ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 75 ක් උග්‍ර ආහාර අනාරක්ෂිත බවකින් පෙළෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවකින් පවසා නැහැ!

Update: 2023-06-15 08:24 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 75 ක් පමණ උග්‍ර ආහාර අනාරක්ෂිත බවකින් (acute food insecurity) පෙළෙන බවට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මගින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බව පසුගිය දින කිහිපය තුළ ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ ජාලා මගින්ද වාර්තා කර තිබුණා. ඒ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ එක්තරා මහාචාර්යවරයෙක් විසින් සිදුකරන ලද ප්‍රකාශයක් උපුටා දක්වමින්.

සැබවින්ම එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මගින් මෙවන් සමීක්ෂණයක් සිදු කර ඇතිද ? එහි සත්‍ය කරුණු මොනවාද ? මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක්.

මාධ්‍ය වාර්තා සහ සමාජ ජාලා සටහන් 

ලංකාදීප පුවත්පත පසුගිය සඳුදා (ජුනි 12) ,සිය මුල් පිටුවේ ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබුණේ, ලංකාවේ ජනතාවගෙන් ලක්ෂ 75 ක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකින් පෙළෙන බවට සමීක්ෂණයකින් හෙළි වී ඇති බවක්. 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල විසින් සිදු කරන ලද ප්‍රකාශයක් ඉහත පුවත් වාර්තා සඳහා මුල් වූ අතර එම පුවත ‘සිරස’ පුවත් මගින්ද පළකර තිබුණේ මෙලෙසින්. 

Full View

Facebook | Archived

මීට අමතර මහාචාර්යවරයා ලංකාවේ ආහාර අර්බුදකාරී තත්වය පිළිබඳව තවත් කරුණු කිහිපයක් ද ගෙනහැර දක්වන අතර ඒ ඔස්සේ නිර්මාණය වී තිබු සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් පහතින්.

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා. 

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) 

අප මුලින්ම විමසා බැලුවේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය(FAO) මගින් මෙවන් සමීක්ෂණයක් ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය සම්බන්ධයෙන් මෑත කාලයේදී සිදු කර ඇතිද යන කරුණයි.

එහිදී අපට දැකගන්නට ලැබුණේ ආහාර අනාරක්ෂිතබව බව සම්බන්ධයෙන් පසුගිය වසරක පමණ කාලයේදී ඔවුන් සිදු කර ඇත්තේ සමීක්ෂණ දෙකක් පමණක් බවයි. ඒ ලෝක ආහාර වැඩසටහන(WFP) සමග ඒකාබද්ධව 2022 වසරේ මැදභාගයේ සිදුකරන ලද සමීක්ෂණය සහ 2023, එනම් මෙම වසරේ මැද භාගයේ සිදුකරන ලද සමීක්ෂණයක්. මෙම සමීක්ෂණ දෙකම හැදින්වෙන්නේ Crop and Food Security Assesment Mission (CFSAM) නමින්. 

2022 සහ 2023 දී සමීක්ෂණ සිදුකර ඒ ඔස්සේ සිය සොයා ගැනීම් සහ නිර්දේශ ඔවුන් වෙන වෙනම වාර්තා දෙකකින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ 2022 වාර්තාව එම වසරේ මැයි මාසයේ සහ මෙම වසරේ වාර්තාව පසුගිය මැයි මාසයේදීයි. මෙම සමීක්ෂණ සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සිදු කරන ලද ඉල්ලීමක් අනුවයි.

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ විදෙස් නියෝජිතයන්ගෙන්, ලෝක ආහාර සංවිධානයේ විදෙස් නියෝජිතයන්ගෙන්, දේශීය සම්බන්ධිකාරක පිරිස්, USAID සංවිධානයේ නියෝජිතයන්, කෘෂිකර්ම අමාත්‍යංශයේ පීරිස් වලින් සමන්විත කණ්ඩායමක් මගින් 2023 වසරේ පෙබරවාරි සහ මාර්තු මාස වල රජයේ ආහාර සුරක්ෂිතතාවය හා සම්බන්ධ රාජ්‍ය ,පුද්ගලික ආයතන ,රාජ්‍ය නොවන සංවිධාන ආදිය සමග පුළුල් සංවාදයක් පවත්වා තිබුණා. එහිදී අවධානය යොමුව තිබුණේ ආහාර සුරක්ෂිතතාවය සහ බෝග සුරක්ෂිතතාවය යන කරුණු කෙරෙහියි. එම සාකච්චාවන්ට සමගාමිව දිවයිනේ පළාත් 9 ම සහ දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන පරිදි ආහාර සුරක්ෂිතතාවය සමබන්ධ සමීක්ෂණයක් පවත්වා තිබුණා. ඒ පවුල් ඒකක 15,035ක් ආවරණය වන පරිදියි. එහි අවසාන වාර්තාව මැයි මස 29 වනදා අමාත්‍ය මහින්ද අමරවිරට බාරදුන් අතර එහිදී මෙම වාර්තාව මහජනතාවගේ දැනගැනීම සදහාද ප්‍රසිද්ධ කිරීම සිදුවුණා. ඒ සම්බන්ධයෙන් වන පුවත් වාර්තාවක් කියවිය හැකියි මෙතනින්.

මෙම වාර්තාව අමාත්‍යවරයාට ලබාදීමට හා සමගම   එහි ඇති කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ,ලෝක ආහාර වැඩසටහන සමග ඒකාබද්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි ඇති කරුණු කිහිපයක් කෙරෙහි දැන් අවධානය යොමු කරමු. 

මැයි 29 නිකුත්කරන ලද මාධ්‍ය නිවේදනය, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් නැවත වරක්  ජුනි 12 වනදා නිකුත් කර තිබු අතර සිංහල සම්පුර්ණ නිවේදනය මෙතනින්. මෙම මාධ්‍ය නිවේදනය ඉංග්‍රීසි බසින් කියවිය හැකියි මෙතනින්

මෙම වාර්තාව අප විසින්ද පරිශීලනය කර අතර එහි දැක්වෙන්නේ ඔවුන් විසින් සිදුකරන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාවේ සියලුම පළාත් තුළ ආහාර අනාරක්ෂිතතාවය අඩුවෙමින් පවතින බවයි.

ආහාර අනාරක්ෂිතභාවය අඩුවීමට හේතු ලෙස යහපත් ආහාර පරිභෝජනය , ආහාර මිල යම්තාක් අඩුවීම (2022 මැයි වලට සාපේක්ෂව) ආදී හේතු සාධක දක්වා තිබෙනවා.

එමෙන්ම මෙහිදී ආහාර අනාරක්ෂිතතාවය පිලිබදව පැහැදිලි කිරීම සදහා භාවිතාකර ඇති තාක්ෂණික වචන පිලිබදව අවධානය යොමු කිරීම වැදගත් .

  1. මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවය (Moderate Acute Food Insecurity)

මෙමගින් අදහස් වන්නේ

*පුද්ගලයාට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සදහා අවශ්‍ය මුදල් සහ සම්පත් නොමැත.

*ආහාර ලබාගැනීම පිලිබදව ඇත්තේ අවිනිශ්චිත බවකි.

*සමහරවිට ආහාර වේල් අතපසුකිරීම/මගහැරීම සිදු කරයි.

  1. දැඩි ආහාර අනාරක්ෂිතතාවය (Severe Acute Food Insecurity)

මෙමගින් අදහස් වන්නේ ,

*පුද්ගලයාට අනුභවය සදහා ආහාර නොමැතිව යයි.

*වසරේ සමහර දිනවල සම්පුර්ණයෙන්ම ආහාර නොමැතිව මුළු දිනයම ගත කිරීමට සිදුවේ .

මේ සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අර්ථ දැක්වීම්  කියවිය හැකියි මෙතනින්. Archived

2023 වසරේ මැයි නිකුත්කළ වාර්තාවට අනුව මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් (Moderate Acute Food Insecurity) පිඩා විදින ජනතාව ,මුළු ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස 17% කි. එනම් මිලියන 3. 9 ක් හෙවත් ලක්ෂ 39 කි. එය 2022 ,එනම් පසුගිය වසරේ මැයි මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිටි අවධියේ තිබුණු 28 % ක් සහ ජනගහනයේ ප්‍රමාණයක් ලෙස මිලියන 6.2ක් , එනම් ලක්ෂ 62ක් ජනතාව මෙම මධස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිත බවින් පෙළුණු කාලයට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස 11% ක සහ ප්‍රාමාණික ලෙස මිලියන 2. 9 ක් හෙවත් ලක්ෂ 29 ක අඩු වීමකි.

එමෙන්ම 2023 වසරේ මැයි නිකුත්කළ වාර්තාවට අනුව දැඩි ආහාර හිගයෙන් (Severe Acute Food Insecurity ) පෙළෙන සංඛ්‍යාව 10,000 කි. කෙසේ වෙතත් 2022 මැයි නිකුත්කළ වාර්තාවට අනුව එහි අගය දැක්වුණේ 66,000 ක් ලෙසයි. එනම් Severe Acute Food Insecurity තත්ත්වයෙන් පිඩා විදින පිරිස පසුගිය වසරට වඩා 56,000 කින් පමණ මේ වන විට අඩුව ඇත.

වර්තමාන ආහාර සුරක්ෂිතතාවයේ මට්ටම, 2022 මැයි මාසයට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කළද, බොහෝ ගෘහ ඒකක තුළ ජීවනෝපාය ක්‍රම තුළින් ආහාර අර්බුදයට මුහුණ දීමේ උපාය මාර්ග (livelihood coping strategies) අනුගමනය කරන බැවින් නිවෙස් ඒකක තුළ ආහාර අනාර්ක්ෂිතතාවයට ඔරොත්තු දීමේ හැකියාව සහ අනාගත ඵලදායිතාව දිගටම පිරිහෙමින් පවතින බව ද මෙම වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම මෙම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2021 ,2022 කාලය තුළ අධික වර්ධන වේගයක් පෙන්වූ ආහාර උද්ධමනය ,2022 වසරේ ඔක්තෝබර් සිට කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරන බවයි. ඒ අනුව 2021 වසරේ ඔක්තෝබර මාසයේ ආහාර උද්ධමනය 69. 8% ලෙස පැවති අතර 2022 සැප්තැම්බර් විට එය 94. 9% ක් වැනි ඉහළ අගයක් වෙත ගොස් 2023 මාර්තු  වන විට එය 40% කටත් වඩා අඩු අගයක් ගෙන තිබුණා. එම ප්‍රස්තාරය පහතින්.

එමෙන්ම මෙම වාර්තාව මගින් ලංකාවේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන්ද අදහස් දැක්වීමක් සිදුකර ඇති අතර එහි දැක්වෙන්නේ පොහොර හිගය නිසා පසුගිය වකවානුවේ ඇතිවූ ගැටළුකාරී තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ ලැබිය හැකි ධාන්‍ය අස්වැන්න යම් අඩුවීමක් අපේක්ෂා කරන බවයි. යල සහ මහ කන්නයන්හි වගා කටයුතු සඳහා නිර්දේශ කිහිපයක් ද මෙම වාර්තාවේ ඉදිරිපත් කර තිබුණා.

එසේම කෘෂිකාර්මාන්තයේ නියැලෙන ජනතාව අතර ආහාර සුරක්ෂිතතාවයේ දක්නට ලැබුණු සැලකිය යුතු වැඩිදියුණු වීම, අනෙකුත් ජන කොටස් අතර ඒ තරමින්ම දැක දන්නට ලැබෙන්නේ නැති බව ද වාර්තාවේ සඳහන්.

එමෙන්ම මහාචාර්යවරයා පවසන තවත් කාරණයක් වන්නේ මෙම වාර්තාවට අනුව බොහොමයක් පළාත්වල ආහාර අනාරක්ෂිතතාවය 85% ක් පමණ වන බවයි. ‘සිරස’ සහ ‘ලංකාදීප’ වාර්තා කර ඇත්තේ බස්නාහිර , මධ්‍යම සහ ඌව පලාත්වල ආහාර අනාරක්ෂිතතාවය වැඩිම අගයක් ගන්නා බවයි. කෙසේ වෙතත් 2023 මැයි වාර්තාවේ සත්‍ය වශයෙන් අන්තර්ගත කරුණු ඊට වඩා වෙනස්. පහතින් දැක්වෙන්නේ 2022 සහ 2023 වසරවල ලංකාවේ විවිධ පළාත්වල ආහාර අනාරක්ෂිතතාවයන්ගේ ප්‍රතිශතයන්.

ඒ අනුව පැහැදිලි වන කාරණය නම් ලංකාවේ වැඩිම ආහාර අනාරක්ෂිතතා ප්‍රතිශතය 2023 වසරේදී  ඇත්තේ පළාත් වශයෙන් ගත්කල උතුරු පළාතේ බවයි. එය 28% ක් . දෙවැනියට වැඩිම ආහාර අනාරක්ෂිතතාවය ඇත්තේ නැගෙනහිර පළාතේයි. එය 23% ක්. දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත් තුළ 19% ක ආහාර අනාරක්ෂිත බවක් දක්වනවා. බස්නාහිර පළාතේ ආහාර අනාරක්ෂිත බව 13 % ක් පමණයි. එමෙන්ම 85% ක ආහාර අනාරක්ෂිත බවක් කිසිම පලාතක ඇති බවක් මෙම වාර්තාවේ සදහන් වන්නේ නැහැ.

එමෙන්ම සෑම පළාතකම ආහාර අනාරක්ෂිත බව ගිය වසරට වඩා සැලකිය යුතු ලෙස මෙම වසරේදී අඩුව ඇති බව මෙම ප්‍රස්ථාරය මගින් මනාව පැහැදිලි වෙන අතර වතු ජනතාව අතරතුර පසුගිය වසරේ මෙන්ම මේ වසරේ ද ඉහළ ආහාර ආනරක්ෂිතභාවයක් පෙන්නුම් කෙරෙනවා.

කෙසේ වෙතත් මෙම වාර්තාවෙන් ද පෙන්වා දෙන්නේ, 2022 වසරේ අගයන්ට සාපේක්ෂව 2023 වසරේ වාර්තාව ඉදිරිපත් කළ අවධියේ දී ආහාර සුර්ක්ෂිතතාවේ යම් වර්ධනයක් පෙන්නුම් කළද, ලංකාවේ ආහාර පරිභෝජනය සහ සුක්ෂිතතාවය තවමත් පවතින්නේ, මෙරට ආර්ථික අර්බුදය ආරම්භවීමට පෙර පැවති තත්ත්වයට වඩා සැලකිය යුතු ලෙස අඩු මට්ටමක බවයි.

2023 මැයි මස පළකරන ලද Crop and Food Security Assesment Mission (CFSAM) වාර්තාව ඔබටත් බාගත කරගෙන කියවිය හැකියි මෙතනින්.

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ඉහත දත්ත සැපයු වාර්තාවේ ඇස්තමේන්තු පදනම් වී ඇත්තේ, ලෝක ආහාර සංවිධානයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දර්ශක වාර්තා කිරීමේ (CARI) ක්‍රමවේදය (WFP, 2015) සඳහා වූ ක්‍රමවේදයක් භාවිතා කරමින් WFP හි සම්මත ආයතනික සම්මතන් මතයි. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්

මෙම කරුණු පිලිබදව අප එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයෙන්ද විමසීමක් කල අතර ඔවුන් තහවුරු කර සිටියේ තමන් විසින්(ලෝක ආහාර වැඩසටහන සමග එක්ව ) 2023 වසරේදී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය පිලිබදව සිදුකල එකම සමික්ෂණයේ දත්ත CFSAM වාර්තාව මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව ලංකාවේ Acute Moderate Food Insecurity හෙවත් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතත්වයෙන් පෙළෙන සංඛ්‍යාව මිලියන 3.9 ක් හෙවත් ලක්ෂ 39 ක් වන බවයි. එමෙන්ම Acute Severe Food Insecurity හෙවත් දැඩි ආහාර අනාරක්ෂිතත්වයෙන් පෙළෙන සංඛ්‍යාව 10,000 ක් බවයි.මෙම අගයන් දෙකම පසුගිය 2022 වසරට සාපේක්ෂව සැලකිය යුතු අඩුවීමක් බව පෙන්වාදුන් ඔවුන් වැඩිදුරටත් පැවසුවේ ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන ජනතාව මේ වන විට ලක්ෂ 75 ක් බව තම සංවිධානය මගින් සිදුකල සමීක්ෂණයකින් හෙළිවූ බව පවසමින් ප්‍රචාරය වන මාධ්‍ය වාර්තා අසත්‍ය සහ නොමගයවන සුලු බවයි.

මහාචාර්යවරයා සදහන් කරන තවත් කාරණයක් වන්නේ ආහාර සුරක්ෂිතතා දර්ශකයේ ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ 79 වන ස්ථානයේ බවයි. එමෙන්ම එම දර්ශකයට අනුව ආසියානු පැසිපික් කලාපයේ ආහාර අනාරක්ෂිතතාව සලකා බැලු විට ලංකාවට වඩා අයහපත් මට්ටමක පසුවන්නේ රටවල් 3 ක් පමණක් බවත් ඔහු පවසනවා. අප මේ පිළිබදවද සොයා බැලුවා. ආහාර සුරක්ෂිතතාවය පිලිබදව ගෝලීය දර්ශක ගණනාවක් පවතින අතර ඔහු පවසන දත්ත හා සමපාත වන්නේ Global Food Security Index දර්ශකයේ ඇති දත්තයි. Economist Impact නම් සංවිධානයක් මගින් මෙම වාර්තාව ප්‍රකාශයට පත් කෙරෙනවා. 2023 වසර සදහා මෙම වාර්තාව මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ. 2022 වසරේ මෙම වාර්තාව ප්‍රකාශය පත්කර ඇත්තේ 2022 සැප්තම්බර් මාසයේදීයි. 2022 සැප්තැම්බර් යනු ලංකාව ආහාර උද්ධමනය අතින් ඉතාමත්ම ඉහල තත්ත්වයක් පසුවුණු අවස්ථාවක්. නමුත් 2022 ඔක්තෝබරයේ සිට එම තත්ත්වය වෙනස්ව ආහාර උද්ධමනය අඩුවුණු බව CFSAM වාර්තාවේද පැහැදිලිව සදහන්. එම නිසා 2023 වසරේ මේ වන විට රටේ පවතින ආහාර සුරක්ෂිතතාවය පිලිබදව 2022 සැප්තැම්බර් මාසයේ පළකරන ලද එම වාර්තාව යොදාගැනීම උචිත නොවන බව ඉතාම පැහැදිලි කාරණයක්. Global Food Security Index වාර්තාව ,ඔබටත් බාගත හැකියි මෙතනින්.

එසේම ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් ලෝක ආහාර වැඩසටහන සඳහා වූ සහයෝගීතා ලේකම් කාර්යාලයේ (PSWFPC) අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වන ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පෙන්වා දී තිබු කරුණු දැක්වීම මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදුකරන ලද කරුණු විමසීමේදී පැහැදිලි වන කාරණය වන්නේ ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 75 ක් උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මගින් සිදුකරන ලද සමික්ෂනයකදී හෙළිවූ බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය සහ නොමගයවන සුලු ඒවා වන බවයි.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ,ලෝක ආහාර වැඩසටහන සමග ඒකාබද්ධව මෑතකදී(2023 මාර්තු) ඔවුන් විසින් ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය පිලිබදව සිදුකරන ලද එකම සමීක්ෂණයේදී හෙළිව ඇත්තේ, මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන සංඛ්‍යාව ජනගණය මිලියන 3. 9 හෙවත් ලක්ෂ 39 ක් බවයි. එයට වඩා අවදානම් සහගත දැඩි උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන සංඛ්‍යාව 10,000 ක් පමණ බවයි. කෙසේ නමුත් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන සංඛ්‍යාව ,මීට වසරකට පෙර එනම් 2022 වසරේ ,ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කටයුතු කල කාලයට වඩා ලක්ෂ 23 කින් අඩුව ඇති අතර ,දැඩි ආහාර අනාරක්ෂිත තාවයෙන් පෙළෙන පිරිස 2022 වසරට වඩා 56,000 කින් අඩුව ඇත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 75 ක් උග්‍ර ආහාර අනාරක්ෂිත බවකින් පෙළෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවකින් පවසා නැහැ!

Written By: Fact Crescendo Team

Result: Misleading

Similar News