ගංජා ශාකයේ ගුණ සහ විශේෂ වාසිදායක ලක්ෂණ ලෙස හුවමාරු වන සටහන් පිලිබදව කරුණු විමසීමක්!

Update: 2022-11-23 07:29 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

ත්‍රෛලෝක විජය පත්‍ර (ගංජා/කංසා) බෝගය අපනයන සඳහා ඇති හැකියාව සොයා බැලීම සඳහා තමන් යෝජනා කරන බවත් ඒ සඳහා වි‍ශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය අයවැය කතාවේ දී නොවැම්බර් 14 දින පවසා සිටියා. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට පෙර සිටම පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ දිගින් දිගටම පැවසුවේ ශ්‍රී ලංකාව තුළ ගංජා වගාව නීතිගත කලයුතු බවයි.

මෙවන් පසුබිමක මෙම අදහසට පක්ෂව සහ විපක්ෂ මත රැසක් ඉදිරිපත් වී තිබු අතර ගංජා වගාව නිතිකල යුතු බවට අදහස් ඉදිරිපත් කිරීමත් සමගම ගංජා ශාඛයේ පරිසරයට සහ මිනිසාට හිතකර ලක්ෂණ බව සදහන් කරමින් සමාජ ජාලා සටහන් පැතිරුණා. මේ එම සටහන්වල සත්‍ය අසත්‍යතාවය පරික්ෂා කිරීමට අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

කංසා වල විශේෂ පරිසර හිතදායි මිනිසාට වාසිදායක ගුණාංග ලෙස පහත සටහන් අන්තර්ජාලයේ සංසරණය වුණා.

“ගංජා ගැන ඩයනා නොකී දේ” ලෙස පවසමින් කරුණු 10 ක් මෙසේ හුවමාරු වුණා.

1. ගංජා හෙක්ටයාරයකින් වනාන්තර හෙක්ටයාර 25ක් තරම් ඔක්සිජන් නිකුත් කරයි. ගංජා මාස 4 කින් වර්ධනය වන අතර වෙනත් ගස් අවුරුදු 20-50 කින් වර්ධනය වේ.

2. ගංජා හෙක්ටයාරයකින්, වනාන්තර හෙක්ටයාර 4කට සමාන කඩදාසි ප්‍රමාණයක් සාදාගත හැක.

3. ගස් 3 වතාවක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කඩදාසි සාදන අතර කංසා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කඩදාසි 8 වතාවක් සාදයි. කංසා කඩදාසි හොඳම හා වඩාත්ම කල් පවතින ය.

5. කංසා පැල යනු විකිරණ ස්වාරක්ෂකයකි. ගංජා වගාවන් වාතය පිරිසිදු කරයි.

6. ලෝකයේ ඕනෑම තැනක කංසා වගා කළ හැකිය, එයට ජලය අවශ්‍ය වන්නේ ඉතා අල්ප වශයෙනි. තවද, පරපෝෂිතයන්ගෙන් ආරක්ෂා විය හැකි බැවින්, එයට පළිබෝධනාශක අවශ්‍ය නොවේ.

7. කංසා රෙදිපිළි වල ගුණාංගවලින් ලිනන් නිෂ්පාදන පවා අභිබවා යයි.

8. කංසා යනු දාර, ලණු, බෑග්, සපත්තු, හිස්වැසුම් නිෂ්පාදනය සඳහා කදිම ශාකයකි..

9. ගංජා ඇටවල ප්‍රෝටීන් අගය ඉතා ඉහළ (ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 31.5)වන අතර එහි අඩංගු මේද අම්ල දෙකක් සොබාදහමේ වෙනත් තැනක සොයාගත නොහැක.

10. ගංජා වගා කිරීම සෝයා වලට වඩා බෙහෙවින් ලාභදායී වේ.

11. ගංජා අනුභව කරන සතුන්ට හෝමෝන අතිරේක අවශ්‍ය නොවේ.

12. සියලුම ප්ලාස්ටික් නිෂ්පාදන කංසා වලින් සෑදිය හැක, කංසා ප්ලාස්ටික් පරිසර හිතකාමී වන අතර සම්පූර්ණයෙන්ම ජෛව හායනයට ලක් වේ.

13. කංසා ගොඩනැගිලිවල තාප පරිවාරක සඳහා ද භාවිතා කළ හැකිය, එය කල් පවතින, ලාභ සහ නම්යශීලී වේ.

14. කංසා සබන් සහ කංසා ආලේපන ජලය දූෂණය නොකරන බැවින් ඒවා සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී වේ.

15. බොහෝ රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී ගංජා වල ප්‍රතිලාභ ගැන සඳහන්

Facebook| Archived Facebook| Facebook

මේ ඒ සම්බන්ධයෙන් පැතිර තිබුණු අදහස් කිහිපයක්.

මෙම සටහන් ෆේස්බුක් අවකාශය පුරා ව්‍යාප්තව පැවතුණේ මෙලෙසින්.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

එම සටහනේ දක්වා තිබු කරුණු පිලිබඳ අප වැඩිදුර තොරතුරු විමසා බැලුවේ මෙලෙසින්.

ගංජා හෙක්ටයාරයකින් වනාන්තර හෙක්ටයාර 25ක් තරම් ඔක්සිජන් නිකුත් කරයි ද?

මෙම මතය තහවුරු කිරීම ප්‍රමාණවත් විද්‍යාත්මක සාධක නොමැත. අප කවුරුත් දන්නා පරිදි ශාකවලින් ඔක්සිජන් වායුව පිටවන්නේ ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය වන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ (photosynthesis) අතුරු ඵලයක් ලෙසයි.

පෘථිවියේ ඇති ශාක විශේෂ බොහොමයක් C3 ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය යොදාගනී. කෙසේවතත් බඩ ඉරිඟු, උක් වර්ග ඇතුළු තෘණ වර්ග රැසක් මෙන්ම කංසා ද C4 ප්‍රභාසංශ්ලේෂණය ක්‍රියාවලිය යොදා ගැනීම මඟින් සාපේක්ෂව වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් නිපදවීමේ හැකියාවක් තිබෙනවා. වැඩිදුර තොරතුරු මෙතනින්

එසේම වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අවශෝෂණය කිරීමේ හැකියාව, කෙටි කාලයක දී කංසා අස්වැන්න ලබාගැනීම ඔස්සේ වසරකට දෙවතාවක් වගා කිරීම වැනි කාරණා ඔස්සේ ද වැඩි ඔක්සිජන් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් පවතිනවා.

නමුත් Cannabis sativa යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ගංජා ශාකය ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය පිලිබදව විශ්ලේෂණය කරන පර්යේෂණ පත්‍රිකා අධ්‍යයනය කල අපට පැහැදිලි වුවේ වනාන්තර හෙක්ටයාර 25 කින් පිටකරන ඔක්සිජන් ප්‍රමාණයට සමාන ඔක්සිජන් ප්‍රමාණයක් පිටකිරීමට කංසා හෙක්ටයාර එකකට හැකි බව අතිශයෝක්තියක් වන බවයි. කංසා ශාඛයේ ප්‍රභාසංස්ලේෂණය පිළිබද පර්යේෂණ පත්‍රිකාවක් කියවිය හැකියි මෙතනින්. Archived

ගංජා හෙක්ටයාරයකින්, වනාන්තර හෙක්ටයාර 4කට සමාන කඩදාසි ප්‍රමාණයක් සාදාගත හැක.

මේ පිළිබඳව සොයා බැලූ අපට පැහැදිලිවූ කාරණය නම්, මෙය 1916 දී ,එනම් මීට සියවසකට පමණ පෙර ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින් සිදුකරන ලද පර්යේෂණයක් පාදක කරගනිමින් ගොඩනැගී ඇති මතවාදයක් වන බවයි. කෙසේ නමුත් නූතන තාක්ෂණික ක්‍රම ඔස්සේ කඩදාසි නිෂ්පාදනය සඳහා සිදුකරන වන වගා ව්‍යපෘති මගින් පැහැදිලිවම කංසා වගාවෙන් නිපදවිය හැකි කඩදාසි නිෂ්පාදනය අභිබවන නිෂ්පාදනයක් සිදුකල හැක.

ගස් 3 වතාවක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කඩදාසි සාදන අතර කංසා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කඩදාසි 8 වතාවක් සාදයි.

මෙහි ද යම් සත්‍යතාවයක් පවතියි. පර්යේෂණවලින් පවසන ආකාරයට කංසා ශාකයෙන් නිෂ්පාදනය කරන කඩදාසි වල ප්‍රතිචක්‍රීකරණය කර භාවිතා කිරීමේ හැකියාව අනෙකුත් බොහෝ ශාකවලින් සාදන කඩදාසි වලට වඩා ඉහල අගයක් ගනී. ඒ සම්බන්ධයෙන් වන තොරතුරු ලබාගත හැකියි මෙතනින්.Archived. මේ සම්බන්ධ තවත් වර්තාවක් මෙතනින්

කංසා පැළ යනු විකිරණ ස්වාරක්ෂකයකි. ගංජා වගාවන් වාතය පිරිසිදු කරයි

කංසා පැළ යනු විකිරණ ස්වාරක්ෂක බවට පැහැදිලිව පිළිගත හැකි සාක්ෂි නොමැත. නමුත් කංසා මගින් අනෙත් බොහෝ ශාකවලට වඩා වැඩියෙන් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරමින් වාතය පිරිසිදු කිරීමේ හැකියාව ඇති බව පර්යේෂණ වලින් හෙළිව ඇත. ඒ පිළිබඳව වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්.

ලෝකයේ ඕනෑම තැනක කංසා වගා කළ හැකිය, එයට ජලය අවශ්‍ය වන්නේ ඉතා අල්ප වශයෙනි. තවද, පරපෝෂිතයන්ගෙන් ආරක්ෂා විය හැකි බැවින්, එයට පළිබෝධනාශක අවශ්‍ය නොවේ.

ලෝකයේ ඕනෑම තැනක ගංජා වගා කල හැකිය යන ප්‍රකාශය අතිශයෝක්තයකි. බොහෝ ප්‍රදේශවල ගංජා වගා කල හැකියාව පැවතුණත්, ඒ සඳහා හිතකර දේශගුණික තත්වයන් මෙන්ම පාංශු ස්වභාවයන් පැවතීම අත්‍යවශයි. ඒ සම්බන්ධයෙන් වන වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්. Archived.

කංසා රෙදිපිළි වල ගුණාංගවලින් ලිනන් නිෂ්පාදන පවා අභිබවා යයි. කංසා යනු දාර, ලණු, බෑග්, සපත්තු, හිස්වැසුම් නිෂ්පාදනය සඳහා කදිම ශාකයකි.

කංසා රෙදිපිළි වල ගුණාංග ලිනන්(හණ) රෙදිපිලිවල ගුණාංග අභිබවා යන බව පැවසීම අතිශයෝක්තියක්. මෙම රෙදි වර්ග දෙකටම පොදු ලක්ෂණ බොහොමයක් පවතින අතර හණ රෙදිවල ඇති වඩාත් පහසුවෙන් ඇදීමට ලක්ව නැවත යතාතත්වයට පත්වීමේ හැකියාව කංසා රෙදිවල දක්නට නොමැත. නමුත් කංසා රෙදි පරිජම්බුල කිරණවලට දක්වන ප්‍රතිරෝධය නිසා පහසුවෙන් හිරු එලිය හමුවේ අවපැහැ ගැන්වීමක් සිදු නොවේ. ඒ සම්බන්ධ වැඩි විස්තර කියවිය හැකියි මෙතනින්.Archived.

ගංජා ඇටවල ප්‍රෝටීන් අගය ඉතා ඉහළ (ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 31.5)වන අතර එහි අඩංගු මේද අම්ල දෙකක් සොබාදහමේ වෙනත් තැනක සොයාගත නොහැක.

ගංජා ඇට වල ප්‍රෝටීන් ප්‍රතිශතය ඉතා ඉහලයි.එහි අත්‍යවශය ඇමයිනෝ අම්ල සියල්ලම අඩංගුයි.නමුත් ලයිසින් ඇමයිනෝ අම්ල ප්‍රතිශතය සාපේක්ෂව පහල අගයක් ගන්නවා.කෙසේ වෙතත් මෙහි සොබාදහමේ වෙනත් කිසිදු තැනක දක්නට නොලැබෙන මේද අම්ල 2 ක් අඩංගු බවට වන ප්‍රකාශය විද්‍යාත්මකව තහවුරු නොකරන ලද්දක්.මේ පිළිබඳව වැඩිදුර විස්තර මෙතනින්. Archived

එසේම කංසා පිළීබද දීර්ඝ කාලයක් පර්යේෂණ සිදුකල, වසන්ත සේනා වැලිඅංග මහතා පවසන පරිදි කංසා මැලියමේ විවිධ රසායනික 80ක් පමණ ඇති අතර ඒවා අනෙක් ශාකවල දක්නට නොලැබේ. මෙම රසායන කැනබිනොයිඩ නම් වේ. C,H,O ප්‍රධාන මූලද්‍රව්‍ය වේ.

ගංජා වගා කිරීම සෝයා වලට වඩා බෙහෙවින් ලාභදායී වේ

බෝගයක ලාබදායි බව තීරණය වන්නේ ලෝක වෙළෙදපොලේ මිල උච්චාවචනය ආදී විවිධ සාධක මතයි. එම නිසා සෝයා බෝංචි වලට වඩා කංසා වගාව ඵලදායී බවට නියතයක් නොමැත. මීට වසර කිහිපයකට පෙර ජාත්‍යන්තර වෙළෙදාමේ සෝයා බෝංචි සම්බන්ධව මතුව තිබුණු යම් ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක් නිසා ඒ සඳහා ආදේශකයක් ලෙස ඇතැම් ඇමෙරිකානු ප්‍රාන්තවල ගොවීන් කංසා වගා කිරීම සම්බන්ධව තොරතුරු කියවිය හැකියි මෙතනින්. Archived

කෙසේවෙතත් කංසා වගාව මඟින් ලැබිය හැකි වටිනාකම අර්තාපල් ඇතුළු ප්‍රධාන භෝග කිහිපයක වටිනාකම ඉක්මවා තිබෙනව් බව මෑතක දී සිදුකළ ඇමරිකානු අධ්‍යනයක් මඟින් පෙන්වා දී තිබෙනවා. කෙසේනමුත් තොග අස්වැන්න ලැබෙන භෝග වටිනාකම අනුව සෝයා බෝංචි ද ඇතුළුව තිරිඟු සහ කපු යනාදිය කංසා වගාවට ඉහළින් දක්වා තිබෙනවා.

සම්පුර්ණ වාර්තාව මෙතනින් | Archived

ගංජා අනුභව කරන සතුන්ට හෝමෝන අතිරේක අවශ්‍ය නොවේ.

මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැත. කෙසේ නමුත් ඇමෙරිකානු සත්ව ආහාර පාලක සංගමයේ වෙබ් අඩවියට අනුව ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වාණිජ වශයෙන් සත්ව නිෂ්පාදන කරන පුද්ගලයන්ට තමන් යටතේ සිටින සත්ත්වයන්ට කංසා අඩංගු ආහාර ලබාදිය නොහැකි අතර ඒ සඳහා වන අනුමැතිය මෙතෙක් ලැබී නොමැත. ඒ සම්බන්ධ වැඩි විස්තර ලබාගත හැකියි මෙතනින්. Archived

සියලුම ප්ලාස්ටික් නිෂ්පාදන කංසා වලින් සෑදිය හැක, කංසා ප්ලාස්ටික් පරිසර හිතකාමී වන අතර සම්පූර්ණයෙන්ම ජෛව හායනයට ලක් වේ.

සියලුම ප්ලාස්ටික් නිෂ්පාදන කංසා වලින් නිර්මාණය කළ හැකියි යන්න තරමක් දුරට සත්‍යයෙන් බැහැර ප්‍රකාශයක්. නමුත් සම්පුර්ණ ජීව විද්‍යාත්මක ක්‍රියාවලි ඔස්සේ මාස කිහිපයක් තුළ දිරාපත්වන ප්ලාස්ටික් ,කංසා උපයෝගී කරගෙන නිෂ්පාදනය කල හැකියි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතැනින්. Archived

කංසා ගොඩනැගිලිවල තාප පරිවාරක සඳහා ද භාවිතා කළ හැකිය

කංසා ශාක කොටස් ගොඩනැගිලිවල තාප පරිවාරක ලෙස භාවිතා කල හැකි බව සත්‍යයකි.එහි තාප සන්නායකතාව පිළිබද වැඩිදුර තොරතුරු ලබාගත හැකියි මෙතනින්.

කංසා සබන් සහ කංසා ආලේපන ජලය දූෂණය නොකරන බැවින් ඒවා සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී වේ

කංසා සබන් සහ ආලේපන ජලය දූෂණය නොකරන බව සහ ඒවා ජිව විද්‍යාත්මකව හායනයට ලක්වන බව ප්‍රකට කරුණක්.එමෙන්ම සත්වමය මුලාශ්‍ර හරහා පැමිණෙන නිෂ්පාදන භාවිතා නොකරන පුද්ගලයන් අතර මෙම කංසා සබන් නිෂ්පාදන ප්‍රකටයි.ඒ සඳහා උදාහරණ කිහිපයක් මෙතනින් සහ මෙතනින්.Archived & Archived

බොහෝ රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී ගංජා වල ප්‍රතිලාභ ගැන සඳහන්

කංසා ශාකයෙන් ලබාගන්නා නිෂ්පාදන වෛද්‍යමය අරමුණු සඳහා භාවිතා කල හැකි බව ප්‍රකට කරුණක්. ඒ සම්බන්ධයෙන් වන වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින් සහ මෙතනින්.Archived & Archived

කෙසේ නමුත් ගංජා භාවිතය නිසා හටගන්නා සෞඛ්‍යයට අහිතකර ලක්ෂණද බොහොමයක් පවතිනවා.විශේෂයෙන්ම මානසික සෞක්‍ය කෙරෙහි මෙහි අහිතකර බලපෑම් ඇතිවිය හැකියි. යම් පිළිකා තත්ත්වයන් ඇතිවීම සදහා මෙන්ම ගංජා සුරුට්ටු උරන පුද්ගලයන් හට ශ්වසන ආබාධ ඇතිවීමේ හැකියාවක්ද පවතින බවද විද්‍යාත්මක පර්යේෂණ තුලින් තහවුරු කරගෙන ඇති කරුණු වේ. මේ සම්බන්ධ වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්. Archived.

Also Read : Fact Check : කංසා භාවිතයෙන් කොරොනා වෛරසය මර්දනය කල හැකිද?

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ගංජා ශාකයේ ගුණ සහ විශේෂ වාසිදායක ලක්ෂණ ලෙස හුවමාරු වන සටහන් පිලිබදව කරුණු විමසීමක්!

By: Kalana Krishantha

Result: Explainer

Tags:    

Similar News