ශ‍්‍රී ලංකාවේ මැතිවරණ සඳහා අදාළ නීති ශ‍්‍රී ලංකාවේ මැතිවරණ සඳහා අදාළ නීතිමය පසුබිම

Update: 2024-08-14 08:49 GMT

මැතිවරණ නීති යන්නෙන් අදහස් කරන්නේ, යම් මැතිවරණයක් සාධාරණ ලෙස හා නිදහස්ව පැවැත්වීමට අවශ්‍ය බලය, පරිපාටි හා ක‍්‍රමවේදය සඳහන් වන්නේ මැතිවරණ නීති හා රෙගුලාසි තුළය. මැතිවරණය යනු, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මංගල උත්සවයක් ලෙස හැඳින්විය හැක. මැතිවරණ නොමැතිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් පවත්වා ගෙන යා නොහැක. විටින් විට පවත්වන මැතිවරණ මෙන්ම එම මැතිවරණයන්හි සුපිළිපන් බව රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මේ තීරණාත්මක දර්ශකයන් වේ. මැතිවරණයක සුපිළිපන් බවට දේශපාලන පක්ෂ ලියාපදිංචියේ සිට මැතිවරණය පැවැත්වීමට අදාළ සියළු කරුණු, එනම් නාමයෝජනා භාර ගැනීම, මැතිවරණ ප‍්‍රචාරක කටයුතු මෙන්ම මැතිවරණයකින් පසුව මැතිවරණ පෙත්සම් ගොනුකිරීම මෙන්ම මැතිවරණයකින් තේරී පත් වූ මහජන ගියෝජිතයන් ඉවත් කිරීම සහ පුරප්පාඩු ඇති වන විට පුරප්පාඩු සම්පූර්ණ කිරීම දක්වා පුළුල් පරාසයක විහිදී යයි.

මැතිවරණයකට අදාළ එවැනි සිදුවීම් සම්බන්ධව පවතින නීතිමය තත්ත්වයන්ට පටහැනිව යම් පාර්ශවයක් කටයුතු කරන අවස්ථාවකදී එම තීරණ මගින් අතෘප්තිමත් වන පාර්ශවයන් අධිකරණයේ පිහිට පැතීම සුලබ කරුණකි. එවැනි නඩු කටයුතු වලදී අධිකරණයන් ලබාදෙන තීරණ නීතියේ අපැහැදිලි තත්ත්වයන් පැහැදිලි කරන අතර ඇතැම් අවස්ථා වලදී පුරවැසි අයිතිවාසිකම් පුළුල් ලෙස අර්ථ නිරූපණය කිරීමක්ද සිදුවේ. එමෙන්ම එම තීරණය මැතිවරණයක් සම්බන්ධ තීරණාත්මක මග පෙන්වීම් ලෙසද සැලකිය හැකිය.

ශ‍්‍රී ලංකාවේ මැතිවරණ නීතියේ විකාශනය සංක්‍ෂිප්තව

ශ‍්‍රී ලංකාවේ පළමු ඡන්ද විමසීම වාර්තා වන්නේ 1866 වසරේදීය. ඒ කොළඹ සහ මහනුවර නගර සභා සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමීම්ය. ඉන්පසුව 1867 වසරේදී ගාල්ල නගර සභාව සඳහා සභිකයන් තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් පවත්වන ලදී. ව්‍යවස්ථාදායකය සඳහා පළමුවරට මැතිවරණයක් පවත්වන ලද්දේ මැකලම් කොමිෂන් සභා නිර්දේශ යටතේ සකස් කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය අනුව 1911 නොවැම්බර් 16, දෙසැම්බර් 12 සහ 13 දින වලදීය. මැතිවරණය සඳහා අදාළ නීතිමය ප‍්‍රතිපාදන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළම ඇතුළත් විය.

ලාංකික මැතිවරණ ඉතිහාසයේ සංදිස්ථානයක් වන්නේ ඩොනමෝර් කොමිෂන් සභාව වාර්තාව මත සම්මත කළ ඩොනමෝර් ව්‍යවස්ථාව ලෙස හඳුන්වන 1931 ලංකා (රාජ්‍ය මන්ත‍්‍රණ සභා) රාජ්‍ය සභා ආඥාව (Ceylon (State Council) Order in Council, 1931) 55. එමගින් සිදුකරන ලද විප්ලවීය ප‍්‍රතිපාදනය වූයේ සර්ව ජන ඡන්දබලය ලබාදීමයි.

1931 වසරේදී ලාංකියන්ට සර්වප්ත ඡන්ද බලය ලැබුණ අතර පැවැත් වූ පළමු මැතිවරණයේ සිටම බොහෝ මැතිවරණ ආශ‍්‍රිතව අධිකරණමය ක‍්‍රියාකාරකම් සිදු විය. ඇතැම් නඩු තීන්දු තව නීති වාර්තා සහ ශ‍්‍රී ලංකා නීති වාර්තා වලට ඇතුළත් වී ඇති නමුත් ඇතැම් නඩු තීන්දු එම වාර්තා වලට ඇතුළත් වී නැත. කෙසේ නමුත් මැතිවරණ වලට අදාළ නීතිරිති ද වරින්වර සංශෝධනය වන අතර අධිකරණයේ මතය කාලීනව වෙනස් වේ.

පසුව මැතිවරණ නීතියට එක් වූ ඉතාමත් වැදගත් නීතිමය ප‍්‍රතිපාදනය වන්නගේ සෝල්බරී ව්‍යවස්ථාව ලෙස හඳුන්වනු ලබන 1946 ලංකා (ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා) රාජ්‍ය සභා ආඥාවයි. නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ සංඛ්‍යාව මන්ත‍්‍රිවරයකුගේ සුසුදුකම් නුසුදුසුකම් පිළිබඳව එම ව්‍යවස්ථාව මගින් දක්වා තිබුණි.

මැතිවරණ නීති ඉතිහාසයේ වඩාත් වැදගත් සංදිස්ථානයක් සළකනු කළ ඊලඟ නීතිමය ප‍්‍රතිපාදනය වන්නේ 1946 ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ) රාජ්‍ය සභා ආඥාවයි. මෙතෙත් පැවති 1931 ලංකා (රාජ්‍ය මන්ත‍්‍රණ සභා මැතිවරණ) රාජ්‍ය සභා ආඥාව ඒ හා බැඳුණු සංශෝධන සහ 1946 ලංකා (ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ) (විශේෂ විධිවිධාන) රාජ්‍ය සභා ආඥාව පරිච්ඡින්න කරමින් සම්මත කළ මෙම නීතිය මගින් පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමසාරිස් ධුරයක් ඇති කරන ලදී. ඒ අනුව මැතිවරණ පැවැත්වීමට නිශ්චිත නිලධාරීන්ට වගකීම් පැවරීමක් මෙම පනත මගින් සිදුවිය.

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා 1946 අංක 53 දරණ පළාත් පාලන ආයත ඡන්ද විමසීමේ පනත සම්මත කිරීමත් සමග පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වීමේ බලතලද මැතිවරණ කොමසාරිස්වරයාට පවරන ලදී. මෙම ආඥා පනත අද දක්වාම විවිධ සංශෝධනයන්ට ලක්වෙමින් ක‍්‍රියාත්මක වේ.

නමුත්, 1978 නව ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මැතිවරණ ක‍්‍රමයේ විශාල වෙනසක් සිදුකළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් විය. විශේෂයෙන්ම කොට්ඨාශ මැතිවරණ ක‍්‍රමය වෙනුවට සමානුපාතික නියෝජනය ක‍්‍රමයත් පසුව එකී ක‍්‍රමය මනාප ක‍්‍රමය දක්වා සංශෝධනය කිරීම මෙම ව්‍යවස්ථාව මගින් සිදු විය. එසේම ජනමත විචාරණය නමින් නව මැතිවරණයක් හඳුන්වා දීමත් විධායක ජනාධිපතිධූරයක් හඳුන්වාදීම මගින් ජනාධිපති මැතිවරණ හඳුන්වා දීමත් මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් සිදු විය. පසුව මෙම ව්‍යවස්ථාවට 1987 වසරේදී සිදුකරන ලද 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා හඳුන්වා දීමත් සමගම පළාත් සභා ඡන්ද විමසීම් ද ශ‍්‍රී ලාංකික මැතිවරණ පද්ධතියට එක් විය. එසේම මැතිවරණ පැවැත්වීම සඳහා අදාළ නීති පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතු බව ද ව්‍යවස්ථාවේ සඳහන් විය.

1980 වසරේදී හඳුන්වාදුන් සංවර්ධන සභා පැවැත්වීම සඳහා දිස්ත‍්‍රික් සංවර්ධන සභා ඡන්ද විමසීම් පනතද ශ‍්‍රී ලංකාවේ එක් වරක් පමණක් ක‍්‍රියාත්මක වූ මැතිවරණයක් සඳහා නීතිමය ප‍්‍රතිපාදන සැලසූ අතර පළාත් සභා හඳුන්වාදීමත් සමග දිස්ත‍්‍රික් සංවර්ධන සභා අහෝසි විය.

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වාදුන් සමානුපාතික නියෝජන ක‍්‍රමයට අනුරූපී ලෙස පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීම සඳහා 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත හඳුන්වාදෙන ලදී. වැඩිදුර තොරතුරු මෙතනින්

එසේම නව ව්‍යවස්ථාව මගින් හඳුන්වාදුන් ජනාධිපතිවරණය සහ ජනමත විචාරණය පැවැත්වීම සඳහා පිළිවෙලින් 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පනත සහ 1981 අංක 7 දරණ ජනමත විචාරණ පනත හඳුන්වා දෙන ලදී. එසේම පළාත් පාලන ආයත ඡන්ද විමසීම් ආඥා පනතද සමානුපාතික නියෝජන ක‍්‍රමයට අනුකූල ලෙස සංශෝධනය කරන ලදී. එමෙන්ම 1987 වසරේදී 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වාදුන් පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා 1988 අංක 2 දරණ පළාත් සභා ඡන්ද විමසීම් පනත හඳුන්වා දෙන ලදී.

2001 වසරේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ලද 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ කොමිෂන් සභාව හඳුන්වා දීම මැතිවරණ නීතියේ සිදුවූ සුවිශේෂී පියවරකි. ඒ අනුව මැතිවරණ පැවැත්වීම සඳහා ස්වාධීන ආයතනයක් ස්ථාපනය කරන ලදී. 2001 වසරේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළට ඇතුළත් වුවද මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳ අදහස මුලින්ම සඳහන් වූයේ ව්‍යවස්ථා කටයුතු අමාත්‍යංශය විසින් 1997 වසරේදී ප‍්‍රකාශයට පත් කරන ලද රජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලියෙහි ය

1978 වසරේ සිට සමානුපාතික නියෝජන ක‍්‍රමයට පැවති පළාත් පාලන මැතිවර වරණ වෙනුවට සමානුපාතික සහ කොට්ඨාස ක‍්‍රමය එක් වූ මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයක් 2012 අංක 22 දරණ පළාත් පාලන ඡන්ද විමසීම ස්වශෝධතා පනත මගින් සිදුවිය. පළාත් පාළන මැතිවරන සඳහා හදුන්වාදුන් මෙම ක‍්‍රමය 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසිම් සශෝධතා පනත මගින් පළාත් සභා සඳහාද හදුන්වාදීම සිදුවිය.

පසුව මැතිවරණ නීතියට එක්වූ සුවිශේෂී සංශෝධනයක් වූයේ පළාත් පාලන ආයතන සඳහා සියයට 25 ක කාන්තා නියෝජනය අනිවාර්ය කිරිමයි, ඒ සඳහා නීතිමය ප‍්‍රතිපාදන සලසන ලද්දේ 2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මගිනි.

මැතිවරණ පිළිබඳ මූලික නීතිය.

ශ‍්‍රී ලංකාවේ පවත්වන මැතිවරණ පිළිබඳ මූලික නීතිමය ප‍්‍රතිපාදන ඇතුලත් වන්නේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුලයි. ඒ අනුව ලංකාවේ පවතින මැතිවරණ වල මූලික ලක්ෂණය වන්නේ මහන නියෝජිතයින් තෝරා පත්කර ගන්නේ සමානුපාතික නියෝජිත ක‍්‍රමයට අනුව වීමයි.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ XIII හා XIV වන පරිච්‌ජේදයන් හි මැතිවරණ ක‍්‍රියාවලියට අදාල මූළික නීතිය ඇතුලත් වේ. ඒ අනුව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 88 හා 89 ව්‍යවස්ථා අනුව, ශ‍්‍රී ලාංකික පුරවැසියකු වන වයස අවුරුදු 18 සම්පූර්ණ කරන ලද අදාල ඡන්ද නාම ලේඛණයේ නම ලියාපදිංචි වී ඇති සෑම තැනැත්තෙක්ම ජනාධිපතිවරයා තෝරාපත් කිරීමේ ඡන්ද වීමසීමකදී සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයකදී ඡන්ද හිමියකු වීමට හෝ යම්කිසි ජනමත විචාරණයකදී ඡන්දය දීමට හෝ මූළික වශයෙන් සුදුස්සෙක් වන්නේය. ඡන්ද දායකයකු වීමේ නුසුදුසුකම්ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින්

වයස අවුරුදු 18 සම්පූර්ණ වුවද ඡන්ද නාම ලේඛනයේ තම ඇතුළත්ව නොමැති නම් ඡුන්ද භාවිතා කළ නොහැකි බැවින් ද ඡන්ද නාමලේඛන සකස් වන්නේ වසරකට එක් වරක් පමණක් බැවි ද වයස අවුරුදු 18 සම්පූර්ණ වුවද ඇතැම් අවස්ථා වලදී තරුණයන්ගේ ඡුන්ද අයිතිය අහිමිවීම් දක්නට ලැබිණි. මෙම තත්ත්වය මග හැරීම සඳහා නීතිමය ප‍්‍රතිපාදන 2021 අංක 22 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත මගින් සිදුකරන ලදී. වයස 18 සම්පූර්ණ කරන පුරවැසියන්ට සිය තම ඡන්ද නාම ලේඛනයේ පරිපූරක ලැයිස්තුවට ඇතුළත් කිරීමට සෑම වසරකම පෙබරවාරි 1 සිට මැයි 31 දක්වාද, ජුනි 1 සිට සැප්තැම්බර් 31 දින දක්වාද, සහ ඔක්තෝබර් 1 වන දින සිට එළඹෙන වසරේ ජනවාරි 31 දක්වා යන කාල සීමාවලදී ඇතුළත් කරගැනීමට අවස්ථා මේ අනුව ලැබේ.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුල පවතින මූලික මැතිවරණ නීතිවලට අදාල පටිපාටිය නීතීන් කලින් කලට පාර්ලිමේන්තුව විසින් සම්මත කරගනු ඇත.

මැතිවරණ වලට අදාළ නෛතික ප‍්‍රතිපාදන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ මෙන්ම මැතිවරණ සහ ඡුන්ද විමසීම් වලට අදාළ පනත් තුළ ද සඳහන් වේ. එයට අමතරව මැතිවරණ ආශ‍්‍රිතව ලබාදුන් විවිධ නඩු තීන්දු මගින්ද නව නීති සම්පාදනයවී තිබේ.

ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ පවත්නා මැතිවරණ නීති ගැන අවධානය යොමු කළ හොත්,

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව

1946 මැතිවරණ රාජාඥාවේ තවමත් බලපාන කොටස්

1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත

1981 අංක 07 දරන ජනමත විචාරණ පනත

1988 අංක 02 දරන පළාත් සභා මැතිවරණ පනත

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනත (262 අධිකාරිය)

1946 අංක 53 පළාත් පාලන මැතිවරණ ආඥා පනත (මේ වනවිට සංශෝධන 17 ක් කර ඇත)

2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත

2016 අංක 01 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (සංශෝධන ) පනත

ආදී නීතීන් ඒ ඒ මැතිවරණයට අදාලව මූලික නිතීන් ලෙස කටයුතු කරයි. මෙම සියළුම මැතිවරණ මෙහෙය වීමේ පූර්ණ බලධාරියා වන්නේ මැතිවරණ කොමිෂන් සභාවයි. මැතිවරණ පනත් පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්

Tags:    

Similar News