ටියාරා කේක් සඳහා බිත්තර ඇල්බියුමින් පවුඩර් භාවිත කරනවාද ? එය පිළිකා කාරකයක් ද? 

Update: 2023-08-24 17:19 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

විවිධ ආහාර නිෂ්පාදන සහ ඒවා මගින් ඇතිවිය හැකි අතුරු ඵල පිලිබඳ අනතුරු ඇඟවීම්, දේශීය මෙන්ම ජාත්‍යන්තර සන්නාම ඉලක්ක කරගනිමින් ද විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. කෙසේවෙතත් ඇතැම් අවස්ථාවලදී එසේ හුවමාරු වන්නේ නොමඟ යවන සුළු, තහවුරු නොවූ කරුණු ඇතුළත් සටහන්.

පසුගිය දින කිහිපයක සිට ටියාරා සන්නාමය යටතේ ඇති කේක් වර්ගවල ස්වභාවික බිත්තර වෙනුවට බිත්තර ඇල්බියුමින් පවුඩර් භාවිත කරන බවටත්, ඒ හේතුවෙන් මෙම කේක් වර්ග පිළිකාකාර ඇති බවටත් සඳහන් වූ ෆේස්බුක් සටහන් බහුලව සංසරණ වුණා. මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් :

ටියාරා කේක් සෑදීම සඳහා බිත්තර වෙනුවට ‘එග් බියුමින් පව්ඩර්’ නමැති රසායනයක් එකතු කරන බවත්, එය පිළිකා කාරකයක් බවත්, එමනිසා ටියාරා කේක් ආහාරයට ගැනීමෙන් වළකින ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

එසේම මීට වසර කිහිපයකට පෙර ද, එනම් 2021 වසරේ සිට මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී ඇති බව අපට දැක ගන්නට ලැබුණා.

Facebook | Archived Link Facebook | FB

මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කිරීමට අප පියවර ගත්තේ, බොහෝ පාඨකයින්ගෙන් ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි ‘එග් බියුමින්’ නමැති සංඝටකයක් නොමැති නිසා එහි පැවසීමට උත්සහ දරනු ලබන්නේ, ‘එග් ඇල්බියුමින් පවුඩර්’ (Egg albumen) බව අනුමාන කරමින්, අප එම ද්‍රව්‍ය ‘ටියාරා කේක්’ නිෂ්පාදන වල අඩංගු බවට ඔවුන්ගේ කේක් ඇසුරුම්වල සඳහන් කර තිබේ ද යන්න පිළිබඳ පරීක්ෂා කළා.

එහි කවරයේ දක්වා තිබෙන අඩංගු අමුද්‍රව්‍ය ලැයිස්තුවේ බිත්තර ඇල්බියුමින් නමැති අමුද්‍රව්‍ය යොදාගන්නා බවක් සඳහන් නොවුණි. ටියාරා කේක් නිෂ්පාදන කිහිපයකම ලේබල් අප පරික්ෂා කළ අතර ඒ සියල්ලේ ම සඳහන් වන්නේ අමුද්‍රව්‍යක් ලෙස යොදාගන්නේ බිත්තර බවයි. එවැනි එක් දවටනයක් පහතින්.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

කෙසේවෙතත් බිත්තර යොදා ගනිමින් ටියාරා නිෂ්පාදන සිදුවෙනවා ද යන්න වෙනත් පාර්ශවයකින් පරීක්ෂා කිරීමට අප උත්සුක වුණා. එහිදී ටියාරා කේක් සන්නාමයට SLS 1074 :2019 (1995 වසරේ දී නිකුත් කර, 2019 වසරේ පළමු සංශෝධනය සිදුකර තිබු) තත්ත්ව සහතිකය ප්‍රදානය කර ඇති බව සඳහන් කර තිබෙන බවින්, ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිෂ්පාදන සහතික කිරීමේ අංශයේ නිලධාරිනියක් අප සම්බන්ධ කර ගත්තා.

ඇය පවසා සිටියේ SLS 1074 තත්ත්ව සහතිකය ප්‍රදානය කිරීමේදී එහි කොටසක් ලෙස SLS 1074 සහතිකයට අදාළ අමුද්‍රව්‍ය යොදා ගෙන තිබෙනවා ද යන්න ද පරික්ෂා කරන බවයි. ඒ අනුව ටියාරා කේක් නිෂ්පාදන ක්‍රියාවලියට ස්වභාවික බිත්තර යොදාගෙන ඇති බව SLS 1074 තත්ත්ව සහතිකය මඟින් පිළිඹිබු වන බවත් පවසා සිටියා. එසේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ටියාර කේක් නිෂ්පාදන පිළිබඳව විගණන කටයුතු භාරව සිටින නිලධාරිවරයා සම්බන්ධකර ගනිමින් ඒ පිළිබඳ තොරතුරු ද මෙහි යාවත්කාලින කිරීමට අප බලාපොරොත්තු වෙමු.

එසේම 2023 වසර සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතී ආයතනය විසින් ප්‍රදාන කර තිබු SLS 1074 තත්ත්ව සහතිකය පහතින්.

Tiara කේක් නිෂ්පාදනය කරන CBL සමාගමේ පැහැදිලි කිරීම

ටියාරා කේක් සෑදීමේදී ස්වභාවික බිත්තර වෙනුවට "Egg Albumin Powder" භාවිත කරන බවට පළ වූ සටහන් අසත්‍ය බවට සඳහන් කරමින් Tiara ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ සටහන පහතින්.

Full View

Facebook | Archived Link

එමෙන් ම අප ඉහත දක්වා තිබු පරිදි 2021 වසරේදී ද මුල් වරට හුවමාරු වූ මෙම සටහන් එම අවධියේ ද CBL සමාගම තරයේ ප්‍රතික්ෂේප කර තිබූ අතර එම කරුණු දැක්වීම ඇතුළත්ව පළව තිබූ පුවතක් මෙතනින්.

එසේම CBL (සිලෝන් බිස්කට්ස් ලිමිටට්) සමූහයට අයත් මෙම Tiara කේක් නිෂ්පාදන සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා එහි අලෙවිකරණ සාමාන්‍යාධිකාරී නිලුපුල් ද සිල්වා මහතා ද අප සම්බන්ධ කර ගනු ලැබුවා. ඒ මහතා සඳහන් කළේ, ටියාරා කේක් සඳහා භාවිත කරනු ලබන්නේ, බිත්තර ඇල්බියුමින් පවුඩර් නොව ස්වභාවික බිත්තර පමණක් බවත්, හුවමාරු වන්නේ පදනම් විරහිත අසත්‍ය සටහන් පෙළක් බවයි.

එමෙන් අලෙවිකරණ සාමාන්‍යාධිකාරී වැඩිදුරටත් පවසා සිටියේ ටියාරා කේක් සන්නාමය සඳහා SLS 1074 තත්ත්ව සහතිකය 2018 වසරේදී පළමු වරට ලැබී ඇති බවත්, එතැන් සිට මේ වන තෙක් (2023) වසර වන තෙක් සෑම වසරකදීම එම සහතිකය ලබාගනිමින් ගුණාත්මකභාවය පවත්වාගෙන තිබෙන බවයි.

ටියාරා කේක් ඇතුළු CBL නිෂ්පාදන වලට ලැබී ඇති වෙනත් ප්‍රමිති සහතික

ISO22000:2005, Hazard Analysis Critical Control Point (HACCP) සහ Good Manufacturing Practice (GMP) ඇතුළු ආහාර සුරක්‍ෂිතතාව වෙනුවෙන් පිරිනමන ප‍්‍රමිති සහතික රැසක් CBL ආයතනය හිමිකරගෙන තිබෙනවා. කේක්වලට අමතරව බිස්කට්, චොකලට්, Cereals ඇතුළු CBLහි ආහාරමය නිෂ්පාදන ලබාගෙන ඇති තත්ත්ව සහතික මෙතනින්.

එසේම චොක්ලට් සහ කේක් නිෂ්පාදනය කරන කර්මාන්ත ආයතනයකට ජාත්‍යන්තර ප‍්‍රමිති ආයතනයේ ISO 22000:2005, සහතිකය ඇතුළු සෙසු ප‍්‍රමිති සහතික ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් පිරිනැමූ ප‍්‍රථම අවස්ථාව ද CBL ආයතනය හිමි කරගෙන තිබෙනවා.

තවද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මානය යනු ශ්‍රී ලාංකේය සංවිධානවල විශිෂ්ට තත්ත්ව කළමනාකරණය සහ තත්ත්ව ජයග්‍රහණ අගයමින් වාර්ෂිකව පිරිනමන සම්මානයකි. මෙම තත්ත්ව සම්මාන වැඩසටහන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) අලෙවි සහ ප්‍රවර්ධන අංශය විසින් සංවිධානය කර ක්‍රියාත්මක කර තිබුණා. ඒ හා සම්බන්ධ මාධ්‍ය වාර්තා මෙතනින්. Archived Link

CBL Foods ආයතනයට බිත්තර තොග බෙදාහරින සැපයුම්කරුවන්

CBL Foods ආයතනය වෙත වසර 12ක සිට සාමාන්‍යයෙන් සතියට 150,000කට අධික උසස් තත්ත්වයේ බිත්තර සංඛ්‍යාවක් සපයන බවට සහතික වෙමින් බිත්තර තොග බෙදාහරින සැපයුම්කරුවන් වන Rasheni Stores සහ Niluka Farm නිවේදන නිකුත් කර තිබුණා. එසේම මේ පිළිබඳව අප සිදුකළ විමසීමේදී එම බිත්තර තොග අලෙවිකරුවන් ද එම කරුණු තහවුරු කර සිටියා.

එසේම ඔවුන් පවසා සිටියේ CBL ආයතනයේ සාමාන්‍ය බිස්කට් නිෂ්පාදන සඳහා බිත්තර යොදා ගැනෙන්නේ නැති තරම් බැවින් තමන් සපයන බිත්තර මෙම ටියාරා කේක් නිෂ්පාදන සඳහා යොදාගන්නා බවත් කර්මාන්තශාලාවට ගිය ඇතැම් අවස්ථාවල දී ද නිෂ්පාදන ක්‍රියාවලියේදී බිත්තර යොදාගන්නා බව නිරීක්ෂණය කළ බවයි. 

එසේම මේ ආකාරයටම 2021 වසරේ දී ද, හුවමාරු වූ සටහන් සම්බන්ධයෙන් බිත්තර තොග සැපයුම්කරුවෙකු ෆේස්බුක් සටහනක් පළකරමින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබුණා. Egg Masters - PVT LTD Sri Lanka එම සැපයුම්කරුවා එහිදී පවසා තිබුණේ, ටියාරා කේක්වලට අමතරව LITTLE LION ,FAB , HORANA WASANA යන කේක් නිෂ්පාදන ආයතන සඳහා ද, ඔවුන් බිත්තර සපයන බවයි. Archived

Full View

පාරිභෝගික සේවා අධිකාරිය

‘ටියාරා’ කේක් සහ එහි භාවිත කරන බව කියන එග් ඇල්බියුමින් ඇති බවට මහජන පැමිණිලි ලැබී ඇත්ද, යන්න පිළිබඳ අප පාරිභෝගික සේවා අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතාගෙන් විමසීමක් කරනු ලැබූ අතර ඔහු සඳහන් කළේ, එලෙසින් පැමිණිලි ලැබී නොමැති බවයි.

එමෙන් ම සමාජ මාධ්‍ය සටහන් වල දක්වා ඇති පරිදි බිත්තර ඇල්බියුමින් පවුඩර් හි පිළිකා කාරක අඩංගුවනවා ද යන්න පිළිබඳ අප පරීක්ෂාවක් සිදු කළා.

Egg Albumen Powder (බිත්තර ඇල්බියුමින්)

බිත්තර සුදු කුඩු නැතිනම් බිත්තර ඇල්බියුමින් පවුඩර් යනු නිශ්චිත කාලයක් සහ අවම අවශ්ය උෂ්ණත්වයකදී වියලන ලද ආකාරයෙන් රත් කිරීමෙන් පැස්ටරීකරණය කරනු ලැබූ බිත්තර සුදු මද වේ. මෙම කුඩු ජලය සමග මිශ්‍ර කිරීමෙන් එය නැවත භාවිත කළ හැකි වේ. බිත්තර ඇල්බියුමින් පවුඩර් පිසීමෙන් හෝ පිළිස්සීමෙන් (බේක්) තොරව භාවිත කිරීමේ හැකියාව පවතී. නමුත් මෙම බිත්තර පවුඩර් නැතිනම් බිත්තර කුඩු පැස්චරීකරණය කළද, ප්‍රශස්ත ආරක්ෂාව සඳහා, විශේෂයෙන් වයෝවෘද්ධ, කුඩා දරුවන් සහ අවදානමට ලක් වූ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් වැනි අවදානම් සහිත පුද්ගලයින්ට ලබා දෙන්නේ නම්, බිත්තර ඇල්බියුමින් පවුඩර් යොදා ගත් ආහාර පිසීමෙන් පසු ලබාගන්නේ නම් සුදුසු බව අමෙරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව(USDA) සඳහන් කරනවා. මේ සම්බන්ධ තොරතුරු මෙතනින්. Archived Link

බිත්තර ඇල්බියුමින් පවුඩර් සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්.

බිත්තර පවුඩර් කර්මාන්තය සම්බන්ධයෙන් සියලු තොරතුරු සහ අධ්‍යන වාර්තා ඇතුළුත් ScienceDirect හි පළ වී ඇති වාර්තාව මෙතනින්.

බිත්තර ඇල්බියුමින් පවුඩර් හි පෝෂණ වටිනාකම සහ විශ්ලේෂණයක් මෙතනින්. Archived Link

බිත්තර ඇල්බියුමින් පිළිකාකාරකයක් ද?

කෙසේවෙතත් ඉහත සටහන් වල දක්වා ඇති පරිදි බිත්තර ඇල්බියුමින් පවුඩර් හි පිළිකා අවධානමක් පවතිනවා ද යන්න පිළිබඳ ජාත්‍යන්තර අධ්‍යන වාර්තා ඇත් ද, යන්න පරීක්ෂා කළත් ඒ හා සම්බන්ධ අධ්‍යන වාර්තා හමු නොවුණි.

අප බිත්තර හා පිළිකා සම්බන්ධ අධ්‍යන වාර්තා පරීක්ෂා කරනු ලැබුවා.

බිත්තර පරිභෝජනය සහ පිළිකා අවදානම පිළිබඳ උරුගුවේ සිදු කරන ලද අධ්‍යයනයක් මෙතනින්. Archived Link

පිළිකා පර්යේෂණ සඳහා ඇමරිකානු ආයතනය විසින් බිත්තර සහ ඩිම්බකෝෂ පිළිකා අවදානම පිළිබඳ ගෝලීය පර්යේෂණ පිළිබඳ මෑත විශ්ලේෂණයකින් පෙනී ගියේ වර්තමාන සාක්ෂි කිසිදු නිගමනයකට සහාය වීමට නොහැකි තරම් සීමිත බවයි. ඒ සම්බන්ධ වාර්තාව මෙතනින්.

බිත්තර සුදුමදය පිළිකා ප්‍රතිකාර සඳහා ස්වාභාවික සහ ආරක්ෂිත ජෛව ද්‍රව්‍යයක් ලෙස හඳුනාගෙන ඇති බවට සඳහන් අධ්‍යන වාර්තාවක් මෙතනින්.

කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණ සහ සංවර්ධන අංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) පර්යේෂණ සහ සංවර්ධන අංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය ඉල්මි ජී. එන්. හේවාජූලිගේ මහත්මිය සඳහන් කළේ, බිත්තර ඇල්බියුමින් පවුඩර් පිළිකාකාරකයක් විය නොහැකි බවයි. කෙසේ වෙතත් බිත්තර කුඩු වාණිජමය වශයෙන් භාවිතා කිරීමට අවසර ලබා දී ඇති බව ත්, ඇය සඳහන් කළා.

පිළිකා පූර්ව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය

බිත්තර ඇල්බියුමින් පවුඩර් හි පිළිකා කාරක අඩංගු වනවා ද, යන්න පිළිබඳ නාරහේන්පිට පිහිටි පිළිකා පූර්ව හඳුනාගැනීමේ මධ්‍යස්ථානයෙන් අප විමසීමක් සිදු කළා. එහි පිළිකා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් තහවුරු කළේ, පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා ජාත්‍යන්තර නියෝජිතායතන වෙබ් අඩවියේ (IARC) පිළිකා කාරක දක්වා ඇති අතර එහි ද, බිත්තර ඇල්බියුමින් පවුඩර් හි පිළිකා කාරකයක් බවට දක්වා නොමැති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය (FCAU)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍යය, වෘත්තීය සෞඛ්‍යය හා ආහාර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතාගෙන් ද, අප බිත්තර ඇල්බියුමින් පවුඩර් වල පිළිකා කාරක ඇති බවට තහවුරු වී ඇත් ද, යන්න විමසා සිටි අතර ඒ මහතා සඳහන් කළේ, එය අසත්‍ය තොරතුරක් බවත්, එහි පිළිකා කාරක අඩංගු නොවන බව ත්ය.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Also read : කටාර් ළමුන්ට ලංකාවේ චොකලට් පෆ් සුදුසු නැද්ද?

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ටියාරා සන්නාමට යටතේ ඇති කේක් නිෂ්පාදන ක්‍රියාවලය සඳහා ස්වභාවික බිත්තර භාවිත නොකොට බිත්තර ඇල්බියුමින් පවුඩර් භාවිත කරන බවට සහ බිත්තර ඇල්බියුමින් පවුඩර් වල පිළිකා කාරක අඩංගු බවට පළ වන සටහන් නොමග යන සුළු බවයි.

ටියාරා කේක් සන්නාමයට SLS 1074 : 2019 තත්ත්ව සහතිකය ලබා ඇති අතර එම තත්ත්ව සහතිකය ප්‍රදානය කිරීමේදී එහි කොටසක් ලෙස SLS 1074 සහතිකයට අදාළ අමුද්‍රව්‍ය යොදා ගෙන තිබෙනවා ද යන්න ද පරික්ෂා කරන හෙයින් එහිදී ටියාරා කේක් නිෂ්පාදන ක්‍රියාවලියට ස්වභාවික බිත්තර යොදාගෙන ඇති බව SLS 1074 තත්ත්ව සහතිකය මඟින් පිළිඹිබු වන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිෂ්පාදන සහතික කිරීමේ අංශය සඳහන් කරයි.

එමෙන් ම පිළිකා පූර්ව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, බිත්තර ඇල්බියුමින් පවුඩර් හි පිළිකා කාරක අඩංගු නොවන බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ටියාරා කේක් සඳහා බිත්තර ඇල්බියුමින් පවුඩර් භාවිත කරනවාද ? එය පිළිකා කාරකයක් ද?

Written By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News