කල්පිටිය වෙරළට තල්මසුන් පැමිණියේ ඇති වූ භූමිකම්පාවල ප්‍රතිඵලයක් ලෙසද?

Update: 2023-02-15 09:33 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පසුගියදා තුර්කියේ සිදුවූ භූ කම්පනය සමග අවාසනාවන්ත ලෙස දස දහස් සංඛ්‍යාත තුර්කි වැසියන්ට ජිවිත අහිමි වුණා.ඉන් අනතුරුව ලංකාවේ බුත්තල ,වැල්ලවාය ආදී ප්‍රදේශවලට බලපාන පරිදි සුලු පරිමාණයේ භුමි කම්පා කිහිපයක්ම සිදුවුණා.කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් පලකල භූ විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් මාධ්‍යයට පවසා තිබුණේ ,තුර්කියේ මෙන් දැවැන්ත භූ කම්පන සිදුවීමේ අවදානමක් ලංකාවට නොමැති බවයි. තත්ත්වය එසේ වුවත් බොහෝ දෙනාගේ සිත් තුළ මේ පිලිබදව ඇත්තේ බියමුසු හැගීම්. ඒ අතර කල්පිටිය ප්‍රදේශයට තල්මසුන් පිරිසකගේ අනපේක්ෂිත ගොඩගැසීම ,ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා.සමහර සමාජ ජාලා සටහන්වලින් පැවසුණේ තුර්කියේ භුමි කම්පා,ලංකාවේ සුලු භූ චලන සහ මෙම තල්මසුන්ගේ ආගමනයත් අතර අන්තර් සම්බන්ධයක් පවතින බවයි.මේ සම්බන්ධයෙන් අප සිදුකල විමර්ෂණයයි මේ .

සමාජ ජාලා සටහන් :

තල්මසුන් වෙරළට ගොඩ ගැසීම,භූමිකම්පා එකිනෙක සම්බන්ධ කරමින් සමාජ ජාලා සටහන් පළව තිබුණේ පහත අයුරින්.

Facebook | Archived

මේ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මේ තවත් ෆේස්බුක් සටහනක් .

Facebook | Archived

සයිප්‍රසයට සිදුවූ තල්මසුන් ගොඩගැසීමත් සම්බන්ධ කරගනිමින් සමාජ ජාලා සටහන් පැතිර ගොස් තිබුණේ මෙලෙසින්.

Facebook | Archived

Live@8 කල්පිටියට පැමිණි තල්මසුන් පිලිබදව පහත අයුරින් වාර්තා කර තිබුණා.

Full View

මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීම පහතින්.

Explaination (කරුණු පැහැදිලි කිරීම)  :

පසුගිය සෙනසුරාදා (පෙබරවාරි 11) දින කල්පිටිය ප්‍රදේශයේ කුඩාව වෙරළ තීරයට තල්මසුන් ගොඩගැසීමක් සිදුවිය. මෙහිදී පයිලට් වේල්ස් (Pilot whales) නම් තල්මස් ප්‍රභේදයට අයත් තල්මසුන් අවම වශයෙන් 14කට ආසන්න සංඛ්‍යාවක් වෙරළ තීරය කරා ගොඩගසා තිබූ බව වාර්තා විය.

මෙහිදී, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වනජීවී දෙපාර්තමේන්තුවේ දායකත්වය සහිතව මෙම තල්මසුන් යළිත් මුහුදට ගෙන යාමට කටයුතු කරන ලදී. නමුත් මෙම තල්මසුන් අතරින් තිදෙනෙක්, යළිත් මුහුදට ගෙන යාමට ප්‍රථම මිය ගොස් තිබූ බව වාර්තා වේ. ප්‍රවෘත්ති වාර්තාව මෙතනින්. දර්ශන වාර්තාව මෙතනින්.

මෙම සිදුවීමට පෙර දිනයේ (පෙබරවාරි 10) මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, බුත්තල, මොණරාගල ප්‍රදේශවල රිච්ටර් මාපකාංක 3ක සුළු භූ කම්පන තත්වයක් ඇති විය. පුවත් වාර්තාව මෙතනින්.

ආසන්න දිනවල සිදු වූ මෙම සිදුවීම් මාලාවත් සමඟ, මෙම සිදුවීම් දෙකෙහි එකිනෙකට සම්බන්ධයක් ඇති බවට විවිධ මත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ තල්මසුන් සහ ඩොල්ෆින්

ශ්‍රී ලංකාව වසරේ සම්පූර්ණ කාලය මුළුල්ලේ තල්මසුන් සහ ඩොල්ෆින් දැකගත හැකි රටක් නොවේ. ඔක්තෝබර් සහ මාර්තු මාස අතර කාල සීමාවේ සාමාන්‍යයෙන් සුලබව මොවුන් ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු තීරයේ දක්නට ලැබේ. මෙහිදී ප්‍රධාන වශයෙන් ම දකුණු පළාතේ මිරිස්ස, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සහ වයඹ පළාතේ කල්පිටිය ප්‍රදේශ ආශ්‍රිතව තල්මසුන් නැරඹීම පහසු ය. මෙම ප්‍රදේශ ශ්‍රී ලංකාවේ මොවුන් නැරඹීමේ උණුසුම් කලාප (hot spots) වේ.

ශ්‍රී ලංකාව ආශ්‍රිතව සුලබව ම දැකිය හැකි තල්මස් විශේෂ වන්නේ, නිල් තල්මසා (blue whale), ස්පර්ම් තල්මසා (sperm whale), පිටකුදු තල්මසා (humpback whale) සහ බ්‍රයිඩ්ගේ තල්මසා (Bryde’s whale) ආදී විශේෂ වේ. මීට අමතරව ස්පිනර් ඩොල්ෆින් (Spinner dolphin) සහ පයිලට් තල්මසුන් (Pilot whales) ආදී විශේෂ ද දැකගත හැක.

මෙම ජලජ පෘෂ්ඨවංශීන් මෙසේ කලින් කලට මුහුද මතුපිටට සහ ගොඩබිමට ආසන්නයෙන් ශ්‍රී ලංකාව අවට දැකගැනීමට හැකි වීමට හේතු 2ක් ඇත. එනම් ඔවුන්ගේ සංචාරක රටා (migratory patterns) සහ ආහාර රටා (food patterns) වේ.

තල්මසුන්, විශේෂයෙන්ම නිල් තල්මසුන් නැරඹීම සඳහා ශ්‍රී ලංකාව සුදුසුම ස්ථානයක් බවට සැලකීම ආරම්භ වූයේ 2008 වසරේ සිටය. මෙහිදී, තල්මසුන් සිය ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා මුහුදු තීරය වෙත්ට සංක්‍රමණය වූ බව වාර්තා වේ. ශ්‍රී ලංකාව ආශ්‍රිත ශාක ප්ලවාංගවලින් පෝෂිත මුහුදු තීරය ක්‍රීල් වැනි තල්මසුන්ගේ ආහාර ලෙස උචිත ජීවීන්ට වාසස්ථාන සපයයි. තවද, ඊසාන දිග සහ නිරිත දිග මෝසම් සුළං ආශ්‍රිත සෘතුමය වෙනස්කම් ද මෙම තල්මසුන්ගේ සංචරක රටා කෙරෙහි බලපායි.

වැඩිදුර තොරතුරු සඳහා මෙතනින් Archived

මෙයින් ඇතැම් විශේෂ ශ්‍රී ලංකාව ආශ්‍රිත නිවර්තන සාගරය තම නිජබිම් කරගෙන ජීවත් වන අතර ඔවුන්ගේ ශ්වසන සහ ආහාරමය අවශ්‍යතා සඳහා ජලය මතුපිට ආසන්නයට පැමිනෙන විට දැකගත හැකි වේ.

තල්මසුන් සහ ඩොල්ෆින් ගොඩබිම කරා පැමිණීම.

තල්මසුන් ගොඩබිම් ප්‍රදේශ කරා පැමිණීම ශ්‍රී ලංකාව මෙන්ම ලෝකය තුළ ඉතා දුලබ සිදුවීමක් නොවේ. මෙවර සිදුවීමට ආසන්නතම සිදුවීමක් ලෙස 2020 වසරේ නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පානදුර වෙරළ තීරයට pilot whales වර්ගයේම තල්මසුන් 100කට වඩා වැඩි සංඛ්‍යාවක් ගසාගෙන ඒම සැලකිය හැක.

මේ පිලිබඳව වාර්තාව මෙතනින්. තවත් වාර්තාවක් මෙතනින් Archived

2017 වසරේ නැගෙනහිර මුහුදු තීරයේදී ද මේ සමානම සිදුවීමක් වාර්තා විය. එම වාර්තාව මෙතනින්.Archived

ශ්‍රී ලංකාවේ පමණක් නොව ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ආදී රටවලද වරින් වර pilot whales ගේ නිරන්තර ගොඩබිමකරා ගසා ඒමේ සංසිද්ධි වරින් වර වාර්තා වේ. නවසීලන්ත සිදුවීමක් පිළිබඳව වාර්තා මෙතනින්. ඔස්ට්‍රේලියාවේ සිඳුවීම සම්බන්ධ වාර්තාව මෙතනින් Archived.

ඉහත සෑම අවස්ථාවකදීම මෙලෙස ගොඩගසා ඒමට ලක් වූයේ pilot whales වර්ගයටම අයත් ජීවීන් වීම විශේෂත්වයකි.

Pilot Whales Globicephala sp.

Pilot whales, තල්මසුන් වර්ගයක් ලෙස හැඳින්වුව ද, නිවැරදිවම නම් මෙම ජීවීන් ඩොල්ෆින් ගණයට අයත් ජීවීන් ලෙස සැලකේ. Delphinidae පවුලට අයත් තරමක් කුඩා, දත් සහිත ජලජ පෘෂ්ඨවංශී විශේෂයකි.

Pilot whales රංචු වශයෙන් ජීවත්වන ජීවී කොට්ඨාශයකි

මොවුන් වටකුරු, ඉදිමුණු හිසක් සහ කෙටි හොටක් වැනි නාසයකින් සමන්විතය. Pilot whales දිගු වරල් සහිත (Long finned pilot whales – Globicephala melas) සහ කෙටි වරල් සහිත (Short finned pilot whales – Globicephala macrorhynchus) ලෙස ආකාර දෙකක් පවතී.

මෙම දෙවර්ගයේ වරල්වල ඇති වෙනස්කම හැර, අනෙකුත් සියළුම ශරීර ලක්ෂණ එකිනෙකට සමානය. දිගු වරලැති වර්ගය, කෙටි වරල් සහිත වර්ගයට වඩා මඳක් විශාලය.

කෙටි වරල් සහිත විශේෂය ආක්ටික් හැර ලෝකයේ අන් සියළුම සාගරවල ජීවත් වන අතර, දිගු වරල් සහිත විශේෂය ආක්ටික් සාගරය මෙන්ම නිවර්තන සාගර ජලයේද දක්නට නොලැබේ

මේ අනුව ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ ජීවත් වන්නේ කෙටි වරල් සහිත Pilot whales විශේෂයයි .

Pilot whales පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

ලංකාව ආශ්‍රිත නිවර්තන මුහුදේ කෙටි වරල් සහිත Pilot whale ජීවත්වන අතර, වරින් වර වෙරළට ගොඩ ගැසීමට ලක් වන්නේ මෙම විශේෂයයි.

Pilot whales ජීවීන් වෙරළට ගොඩ ගැසීමට හේතු

පසුගිය දා, Pilot whale 14 දෙනෙකු කල්පිටිය, කුඩාව වෙරළට ගොඩගැසීම පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා Fact Crescendo කණ්ඩායම විසින් NARA ආයතනයේ, කප්පරතොට කලාප පර්‍යේෂණ මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්‍ය උපුල් ලියනගේව සම්බන්ධ කරගන්නා ලදී.

ඔහු පැවසුවේ මෙය කලින් කළට සිදුවන සිදුවීමක් බවයි. මෙම short finned pilot whales නිවර්තන සාගරය ආශ්‍රිතව ජීවත් වන ජීවී විශේෂයක් බවත්, ඔවුන් කැපී පෙනෙන සංක්‍රමණ රටා නොපෙන්වන ජීවී විශේෂයක් බවත් ආචාර්ය ලියනගේ සඳහන් කළා .

තවද, මෙම ජීවීන් මෙලෙස ගොඩ ගසා ඒමට විවිධ හේතු කිහිපයක් පැවතිය හැකි බව පැවසුවා .

රංචු වශයෙන් ජීවත් වන මෙම ජීවීන්, සංචරණයේ geomagnetic field හෙවත් භූ චුම්භකත්වය තම මඟ සොයාගැනීමට යොදාගන්නා යාන්ත්‍රණයයි. මේ සඳහා වැඩිදුර විමසුම මෙතනින්. මෙහිදී භූ චුම්බක ක්ෂේත්‍රයේ ඇති වන යම් යම් වෙනස්කම් නිසා pilot whales හට තම ගමන් මාර්ගය වැරදීමට ඉඩ ඇති බව ඔහු පළමු හේතුව වශයෙන් ඉදිරිපත් කළේ ය.

මෙසේ තම මඟ තීරණය කරගන්නේ රංචුවේ නායකයාය. රංචුව දී තම නායකයාව අනුගමය කරයි. මෙහිදී නායකයා යම්කිසි ලෙසකින් සුළු වැරදීමකින් තම ගමන් මාර්ගය පටලවා ගතහොත් මුළු රංචුවම ඔහුව අනුගමනය කරමින් වැරදි මාර්ගයේ ගමන් කරන බවත් ආචාර්යවරයා පැවසුවා

ආචාර්‍ය ලියනගේගේ පැහැදිළි කිරීම්වලට අනුව, මෙම ජීවීන් සහ අනෙකුත් ඩොල්ෆින් විෂේශ තම ගමන් මාර්ගය පැහැදිළි කර ගැනීමට ඔවුන් නිපදවන විෂේශිත ධ්වනි තරංගවල පරාවර්තනය (Ecolocation) යොදා ගනී. එනම් වවුලන්ගේ ගමන් මඟ සොයාගැනීමේ රටාවම වේ. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා මෙතනින්.Archived

යම්කිසි හේතුවකින් මොවුන් තම නායකයාගේ වැරදි මඟ පෙන්වීම යටතේ, නොගැඹුරු මුහුද ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණි විට, ජලය ගැඹුර අඩු නිසා, ඔවුන්ගේ මෙම ශබ්ද තරංග පරාවර්තන ක්‍රියාවලිය නිවැරදිව ක්‍රියාත්මක නොවේ. ආචාර්‍ය උපුල් ලියනගේ ට අනුව, මෙය මෙම ජීවීන් අතරමං වීමට දෙවන හේතුවයි.

එමෙන්ම ඔහු තෙවන හේතුව ලෙස සඳහන් කළේ ඇතැම් පරපෝෂිතයින් විසින් ඇතිකරන ආක්‍රමණ (Parasite infection) හේතුවෙන් ඇතිවන අතුරු ඵල ලෙස මොවුන් මෙවැනි හැසිරීම් රටා සහ අතරමං වීම් පෙන්නුම් කරන බවයි.

මෙම සිදුවීමට පසුගිය දා සිදු වූ භූ කම්පනයේ බලපෑම

පෙර සඳහන් කළ පරිදි pilot whale ජීවීන්ගේ භූ චුම්භක ක්ෂේත්‍ර සඳහා පවතින සම්බන්ධතාව නිසා, එහි සිදුවූ යම් වෙනසක් මෙම ගොඩ ගැසීම්වලට හේතු විය හැකිය.

නමුත් මෑතදී සිදු වූ භූ කම්පන සමඟ භූ චුම්බක ක්ෂේත්‍රවල වෙනස්වීමක් වාර්තා වී නොමැති නිසා මේ සඳහා එහි බලපෑමක් පැවති බවට තහවුරු කළ නොහැකි බවට ආචාර්‍ය උපුල් ලියනගේ පැවසීය.

Pilot whales 14 දෙනාගෙන් කිහිපදෙනෙක් මිය යාමට හේතුව කුමක්ද?

ඩොල්ෆින් සහ තල්මස් වර්ගයේ ජලජ ජීවීන් පෘෂ්ඨවංශිකයින් ය. ඔවුන් ශ්වසනය සඳහා කරමල් වෙනුවට සාමාන්‍ය භෞමික පෘෂ්ඨවංශිකයින් මෙන්ම පෙනහළු යොදා ගනී.ඔවුන්ගේ ශ්වසනය පිළිබඳ වැඩිදුර අධ්‍යනයට තොරතුරු මෙතනින්.

මේ හීතුවෙන් Pilot whale හට ගොඩබිමට පැමිනීම හේතුවෙන් ශ්වසන අපහසුතා ඇතිවීමට අවකාශයක් නොමැත.

නමුත්, සාමාන්‍යයෙන් මෙවැනි සත්ත්වයින් ගොඩබිම ජීවත් වෙනවා වෙනුවට, ජලජ පරිසරයේ ජීවත් වීම සඳහා විෂේශ අනුවර්ථන දක්වයි. ඔවුන්ගේ මාංශපේශි භෞමික පරිසරයේ ජීවත්වීම සඳහා අනුවර්තන නොපෙන්වයි. ජලය තුළදී ඔවුන්ගේ අධික ශරීර බර සම්පූර්ණයෙන්ම ඔවුන්ට නොදැනේ. ඊට හේතුව ජලයේ උඩුකුරු තෙරපුම් බලයයි. නමුත් ගොඩබිමට පැමිනි විට ඔවුන්ට අභ්‍යන්තර අවයවවල බර සාමාන්‍ය තරමට වඩා විශාල ලෙස දැනේ. සිය අභ්‍යන්තර අවයවවල බර දරාගැනීමට ඇතිවන අපහසුතාවය ඔවුන්ගේ මරණයට හේතු විය හැක.

එමෙන්ම භෞමික උෂ්ණත්ව හා තෙතමන තත්ව වල වෙනස්කම් හේතුවෙන් ඔවුන්ගේ සම වියලීමට ලක්වී හෝ විජලනයට ලක්වීමෙන්ද ජීවිත අවදානම් ඇතිවිය හැක.

ආචාර්‍ය ලියනගේ  පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ, මීට ආසන්නතම හේතුව විය හැක්කේ අධික විඩාව (exhaust) බවයි. නමුත් මේ පිළිබදව තවමත් තහවුරු කරගෙන නොමැති අතර වැඩිදුර අධ්‍යන කටයුතු මෙහෙයවනු ඇති බව ඔහු  සඳහන් කළා

මෙවන් අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය සහ වනජීවී සං‍රක්ෂණ දෙපාර්ත්මේන්තුව මෙන්ම ආසන්නව ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ උපකාර සහිතව මෙම ජීවීන් සාගරය මැදට ගෙන යාම සිදු විය. මින් පෙර සිදුවූ ආසන්න සිදුවීම්වලදී ද මෙලෙසම වැඩි ජීවීන් ප්‍රමානයක් නිරුපද්‍රිතව මුහුදට ගෙන යාම සිදු විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සාගර සහ ජලජ ජීව විද්‍යාව පිළිබඳව ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය, ආචාර්‍ය චමරි දිසානායක අප කළ විමසීමකදී සඳහන් කළේ, මොවුන්ව හැකිතාක් ජලයේ ගැඹුරට ගෙනයාම උචිත බවයි. සාමාන්‍යයෙන් නාවික හමුදා බෝට්ටු යොදාගන, කඹවලින් මෙම ජීවීන් ගැටගසාගෙන, හැකිතාක් මුහුද තුළට ගෙන ගොස් දැමීම සාමාන්‍යයෙන් සිදු කරන බව ඇය පැවසුවා . එසේ නොකළහොත් නැවත මාර්ගය නිවැරදිව හඳුනා නොගෙන ගොඩබිම වෙත පිහිනා ඒමට අවදානමක් ඇතිබවද පැවසීය.

විදෙස් මාධ්‍ය සිදුවීම වාර්තා කර තිබූ අයුරු මෙතනින්. තවත් විදෙස් වාර්තාවක් මෙතනින්.

කෙසේ වෙතත් පසුගියදා දරුණු භූ කම්පනය සිදුවූ තුර්කියට සහ සිරියාවට ආසන්න රටක්වූ සයිප්‍රසයට ද පසුගියදා තල්මසුන් පැමිණීමක් සිදුව තිබූ අතර එහි රජයේ ධීවර සහ නාවික කටයුතු දෙපාර්තමේන්තුවේ සේවය කරන මෙම ක්ෂේත්‍රයේ විද්වතෙක් වන Yiannis Ioannou මාධ්‍යයට පවසා තිබුණේ භූ කම්පනයෙන් හටගත් තරංග විසින් තල්මසුන් ගමන් මග සොයා ගැනීමට භාවිතා කරන Echolocation ක්‍රමවේදයට බලපෑම් ඇතිකිරීම නිසා ඔවුන් මේ ආකාරයට වෙරළට ගසාගෙන පැමිණ ඇති බවක් නිරීක්ෂණය වන බවයි. ඒ සම්බන්ධ වන වාර්තාවකට පිවිසිය හැකියි මෙතනින්. Archived

කෙසේ වෙතත් ලංකාවේ කල්පිටිය වෙරළ තීරයට තල්මසුන් පැමිණීම සහ භූ කම්පන අතර කිසියම් හෝ සම්බන්ධතාවයක් ඇත යන කාරණය තහවුරු කරගැනීම සදහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පැහැදිලියි .

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කල්පිටිය වෙරළට තල්මසුන් පැමිණියේ ඇති වූ භූමිකම්පාවල ප්‍රතිඵලයක් ලෙසද?

By: Factcrescendo Team

Result: Explainer

Tags:    

Similar News