මේ සම්බන්ධයෙන් අදාළ පියාව සම්බන්ධ කරගත් අතර ඔහුගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. දරුවාගේ මවට කොවිඩ් ආසාදන වී ඇති බව Mount Lavinia කොවිඩ් මධ්‍යස්ථානයට යෑමට පෙර හඳුනාගෙන තිබුණාද යන්න අප ඔහුගෙන් අසා සිටියා.

ඔහු සඳහන් කළේ, Mount Lavinia කොවිඩ් මධ්‍යස්ථානයේදී කළ PCR පරීක්ෂාවේදී සිය බිරිඳද කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.

බිරිඳගේ රෝහල් ගාස්තූ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, රෝහල මගින් ලබා දී ඇඳේ මව මෙන්ම බිලිඳා ද සිටි බවත්, බිරිඳව රෝගියෙකු ලෙස රෝහලට ඇතුලත් කළ බවට තමන් දන්නේ දරුවා රෝහල්ගත කර දින 3කට ද පසුව බවයි. කෙසේනමුත් මේ කාල සීමාව මුළුල්ලේම ඔහු ද එම රෝහල් කාමරයේ ම රෝගීන් බලා ගැනීම සඳහා ලබාදෙන ඇඳ ද භාවිතා කරමින් එහි රැඳී සිටි බව අපට එම අවස්ථාවේ පැවසුවේ නැහැ. (මෙය පසුව රෝහල මඟින් අප සනාථ කර ගනු ලැබුවා)

අප විමසා සිටියේ බිරිඳද, කොවිඩ් ආසාදනය වූ රෝගියෙකු බැවින් ඇයට ප්‍රතිකාර ලබා දීමට රෝහල කටයුතු කරන බවට ඔහු දින 3 ක් හෝ යාමට පෙර විමසීමක් සිදුනොකලේ ද යන්නයි. ඔහුව පෙර දැනුවත් නොකළ බව ද විටමින් C පැනඩෝල් පමණක් ලබාදී ඔක්සිජන් බැලීම පමණක් සිදු කිරීමට පමණක් 114,000 මුදලක් වැය වූ බව සඳහන් කළා. එමෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය විසින් මුදලක් තමන්ට නැවත ලබා දෙන බවට පැවසූ බවද ඔහු අවධාරණය කළා. (කෙසේනමුත් බිරිඳ ගේ අවසාන බිල අප පරීක්ෂා කිරීමේ දී වට්ටමක් ලබා දී තිබු බව ද අප ඉහත දී පෙන්වා දී තිබුණා)

එසේම තමා විසින් දින 3 ක ට පසුව බිරිඳව රෝහලෙන් discharge නොකළේ නම් මෙම බිල මීට ද වඩා වැඩි විය හැකිව තිබු බව ද පවසමින් ඔහු කියා සිටියේ මේ පිළිබඳ අසාධාරණය හෙළි කිරීමට මෙම සමාජ මාධ්‍ය සටහන් පළකළ බවයි.

යම් හෙයකින් පියා විසින් රෝහලේ සිටි දින 3කින් (ජුනි 09) පසුව discharge කිරීමට කටයුතු නොකළේ නම්, එනම් ජුනි 11 වන දා ම අවසාන වශයෙන් මව discharge කළේ නම් එහිදී සැකසෙන බිලෙහි අගය අපට ස්වාධීනව සත්‍යාපනය කළ හැකි කරුණක් නොවේ.

කෙසේනමුත් බිරිඳ ගේ කොව්ඩ් ආසාදිත තත්ත්වය , රෝහලට කළ ඉල්ලීම මත ලබා දී තිබූ වට්ටම්, මුලින් ම මුදල් සිය කාඩ්පතින් රෝහල විසින් අවහිර කර ගැනීම වැනි අදහස් දක්වමින් සත්‍ය වශයෙන් ම් සිදුවූ සිද්ධියේ ඇතැම් කරුණු වෙනස් කොට වසන් කරමින් සමාජ මාධ්‍ය සටහන් පළකර තිබෙන බව පෙනී ගියා.

කෙසේවෙතත් මෙම සටහන් පියාගේ ෆේස්බුක් පිටුවේ අපට මේ අවස්ථාවේ දැක ගන්නට ලැබුනේ නැති අතර මේ සම්බන්ධයෙන් සිදුවන පොලිස් විමර්ශනය අවසානයේ මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලපොරෝත්තු වෙමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:නවලෝක රෝහලේ කොරෝනා මාෆියාව?

Fact Check By: Sara Gunaratne

Result: Explainer

Tags:    

Similar News