දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

Update: 2023-07-01 08:50 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඒ ඔස්සේ බැංකු ගිණුම්වලට, සේවක අර්ථසාධක අරමුදලට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව පුළුල් කතාබහක් පසුගිය දින කිහිපයේ ඇති වී තිබෙනවා. මේ පිළිබඳ ව නිසියාකාර කරුණු අවබෝධයකින් තොර වීම හේතුකොට ගෙන සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු සටහන් කිහිපයක් පළ වූ අතර දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වර්තමානයේ පවතින තත්ත්වය සහ තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් කරමින් Fact crescendo අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් කිහිපයක් පහතින්.

Facebook | Archived Link

Facebook | Archived Link

Update:මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මැදිහත්වීම සහ ඒ සම්බන්ධ කොන්දේසි ආදිය කුමන්ත්‍රණයක් ලෙස දැක්වෙන සමාජ ජාලා සටහන් හුවමාරුවී තිබුණේ මෙලෙසින්.එමෙන්ම EPF/ETF ගිණුම් 50% ක් පමණ මේ හේතුවෙන් අහිමිවනු ඇති බවට අදහස් සමාජ ජාලා හරහා පළව තිබුණේ මෙලෙසින්.

Full View

Facebook | Archived

මේ ආකාරයේ සමාජ මාධ්‍ය සටහන් රැසක් හුවමාරු වී තිබු අතර ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් රැසක් ද විවිධ පාර්ශව විසින් සිදුකර තිබුණා. 

Explainer (කරුණු පැහැදිලි කිරීම):

රජය සහ මහ බැංකුව විසින් ගෙන ඇති තීරණයක් වන දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමේ ක්‍රියාවලිය සහ එම ක්‍රියාවලිය සඳහා අදින් ඇරඹුණු දින 05ක බැංකු නිවාඩුව සමගින් මේ පිළිබඳව අවධානය යොමු කරමින් ජනතාව නොයෙකුත් කරුණු ඔස්සේ බියකින් පසුවනවා. ඒ තමන්ගේ බැංකු තැන්පතුවලට හෝ සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිඅරමුදල ඇතුළු superannuation අරමුදල් සඳහා මෙම ක්‍රියාවලිය හරහා බලපෑමක් සිදුවනවා ද යන්නයි. මේ හේතුවෙන් මේ පිළිබඳ පවතින තත්ත්වය හමුවේ ඇති තොරතුරු ඇතුළත් පැහැදිලි කිරීමක් පහතින්.

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය යනු ?

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා

රජයන් විසින් සිය අයවැය හිඟය පියවා ගැනීම සඳහා විදේශීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන්ද ණය ලබාගැනීම් සිදුකරනවා. එවැනි දේශීය ණය ලබා දීමේදී ද ණය වාරිකය, පොලී අනුපාතය, ගෙවන කාලය යන කරුණු සම්බන්ධයෙන් කොන්දේසි පවතියි. එම ණය කොන්දේසි ව්‍යුහය යළි වෙනසකට ලක් කෙරෙන්නේ නම් එය ප්‍රතිව්‍යුගතකරණය යනුවෙන් හැඳින්වෙයි

ණය ගෙවීම් පරණත වීමේ කාලය දීර්ඝ කර ගැනීම එසේ කළ විට ණය ගෙවීම දිගු කාලයකට තුනී කර ගැනීමට හැකි වීම, පොලී අනුපාත වෙනස් කිරීම හෝ අඩු කිරීම, ණය වටිනාකමින් කොටසක් කපා හැරීම (හෙයා කට්) යන ක්‍රම සිදුවිය හැකිය.

නමුත් වර්තමානය වන විට දී දේශිය ණය ප්‍රතිව්‍යූගතකරණය වෙනුවට දේශිය ණය ප්‍රශස්තකරණය ලෙස භාවිත කරනු ලැබේ. දේශිය ණය ප්‍රශස්තකරණය යනු දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට කිසියම් ප්‍රමාණයක නම්‍යශීලිතාවයක් ඇතුළත් කර තිබීමයි.

දේශිය ණය වශයෙන් අදහස් කරන්නේ ප්‍රධාන වශයෙන් භාණ්ඩාගාර සුරැකුම්පත් Treasury bills සහ Treasury bonds වර්ග දෙක වේ. Treasury bills අවුරුද්දකට වඩා අඩු පරිණත කාලයක් තියෙන ණය උපකරණයක් වන අතර Treasury bonds යනු අවුරුද්දකට වඩා වැඩි දිගු කාලීනව තියෙන ණය උපකරණ වේ. මූලික වශයෙන් භාණ්ඩාගාරයේ ඇති මෙම ණය උපකරණ වර්ග දෙක විකිණීමෙන් ආණ්ඩුව ණය සපයාගනු ගනු ලබයි.

ණය(Treasury bills/ Treasury bonds) ලබා දී ඇති අය අතර මහ බැංකුව, වානිජ බැංකු, අනෙකුත් මූල්‍ය ආයතන, විශ්‍රාමික අරමුදල සහ වෙනත් ආයතන මෙන් ම, පුද්ගලයන් මෙන් ම විදේශිකයන් ද සිටී. මෙහිදී ණය ප්‍රශස්තකරණයෙන් කරනු ලබන්නේ, පරිණත වීමේ කාලය දික් කිරීම සහ ලබා ගන්නා ණයේ වටිනාකමෙන් යම් ප්‍රතිශතයක් කපා දැමීමයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පෙන්වා දෙන්නේ, ගන්නා ණයේ වටිනාකමෙන් යම් ප්‍රතිශතයක් කපා දැමීම (හෙයා කට් ක්‍රමය) දේශිය ණය ප්‍රශස්තකරණයට ඇතුළත් වී නොමැති බවයි.

මෙහිදී සිදු කරනු ලබන්නේ, පරිණත වීමේ කාලය දික් කිරීම පමණක් බවත්, එහිදී පළවෙනි කරුණ වන්නේ, මහ බැංකුව විසින් ආණ්ඩුවට ලබා දෙන ණය, මහ බැංකුවේ ඇති (දිගු කාලීන ණය) භාණ්ඩාගාර බැඳුම්කර පරිණත වීමේ කාලය දීර්ඝ කිරීම මෙමගින් සිදු වේ. එනම් දැනට ඇති භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවට ඒවා දිගු කාලීනව ඇති භාණ්ඩාගාර බැඳුම්කර ආදේශ කිරීම මෙමගින් සිදු වේ.

මෙම තෝරා ගැනීම ඉහත සඳහන් කර ඇති අනෙකුත් ආයතන වලට මෙන් ම බැංකුවලට ද, මෙම තෝරා ගැනීම ලබා දී ඇති අතර ඔවුන්ගේ මූල්‍ය ප්‍රවාහයේ ඉදිරිකාලය අවබෝධ කර ගනිමින් තමන්ගේ හැකියාවන් අනුව දේශිය ණය ප්‍රශස්තකරණයට සහභාගි විය හැක.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හේතුව කුමක් ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

2022 වර්ෂය අවසාන වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය (දේශීය හා විදේශීය) ඩොලර් බිලියන 83.7කි. 2022 වර්ෂයේ අවසන් වන විට සමස්ත විදෙස් ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 41.5කි. ඒ වන විට සමස්ත දේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 42.1කි. මෙම ණය ප්‍රමාණයෙන් බිලියන 19.8ක් පුතිව්‍යුගතකරණය කෙරෙනු ඇත.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව පවත්වාගෙන ගියහොත් 2035 වන විට ද රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 100%කටත් වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විදේශීය ණය හිමියන් මේ වන විටත් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟත්වය පළ කර ඇති බව සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය අතර දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කළ යුතුව ඇති බව ද, වික්‍රමසිංහ මහතා පවසනවා.

බාහිර ණය හිමියන් වශයෙන් විදෙස් ණය හිමියන් විශාල බරක් දරණ අතර, ඉදිරි වසර 05 තුළදී පමණක් විදේශ ණයකරුවන්ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 17ක දායකත්වයක් ලබා ගැනීමට නියමිත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ අනුව අපේ දේශීය ණයකරුවන්ගෙන් ද ඊට දායකත්වයක් ලබා දිය යුතු බව ද, තහවුරු කරනවා.

රටේ ආර්ථික ප්‍රකෘතිය ඇතිවීම, පොලී අනුපාතය අඩු වීම, රජයට පහසුවෙන් සහනාධාර මුදල් සැපයීමට හැකි වීම, ඊළග වසර 10 තුළ දේශීය හා විදේශීය වශයෙන් ණය බර අඩු වී එමඟින් ලැබෙන යහපත් ප්‍රතිඵල රටේ මහජනතාවට මෙමගින් හිමිවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. මේ සම්බන්ධ ජනාධිපති අංශයේ මාධ්‍ය නිවේදනය මෙතනින්.

ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු

රුපියල අවප්‍රමාණය වීමත් සමඟ දේශිය හා විදේශිය ණයවල අගය ඉතා වේගයෙන් වෙනස් වෙනවා. මහ බැංකුව පසුගිය මාර්තු මාසයේ ඉදිරිපත් කළ දත්තවලට අනුව දළ වශයෙන් ගත් විට දේශිය ණය හා විදේශිය ණය 50:50ක් පමණ වෙනවා. භාණ්ඩාගාර බිල් පත් මඟින් ගත් රුපියල් ණය ප්‍රමාණය ට්‍රිලියන 4.1ක් පමණ වෙනවා.

භාණ්ඩාගාර බැඳුම්කරවල රුපියල් ණය ප්‍රමාණය ට්‍රිලියන 8යි. තවත් අමෙරිකානු ඩොලර් බිලියනයක් අනෙකුත් දේශීය ණය හිමියන්ගෙන් ගෙන තිබෙනවා. මේ සියල්ලගේම එකතුව විදියට අමෙරිකානු ඩොලර් බිලියන 36ක දේශීය ණය රජය ගෙන තිබෙනවා.

ඒ වගේම රටවල් අතර ගත් ද්විපාර්ශ්වික ණය ලෙස අමෙරිකාව, චීනය ආදී රටවලින් අමෙරිකානු ඩොලර් බිලියන 10.6ක්, ස්වෛරීත්ව බැඳුම්කරවල බිලියන 20ක් හා ස්වැප් පහසුකම යටතේ බිලියන දෙකක් ගෙන තිබෙනවා. එයට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් හා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 11.5ක ණය ගෙන තිබෙනවා. මේ ආකාරයට අපේ සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වෙනවා.

වෙන විකල්ප ඇති නමුත් මේ ප්‍රශ්නය දිහා බලද්දි අපේ ණය සංයුතිය ගැනත් සැලකිය යුතුයි. ප්‍රතිව්‍යුහගත කිරීමකදි හැම කෙනාම වගේ ඉවත් වෙන්න හදනවා. එහෙම කරන්න බැරිව එකතු වෙන්න සිදු වුණොත් පුළුවන් තරම් පිරිසක් එකතු කර ගන්න බලනවා. එහෙම කළොත් ණය කපා හැරීම බෙදිලා යනවා. දැන් උදා වෙලා තියෙන්නෙ ඒ වගේ අවස්ථාවක්.

ණය බර වැඩි වෙලා ණය ගැතියා නැත්තටම නැති වෙලා යනවට කිසිම ණය හිමියෙක් කැමැති වෙන්නෙ නැහැ. එහෙම වුණොත් දීපු ණයත් ගන්න බැරි වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉහළට ගැනීම ගැන ණය හිමියොත් උනන්දුයි. මේ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවක් මෙතනින්.

දේශිය ණය ප්‍රශස්තකරණය පුද්ගලික තැන්පතුවලට බලපානවාද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට හෝ කිසිඳු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට බලපෑමක් එල්ල නොවේ. රටේ මිලියන 50කට අධික බැංකු තැන්පත්කරුවන්ගේ කිසිඳු තැන්පතුවකට ද මෙහි බලපෑමක් නොමැති බවත්, දැනට ගෙවනු ලබන බැංකු තැන්පතු සඳහා වන කිසිඳු පොලියකට බලපෑමක් එල්ල නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කරනවා.

මහජනතාවගේ බැංකු තැන්පතු ආරක්ෂා කිරීමේ මූලික අරමුණ ඇතිව මෙම යෝජනාව සකස් කර තිබෙන අතර, මහබැංකු නියාමනය යටතේ පවත්වාගෙන යන සියලු බැංකුවල බැංකු තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම ප්‍රධාන වගකීමක් බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අනුව බැංකු තැන්පත්කරුවන්ට කිසිඳු හානියක් නොවන අතර බැංකු පද්ධතිය කඩා වැටීමකට ලක් නොවන බවත් එමඟින් සිදු වන්නේ ආර්ථිකය යළි නඟා සිටුවිය හැකි ප්‍රතිව්‍යුහගත කිරීමකට මග සෑදීම පමණක් බවද ජනාධිපති සඳහන් කළා.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති

ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුව වශයෙන් සහතික කර පැවසීමට හැක්කේ, දේශීය ණය ප්‍රශස්තිකරණය වැඩපිළිවෙළ යටතේ යෝජනා කර ඇති පරිදි දේශිය බැංකු සහ බැංකු නොවන තැන්පත් ලබා ගන්නා ආයතනවල ඇති තැන්පත් වල තැන්පත් මුදල් හෝ පොළී මුදල කිසිම අඩුවක් නොවන පරිදි එයට හානි නොවන පරිදි කටයුතු කරන බවට දේශිය ණය ප්‍රශස්තිකරණය වැඩපිළිවෙළ තුළින් යෝජනා කර ඇති බවයි. මහ බැංකුව වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ මහජනතාවගේ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වල තැන්පතු වලට දේශීය ණය ප්‍රශස්තිකරණය යෝජනාව තුළින් ඔවුන්ගේ තැන්පතු කිසිදු ආකාරයට අඩු වීමකට හේතුවක් නොමැති බවත්, ලැබෙන පොලිය කිසිදු අයුරකින් වෙනසක් සිදු නොවන බවත් එයට කිසිදු හේතුවක් ද නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙනවා.

මෙහිදී දේශිය ණය ප්‍රශස්තිකරණය කිරීමේදී බැංකු පද්ධතියේ ස්ථායිතාවය සහ ජනතාවගේ බැංකුවල තැන්පත් කර ඇති ජනතාවගේ මුදල් සුරක්ෂිතතාවය ගැන මහ බැංකුව විශේෂයෙන් දැඩි අවධානයක් යොමු කරමින් යෝජනා සාකච්ඡා කළ බවත්, එය සහතිකවන බවත් බැංකු වල පවතින දේශීය තැන්පත් වලට, තැන්පත් කරුවන් ට කිසිදු හානියක් නොවනවා කියන සහතිකය දීමට අවශ්‍ය බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති වැඩි දුරටත් සඳහන් කළේ මෙලෙසින්.

ලංකා බැංකු සේවක සංගමය

ණය ප්‍රශස්තකරණයේදී බැංකු ගනුදෙනු වලට හෝ බැංකු තැන්පතුකරුවන්ට කිසිදු හානියක් සිදු නොවන බවත්, බැංකු තැන්පතු කරුවන් කලබල විය යුතු නැති බවත්, ඔවුන් පෙන්වා දෙනවා. එමෙන් ම ආණ්ඩුව විසින් ණය ප්‍රශස්තකරණය කරන ක්‍රමය පිළිබඳව මෙතෙක් හෙළි නොකිරීම සම්බන්ධයෙන් ද, ඔවුන් ප්‍රශ්න කරනවා. ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස් මෙතනින්.

ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු

එසේ වීමට නොහැකි. ස්ථාවර තැන්පතුවල නිශ්චිත එකඟ වූ කාලයක් හා පොලී අනුපාතයක් ඇති අතර ඒ පොලිය අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් එයට බලපෑමක් සිදු නොවන බව ත්, ඔහු සඳහන් කරනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණයෙන් විශ්‍රාමිකයන්ගේ අරමුදලට බලපෑමක් වනවා ද?

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා

විශ්‍රාමිකයෙකුට ලැබෙන අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභය සහ අර්ථසාධක අරමුදල යනු කාරණා දෙකකි. අර්ථසාධක අරමුදලට ණය ප්‍රශස්තකරණයේ බලපෑම විය හැකිය. අර්ථසාධක අරමුදලත් ප්‍රධාන වශයෙන් භාණ්ඩාගාර බැඳුම්කරවල, භාණ්ඩාගාර බිල්පත් වන මුදල් ආයෝජනය කර ඇති අතර එමගින් ඉතිරි කිරීමේ ක්‍රමයක්, මූල්‍ය ආයෝජනයක් සිදු වනු ලබයි. අර්ථසාධක අරමුදල පරිණත වීමේ කාලයක් ඇති අතර ඔවුන්ට ද, මෙහිදී තෝරා ගැනීම් 2ක් ලබා දී තිබේ. ඉන් පළමු තෝරා ගැනීම වන්නේ පරිණත කාලය දික් කර ගැනීම සහ එම දීර්ඝ කිරීමේ කාලයට 9 1/2% වැනි පොලියක් ලැබෙන අතර 2038 වර්ෂය වන තෙක් කාලය දීර්ඝ කර ලබා දී ඇති අතර දෙවන තෝරා ගැනීම ලෙස දැනට ඇති 14% බද්ධ 30% දක්වා වැඩි කර දී තිබේ. නමුත් මෙම බද්ධ ද, අය කරනු ලබන්නේ භාණ්ඩාගාර බැඳුම්කරවල, භාණ්ඩාගාර බිල්පත් වලින් අරමුදල ලබා ගන්නා ආදායමෙන් මිස අර්ථසාධක අරමුදලට නොවේ.

ඒ හේතුවෙන් තනි තනි පුද්ගලයන් විශ්‍රාම යනවිට දැනට ලැබෙන ප්‍රතිලාභයට කිසි සේත්ම දේශිය ණය ප්‍රශස්තකරණයේ මෙම ක්‍රියාවලිය නිසා බලපෑමක් සිදු නොවන අතර ඊට හේතුව වන්නේ, අරමුදලට ලබා ඇති තෝරා ගැනීම් වන පරිණත වීමේ කාලය දික් කර ගැනීමයි. නැතහොත් අදාළ බද්ධ ගෙවීම සිදු කළ යුතු වුවද, අර්ථසාධක අරමුදල විසින් බොහෝ දුරට තෝරා ගනු ලබන්නේ, පරිණත වීමේ කාලය දික් කර ගැනීම බැවින්, කාලය දික් කර ගැනීම අවුරුද්දෙන් අවුරුද්දට විශ්‍රාම යන පිරිසට බලපෑමක් නොමැති බවත්, ඊට හේතුව වන්නේ, මූල්‍ය අරමුදලේ බිලියන 2ක පමණ සාමාජික පිරිසක් සිටියත් අවුරුද්දකට විශ්‍රාම යනු ලබන්නේ ලක්ෂ 2කට පමණ අඩු සාමාජිකයන් පිරිසක් බවයි. මේ හේතුවෙන් එම ලක්ෂ 2ක සාමාජිකයන්ට ලැබෙන මුදල වෙනස් වීමට කිසිදු හේතුවක් නොමැති බවයි මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පෙන්වා දෙන්නේ.

වෙනස් වුවහොත් වෙනස් විය හැක්කේ පවතින ඉහළ උද්ධමනය හේතුවෙන් මූර්ත වශයෙන් තමන් ට ලැබිය හැකිව තිබු ආදායම් ප්‍රමාණය අඩු වීම පමණක් බවත් එය අර්ථ සාධක අරමුදලට පමණක් නොව සියලුම දෙනාට බලපා ඇති ගැටලුවක් වන අතර, එය අපේ ඉතිරිකිරීම මෙන්ම ආදායමට ද මුළු ආර්ථිකයටම බලපාන කරුණක් බව ත්, ඒ මහතා වැඩිදුරට ත් සඳහන් කළා.

ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු

මේ පිළිබඳව අදහස් එකතු කරමින් සඳහන් කරන්නේ මෙම ප්‍රශස්තකරණ යෝජනා ඔස්සේ සේවක අර්ථසාධක (EPF) අරමුදලට 9% පොළී අනුපාතයක් ලබාදෙන බවට පොරොන්දු වී තිබෙන අතර මෙහිදී සිදුවිය හැකි ආවස්ථික අහිමි වීම (opportunity loss) වන්නේ, ඉහළ උද්ද්දමන අගයක් දිගටම පවතින්නේ නම් ඒ ඔස්සේ EPF අරමුදලට ලබාගත හැකිව තිබු ආදායම වැඩි විය හැකි වීමයි. එසේම EPF යනු රුපියක් ට්‍රිලියන 2.5ක් වැනි විශාල අරමුදලක් බවත්, මෙය පසුගිය කාලයේ දී ම අනිසි ලෙස කළමනාකරණය වී තිබු බවත් මෙම අරමුදල කළමනාකරණයට නිසි වෘත්තිකයන් යොදාගනිමින් රජය විසින් වඩා විනිවිදභාවයකින් කටයුතු කල යුතු බවයි. එම අදහස් දැක්වීම මෙතනින්

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් මහතා ද පසුගිය දා දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමින් පවසන්නේ EPF අරමුදලට දැනටමත් සිදුවන ශුද්ධ වත්මන් අගය අහිමි වීම (Net Present Value Loss) පිලිබඳ විනිවිද ව කරුණු පෙන්වන ලෙස රජයට කිහිප වරක් පැවසුවද එය සිදුව නැති බවත්, මෙම යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා මඟින් ද අහිංසක සේවක අර්ථසාධක ගිණුම් හිමියන්ට, වෙනත් ඉහළ ආදායමක් ලබාගත හැකි ආයෝජනයට යොමු වීමේ අවස්තාව අහිමි වන බවයි. එම කරුණු දැක්වීම මෙතනින්

ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහබැංකුව මඟින් ද මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ "අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් සතු ගිණුම්වල දැනට පවතින ශේෂයෙහි කිසිදු අඩු වීමක් නොවන ආකාරයට සහ ඉදිරි වසර කිහිපය තුළ 9% ක අවම වාර්ෂික පොලියක් ලැබෙන ආකාරයට දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාවලිය සකස් කර ඇති බවයි".

Full View

දින පහක බැංකු නිවාඩුවක් ඇයි?

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති - ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා

රජය සහ මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කොට මහ බැංකුව මේ මාසේ 30 වන සිකුරාදා නිවාඩු දිනයක් ලෙසට පත් කිරීමට හේතු වූයේ දේශීය ණය ප්‍රශස්තිකරණය වැඩපිළිවෙළ මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව සාකච්ඡා කර අවසන් අදියරයට පැමිණ ඇති බවත්, එය ක්‍රියාත්මක කිරීමට යම්කිසි කාල පරාසයක් අවශ්‍ය බවත්, එය ක්‍රියාත්මක කිරීමේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, පාර්ලිමේන්තුවේ අදාළ කමිටු මුදල් කාරක සභාව සහ අනෙකුත් අදාළ කමිටු සාකච්ඡා කිරීමට කාලයක් අවශ්‍ය වනවා මෙන් ම පාර්ලිමේන්තුවේ විවාද කර ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වනවා. ඒ කටයුතු කිරීම සඳහා සාමාන්‍යයෙන් දින හතරක පහක කාලයක අවශ්‍යතාවය ඇති බවත්, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. දින පහක කාලයක් බැංකු වසා තබා වෙළෙඳ පොළ වසා තැබීම තුළ මෙම ක්‍රියාවලිය අවසන් කළ හැකි බවත් බැංකු වසා තැබීම වෙන කිසිම හේතුවක් නිසා සිදු නොකරන බව ඒ මහතා අවධාරණය කරනවා.

තවද දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන තෙක් කිසිදු සමපේක්ෂනයක් සිදුවීම වැළැක්වීම නැතහොත් රටක සමාජ, ආර්ථික, දේශපාලනික වෙනස්කමක් අනපේක්ෂිතව සිදු වූ අවස්ථාවක අදාළ විදේශීය මුදලින් ලැබිය හැකි දේශිය අගය අවප්‍රමාණය වේ යැයි අනුමාන කිරීම මත සිදු වන ගනුදෙනු වැළැක්වීම සඳහා හෙට බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළා.

දේශීය ණය ප්‍රශස්තකරණය හා වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ, ආර්ථික කටයුතු පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, මුදල් අමාත්‍යාංශ ලේකම් හා මහ බැංකු අධිපති එක්වූ විශේෂ සාකච්ඡාවක දී මේ පිළිබඳව කරුණු තවදුරටත් පැහැදිලි කිරීමක් සිදුකර තිබුනේ මෙලෙසින්.

ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරද්දි නෛතික වශයෙන් සිදු කළ යුතු වෙනස්කම් තිබෙනවා. වසරකට වඩා කෙටි කාලයක් සඳහා ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර තිබෙනවා. ඒවායේ කාල‍ය වසර 2ක් හෝ 3ක් ලෙස දිර්ඝ කරනවා නම් ඒවා තවදුරටත් භාණ්ඩාගාර බිල්පත් නොව එය භාණ්ඩාගාර බැඳුම්කරයක් බවට පරිවර්තනය වන බවත් ඔහු සඳහන් කරනවා.

භාණ්ඩාගාර බිල්පතක් බැඳුම්කරයක් බවට පරිවර්තනයක් කරන්න නම් නීති සංශෝධනයක් අවශ්‍යය වෙනවා. එය සිදුවන අතර, වැරැදි තොරතුරු සමාජගත කිරීම නිසා වෙළෙඳ පොළේ කිසියම් අහිතකර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එවැනි සිදුවීම් නැවැත්වීම බැංකු නිවාඩුවේ අරමුණයි.

මේ කර්තව්‍යය ඉක්මනින් අවසන් කිරීම මේ නිවාඩුවේ අරමුණ විදියට අපට පෙනෙනවා. වෙනත් රටවලත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදි බැංකු නිවාඩු දුන් අවස්ථා තිබෙනවා. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්.

දින පහේ බැංකු නිවාඩුව අතරතුර සිදු කළ හැකි ගනුදෙනු

බැංකු නිවාඩුවක් පත් කිරීම හේතුව නිසා බැංකුවලට ගනුදෙනු වලට විශේෂයෙන් සාමාන්‍ය නිවාඩු දවසක සිදු කරන බැංකු ගනුදෙනු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වලින් මුදල් ලබා ගැනීම, ඔන්ලයින් ගනුදෙනු, අන්තර්ජාලය හරහා සිදු කරන ගනුදෙනු, මුදල් හුවමාරු කිරීම් වලට කිසිදු බාධාවක් නොමැති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කරනවා.

එමෙන් ම සාමාන්‍යයෙන් සතිඅන්තයේදී පවත්වාගෙන යන බැංකු වලට එහි බැංකු ගනුදෙනු වලට කිසිදු බාධාවක් නොමැති බවත්, සාමාන්‍ය පරිදි බැංකු කටයුතු කරගෙන යෑමට හැකි බවත්, දීර්ඝ බැංකු නිවාඩු කාලයක් තුළ වුවත් බැංකු කටයුතු ජනතාවට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය බැංකු කටයුතු කර ගැනීමට සියලු පහසුකම් සලසා ඇති බවත් මහ බැංකු අධිපති වැඩි දුරටත් සඳහන් කළා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් සහ පාර්ලිමේන්තුව අනුමැතිය

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගිය 28 වන දා පස්වරුවේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි හිමිව තිබුණා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා විශේෂ ආණ්ඩු පක්ෂ රැස්වීමක් ද පැවැත්වුණා.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ යෝජනාවලියට මුදල් පිළිබඳ කාරක සභාව් අනුමැතිය හිමිවීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් ජුලි 02 වනදා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

Update:ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ IMF මැදිහත්වීම සම්බන්ධයෙන් Verite Research හි සුරේනි වීරතුංග සමග Advocata පවත්වන සාකච්චාවක් පහතින්.

Full View

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

By: Pavithra Sandamali

Result: Explainer

Tags:    

Similar News