මේ දිනවල කතාබහට ලක්වන විසකුරු Stone Fish මත්ස්‍යයා පිලිබඳ ඔබ දැනුවත් ද? 

Update: 2023-11-04 05:21 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකා වෙරළ තීරයේ දක්නට ලැබෙන කුතුහලය දන වන මත්ස්‍ය විශේෂයක් වන Stone Fish නැතහොත් ‘ගොම්මහා’ නම් මාළුවාගේ සුවිශේෂී හැසිරීම් සහ පාරිසරික වැදගත්කම හේතුවෙන්, විද්‍යාත්මක වශයෙන් ද වැදගත් කමක් සහිත විශේෂයක් ලෙස හැදින්වේ.

මේ මත්ස්‍ය විශේෂය පිළිබදව මේ දින වල ඇති වී තිබෙන කතා බහට මුල් වී තිබුනේ ගාලු කොටුව ප්‍රදීපාගාරය අසල මුහුදු තිරයේ කොරල් පරයක් මත දී රොහාන් බණ්ඩාර නමැති විද්‍යා දේශකයෙකුට මෙම මත්ස්‍යයාගේ කටුවක් ඇනීමත් සමඟ ඇතිවූ අතිශය වේදනාකාරී අත්දැකීමත් සමඟයි. එම වේදනීය අත්දැකීම පිලිබඳ විද්‍යා දේශකයා පළකර තිබු ෆේස්බුක් සටහනක් මෙතනින්

මෙම මත්ස්‍ය විශේෂය සහ එහි ඇති භයානක විෂ පිළිබඳවත් බොහෝ දෙනා විමසිලිමත් වී තිබු අතර ලංකාවේ වෙරළ තිරයේ මෙම මාළුවා නිතර දක්නට ලැබෙන්නේ ද යන්න පිළිබඳව ද බොහෝ දෙනෙක් කරුණු විමසා තිබුණා. මේ පිළිබඳව අපගේ පැහැදිලි කිරීමක් පහතින්.

සුවිශේෂී Stone Fish මත්ස්‍ය විශේෂය

ශ්‍රී ලංකාවේ කොරල් පර සහිත වෙරළක ඇවිද යන අයෙකුට Stone Fish (ස්ටෝන් ෆිෂ්) නමැති මාළුවෙකු හමුවීම දුර්ලභ කරුණක් නොවුන ද, අහම්බයකින් හෝ මෙම මත්සයෙකු පෑගීම නම් ඉතා වේදනාත්මක අත්දැකීමක් වෙනු ඇත.

Synanceia sp. නම් විද්‍යාත්මක නමින් පොදුවේ හැඳින්වෙන තනිව හැසිරෙන, ඉතා සෙමෙන් සංචරණය කරන සාගර පරිසර පද්ධතිය තුල, වඩාත්ම විසකුරු මත්ස්‍යයකු ලෙස හැදින්වෙන මෙම මාළු විශේෂය, සාමාන්‍යයෙන් දිග සෙන්ටිමීටර 30-40 ක් සහ බරින් කිලෝග්‍රෑම් 2 ක් (රාත්තල් 5 ක්) පමණ වේ.

බැලූ බැල්මට කොරල් පරයක් ලෙස දිස් වන නිසා හොදින් වේශාන්තරය නිරූපණය (camouflage) කරන නිසාම මොවුහු දක්ෂ විලෝපිකයන් ද වෙති. කෙසේවෙතත් මොවුන්ගේ විෂ බලපෑමක් ඇති නොවන පරිදි Stone Fish දඩයම් කරන පිරිසක් සිටිනවා. මුහුදු සර්පයන්, ඊල්ස් සහ මෝරුන් වැනි මසුන් සියල්ලන්ටම, Stone Fish ව ආහාරයට ගත හැකියි.

සමුද්‍ර වර්ගීකරණය [Taxonomy] තුළ Stone Fish විශේෂ පහක් [Midget stonefish ( Synanceia alula) ,Estuarine stonefish ( Synanceia horrida), Red Sea stonefish ( Synanceia nana), Synanceia platyrhyncha, Stonefish ( Synanceia verrucose) ] දැක ගත හැකි අතර ඉන්දු පැසිෆික් සාගරයේ වෙරළබඩ ප්‍රදේශවල, එනම් අප්‍රිකාවේ සහ රතු මුහුදේ සිට ජපානය සහ ඕස්ට්‍රේලියාව දක්වා ව්‍යාප්ත වී ඇත.

ගැඹුරු මුහුදේ මසුන්ගේ දක්නට නොලැබෙන අසාමාන්‍ය ලක්ෂණයක් ද stone fish මසුන්ට තිබෙනවා. ඒ පැය 24 ක් පමණ ජලයෙන් පිටත ජීවත් විය හැකිවීම වන අතර ඔවුන් මෙය සිදු කරන්නේ සම හරහා ඔක්සිජන් අවශෝෂණය කර ගැනීමෙනි.

Stone fish මත්ස්‍යගේ විෂ

Stonefish අස්තික මත්ස්‍යකු වන අතර, කොඳු ඇට පෙළ 13 ක් පීඩනය යටතේ විෂ නිකුත් කිරීමට හැඩගැසී ඇත. හානිකර නොවන පාෂාණයක් ලෙස සිතා , ඔබ නොදැනුවත්වම Stone Fish මාළුවෙකු මත පය තැබුව හොත් , මාළුවාගේ පෘෂ්ඨීය කොඳු ඇට පෙළ මතු වී එක් එක් කොඳු ඇට පෙළේ කෙළවර ඇති මලු දෙකකින් ප්‍රෝටීන මිශ්‍රණයක් වන විෂ සාමාන්‍යයෙන් හරිනු ලබයි.

බොහෝ දෙනා උපකල්පනය කරන්නේ Stone Fish තම කොඳු ඇට පෙළේ ඇති විෂ භාවිතා කර ඔවුන් ආහාරයට ගන්නා ගොදුර මරා දමන බවයි, නමුත් එය එසේ නොවේ. මොවුන් ආහාර සදහා කුඩා මාළු, ඉස්සන්, කකුළුවන් මත යැපෙන අතර සාමාන්‍යයෙන් සැඟවී සිට වේගයෙන් ගොදුරු අල්ලා ගන්නා විලෝපිකයන් වේ. ප්‍රහාරය තත්පර 0.015ක් වැනි සුළු කාලයක් පැවතිය හැක! කෙසේ වෙතත්, ඔවුන්ගේ ගොදුර පසුපස හඹා නොයන විට, Stone Fish මාළු ඇත්ත වශයෙන් ම ඉතා සෙමින් පිහිනයි. මේ නිසාම ගල් පර අතරින් මොවුන්ව වෙන් කර ගැනීම ඉතාමත්ම අපහසු වේ.

Stone Fish මාළුවා ගැන විස්තර සහිත වීඩියෝවක් මෙතනින්

සමුද්‍ර ජීව විද්‍යාඥ නිශාන් පෙරේරා

නිශාන් පෙරේරා මහතා ප්‍රකාශ කළ පරිදි stone fish ශ්‍රී ලංකාව ආසන්නයේ මුහුදු තිරයේ ඕනෑම ස්ථානයකින් හමුවීමේ හැකියාවක් පැවතිය හැකි අතර ගල් පර සහිත වාසස්ථාන වල සාමාන්‍යයෙන් වසර මුළුල්ලේම පාහේ ජීවත් වෙති. එනම් ගල් පර සහිත ශ්‍රී ලංකා වෙරළ තීරයේ ඕනෑම පෙදෙසකින්, විශේෂිත කාලයක් හෝ දින නියමයක් නොමැතිව ඔබට Stone Fish මත්ස්‍ය විශේෂය හමුවීමේ හැකියාවක් පවතිනවා. නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනාට මේ පිළිබදව නිසි අදහසක් නොමැති අතර විශ සහිත සාගර ජීවීන් පිලිබදව දැනුවත් වීම ඉතා වැදගත් වේ.

බැලූ බැල්මට කොරල් පර සේ දිස් වන නිසා මෙම Stone Fish වෙන් කොට හදුනා ගැනීම ඉතා අපහසුය. මොවුන් තනිව ජීවත් වන අතර රන්චු ලෙස හැසිරීමක් සිදු නොවේ. එසේම ඉතාමත් සෙමෙන් චලන සිදු කරන අතර ඔවුන්ගේ ආරක්ෂාව සදහා පෙන්වන හැසිරීමක් ලෙස විශ නිකුත් කරයි.

එසේම අප Stone Fish පිළිබදව විෂයෙහි ප්‍රවීණයෙකු වන වෛද්‍ය ජනක රූබන් මහතාගෙන් විමසීමක් කළෙමු.

වෛද්‍ය ජනක රූබන්

සාමාන්‍ය ව්‍යවහාරයේ ‘ගොම්මහා’ ලෙස හඳුන්වනු ලබන Stonefish විශේෂ 2ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බවත් සාමාන්‍ය ජනතාව මේ පිලිබඳ දැනුවත් නැති වුව ද ධිවර සහ කොරල් ආශ්‍රිත ජනතාව මෙම සත්වයා ව හඳුනන බවත් රූබන් මහතා පවසනවා.

ලංකාවේ ඇති Stone Fish විශේෂ, ඕස්ට්‍රේලියාවෙන් හමුවන විෂ අතින් ඉතා ඉහළ Stonefish විශේෂය තරම්ම විශ සහිත නොවුනද, වරක් මොවුන්ගේ විෂ ශරීර ගත වූ විට ඇති වන වේදනාව ඉතාමත් අධික වේ. විසකුරු මාළු විශේෂ අතරතුර දරුණුම වේදනාව මෙම Stone Fish විෂ මඟින් ඇතිවන බවත්, සෛද්දන්තිකව මෙම දරුණු විෂ හේතුවෙන් මරණයට පවා පත්විය හැකි බවත්, මේ මත්ස්‍ය විශේෂය පිලිබඳ හදාරන වෛද්‍ය ජනක රූබන් මහතා පවසා සිටිනවා.

Full View

එසේම මෝසම් සංවහන මාරු වන කාලයේදී රෝහල් වලට මෙම මසුන් හේතුවෙන් ඇතිවන අනතුරු වාර්තාවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව ඔහු සදහන් කලා. මෙයට හේතු ලෙස සඳහන් කලේ මෙම මත්ස්‍ය විශේෂය මුහුදු රළ සමග ගසා ගෙන පැමිණ වෙරළට ආසන්නයේ නතර වීමෙන් මිනිසුන්ට හමු විය හැකිවීමයි.

වසරකට කරාපිටිය ශික්ෂණ රෝහලට මෙවැනි අනතුරු 20 ක් පමණ වාර්තා වන බවත් මෑතකදී මරණ වාර්තා නොවුණ ද මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවෙන් මරණ ද වාර්තා වී තිබෙන බවත්, මෙවැනි අනතුරක දී විෂ කළමනාකරණය කරගැනීමට ඉක්මණින් යොමුවීම ඉතා වැදගත් බවත් එතුමා ප්‍රකාශ කළා.

හැකි ඉක්මණින් රෝහල් ගත වෙන ලෙසත්, රෝහලට පැමිණෙන තෙක් අනතුරට ලක් වූ ප්‍රදේශය සෙල්සියස් 45 පමණ උණු වතුරෙහි ගිල්වීම මගින් ප්‍රෝටීනමය විෂ දුර්වල වන නිසා වේදනාව තාවකාලිකව අඩු කර ගත හැකි වන බවත් වෛද්‍ය රූබන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ පිලිබඳ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ද අදහස් දක්වා තිබුනේ මෙලෙසින්.

Full View

විශිෂ්ඨ සැඟවීමේ හැකියාවක් ඇති stone fish හඳුනා ගැනීම දුෂ්කර විය හැකිය. පාෂාණමය හෝ මඩ සහිත පතුල් වල වාසය කරන ඔවුන්ගේ දුඹුරු-අළු වයනය සහිත සම බාධාවකින් තොරව වටපිටාවට මුසු වේ. එබැවින් පාෂාණමය මුහුදු පතුලේ හෝ කොරල්පරයේ සැඟවී සිටින මෙම සත්වයන් ගැන ඔබේ ඇස් යොමු කර තබා ගැනීමට අමතක නොකරන්න! මීට පෙර ද ගාල්ල ප්‍රදීපාගාරය අසළ ප්‍රදේශයේ මෙම මත්ස්‍ය විශේෂය වාර්තා වී ඇති අතර ඔවුන් හඳුනා ගැනීම කෙතරම් අපහසු ද යන්න වෛද්‍ය රූබන් 2017 වසරේ දී පළකර තිබු මෙම වීඩියෝවෙන් පැහැදිලි වෙනවා.

stone fish මත්ස්‍යයා ඔබට පහර දීමට නොයන අතර, ඔවුන් විලෝපිකයන්ට එරෙහිව ආරක්ෂාවක් ලෙස ඔවුන්ගේ විෂ භාවිතා කරයි. මෙසේ විශ මුදා හරිනු ලබන්නේ Stone Fish මාළුවාගේ කොඳු ඇට පෙළට පීඩනය යෙදූ විටයි ; එනම් විලෝපිකයෙකු විසින් පහර දෙන විට හෝ මිනිසෙකු විසින් පාගා දමන විට ය.

මේ නිසා කිසියම් හේතුවක් නිසා ඔබ අහම්බෙන් stone fish මාළුවෙකු මත පය තැබුව හොත්, ඔවුන්ගේ පිට කොන්දේ ඇති ඉහළට පිහිටි විෂ සහිත කටු පාදයේ ඇනීමෙන් විෂ ශරීර ගත වීම නිසා ඇතිවන අධික වේදනාව ,භීතිය හේතුවෙන් හා පාද/අත් අඩපණ වීමෙන් නොගැඹුරු වතුරේ පවා ගිලී මරණයට පත් වීම විය හැක.

මේ නිසා එවැනි අනතුරකදී ජලයෙන් වහා ඉවත්වීම ඉතා වැදගත්ය. ඉන්පසු වහාම ප්‍රතිකාර කරා යොමුවෙන්න. stone fish විෂ ශරීරගත වීමෙන් තාවකාලික සහනයක් ලබා ගැනීම සඳහා උණු වතුර භාවිතා කරන්න, කෙසේ වෙතත් වෛද්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

  • With inputs from Nuwandhara Mudalige -

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මේ දිනවල කතාබහට ලක්වන Stone Fish පිලිබඳ ඔබ දැනුවත් ද?

Written By: Fact Crescendo Team

Result: Insight

Tags:    

Similar News