ඩුබායිහී විකිණෙන ‘Happy Cow’ චීස්, ශ්‍රී ලංකාවේ විකිණීම තහනම් බවට සඳහන් කර ඇත්තේ ඇයි?

Update: 2024-03-12 12:55 GMT

ලොව පුරා මිනිසුන් කිරි ආශ්‍රිත ආහාරවලට ලොව පුරා බොහෝ පිරිස් රුචිකත්වයක් දක්වනවා. කිරි, බටර්, මුදවපු කිරි, චීස් ආදී නිෂ්පාදන, ලංකාවේ වෙළඳපොළේත් ජනප්‍රිය අංග බවට පත්ව තිබෙනවා.

ලංකාවේ වෙළඳපොළේ, මෙරට නිෂ්පාදිත චීස් මෙන්ම ආනයනය කරන චීස් සන්නාමද දක්නට ලැබෙනවා. ‘Happy Cow’ යනු ඒ අතරින් කාලාන්තරයක් තිස්සේ ලංකාවේ වෙළඳපොළේ ප්‍රමුඛව පැවති චීස් සන්නාමයක්. එම නිෂ්පාදනයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

සමාජ මාධ්‍ය ඔස්සේ පසුගියදා පලවූ සටහනක පෙන්වා දුන්නේ, ඩුබායි වෙළඳපොළේ ඇති ‘Happy Cow’ චීස් ඇසුරුම පිටුපස “Sale in Sri Lanka is Prohibited” (“ශ්‍රී ලංකාව තුළ විකිණීම තහනම්”) යනුවෙන් සටහන් කර ඇති බවයි.

“පිටරටක ඉන්නකොට තමා තේරෙන්නෙ ලංකාවේ ඇත්තටම තියෙන්නේ 100% Original Products නොවන බව.

මේ ඩුබායි වල සුපර්මාක්ට් එකක තියෙන Happy Cow Cheese එකක්. මේකේ පිටිපස්සේ හොදින්ම සදහන් කරලා තියෙනවා මේ Product එක ලංකාවේ විකුණන්න තහනම් කියලා. ඇත්තටම මේකට හේතුව මම සෘජුවම දන්නේ නෑ. හැබැයි පාරිභෝගිකයෙක් විදිහට ලංකාවේ අවුරුදු ගානක් තිස්සේ ලමයින්ට Happy Cow Cheese දුන්න නිසා ඇත්තටම අදටත් ලංකාවේ තියෙන ඔය චීස් එකෙයි ඩුබායි වල තියෙන චීස් එකෙයි පැහැදිලිවම රස වල වෙනසක් තියෙනවා.

ඇත්තම කිව්වොත් චීස් විතරක් නෙවෙයි ලංකාවේ නිෂ්පාදනය කරන මැලිබන්, මන්චි චොකලට් බිස්කට්, විශේෂයෙන්ම ලෙමන් පෆ් වගේ ගත්තම ඩුබායි වල තියෙන ඒ Product එකේ Quality එක Taste එක ලංකාවේ එකට වඩා සෑහෙන වෙනස්. ලංකාවේ හදන Product එකම ලංකාවේ Market එකට දාන්නේ බාල අඩු Quality එකකින් හැබැයි පිටරට පටවන්නේ පට්ට හොද Quality එකකින්. කොටින්ම වැකේශන් යද්දී මෙහේ තියෙන ලෙමන් පෆ් ලංකාවේ ගෙනියන එක වටිනවා මොක්ද ලංකාවේ කන්න තිය්න එකට වඩා මෙහෙ එක මාර රහයි.

ඒ විතරක් නෙවෙයි භාණ්ඩ මිල කිරීම ගත්තත් ලංකාවේ ඔයලා කන බොන ලංකාවේ නිශ්පාදිත ඒ Product එකම අපි ඩුබායි වල මිලදී ගන්නේ ලංකාවේ මිලට වඩා අඩු මුදලකින්.

බිස්කට් වර්ග විතරක් නෙවෙයි තේ වර්ග ගත්තත් එහෙමයි. සමහර ලොක්කෝ බොන්නේ ල්ංකාවේ තේ හැබැයි අපි ලංකාවේ ඉද්දී දැකලවත් නැති අහලවත් නැති වර්ග හැබැයි හදන්නේ ලංකාවේ පුරෝගාමී තේ නිශ්පාදන ආයතන. ඒ විතරක්ද ලංකාවේ නිශ්පාදිත සමහර මිශ්‍රණ වර්ග මෙහේ තියෙනවා මෙහෙ රෙස්ටුරන්ට් හොටෙල් වල භාවිතයට ගන්නවා ඒත් ලංකාවේ කිසිම සුපර්මාකට් එකකින් කඩේකින් හොයාගන්නවත් නෑ. කිරිපිටි වර්ග වුනත් එහෙමයි. හොදම ඒවා මේ වගේ රටවල තියෙනවා හැබැයි ලංකාවට එන්නෙ බාල අඩු කොලිටියකින් ගහන නිශ්පාදන.

මේ වගේ ලංකාවේ හදලා පිටරට එවන (Export කරන) ගුණාත්මක බවින් ඉහලම දේවල් ඕනතරම් තියෙනවා හැබැයි ඒ සමහර නිශ්පාදන ලංකාවේ තියෙන්නේ බොහොම බාල Quality එකකින්. ඇත්තටම ලංකාවේ කොච්චර හම්බකරලා කාලාබීලා හිටියත් ලංකාවේ මිනිස්සු පව් මොකද එයාලා කන්නේ කොලිටිය අඩු ඒවා. ලෝකේ හොදම තේ තියෙන්නෙ ලංකාවේ වුනාට ලංකාවේ මිනිස්සු බොන්නේ කසල තේ වගේ ලංකාවේ හදන අති බහුතරයක් දේවල් වල හොදම එක යන්නෙ පිටරට, ලංකාවේ උන්ට දෙන්නේ බාල එක.

ඇත්තම කිව්වොත් පිටරට ඉන්න මිනිස්සු සල්ලි හම්බ කරලා තමන්ගේ පවුල වෙනුවෙන් මුදල් ලංකාවට යවනවට වඩා හොදයි තමන්ගේ පවුල තමන් ඉන්න රටට ගෙන්න ගන්න එක. මොක්ද එහෙම වුනොත් Quality Food පරිභෝජනය කරන්න් පුලුවන්.

තාම හිතනවනම් අනේ මේක මගේ රට මගේ මව්බිම මැරුණත් දලා යන්නේ නෑ කියලා, නිකමට මාසයක් වගේ සංවර්ධිත රටක ජීවත් වෙලා බලන්න. එතකොට තේරෙයි පොඩි තැනේ ඉදන් අපි මෙච්චරකල් මාර විදිහට රැවටිලා නේද හිටියේ කියලා ✌🇱🇰”

Facebook | Archived

මෙම පළ කිරීම බහුලව Facebook ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

මේ සම්බන්ධයෙන් විවිධ ආකාරයේ මත පරිශීලකයින් විසින් පළ කර තිබුණා.

ඒ අනුව මේ පිළිබඳව කරුණු විමසා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය):

Happy Cow චීස් ඔස්ට්‍රියාවේ නිෂ්පාදනයක්. 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ජොහාන් වෝර්ල් විසින් යුරෝපය පුරා සිය ගණුදෙනුකරුවන්ට ඝන සහ අර්ධ ද්‍රව තත්ත්වයේ චීස් බෙදාහැරීම සිදුකළා. මෙම ව්‍යාපාරය තවදුරටත් දියුණු වී කාමර උෂ්ණත්වයේ දිය නොවී ගබඩා කළ හැකි චීස් නිෂ්පාදනය කෙරුණා.

මෙය පවුලේ ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගිය අතර, චීස් වෙළඳපොළ සඳහා තරඟකාරීත්වය වැඩි වීමත් සමඟ 1982දී, ගර්හාඩ් වෝර්ල් විසින් ‘සතුටින් සිටින එළදෙනුන් හොඳම කිරි නිෂ්පාදනය කරයි’ යන මූලධර්මය ඔස්සේ Happy Cow සන්නාමය ගෙන ආවා. ඒ සිට අද දක්වා රටවල් විශාල ප්‍රමාණයකට ඔස්ට්‍රියාවේ සිට Happy Cow චීස් බෙදාහැරීම සිදුකෙරෙනවා. ඒ අනුව Happy Cow චීස් ශ්‍රී ලංකාව, ඩුබායි ඇතුළු රටවල් රැසකට අපනයනය කෙරෙනවා.

ශ්‍රී ලංකාවේ මෙන්ම ඩුබායි වෙළඳපොලේද Happy Cow චීස් සඳහා ඉහළ ඉල්ලුමක් තිබෙන අතර මේද සහිත සහ රහිත චීස්, චීස් පෙති, මොසරැල්ලා, ශෙඩර් චීස් ආදී විවිධ චීස් ආකාර දේශීය වෙළඳපොළේ සොයා ගන්නට හැකියි.

කෙසේ නමුත්, ආන්දෝලනයට හේතු වූ චීස් ඇසුරුම සලකන විට, අපි ශ්‍රී ලංකාවේ සහ ඩුබායිවල ඇති මෙම ඇසුරුම් දෙකේ සමානකම විමසා බැලුවා. ඒ අනුව මේ ඇසුරුම්වල විශාල සමානත්වයක් දක්නට ලැබෙන අතර, මුහුණත භාෂාවේ වෙනස්කම් නිසා (සිංහල සහ ආරාබි භාෂා) එකිනෙකින් වෙන්කර හඳුනාගත හැකියි. එසේම ලංකාවේ සුපිරි වෙළඳසැල් කිහිපයක ඇසුරුම් ද අප පරික්ෂා කළ අතර එහි පිටුපස කල් ඉක්තුවීමේ දිනය ඇතුළු විස්තර සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ Happy Cow නිෂ්පාදන ආනයනය කර බෙදා හැරීම සඳහා නියෝජිතයා වන්නේ ස්ටැසන් (Stassen Foods) ආයතනයයි. ඒ අනුව ඉහත Facebook සටහන පිළිබඳව අපි ස්ටැසන් ෆුඩ්ස් ආයතනයෙන් විමසීමක් සිදු කළා.

Stassen Foods ආයතනයේ සාමාන්‍යාධිකාරී විග්නා නඩරාජා මහතා -

විග්නා නඩරාජා මහතා මූලික වශයෙන්ම පෙන්වා දුන්නේ ඇතැම් පිරිස් ඩුබායි වැනි විදේශ රටවල සිට මෙරටට පැමිණීමේදී සිය ගමන් මලුවල මෙම නිෂ්පාදන රැගෙන විත් ඒවා විකිණීම වැළැක්වීම සඳහා මෙලෙස “Sale in Sri Lanka is Prohibited” යනුවෙන් සඳහන් කර ඇති බවයි.

සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි, අසුරණවල පිටුපස, විශේෂයෙන්ම ලංකාව තුළ ම විකිණීම තහනම් ලෙසම දැක්වීමට හේතුව විමසා සිටින විට සාමාන්‍යාධිකාරී පැවසුවේ එයට හේතුව ඔස්‍ට්‍රියාව තුළ ඇසුරුම් කර ශ්‍රී ලංකාවට සහ ඩුබායි වෙත ආනයනය කරන්නේ එකම තොගයකින් වීම නිසා බවයි. ඒ අනුව එකම තොගයෙන් නිසි ප්‍රමිතියට අනුකූලව ඇසුරුම් කළත්, ඩුබායි වෙළඳපොළට යන නිෂ්පාදන, නැවත ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ විකිණීම වැළැක්වීම සඳහා මෙලෙස ශ්‍රී ලංකාව තුළ විකිණීම තහනම් කර ඇති බවට දැනුම්දීමක් සිදු කෙරෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාව සහ ඩුබායි වෙත, එකම තොගයකින් Happy Cow නිෂ්පාදන පැමිණෙන නිසා, ඔස්ට්‍රියාවෙන් ශ්‍රී ලංකාව සහ ඩුබායි වෙත සමාන ගුණාත්මකභාවයකින් යුත් Happy Cow චීස් නිෂ්පාදන අපනයනය කෙරෙන බව සාමාන්‍යධිකාරී පෙන්වා දෙනවා

කෙසේනමුත් සාමාන්‍යාධිකාරි පැහැදිලි කර සිටියේ, මෙවැනි තීරණයක් ගැනීමට හේතු වුයේ, විශේෂයන්ම ඩුබායි සිට ලංකාවට පැමිණෙන ගුවන් මගින්, ගමන්මලු තුළ බහා, විශාල වශයෙන් ලංකාවට Happy Cow නිෂ්පාදන රැගෙන ඇවිත් මෙරට තුළ විකිණීමේ දී එහි ගුණාත්මක භාවයේ ගැටළු වාර්තා වූ බවත්, එම තත්වය නියාමනය කිරීමට ගත් පියවරක් ලෙස, ඔස්ට්‍රියාවේ Happy Cow ආයතනය සමඟ සකච්ඡා කිරීමෙන් පසු, මෙම වදන් පෙළ එකතු කිරීම සිදුකළ බවයි.

එසේම ශ්‍රී ලංකාව තුළදී Happy Cow නිෂ්පාදන කිසිඳු වෙනස් කිරීමකට භාජනය කරන්නේත් නැති බවත්, නිසි තත්වය යටතේ සිය සමාගමේ සුරක්ෂිත බහාලුම් ඔස්සේ, නිසි ප්‍රමිතිය සුරකිමින් ලංකාවට ගෙන එන Happy Cow නිෂ්පාදනයන්හි අසුරණයේ පිටුපස මෙවැනි “Sale in Sri Lanka is Prohibited” කිසිඳු සඳහනක් නොමැති බවත් විග්නා නඩරාජා මහතා තහවුරු කළා.

මේ පිළිබඳව අප ඔස්ට්‍රියාවේ Happy Cow නිෂ්පාදිත ආයතනයෙන් ද විමසීමක් සිදුකර ඇති අතර ඔවුන්ගේ පිළිතුරු සමඟ මෙම ලිපිය යාවත්කාලින කිරීමට බලාපොරොත්තු වෙමු.

පාරිභෝගික අධිකාරියෙන් සිදු කළ විමසීම

පාරිභෝගික අධිකාරියෙන් මේ පිළිබඳව සිදුකළ විමසීමකදී එහි ඉහළ නිලධාරියෙක් පවසා සිටියේ ද, මෙලෙස සටහන් කිරීමට හේතුව වන්නේ ඩුබායිවල සිට ගමන්මලුවල ගෙන එන Happy Cow නිෂ්පාදන රට තුළ විකිණීම වැළැක්වීමට බවයි.

ඒ මහතා සඳහන් කරන්නේ, වසර කිහිපයකට පෙරදී (වසර 8ක් 10කට පමණ පෙර) මේ ආකාරයට මගින් පිරිසක් විසින් ගමන්මලුවල බහා ඩුබායි සිට ශ්‍රී ලංකාවට Happy Cow චීස් ගෙනවිත්, මෙරට වෙළඳපොලේ විකිණීම සිදුකර තිබුණා. මේ සමඟ ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ Happy Cow චීස්වල ගුණාත්මකභාවය පිළිබඳව ගැටළු ඇතිවී, එනම් ඇතැම් ඒවා නරක් වීම වැනි තත්ත්වයන් පිළිබඳව පාරිභෝගියන් විසින් පැමිණිලි කර තිබිණි.

ඒ ගැන සිදු කළ පරීක්ෂණයේදී ද ඔප්පු වූයේ ඩුබායිවල සිට ගමන්මලුවල දමාගෙන එන Happy Cow චීස්, ප්‍රශස්ත පරිසර තත්ත්වවලින් තොරව තද උෂ්ණත්ව තත්වයන්ට ලක්වීම ඇතුළු කරුණු හේතුවෙන් ප්‍රමිතිය බාල වී, ඉක්මනින් නරක් වීමේ තත්ත්වයට භාජනය වී ඇති බවයි.

Happy Cow නිෂ්පාදන ලංකාව වෙත ගෙන ඒමේ නෛතික බලය හිමි ආයතනය මේවා ලංකාවට ගෙන ඒමේදී නිසි උෂ්ණත්ව සහිත බහාලුම්වල, ක්‍රමවත්ව ඇසුරුම් කොට ගෙන ඒම සිදුකෙරෙනවා. ඒ නිසා එහි ප්‍රමිතියට හානි වන්නේ නැහැ. එමෙන්ම ඒවා රේගුවේදී ද නිසි පරීක්ෂාවට ලක්වෙනවා.

මෙම ගැටළු සහගත තත්ත්වයෙන් පසු, Happy Cow ආයතනය ඩුබායි වෙත යවන චීස්වල ඉහත පෝස්ටුවේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ විකිණීම තහනම් බවට සටහන් කිරීම අරඹු බවත් පාරිභෝගික අධිකාරිය ද පැහැදිලි කර සිටිනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන පරිපාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ R.D. සුමනරත්න මහතා

මෙම තත්ත්වය සම්බන්ධව සිදුකළ විමසීමේදී R.D. සුමනරත්න මහතා පෙන්වා දුන්නේ ද ශ්‍රී ලංකාවේ සිට සංචාර සඳහා සහ වෙනත් කටයුතු සඳහා විදෙස්ගතවන පිරිස ගමන්මළුවල මෙවැනි චීස් ගෙනවිත් රට තුළ විකිණීම වැළැක්වීම සඳහා මෙලෙස ඇතැම් ආහාරපානවල සටහන් කර තිබීමට ඉඩ ඇති බවයි. මෙහිදී එතුමා පෙන්වා දුන්නේ මෙලෙස ගෙන එන ද්‍රව්‍ය රේගුවේදී වෙනත් විකිණීම සඳහා යොමු කරන ආහාර ද්‍රව්‍යවලට ලබා දෙන නිසි පරීක්ෂා කිරීම්වලට ලක් නොවී රට තුළට මුදා හැරෙන බවයි. මෙය කිසිසේත්ම මහජනතාවගේ සෞඛ්‍ය සැලකීමේදී අනුමත කළ හැකි තත්ත්වයක් නොවෙයි.

ආහාර ද්‍රව්‍ය ආදිය රට තුළ විකිණීම සඳහා මුදාහැරීමේදී සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු රේගුව එක්ව නීති රෙගුලාසි රැසකට යටත්ව, එයට එකඟ වන්නේ නම් පමණක් ශ්‍රී ලාංකික වෙළඳපොළට යොමුකෙරෙනවා. නමුත් ගමන්මලුවල ගෙන එන ආහාර ද්‍රව්‍ය මෙලෙස නිසි නියාමනයකට ලක් වන්නේ නැහැ.

උදාහරණයක් ලෙස සුමනරත්න මහතා පෙන්වා දුන්නේ රට තුළට විකිණීම සඳහා ගෙන එන ආහාරවල නිෂ්පාදිත දිනයේ සිට කල් ඉකුත් වීමේ දිනය දක්වා ඇති කාලයෙන් 40%ට වඩා ගත වී ඇති ආහාර ද්‍රව්‍ය වෙළඳපොළට මුදා නොහරින බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ අවම වශයෙන් 60%කවත් පැවැත්මක් ආහාරය සඳහා පැවතිය යුතුයි.

ආහාරමය නිෂ්පාදන සලකන විට, මෙවැනි විශාල නීති රෙගුලාසිවලට අනුව අධ්‍යනය සිදුකර වෙළඳපොළට නිකුත් කෙරෙන නිසා එහි ගුණාත්මකභාවය හොඳ මට්ටමක පවතිනවා. නිසි නියාමනයකින් තොරව, පරිභෝජනයට ගෙන එන ආකාරයට ගමන්මලුවල ගෙන එන ආහාර ද්‍රව්‍යවල ගුණාත්මකභාවය මීට සාපේක්ෂව අඩුයි. එය දැනුම් දීම සඳහා ඇතැම් අවස්ථාවලදී මෙවැනි සටහන් භාණ්ඩවල දක්නට ලැබෙනවා.

මෙවැනි ආහාර විකිණීම සිදුකෙරෙන ස්ථාන වැටලීම් පවා රට තුළ වරින් වර සිදු වෙනවා. වෙනත් රටවලින් ගෙන එන භාණ්ඩවල ලේබල්වල ශ්‍රී ලංකාවේ නීති රෙගුලාසිවලට අනුව අවශ්‍ය මූලික කරුණු සඳහන් නොවන අවස්ථා පවතිනවා. එමෙන්ම ඒවා ශ්‍රී ලංකාවේ ප්‍රමිතීන්ට අනුකූල නොවනවා විය හැකියි. මක්නිසාද යත්, ඒ පිළිබඳව නිසි සොයා බැලීමක් හෝ නියාමනයක් සිදුවී නැහැ. මෙහිදී පාරිභෝගිකයාට සිදුවන හානිය අවම කිරීම මූලික වශයෙන්ම ඉලක්ක කරගෙන තිබෙනවා.

ඩුබායි සහ ලංකාවේ අලෙවි වන Happy Cow චීස් මිලෙහි වෙනස්කම් !

අප දැනට ලංකාවේ සහ ඩුබායි හි වෙළඳ සැල් කිහිපයක දක්වා තිබෙන මිල ගණන් ද සංසන්දන කිරීමක් සිදුකළා. Stassen Foods නිල වෙබ් අඩවියේ ඇතුළු ලංකාවේ සුපිරි වෙළඳ සැල් කිහිපයම වෙබ් අඩවිවල Happy Cow Cheese Round Box Portion 120g හි මිල රු.784ක් ලෙස දැක්වූ අතර ඩුබායි හි වෙළඳසැලක වෙබ් අඩවියක එහි මිල දැක්වුයේ AED 5.45 (රු.455ක් පමණ) ලෙසයි. මේ වෙනස පිළිබඳව අප Stassen Foods සාමාන්‍යාධිකාරී ගෙන් ද විමසීමක් සිදුකළ අතර ඔහු පවසා සිටියේ ලංකාවේ චීස් නිෂ්පාදන සඳහා බලපැවැත්වෙන ඉහළ රෙගු බදු අගය (Customs Duty) මෙසේ ඉහළ මිලක් පැනවීමට සඳහා ප්‍රධානතම සාධකය බවයි.

මීට පෙරත් කටාර්හි ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත චොකලට් පෆ් ළමයින් සඳහා නුසුදුසු බව දැක්වෙන සටහනක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා. ඒ පිළිබඳව අප කළ කරුණු විමර්ෂණයක් පහතින්.

Fact Check : කටාර් ළමුන්ට ලංකාවේ චොකලට් පෆ් සුදුසු නැද්ද?

තවත් මෙවන් කරුණු විමර්ෂණ සඳහා අප සමඟ එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

ඉහත විමර්ෂණයට අනුව, ඩුබායිවල ඇති Happy Cow චීස් ඇසුරුම්වල පිටුපස ‘ශ්‍රී ලංකාවේ විකිණීම තහනම්’ ලෙස දක්වා ඇත්තේ එහි ඉහළ ගුණාත්මකභාවය නිසාත්, ශ්‍රී ලංකාවේ අලෙවි වන්නේ අඩු ගුණාත්මකභාවයෙන් යුත් චීස් නිෂ්පාදන නිසාත් නොවෙයි.

වසර කිහිපයකට පෙර පටන් ගත් මෙසේ ‘ශ්‍රී ලංකාවේ විකිණීම තහනම්’ ලෙස ඇසුරුමේ පිටුපස මුද්‍රණය කිරීමට හේතු තිබුනේ, ලංකාවට සහ ඩුබායි වෙත එකම තොගයකින් Happy Cow නිෂ්පාදන පැමිණෙන නිසාත්, ඩුබායි සිට මෙරටට පැමිණෙන පිරිස් ගමන්මළුවල දමා, Happy Cow නිෂ්පාදන විශාල වශයෙන් ලංකාවට රැගෙන විත්, රට තුළ අලෙවි කිරීමේ දී ඇතිවූ ගැටලුකාරී තත්වයන් වැළැක්වීමටයි.

ගමන්මළුවල දමා චීස් නිෂ්පාදන ලංකාවට ගෙන ඒමේ දී අධික උෂ්ණත්වය ඇතුළු කරුණු හේතුවෙන්, චීස්වල ප්‍රමිතියට සහ ගුණාත්මකබවට එල්ල වන බලපෑම නිසා, එම හානිකාරී ත්ත්වයනේ පාරිභෝගිකයා ආරක්ෂා කිරීම මෙම තීරණයේ අරමුණයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඩුබායිහී විකිණෙන ‘Happy Cow’ චීස්, ශ්‍රී ලංකාවේ විකිණීම තහනම් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ විකිණෙන ‘Happy Cow’ චීස්වලට වඩා ඒවාගේ ගුණාත්මකබව ඉහළ නිසාද?

Fact Check By: Fact Crescendo Team

Result: Misleading

Tags:    

Similar News