අරගල භූමියේදී බෞද්ධ ස්වාමින් වහන්සේ නමකට කතෝලික පියතුමෙකුගෙන් ප්‍රහාරයක් ?

Update: 2022-05-02 16:43 GMT

පසුගියදා අරගල භූමියේදී කතෝලික පියතුමෙකු විසින් බෞද්ධ ස්වාමින් වහන්සේ නමකට ප්‍රහාරයක් එල්ල කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතා බහට ලක් වූ මාතෘකාවක් වුණා. සැබවමින්ම මෙම සිදුවීම සත්‍යක් ද? එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

අහිංසක හිමි නමකට කතෝලික පාදලියෙක් පහර දෙයි, තෙපිලට අපි කිව්වා මේ ස්වාධීන අරගලයක් නෙමෙයි කියලා. ෆාදර්ගෙ මීගමුව චණ්ඩි ටික හාමුදුරුවන්ට නෙලලායනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් සහ වීඩියෝ සංසරණය වුණා.

Facebook | Archived Link

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන සංසරණය වී තිබූ අයුරු

එමෙන්ම ඇතැම් ෆේස්බුක් පිටු වාර්තා කර තිබුණේ, අරගලයේ අන්තවාදී පිරිසක් විසින් හිමි නමකට මැර ප්‍රහාරයක් එල්ල කළ බවටයි. එලෙස සඳහන් කරමින් පළ වූ වීඩියෝවක් පහතින්.

Full View

පහර කෑමට ලක් වූ පවසන ස්වාමීන් වහන්සේගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

ස්වාමීන් වහන්සේ රෝහල් ගත කරන දර්ශන මෙතනින්. Archived Link

සත්‍ය වශයෙන්ම කතෝලික පියතුමෙකු විසින් මෙලෙස හිමි නමකට පහර දෙනු ලැබුවාද යන්න පිළිබඳ අප විමර්ශනයක් සිදු කළේ, මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත සමාජ මාධ්‍ය සටහන්වල ඡායාරූපයේ දැක්වෙන ස්වාමීන් වහන්සේ සහ කතෝලික පියතුමන් කවුරුන්ද යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් විමසා බැලුවා.

ඒ අනුව එම ඡායාරූපයේ දැක්වුණේ, පසුගියදා අරගල භූමියේදී ස්වාමීන්වහන්සේ නමක් බිම අසුන්ගෙන සිටි ආකාරය පිළබඳ සමාජයේ කතා බහට ලක් වූ අවස්ථාවේ එම ස්වාමීන් වහන්සේ නම සමග බිම අසුන්ගෙන සිටි එම වැඩසටහන මෙහෙය වූ කතෝලික පියතුමෙකු වන අමිල ජීවන්ත පීරිස් පියතුමන් බවට අපට හඳුනාගත හැකි වුණා.

Also Read : අරගල භුමියේ බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට පමණක් අසුන් පනවා නොමැති අවස්ථාවක් ද ?

එසේම ඉහත සිදුවීමට මුහුණ පෑ ස්වාමීන් වහන්සේ නම වන්නේ පූජ්‍ය ධම්මසුජාත ස්වාමීන්වහන්සේ බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් උන්වහන්සේ අදහස් දක්වා තිබෙන අයුරුත් අපට නිරීක්ෂණය වුණා.

අලව්වේ ධම්මසුජාත ස්වාමින්වහන්සේගේ අදහස් දැක්වීම:

මෙම සිද්ධියට කිසිදු ආගමික නායකයකුගේ සම්බන්ධයක් නොමැති බවත් එය අසත්‍ය පුවතක් බව එම සිද්ධියට මුහුණ දුන් පූජ්‍ය ධම්මසුජාත ස්වාමින්වහන්සේ පවසා තිබුණේ මෙලෙසින්.

https://www.youtube.com/watch?v=VlS1GL-CWCY

Archived Link

කෙසේවෙතත් මේ පිළිබඳව විමසීමට පූජ්‍ය ධම්මසුජාත ස්වාමින්වහන්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් එම උත්සහය ව්‍යර්ථ වූ අතර උන්වහන්සේගේ පිළිතුර සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

අලව්වේ ධම්මසුජාත ස්වාමීන්වහන්සේට තුවාලයට ලක්වූ අවස්ථාවට සම්බන්ධ වීඩියෝවක් පහතින්.

https://vimeo.com/705350453

Facebook

එම වීඩියෝව අලව්වේ ධම්මසුජාත ස්වාමීන්වහන්සේ විසින් පටිගත කරන ලද වීඩියෝවකි. කූඩාරමක් අරභයා එහි රැස්ව සිටි කිහිපදෙනෙකු සහ ස්වාමීන් වහන්සේ අතර බහින් බස් වීමක් ඇති වන අයුරුත්, ස්වාමීන් වහන්සේ විසින් පටිගත කරමින් සිටි ජංගම දුරකතනය කූඩාරම සකස් කරමින් සිටි තරුණයෙකු උදුරා ගැනීමට තැත් කිරීමේදී ජංගම දුරකතනය බිම වැටෙන අයුරුත් ඉහත වීඩියෝවෙන් දැක්වේ. මෙම වීඩියෝවේ ද පසුබිමේ තරමක් දුරින් අමිල ජීවන්ත පීරිස් පියතුමන් සිටින අයුරු නිරීක්ෂණය වෙනවා. නමුත් පියතුමන් මත ගැටුම ඇතිවන කිහිප දෙනා අතර දැකගනන්ට ලැබෙන්නේ නැහැ.

රාජාන්ගනේ සද්ධාරතන හිමියන්:

එමෙන්ම මේ පිළිබඳ අදහස් දක්වමින් රාජාන්ගනේ සද්ධාරතන හිමියන් පවසා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් වැරදි අර්ථකතනයක් ලබාදීමට උත්සහ කරන පිරිසකගේ ව්‍යායාමයක් බවයි. කතෝලික පියතුමන් එම මත ගැටුම සමථයකට පත්කිරීමට අදාළ මත ගැටුම ඇතිවූ ස්ථානයට පැමිණි බවත් උන්වහන්සේ පවසා සිටිනවා. එසේම අරගල භූමියේ බණ්ඩාරනායක පිළිරුව අසළ කූඩාරමක් සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී තිබු බවත් එම අවස්ථාව වීඩියෝ කරමින් සිටි අලව්වේ ධම්මසුජාත ස්වාමීන්වහන්සේගේ අත රැඳි ජංගම දුරකතනය උදුරා ගැනීමට තැත් කිරීමේදී ඔහුගේ අත ස්වාමීන් වහන්සේගේ මුඛයේ වැදීම පමණක් සිදු වූ බවයි ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ. එම වීඩියෝව මෙතැනින්

අමිල ජීවන්ත පීරිස් පියතුමන්:

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් අමිල ජීවන්ත පීරිස් පියතුමන්ගෙන්ද විමසීමක් කළ අතර පියතුමන් පැවසුවේ, තමන් කිසිදු අවස්ථාවක ස්වාමින් වහන්සේට ප්‍රහාරයක් එල්ල නොකළ බවත්, තමන් එම අවස්ථාවේ බහින් බස් වීම සමතයට පත් කිරීම සඳහා පැමිණි බවයි. එදින (අප්‍රේල් 29) “සිංහාසන පරදන්න ඇහැරෙන්න” යනුවෙන් වැඩසටහනක් පැවැත්වීමට සූදානම් කර තිබූ බැවින්, එම වැඩකටයුතු වලට නිරත වෙමින් සිටි බවද පියතුමන් සඳහන් කළා. 

Sri Lanka Catholic News ෆේස්බුක් පිටුවේද, මෙම සිදුවීම පිළිබඳව දක්වා තිබුණේ මෙලෙසින්.

එමෙන්ම ස්වාමීන් වහන්සේගේ තොලෙහි ඇති තුවාලය හැරෙන්නට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වී ඇති බවට කිසිදු ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හෝ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ හෝ වාර්තා වී නොතිබුණි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අරගල භූමියේදී බෞද්ධ ස්වාමින් වහන්සේ නමකට කතෝලික පියතුමෙකු ප්‍රහාරයක් එල්ල කළ බවට හුවමාරු වන සටහන් නොමග යවන සුළු බවයි. පහර දීමකට ලක් වූ අලව්වේ ධම්මසුජාත ස්වාමීන්වහන්සේ පවසන්නේ තමන් වහන්සේට කිසිදු පියතුමෙක් ප්‍රහාරයක් එල්ල නොකළ බවයි. ස්වාමීන්වහන්සේගේ තොලෙහි තුවාලය ඇතිවූ අවස්ථාවේ වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමෙන් ද මේ කරුණු තහවුරු වෙනවා.

Tags:    

Similar News