හූනන් මාරාන්තික විෂ සහිත භයානක සත්ත්ව ප්‍රභේදයක්ද?

Update: 2023-07-10 18:55 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ ඇතුළු දකුණු ආසියාතික රටවල නිවාස ආශ්‍රිතව හූනන් බහුල වශයෙන් වාසය කරයි. ඒ හේතුවෙන් ‘හූනන්’ මාරාන්තික විෂ සහිත භයානක සත්ත්ව ප්‍රභේදයක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල සත්‍යතාවයක් ඇත් නම් එයින් ශ්‍රී ලාංකිකයින් ලෙස අපට ද, විශාල බලපෑමක් සිදුවිය හැකි නිසා ත්, මෙම තොරතුරු අසත්‍ය නම් මෙම කියමන අහේතුකව විස්වාස කර අසරණ සතුන් නිකරුණේ මරා දැමීමට මිනිසුන් පියවර ගනු ඇති බැවින් මේ පිළිබඳව FactCrescendo අප කරුණු විමර්ශනයක් සිදු කිරීමට අප පියවර ගත්තා.

සමාජ මාධ්‍ය සටහන් :

‘හූනන්’ යනු මාරාන්තික විෂ සහිත උරග කොට්ඨාසයක් වන අතර, ඔවුන්ගෙන් සිදුවන ජීවිත හානි පාලනය කරගැනීමට මොවුන්ව දුටු තැන මරා දැමිය යුතු බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් ඉංග්‍රීසි බසින් පළ වී තිබුණා.

මෙලෙසින් ‘හූනන්’ හේතුවෙන් මරණය සිදුවිය හැකි අවස්ථා පිළිබඳව උදාහරණ ද සහිතව මෙහි වැඩිදුරට ත් දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

තව ත් සටහනක් පහතින්.

Facebook | Archived Link

මෙම සටහන් වලට දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද පෙනී ගියේ බොහෝ පිරිසක් මේ ඔස්සේ නොමග ගොස් තිබූ බවයි.

‘හූනන්’ විෂ සහිත බවට වෙබ් අඩවියකද පළ වී තිබුණේ මෙලෙසින්. Archived Link

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා බැලීමට අප කටයුතු කිරීමට පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ලෝකය පුරා ජීවන්වන හූනන්

හූනන් සාමාන්‍ය කටුස්සන්ට සමාන හැඩයක් දරණ, නමුත් ප්‍රමාණයෙන් කුඩා භෞමික උරග විශේෂයකි. පෘථිවිය මත වැඩිම විවිධත්වයක් සහිත කටුසු වර්ගයේ උරග විශේෂය හූනන් වේ. එමෙන්ම උරගයන් අතරින් ලක්ෂණ හඳුනාගැනීම අවම ජීවී විශේෂයත් මොවුන්ම වේ. දැනට ලෝකය පුරා ජීවත් වන හූනු විශේෂ 2000ක් පමණ හඳුනාගෙන ඇති අතර, මෙම විශේෂ කුළ 7කට අයත් ලෙස බෙදී ඇත.

ලෝකයේ අධික ශීතලක් සහිත ඇන්ටාක්ටිකා මහාද්වීපය හැර අනෙක් සෑම මහාද්වීපයකම පාහේ හූනන් හඳුනාගත හැක. එම සියළුම මහාද්වීපවලම, විවිධ දේශගුණික සහ පාරිසරික තත්ත්ව යටතේදීත්, විශාල විවිධත්වයක් සහිතව භූ ගෝලීය සීම රැසක විවිව්ධ විශේෂවල හූනන් ව්‍යාප්තව සිටියි.

සාමාන්‍යයෙන් හූනන්ට බිත්තර දැමීම සඳහා නිශ්චිත සමයක් නොපවතින අතර, ඔවුන් වසර මුළුල්ලේම බිත්තර දමමින් තම වර්ගයා පවත්වා ගෙන යාමට දායක වේ. සාමාන්‍යයෙන් ස්වභාවික පරිසරයේ ජීවත් වන හූනෙකුගේ ආයු කාලය අවුරුදු 5 සිට 15 දක්වා විය හැක. මෙම ආයු කාල පරාසය හූනන් වර්ගවලට අනුව වෙනස් වේ.

විවිධ හූනු විශේෂවල වර්ණය සහ සිරුරේ මෝස්තර විශාල සීමාවක් තුළ පවතී. ඇතැමෙන් ඉතා වර්ණවත්ව, අලංකාර මෝස්තර සහිතව පවතින අතර, තවත් හූනු විශේෂයක් සාමාන්‍ය තනි වර්ණයක් දරයි. සමේ ස්වභාවයද මෙලෙස විශේෂයෙන් විශේෂයට වෙනස් වේ. ඇතැම් හූනු විශේෂයක් සිනිදු සමක් දරණ අතර, ගැට සහිත රළු සමක් දරන හූනු විශේෂද ජීවත් වේ.

සුරතලුන් ලෙස මිනිසුන් විසින් ඇති කිරීමේ දී එයින් ප්‍රධාන තැනක් හිමි වන්නේ හූනන්ටය. දිවියෙක් වැනි පුල්ලි සහිත ලෙපාර්ඩ් ගේකෝ මෙලෙස සුරතලෙකු ලෙස වැඩි වශයෙන්ම ඇති කරන හූනු විශේෂයයි. සාමාන්‍යයෙන් අලංකාර රටා සහිත සමත්, අනෙකුත් හූනු විශේෂවලට සාපේක්ෂව විශාල සිරුරත් (සෙන්ටිමීටර් 15ක් පමණ), තරමක් දිගු ජීවිත කාලයත් මෙලෙස මොවුන් සුරතලයට ඇතිකිරීම සඳහා යොදාගැනීමට හේතු වේ.

හූනන් ඇත්තෙන්ම විෂ සහිතද?

බොහෝ උරගයින් මෙන් හූනන්ද මාංශ භක්ෂක සත්ත්ව කොට්ඨාසයක් ලෙස හැඳින්වේ. (නමුත් ඔවුන්ගෙ ඇතැම් විශේෂ ශාකමය ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා අවස්ථාද පවතී.) කෙසේ නමුත්, හූනන් ආහාර ලබා ගැනීමේදී ආහාර ද්‍රව්‍ය පිළිබඳව විශේෂ අවදානයක් යොමු නොකර ඔවුන්ට හමුවන වඩා ප්‍රමාණයෙන් කුඩා ඕනෑම ද්‍රව්‍යයක් ආහාරයට ගැනීමට යොමු වී සිටියි. ප්‍රධාන වශයෙන් ම කෘමීන් ආදී කුඩා සත්ත්ව විශේෂ මත යැපුනද, ඊට අමතරව කුඩා ගොලුබෙල්ලන් වැනි සතුන්, තමාට වඩා ප්‍රමාණයෙන් කුඩා වෙනත් විශේෂවල හූනන් සහ ඔවුන්ගේ බිත්තර, ඇතැම් විට කුඩා කෘන්තකයින් පවා ඔවුන් ආහාරයට ගනියි.

හූනන් ආහාර සොයන විට ඔවුන්ට විශාල වශයෙන් උපකාරී වෙන්නේ ඔවුන්ගේ අතිශයින් සංවේදී සංවේදක ඉන්ද්‍රීයන් වේ. මොවුන්ගේ දෘෂ්ඨි සංවේදනය මිනිසෙකුගේ දෘෂ්ඨිය මෙන් 350 ගුණයකින් පමණ ඉහළ වේ. එමෙන්ම ඔවුන්ගේ ශ්‍රවණය, ගන්ධ ආඝ්‍රානය මෙන්ම ස්පර්ශ සංවේදන හැකියාවද ඉතා ඉහළ මට්ටමක පවතියි. මෙම හැකියාවන්, හූනන් හට ගොදුර හඳුනා ගැනීමට සහ ඉලක්ක කිරීමට උපකාරී වේ. මෙම ඉන්ද්‍රීයවල උපකාරයෙන් ඉලක්ක කරගන්නා ගොදුර වෙත හූනා පහර දෙන්නේ තම දිව ආධාරයෙනි. ඔවුන්ගේ දිව දිගු, නම්‍යශීලී සහ ඇලෙනසුළු ඛේටයෙන් ආවරණය වූ ගෙම්බෙකුගේ දිවට සමාන දිවකි.

මෙම දිව ගොදුර අකර්මන්‍ය කිරීම හෝ අඩපන කිරීම සඳහා අදාල කිසිදු විෂක් නොදරයි. මොවුන් මෙම දිව යොදාගන්නේ ගොදුරට පලා යා නොහැකි ලෙස තදින් ග්‍රහණය කරගෙන සිය මුඛය වෙත ලං කරගැනීම සඳහා පමණි. මෙලෙස කට කරා ලබාගන්නා ගොදුර කිසිදු ලෙසක විෂ ශරීර ගත්වීමකින් තොරව දත්වලින් සැපීමට ලක් වී මිය ගොස් හෝ දුර්වල වී හූනාගේ ආහාරය බවට පත්වේ.

බොහෝ අවස්‍ථාවලදී හූනන්ගේ ඇස් වරින් වර වියළීමට ලක් වෙන නිසා, ඔවුන් සිය දිවෙන් තම ඇස් පිරිමැදීමට කටයුතු කරයි. මෙහිදී ඔවුන්ගේ දිවේ ඇති ශ්ලේශ්මල පටලය මඟින් ඇස්වලට අවශ්‍ය තෙතමනය සපයා දෙයි. මේ අනුව හූනන්ගේ දත් සහ දිව මෙන්ම ශ්ලේෂ්මලය පවා විෂ සහිත නොවන බව පැහැදිළි වේ.

අනෙකුත් උරගයින් මෙන්ම හූනන්ටද ඇත්තේ වියළි ස්වභාවයක් දරණ සමකි. නමුත් බොහෝ උරගයින්ගේ මෙන් මොවුන්ගේ සමේ කොරපොතු පවතින්නේ නැත. හූනන්ගේ සමේ සුවිෂේශී ලක්ෂණයක් වනුයේ ඔවුන්ගේ සමේ පවතින ජල විකර්ෂක ගුණය සහ ප්‍රතිබැක්ටීරීය ගුණාංගයයි. ඒ හේතුවෙන් හූනු සම සාපේක්ෂව ඉතා පිරිස්දු, ස්වයං පිරිසිදු කිරීමේ හැකියාව දරන සමක් ලෙස හැඳින්විය හැක.

එමෙන්ම, හූනන් ද, සර්පයින් මෙන් කලින් කලට තම සම ඉවත් කිරීම හෙවත් හැව ඇරීමේ ක්‍රියාවලිය සිදු කරයි. සාමාන්‍යයෙන් මෙය බහුලව දැකිය හැක්කේ වැඩිහිටි හූනන්ගේ ය.

මෙම ක්‍රියාවලිය මඟින් ඔවුන්ට නිවැරදි වර්ධනය පවත්වා ගැනීම, ආහාර රටාව පාලනය මෙන්ම පරිවෘතීය ක්‍රියා පාලනය වැනි ජීව විද්‍යාත්මක ක්‍රියාවලි සඳහා දායකත්වයක් ලබා දෙයි. මෙලෙස ඉවත් කරන සම හූනා විසින් ආහාරයට ගනී. මීට ආදාල වීඩියෝවක් මෙතනින්. හැව ඉවත් කිරීමේදී හූනන්ට ඔවුන්ගේ සිරුරේ ඇති විශාල පෝෂක සහ ඛණිජලවණ ප්‍රමාණයක් අහිමි වේ. මෙලෙස ඉවත්වන පෝෂකවලින් කොටසක් හෝ නැවත ලබාගැනීම උදෙසා මොවුන් මෙලෙස හැව ආහාරයට ලබා ගනී. නැවත සම වර්ධනය කරගැනීමේදී පවා විශාල පෝෂක ප්‍රමාණයක් අවශ්‍ය නිසා මෙලෙස හැව ඔස්සේ ලබා ගන්නා කුඩා පෝෂක ප්‍රමාණය පවා ඔවුන්ට ඉතා උපකාරී වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්.

හූනන්ගේ සම යම්කිසි ආකාරයක මරණීය විෂ සහිත වේ නම්, හූනන් එය ඉවත් කරන විට ආහාරයට නොගනු ඇත. එමෙන්ම හූනන්ගේ සම ග්‍රන්ථිවලින් තොර, වියළි සමක් නිසා එහි විෂ සහගත් ද්‍රව්‍ය පැවතීමේ අවදානම අවමය.

හූනු විෂ පිළිබඳ පැවති ලිපි සහ සටහන්වලට අනුව, හූනන් මාරාන්තික විෂ සහිත වන අතර, කිසිදු පරිශ්‍රමයකින් තොරව මිනිසෙකු පවා මරා දැමීමට තරම් ඔවුන් සතු විෂ බලවත් ය. එය සත්‍යක් නම්, එම හැකියාව ඔවුන්ට ලැබී ඇත්තේ, ඔවුන්ව ගොදුරු කරගන්නා ජීවීන්ගෙන් ආරක්ෂාව ලබා ගැනීම උදෙසා විය යුතුය. ඒ අනුව ඔවුන්ගේ විෂ උපයෝගී කරගෙන පහසුවෙන් විලෝපිකයා අකර්මන්‍ය කර ඔවුන් වෙතින් පලා යෑමට හැකියාව හූනන් සතු විය යුතුය. නමුත් හූනන් සාමාන්‍ය පරිදි විලෝපිකයන්ගේ ගොදුරු බවට පත් වේ. ඇතැම් විට ප්‍රමානයෙන් මඳක් විශාල හූනන්ටමත්, ඇතැම් විට කුරුල්ලන්, බල්ලන්, පූසන්, සර්පයින් වැනි සතුන් ද මොවුන්ව ගොදුරු කරගනී. නමුත් මේ කිසිදු සෙතක් හූනන් අල්ලා ගැනීමේදී විෂ ශරීරගත වීමකට ලක් නොවන අතර, හූනන් ආහාරයට ගැනීමෙන් පවා මෙම විලෝපිකයන්ට කිසිදු සංකූලතාවක්වත් ඇති නොවේ. විෂ අන්තර්ගත වන සමක් පැවතියේ නම්, මෙවන් විලෝපිකයන් හූනන් වෙත ලඟා නොවනු ඇති අතර, ආහාරයට ගත්තද ඔවුන් මිය යාමට ඉඩ ඇත. ඒ අනුව හූනන් සතුව සමේ ඇති විෂක් පිළිබඳවත් තර්කය ප්‍රතික්ෂේප වේ. කෙසේ නමුත් ඉහත සංවේදන හැකියාව සහ ජීවත්වෙන පරිසරයට උචිත ශරීර වර්ණය සහ මෝස්තරය විලෝපිකයන්ගෙන් බේරී ජීවත් වීම උදෙසා ස්වභාව ධර්මය විසින් හූනන්ට ලබා දී ඇත.

එමෙන්ම මීට පෙර දී සිටම සිදු වූ පර්‍යේෂන ආදියට අනුව, ක්ෂේත්‍රයේ විද්වතුන් විසින් හූනන් විෂවලින් තොර සත්ත්ව විශේෂයක් බවට තහවුරු කර ඇත.

මේ සියල්ලටම අනුව හූනන් යනු විෂ හෝ විෂ සහගත ස්‍රාවයන්ගෙන් තොර සාමාන්‍ය සත්ත්වයෙකු බව ඔප්පු වේ.

හූනන් මිනිසුන් හට යම් ආකාරයකින් හානි ඇති කරනවාද?

හූනන්ගේ මුඛයේ ප්‍රමාණයෙන් කුඩා දත් ඇත. ඒ නිසා හූනන්, දත් වලින් හැපීම් මඟින් මිනිසුන්ට හානි විය හැක. ඔවුන්ගේ දත්වලට මිනිස් සම ඔස්සේ සිරුරට ඇතුළු වීමට අපහසු නිසා මෙම සැපුම් විශාල හෝ බරපතල තුවාල ඇති නොකරන නමුත්, මෙම සුළු තුවාල ඔස්සේ ඇතැම් අවස්ථාවලදී බැක්ටීරියා ආසාදන ඇතිවිය හැක. සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාල හූනන්ගෙන් සැපුම් තුවාල ඇතිවීමේ සම්භාවිතාවය වැඩි ය.

මේ නිසා, හූනන්ගේ සැපුම්වලින් ප්‍රවේශම් වීම වැදගත් ය. සැපුමකට ලක් වුවහොත් ප්‍රතිබැක්ටීරීයක සබන් වර්ගයක් තුවාලය හොඳින් සේදීම වැදගත් ය.

කෙසේ නමුත් මෙම සැපුම් හේතුවෙන් විෂ ශරීරගත වීමක් සිදුවන්නේ නැත.

හූනන් මඟින් රෝග පැතිරීම

වෙනත් බොහෝ පලිභෝදකයින් මෙන්, හූනන්ටද මිනිසා වෙත රෝග ගෙන යාමේ හැකියාවක් ඇත. මෙහිදී ඔවුන් ප්‍රධාන වශයෙන් ගෙන යන රෝගය වන්නේ සැල්මොනෙලෝසිස් රෝගයයි. මෙහි රෝග ලක්ෂණ ලෙස වමනය, පාචනය, උදරයේ වේදනාව ආදිය ඇතිවිය හැක. මෙහි රෝගකාරකය වන්නේ සැල්මොනෙල්ලා බැක්ටීරියාවයි. හූනන්ගේ මළපහ ඔස්සේ මේවා මිනිස් ආහාර ආදියට එක් වී ශරීරගත වීමට ඉඩකඩ පවතී. සාපේක්ෂව වෙනත් සතුන්ට වඩා හූනාගේ මළපහ තුළ වැඩි කාලයක් ආරක්ෂිත වීමට සැල්මොනෙල්ලා බැක්ටීරියාවට හැකි බව පර්‍යේෂණ ඔස්සේ ඔප්පු කර ඇත. ඒ පිළිබඳ සං‍රක්ෂිත වාර්තාව මෙතනින්.

හූනන් බොහෝ අවස්ථාවල ගෘහස්තව, මිනිසාට සමීපව ජීවත් වීම නිසා මොවුන් මිනිසා වෙත සැල්මොනෙලෝසිස් රෝගය ළඟා කරවීමට අවදානම් සාධකයක් ලෙස හැඳින්විය හැක.

හූනන්ගෙන් ඇති ප්‍රයෝජන මොනවාද?

ගෘහස්තව ජීවත් වෙන බොහෝ පලිභෝදක කෘමීන්ව හූනන් විසින් ආහාරයට ගනු ලබයි. කැරපොත්තන්, මෙරුවන් වැනි සතුන් පවා මොවුන් විසින් ආහාරයට ගෙන නිවාස තුළ එවැනි කරදරකාරී කුඩා සත්ත්වයින්ගේ ගහණය පාලනය කරවයි. ඒ අනුව පරිසර පද්ධතියේ සමබරතාව පවත්වා ගනිමින්, නිවාසවල තත්ත්ව පිරිසිදුව සහ සෞඛ්‍යාරක්ෂිතව පවත්වා ගැනීමට මොවුන් දායක වේ.

ඇතැම් හූනු විශේෂ චීන ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යක් ලෙස භාවිත කරයි. උදාහරණයක් ලෙස ටෝකේයි හූනන් චීනයේ ‘ගෙ ජී’ නැමැති ඖෂධය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා වැදගත් අමුද්‍රව්‍යකි. මෙම ඖෂධය මඟින් වකුගඩු සහ පෙනහලු පෝෂණය කෙරෙන බවක් සැලකේ.

ශ්‍රී ලංකාවේ හූනන් සහ ඔවුන්ගෙන් ශ්‍රී ලාංකිකයක් වෙත ඇති බලපෑම

හූනන් ශ්‍රී ලංකාව තුළ සුලබව දැකිය හැකි ජීවියෙකි. හූනන්ගේ විවිධත්වය අතින් ශ්‍රී ලංකාව ඉතා පොහොසත්‍ ය. හූනු විශේෂ 61ක් පමණ ශ්‍රී ලංකාව තුළ සොයාගත හැකි අතර එයින් Cnemaspis වර්ගයට අයත් සියළු හූනු විශේෂ රටට ආවේණික වේ. ශ්‍රී ලංකාවේ හූනන් ගැනි වැඩි තොරතුරු මෙතනින්.

ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් තුළ හමුවන හූනු විශේෂය වන්නේ සුලබ ගෘහස්ත හූනා (Hemidactylus frenatus) වේ. මොවුන් ස්වභාවිකව නිවර්තන කලාපීය වැසි වනාන්තර ආශ්‍රිතව ජීවත් වූවත්, මේ වන විට උන් මිනිස් වාසස්ථාන ආශ්‍රිතව සුලබව හමුවේ. මොවුන්ද මිනිසුන්ට මෙන්ම අනෙක් සත්ත්ව විශේෂවලට විෂ රහිත ජීවී කොට්ඨාශයකි. නමුත් මොවුන් වෙනත් හූනන් වෙත ආක්‍රමණකාරී හැසිරීමක් දක්වයි.

ශ්‍රී ලාංකික නිවාසවල වහල සහ බිත්ති මත නිරන්තරයෙන් හූනන් දිව යනු දැකිය හැක. එමෙන්ම ඔවුන්ගේ බිත්තර මෙන්ම මළපහ ඇතුළු අපද්‍රව්‍ය ද නිවෙස් ආශ්‍රිතව පහසුවෙන් හමු වේ. ඉහල ආහාර මූලාශ්‍ර හේතුවෙන් මුළුතැන්ගෙය ආශ්‍රිතව මොවුන් බහුලව කටයුතු කරයි. ඒ නිසා මිනිස් ආහාර මොවුන් මඟින් අපවිත්‍ර වීමට ඇති ඉඩකඩද අධිකය.

ඔවුන් විෂ සහිත වීම නිසා ක්ෂණික සංකූලතා සහ මරණය වැනි අධි භයානක තත්ත්ව ඇතිවීමට ඇති ඉඩකඩ ඇහිරුනත්, ආහාර සමඟ හූනන්ගේ මළ ද්‍රව්‍ය මිශ්‍ර වී සැල්මොනෙලෝසිස් රෝගී තත්ත්ව ඇතිවීමේ සම්භාවිතාවයක් පවතී.

ශ්‍රී ලංකාවේ ජනතාව සහ හූනන් අතර ඇති තවත් විශේෂ දෙයක් නම් හූනන් ආශ්‍රයෙන් අනාගතය පිළිබඳ අනාවැකි පැවසීමයි. හූනන් සෑම නිවසකම බහුලව ජීවත්වන අතර, ඔවුන් විටින් විට නිකුත් කරන විවිධ ස්වරූපයේ හඬවල් ඇසුරින් මිනිසුන් උදෙසා අනාවැකි සිදු කරයි. එමෙන්ම හූනන් තම චූෂකර සහිත පාදවලින් ඉහළ ස්ථානවල අවිද යනවිට ඒවාගේ සවිවීම් ගිලිහී ඔවුන් බිම වැටීම වරින් වර සිදුවේ. මෙලෙස බිම වැටීමේදී යම් අයෙකුගේ සිරුරට හූනා වැටුනේ නම්, එහිදී හූනා මිනිසාව ස්පර්ශවන ස්ථානයට අනුවද අදාල මිනිසාගේ අනාගතය ගැන පෙරකීම සිදු වේ.

කෙසේ නමුත්, හූනු ගහණයේ අධික ඉහළ යාමත් සමඟ, ඔවුන්ගේ මළ ද්‍රව්‍ය ආදියෙන් ආහාර සුරක්ෂිත කරගැනීම ශ්‍රී ලාංකීය ප්‍රජාවට අභියෝගයක් වෙමින් පවතී. එ් නිසා ආහාර සුරක්ෂිතතාව උදෙසා ආහාර පියන්වලින් හොඳින් වසා තැබීම, මුළුතැන්ගෙයි උපකරණ භාවිතයට පෙර හොඳින් පිරිසිදු කිරීම, හොඳින් ආවරණය කර ආහාර ද්‍රව්‍ය භාවිතය ආදී පියවර කෙරෙහි අවදානය යොමු කිරීම වැදගත් ය.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

මුලදී සඳහන් වූ සමාජ මාධ්‍ය සටහන් සහ ලිපිවල පැවසුන පරිදි හූනන් උග්‍ර විෂ සහිත ද්‍රව්‍ය නිකුත් කිරීම සිදු නොකරයි. ඔවුන් අහිංසක සත්ත්ව විශේෂයකි. ඔවුන් දුටු තැන මරා දැමීමට තරම් දරුණු සත්ත්ව කොට්ඨාශයක් නොවේ. නමුත් ඔවුන්ගේ මලපහ ආදියේ විෂ සහිත ද්‍රව්‍ය පැවතිය හැකි නිසා ,ඒ සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කල යුතුයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:හූනන් මාරාන්තික විෂ සහිත භයානක සත්ත්ව ප්‍රභේදයක්ද?

Written By: Fact Crescendo Team

Result: Misleading

Tags:    

Similar News