මහ බැංකුවේ මුදල් අච්චු කිරීම යනු සල්ලි අච්චු ගැසීමේ මැෂිමක් ආධාරයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමක්ද?

Update: 2022-03-19 05:36 GMT

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා කෝටි 2,227 ක මුදල් අච්චු ගහලා යනුවෙන් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවතක් බොහෝ පිරිසක් නොමග ගිය අවස්ථාවක් ලෙස මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා. සැබවින්ම මුදල් අච්චු ගැසීම යනු කුමක්ද? මේ ඒ පිළිබඳව අප කරන කරුණු පැහැදිලි කිරීමක්.

සමාජ මාධ්‍ය සටහන් :

ඊයේ කෝටි 2,227 ක සල්ලි අච්චු ගහලායනුවෙන් ප්‍රධාන නාලිකාවට අයත් ෆේස්බුක් පිටුවක සටහනක් පළ වී තිබුණා.

Facebook | Archived Link

පසුගිය මාර්තු 14 වන දිනට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,543.97 ලෙසින් සටහන්වූ බවත්, මෙම ප්‍රමාණය පසුගිය මාර්තු 11 වන දින සටහන්ව තිබුණේ රු. බිලියන 1,521.69 ක් ලෙසින් බවත්, ඒ අනුව පසුගිය 14 වන දිනය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 22.27 කින් වැඩි වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකි බවටත්, රු. බිලියන 22.27 ක් යනු රු. කෝටි 2,227 ක ප්‍රමාණයක් රටට මුදාහැර බවත් අද දෙරණ පුවත් වෙබි අඩවියේ දක්වා තිබුණේ මෙලෙසින්. Archived Link

මේ ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ තවත් ෆේස්බුක් සටහන් කිහිපයක් නිර්මාණය කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link


Facebook | Archived Link

රටක මහ බැංකුවක් විසින් 'මුදල් අච්චු ගැසීම' යනු හුදු සල්ලි අච්චු ගැසීමේ මැෂිමක් ආධාරයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමක් බවට උපකල්පනය කරමින් බොහෝ දෙනෙකු මෙම සටහන් නිර්මාණය කර ඇති බවත් මෙම සටහන් සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින්ද අපට පෙනී ගියා. සැබවින්ම සල්ලි අච්චු ගැසීම යනු කුමක්ද යන්න පිළිබඳව අප කරන කරුණු පැහැදිලි කිරීමයි මේ.

ශ්‍රී ලංකා මහ බැංකුව

සැබවින්ම මහ බැංකුව විසින් මුදල් අච්චු ගැසීම යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රධාන මාධ්‍ය හරහා පළ වූ මේ පුවතේ දැක්වෙන්නේ රජයේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම හේතුවෙන් මහ බැංකුව විසින් මහ බැංකුවේ පවතින සංචිත වලින් මුදල් තැන්පතු වශයෙන් රටට මුදා හැර ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් බවත් අප කළ විමසීමේදී මහ බැංකුවේ විසින් පවසනු ලැබුවා.

මුදල් අච්චු ගැසීම යනු හුදු සල්ලි අච්චු ගැසීමේ මැෂිමක් ආධාරයෙන් මුදල් නෝට්ටු මුදල් මුද්‍රණය කිරීමක් නොවන අතර මුදල් මුද්‍රණය කිරීම සිදු වන්නේ, මහ බැංකුවේ ව්‍යවහරික මුදල් කළමණාකාර අංශය විසින් රටතුළ සංසරණය වන මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් අධීක්ෂණය කරමින්, රටේ භාවිතා වන මුදල් අවශ්‍යතාවය මත උද්ධමනය ඇති නොවන අයුරින් වර්තමානයේ මෙන්ම ඉදිරි කාලයේදී ගනුදෙනු සඳහා අවශ්‍ය මුදල් පිළිබඳව සැලකිල්ලට ගනිමින්, එමෙන්ම වලංගු නෝට්ටුවක්, භාවිතය නිසා ඉරී යාම, අපිරිසිදුවීම, දිරාපත්වීම, නෝට්ටුව මත යම් යම් දේ ලියා තිබීම නිසා හඳුනා ගැනීම අපහසු වීම, සංසරණයේ දී සිදු වන සුලු හානි වීම් හා හිතාමතා විකෘති කිරීම ආදිය මගින් භාවිතයට නුසුදුසු තත්ත්වයට පත් නෝට්ටු මහ බැංකුව යන්ත්‍රානුසාරයෙන් විනාශ කරන බැවින්ද එම මුදල් වලට සරිලන ආකාරයෙන් නව නෝට්ටු මුද්‍රණය කිරීම වැනි කරුණු ද සැලකිල්ලට ගනිමින් නෝට්ටු, කාසි මුද්‍රණය කරන බව මහ බැංකුවෙන් අප කළ විමසීමේදී තවදුරටක් පැහැදිලි කරනු ලැබීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතාගෙන් අප මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කළා. ඒ මහතා සඳහන් කළේ, මුදල් අච්චු ගැසීම යන්න රටකට අවශ්‍ය කාරණයක් බවත් එම අවශ්‍යතාවයට සීමාවක් ඇති බවත්ය. රටේ ආර්ථික වර්ධනයක් ඇති වනවිට එම වර්ධනය ගනුදෙනුවක් බවට පත්වේ. එම ගනුදෙනුවට පරිවර්තනය වීම පහසු කිරීම සඳහා ඊට ගැළපෙන පරිදි මුදල් අච්චු ගැසීම, මුදල් එළියට නිකුත් කිරීම අවශ්‍ය වේ. එමෙන්ම රටක ආණ්ඩුවට බැංකු ණය ලබාදෙන ආයතනයක් වශයෙන් හඳුන්වන මහ බැංකුව රජයට මුදල් අවශ්‍ය මොහොතකදී මුදල් අච්චු ගැසීම සිදුකරයි. මෙහිදී ආණ්ඩුව යන්නෙන් අදහස් කරනුයේ භාණ්ඩාගාරයයි. භාණ්ඩාගාරයට වියදම් කිරීමට මුදල් නැති අවස්ථාවකදී මුදල් අච්චු ගැසීම අවශ්‍ය වේ. රටක ආර්ථිකය දුර්වල වීම නිසා, භාණ්ඩාගාරයට ලැබෙන බදු ආදායම අහිමි වූ විට, රජයට වියදම් කිරීමට සිදුවන අවස්ථා වැඩි වීම වැනි තත්ත්වයන් පූර්ණය කර ගැනීමට ඇති පහසුම ක්‍රමය වන්නේ මුදල් අච්චු ගැසීමයි. මුදල් අච්චු ගැසීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සතුවයි. මහ බැංකුවේ මුදල් සංචිතයෙන් මුදල් රටට මුදා හැරීම මුදල් අච්චු ගැසීම යනුවෙන් පවසන අතර මෙහිදී මුදල් මුද්‍රණය කිරීම අදහස් නොකරන බවත් එම මුදල් මුදා හැරීම භෞතිකව මෙන්ම නැතහොත් මුදල් තැන්පතු වශයෙන් නිකුත් කරන බවත් මහාචාර්යවරයා තව දුරටත් පවසා සිටියා.

මුදල් මුද්‍රණය කිරීමේ බලතල ඇත්තේද මහ බැංකුවට බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව මහජන අවශ්‍යතා හා ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් වන අයුරින් කාසි හා නෝට්ටු තොග පවත්වා ගනිමින් සැපයුම් කරනු ලබයි.එම මුදල් නැවත වාණිජ බැංකු තැන්පතු ස්වරූපයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට පිවිසේ මෙහිදී භාවිතයට නුසුදුසු නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනාශ කරනු ලබයි. එවිටද නව මුදල්, කාසි මුද්‍රණය කරනු ලබයි. එමෙන්ම වාණිජ බැංකු විසින් ගනුදෙනු සඳහා මුදල් නෝට්ටු සහ කාසි ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ඉල්ලා සිටින විට, ඔවුන්ට අවශ්‍ය මුදල් නාමිකයන්ගෙන් මුදල් නෝට්ටු සහ කාසි නිකුත් කරනු ලබන බවත් මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සඳහන් කළා.

මුදල් අච්චු ගැසීම යනුවෙන් මේ අවස්ථාවේදී සඳහන් වී ඇත්තේ, මුදල් මුද්‍රණය කිරීමක් නොව භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමේ දී එහි අගයට සමාන මුදල් ප්‍රමාණයක් නව මුදල් නිකුත් කිරීම් ලෙස ආර්ථිකයට මුදා හැරීමේ අවස්ථාවයි. එනම් මහ බැංකුවේ පවතින සංචිත වලින් , රු. බිලියන 22.27 ක් රටට මුදා හැරීමයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ස්වර්ණා ගුණරත්න

මුදල් අච්චු ගැසීම යනු?

මුදල් අච්චු ගැසීම යන්නෙහි සාමාන්‍ය අර්ථය වනුයේ මහ බැංකුව විසින් ආර්ථිකයට නව මුදල් නිකුත් කිරීමයි. ආර්ථික විද්‍යානුකූලව මෙය හඳුන්වන්නේ සංචිත මුදල් ලෙසයි.

මුදල් අච්චු ගැසීමේ බලය ?

ලෝකයේ රටවල් වලින් බොහොමයන මුදල් අච්චු ගැසීමේ බලය තිබෙන්නේ එම රටවල්වල මහ බැංකුවලටයි. ශ්‍රී ලංකාවේ ද මුදල් අච්චු ගැසීමේ බලය තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි. මෙම බලය මහ බැංකුයට ලැබී ඇත්තේ 1949 අංක 58 දරණ මුදල් නීති පනතිනි. මෙම පනත අනුව, 1950 අගොස්තු මස ශ්‍රී ලංකා මහ බැංකුව පිටිටුවන ලද අතර, එතැන් පටන් මුදල් අච්චු ගැසීමේ කාර්යය අඛණ්ඩව සිදු කරනු ලැබුවේ මහ බැංකුව විසිනි.

රටක මහජනයා තුළ මුදල් සඳහා පිළිගැනීමක් ඇතිවන්නේ ඒ පිළිබඳ ඔවුන් තුළ පවත්නා විශ්වාසය මතයි. එය රැඳෙන්නේ මුදල් සඳහා පවත්නා නීතිමය වලංගුභාවය මතයි. මහජනයා තුළ මුදල් පිළබඳ විශ්වාසය පළුදු විය හැකි අවස්ථාවක් ලෙස යම්කිසි රටක භාණ්ඩ හා සේවා වල මිල අඛණ්ඩව සීඝ්‍රයෙන් ඉහළ යාම හෙවත් අධික උද්ධමනකාරී තත්ත්වයක් ඇති වීමයි. එවැනි තත්ත්වයක් තුළ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, මුදල් නිකුත් කිරීමේ බලධාරීන්ට විශාල වශයෙන් නව මුදල් නිකුත් කිරීම සිදුවේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මුදල් හෙවත් සංචිත මුදල් නිකුත් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය

භාණ්ඩ හා සේවා ආනයනය සඳහා සහ විදේශයන්ට කරනු ලබන වෙනත් විවිධ ගෙවීම් සිදු කළ පසු යම් විදේශ විනිමය අතිරික්තයක් වේ නම් වාණිජ බැංකු විසින් එය මහ බැංකුවට විකුණනු ලැබේ. එමෙන්ම දේශිය ආර්ථිකය තුළ අවශ්‍ය ගෙවීම් සිදු කිරීම සඳහා රජයට ලැබෙන විදේශීය ණය විදේශීය මුදල් වලින් ලැබෙන නිසා එම ණය රුපියල් බවට පත් කිරීමට එම විදේශීය මුදල් මහ බැංකුවට විකුණා රුපියල් ලබා ගනී. මෙලෙසින් රජයෙන් හෝ වාණිජ බැංකු වලින් විදේශ විනිමය මිලදී ගැනීමේ දී මහ බැංකුව විසින් අළුතින් රුපියන් නිකුත් කිරීම සිදු කරයි. එමගින් රට තුළ දැනට පවත්නා මුදල් තොගයට අළුතින් මුදල් ප්‍රමාණයක් එකතු වීම සිදු වේ. එමෙන්ම රජය වෙනුවෙන් විදේශීය ණය ගෙවීම මහ බැංකුව විසින් සිදු කරන නිසා ණය ආපසු ගෙවීම සිදු වන අවස්ථාවේදී ඒ සඳහා අවශ්‍ය වන විදේශ විනිමය වෙනුවෙන් ඊට සමාන රුපියල් අගයක් මහ බැංකුවට ගෙවීමට රජයට සිදුවේ.

එලෙස මහ බැංකුව විසින් රුපියල් ගෙවීම් හේතුවෙන් රට තුළ සංසරණයෙහි පවත්නා මුදල් තොගයේ හෙවත් සංචිත මුදල්වල අඩුවීමක් සිදු වන අතර මහ බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන විදේශ සංචිත ප්‍රමාණයද ඒ අනුව අඩු වේ.

දෙවනුව මහ බැංකුව විසින් රජය හා වාණිජ බැංකු සමග සෘජුවම රුපියල් වලින් කරනු ලබන ගනුදෙනු එනම් දේශීය වත්කම් හරහා සිදුවන ගනුදෙනු හේතුවෙන්ද රට තුළට මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන මුදල් තොගයෙහි වෙනස් වීම් සිදු වේ.

මහ බැංකුව රජය සමග සිදු කරන මෙවැනි සෘජු ගනුදෙනු අතර ප්‍රධාන තැනක් ගනු ලබන්නේ මහ බැංකුව විසින් රජයේ භාණ්ඩාගර බිල්පත් මිලට ගැනීම සහ රජයට තාවකාලික අත්තිකාරම් සැපයීමයි.

  • මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම

රජයේ මුදල් අවශ්‍යතා සඳහා රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම් වලදී මුදල් නීති පනතින් ලැබී ඇති බලතල අනුව ඒවායින් යම් කොටසක් මහ බැංකුවේ අභිමතය පරිදි සහ සමස්ත මුදල් සැපයුමට අහිතකර ලෙස බල නොපාන පරිදි මිලදී ගැනීමට මහ බැංකුවට හැකියාව පවතී. එසේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමේ දී එහි අගයට සමාන මුදල් ප්‍රමාණයක් නව මුදල් නිකුත් කිරීම් ලෙස ආර්ථිකයට මුදා හැරීම සිදු වේ. එම භාණ්ඩාගාර බිල්පත් සාමාන්‍යයෙන් සින 91, දින 182 සහ දින 364 වශයෙන් වන කෙටිකාලීන ඒවා වන අතර, ඒවා කල් පිරුන විට රජය විසින් මහ බැංකුට එම කල් පිරෙන බිල්පත්වල අගයට සමාන මුදලක් රජයේ වාණිජ බැංකුවල තිබෙන සිය ගිණුම් හරහා ගෙවිය යුතු වේ. එම අවස්ථාවේදී රට තුළට මහ බැංකුව විසින් නිකුත් කර ඇති මුදල් තොගය හෙවත් සංචිත මුදල් අඩු වීමට හේතු වේ.

  • රජයට තාවකාලික අත්තිකාරම්

මුදල් නීති පනතට අනුව යම් වර්ෂයක රජයේ ඇස්තමේන්තුගත ආදායමෙන් සියයට 10කට සමාන මුදල් ප්‍රමාණයක් තාවකාලික අත්තිකාරකමක් ලෙස සෑම වර්ෂයක් ආරම්භයේදීම මහ බැංකුව විසින් රජයට සැපයිය යුතු වනවා. එය සිදු වන්නේ අළුත් මුදල් නිකුත් කිරීමක් තුළින් වන අතර ඒ අනුව රට තුළ සංසරණයට අළුතින් මුදල් ප්‍රමාණයක් එකතුවීම සිදු වේ. මෙම අත්තිකාරම් සාමාන්‍යයෙන් මාස 6ක කාලයක් සඳහා වන අතර, රජය එම අත්තිකාරම් පියවීම සිදු වන විට එයට සමාන මුදල් ප්‍රමාණයක් රට තුළ තිබෙන මුදල් තොගයෙන් අඩු වීම සිදු වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ස්වර්ණා ගුණරත්න මහත්මිය විසින් පවසන ලද වැඩි දුර තොරතුරු මෙතනින්.

ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි නිර්මාණය කිරීම, මුද්‍රණය / ටංකනය කිරීම හා බෙදාහැරීම

1949 අංක 58 දරන මුදල් නීති පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ අධිකාරී බලය ශ්‍රී ලංකා මහබැංකුව සතු වේ. මෙම කර්තව්‍යය සිදුකරනු වස් ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි නිර්මාණය කිරීම, මුද්‍රණය / ටංකනය කිරීම හා බෙදාහැරීම ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරී ඇත. ව්‍යවහාර මුදල් කළමනාකරණයේ පරමාර්ථය වන්නේ ව්‍යවහාර මුදල්වල වටිනාකම හා විශ්වාසනීයත්වය ආරක්ෂා කර ගැනීම හා ආර්ථිකයේ මනා ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වන, ව්‍යවහාර මුදල් සඳහා වන ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත්වන පරිදි ‍තොග පවත්වාගෙන යාම තුළින් මුදල් පිළිබඳ මහජන විශ්වාසය ගොඩනඟා පවත්වාගෙන යාමයි.

නෝට්ටු මුද්‍රණය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ බියගම පිහිටි ඩි ලා රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් පුද්ගලික සමාගම මගිනි.

සංසරණය සඳහා නිකුත් කරන ලද නව කාසි ටංකනය කරනු ලබන්නේ ස්ලෝවැකියාවේ , “Mincovna Kremnica” යන ටංකන සමාගම විසිනි.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා සංසරණ කාසි ටංකනය සහ සැපයීම සඳහා සැපයුම්කරුවන් තෝරාගනු ලබන්නේ ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියක් මගින් වේ.

ව්‍යවහර මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් මහ බැංකු වෙබ් අඩවියේ සඳහන් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Read More : ශ්‍රී ලංකාව උද්ධමනය අතින් ලෝකයෙන්ම 12 වන ස්ථානයේද ?

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මහ බැංකුවේ මුදල් අච්චු කිරීම යනු සල්ලි අච්චු ගැසීමේ මැෂිමක් ආධාරයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමක්ද?

By: Pavithra Sandamali

Result: Explainer

Tags:    

Similar News