ජනාධිපතිවරණයක දී දෙවන, තෙවන මනාප හරියටම දාන්නේ කොහොමද?

Update: 2024-08-16 03:25 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අපේක්ෂකයින් 39 සමගින්, ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග වදින ජනාධිපතිවරණය බවට 2024 ජනාධිපතිවරණය පත් වී තිබේ. මෙවර මැතිවරණය ගැන අදහස් දක්වන බොහෝ විචාරකයින් පෙන්වා දෙන්නේ, මෙවර මැතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයින් කිහිප දෙනෙකු අතර තියුණු තරගයක් දැකගැනීමට හැකි වනු ඇති බවටයි.

ඒ අනුව, ප්‍රධාන අපේක්ෂකයින් අතරින් කිසිවෙකුට හෝ ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් හරි අඩක්, නැතහොත් 50% ක් ලබාගැනීමට අපොහොසත් වුවහොත්, ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තේරීමට, දෙවන හා තුන්වන මනාප ගණන් කිරීම හෙවත් ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ ‘දෙවන වටය‘ අනුගමනය කළ යුතු වෙයි. 

විශේෂයෙන්ම සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලබාගත හැකි ප්‍රබල අපේක්ෂකයින් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු තරඟ කරන අවස්ථාවක, මේ ආකාරයෙන් ‘දෙවන වටය‘ වෙත යාමට ඇති සම්භාවිතාව ඉහළ යනු ලබයි.

මෙය නැවත ඡන්ද විමසීමක් නොව, ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට මනාම ලබාදුන් ඡන්ද දායකයින් හැරුණු විට, සෙසු අපේක්ෂකයින් ද ඡන්දය ලබාදුන් පිරිසගේ, දෙවන හා තෙවන මනාප ගණන් කිරීමකි.

ජනාධිපතිවරණයක දී මනාපය පළ කරන්නේ කොහොමද?

පළමු වටයේදී 50% ට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන, එක් අපේක්ෂකයෙකු සෙසු අපේක්ෂකයින්ට වඩා සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින්නේ නම්, දෙවන මනාපය ගණනය කළ ද, බොහෝ දුරට එම අපේක්ෂකයාට ම ජයග්‍රහණය කිරීමේ කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

කෙසේ වෙතත්, අපේක්ෂකයින් දෙදෙනෙකු එක ළඟ ඡන්ද ප්‍රතිශත පළමු වටයේදී ලබාගෙන තිබුනේ නම් (උදා 38% සහ 40%) මෙවැනි අවස්තාවක දී සෙසු 22%ක ඡන්ද දාකයින්ගේ දෙවන සහ තෙවන මානප ඔස්සේ සිදුකරන ගණනය කිරීම තීරණාත්මක වෙනු ඇති.

ඒ නිසා අපි නිවැරදිව දෙවන සහ තෙවන මානප සලකුණු කරන හැටි බලමු.

https://youtu.be/tu3euSXTf_E

ඔබ ඡන්දය ලබා දෙන්නේ එක් අපේක්ෂකයෙකුට විතරයි නම් ඒ අපේක්ෂකයාගේ නම සහ ලකුණ ඉදිරියේ 1 ඉලක්කම හෝ කතිර (X) සලකුණ ලකුණු කරන්න ඕනා. එය ප්‍රමාණවත්.

ඒවගේම ඔබ කැමති නම්, ඔබගේ මනාපය අපේක්ෂකයින් දෙන්නෙකුට හෝ තුන්දෙනෙකුට ලබා දෙන්නත් පුළුවන්.

දෙදෙනෙකුට පමණක් ඡන්දය ලබා දෙන්නේ නම්, ඔබගේ කැමැත්තේ පිළිවෙලට, ඒ අපේක්ෂකයන්ගේ නම සහ සලකුණ ඉදිරියේ පිලිවෙළින් 1 සහ 2 යනුවෙන් සටහන් කරන්න ඕනා.

තුන්දෙනෙකුට ඡන්දය ලබා දීමට අදහස් කරනවා නම්, ඒ අපේක්ෂකයන්ගේ නම සහ සලකුණ ඉදිරියේ පිලිවෙළින් ඔයාගේ පළවෙනි මනාපය, දෙවෙනි මනාපන සහ තුන්වෙනි මනාපය 1, 2, 3 ලෙස සටහන් කරන්න ඕනා, එතකොට තමයි ඔයාගේ මනාපය වලංගු වෙන්නේ.

නමුත් එක්කෙනෙක්ට වැඩි ඔයාගේ මනාප, කතිර ලකුණු (X) වලින් ඒ අපෙක්ෂකයින් තුන්දෙනාටම සටහන් කරොත් කොටින් ම ඔයාගේ ඡන්ද පත්‍රිකාවේ කතිර ලකුණු (X) එකකට වැඩියෙන් සටහන් කළොත් ඔබගේ ඡන්දය අවලංගු ඡන්දයක් වෙනවා.

ඡන්ද පත්‍රිකාවේ කතිර ලකුණ සටහන් කර දෙවෙනි සහ තුන්වෙනි මනාප සඳහා ඉලක්කම් සටහන් කරත්, ඔබගේ ඡන්ද අවලංගු ඡන්ද වලට තමයි වැටෙන්නේ. ඡන්ද පත්‍රිකාවේ පළමු අපේක්ෂකයාට 1 ලකුණ සදහන් කර අනෙකුත් අපේක්ෂකයින් සඳහා කතිර ලකුණු යෙදුවත් ඒත් ඔයාගේ ඡන්දය අවලංගුයි. News.lk

මේ පිලිබඳ විස්තරත් ඇතුළත් කරමින්, ඔබේ වටිනා ඡන්දය අවලංගු කරගන්නේ නැතිව නිසි ලෙස භාවිතා කරන අයුරු දැනුවත් කරමින්, මැතිවරණ කොමිෂන් සභාව විසින් පළකර තිබු නිල නිවේදනය පහතින්.

දෙවන මනපාය ගණන් කරන්නේ කොහොමද?

දෙවන මනපාය ගණන් කිරීම පිළිබඳ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කළකට පෙර පැහැදිලි කළේ මෙලෙසින්.

කිසිඳු අපේක්ෂකයකු (ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන්) 50%ක් හා එකක් ලබා නැත්නම් දෙවන වටයේ ගණනය කිරීමකට යා යුතුය. මේ පිළිබඳව උදාහරණ සහිතව පහත සඳහන් පරිදි පැහැදිලි කරන ලදි.

ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඡන්දදායකයින්ට ස්වකීය කැමැත්තේ ප්‍රමාණය හෙවත් මනාපයේ ප්‍රමාණය අනුව අපේක්ෂකයන්ට 1, 2, 3 අංක යොදා මනාප භාවිතා කරමින් ඡන්දය දිය හැකිය. කැමැත්ත එක් අපේක්ෂකයකුට පමණක් නම් අවශ්‍ය 1 පමණක් ද යෙදිය හැකි ය. නැතහොත් සුපුරුදු කතිරය (x) යෙදිය හැක.

A, B, C, D සහ E යනුවෙන් අපේක්ෂකයින් පස් දෙනෙකු තරඟ කරන්නේ යැයි ද, සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 100ක් වන බව ද, උපකල්පනය කරමු. එවිට ඒ ඒ අපේක්ෂකයා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව මෙසේ යැයි සිතමු. A= 40, B = 35, C= 15, D= 6, E= 4

මේ අනුව, පළමු වටයේ ගණනය කිරීමෙන් පස්සේ, දෙවන වටයේ තරඟය පවතින්නේ පළමුවන්නා හා දෙවැන්නා වූ A සහ B අතර පමණක් වේ. සෙසු තිදෙනා C, D, E තරඟයෙන් ඉවත් කෙරේ.

මෙහිදී පළමු හා දෙවන ස්ථාන ලබාගත් A හා B ගේ ඡන්ද පත්‍රිකාවල ලකුණු කර ඇති මනාප පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත.

ඡන්ද 15ක් ලබා ගත් C ගේත්, ඡන්ද 6 ක් ලබා ගත් D ගේ ත්, ඡන්ද 4 ක් ලබාගත් E ගේත්, ඡන්ද පත්‍රිකා සියල්ල සලකා බලනු ලැබේ.

මුලින්ම C ගේ ඡන්ද පත්‍රිකා ගැන සලකා බැලීමේ දී, C සඳහා කතිරය පමණක් සලකුණු කර ඇති ඡන්ද ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එමෙන්ම 1 පමණක් සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එසේ කරන්නේ ඒවායේ වෙනත් අයකුට මනාප ප්‍රකාශ කර නොමැති බැවිනි.

ඡන්ද පත්‍රිකාවල 1 වැනි මනාපය C සඳහා ද 2 වැනි මනාපය A හෝ B, සඳහා ලකුණු කර ඇති නම් A සඳහා ලකුණු කළ ඡන්ද පත්‍රිකා A ට වෙන් කර ඇති පෙට්ටියට ද B සඳහා ලකුණු කර ඇත්නම් B සඳහා වෙන් කර ඇති පෙට්ටියට ද දමනු ලැබේ. (මෙවැනි ඡන්ද පත්‍රිකාවල තුන්වන මනාපය හෙවත් 3 ඉලක්කම ගැන සලකා බැලීම අවශ්‍ය නොවේ.)

C සඳහා 1 ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවල 2 ඉලක්කම හෙවත් 2 මනාපය සටහන් කොට තිබුණේ D හෝ E සඳහා නම්, 3 ඉලක්කමක් හෙවත් 3 මනාපය එහි සටහන් තබා ඇත් ද, යන්න පරීක්ෂා කර බලා 3 සටහන් කොට නොමැති නම් එය ද, පසෙකින් තබනු ලැබේ. එහෙත් මෙහි 2 වැනි මනාපය D හෝ E සඳහා වූ විටත්, 3 වැනි මනාපය සටහන් කර ඇත්තේ A සඳහා හෝ B සඳහා නම් එම ඡන්ද ප්‍රතිකා අදාළ වන පරිදි A ගේ සහ B ගේ ඡන්ද සඳහා වෙන් කළ පෙට්ටිවලට දමනු ලැබේ.

එහෙත් 2 මනාපය D සඳහා ලබා දී 3 සටහන් කොට ඇත්තේ E සඳහා නම්, එවිට E තරඟයේ නොමැති බැවින් එය ද පසෙක තබනු ලැබේ. 2 වැනි මානාපය E සඳහා ලබා දී 3 වැනි මනාපය D සඳහා දී ඇත්නම් එය ද, ඒ අයුරින්ම පසෙක තබනු ලැබේ.

සරලව කිව්වොත්, C ගෙන් දෙවන හෝ තෙවන මනාප නිවැරදි ලෙස ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවල, දෙවන හෝ තෙවන හෝ මනාප A ට හෝ B ට හෝ නොවේ නම් ඒ සියල්ල පසෙක තැබෙනවා.

ඉතින් මේ ආකාරයට ම D හා E ලබාගත් ඡන්දවල 2,3 මනාප අනුව A හා B වෙත ලබාදීම හෝ පසෙක තැබීම කරමින් මෙම ඡන්ද 25 ම A හෝ B වෙත එකතු කිරීම හෝ නොසලකා හැරීම සිදු කරනු ලැබේ.

පළමු වටයේ එක හා දෙක ස්ථාන ලැබූ අපේක්ෂකයින් දෙදෙනාට, දෙවන මනාපය ලෙස එකතු වන ඡන්ද ප්‍රමාණය මෙම ගණනය මගින් වෙන් කොට ගනු ලැබේ.

එසේ බෙදීමෙන්, A සඳහා අමතර ඡන්ද 03ක් ද, B සඳහා ඡන්ද 10ක් ද ලැබුණේ යැයි උපකල්පනය කරමු. එවිට A ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 43 ක් ද, ( A= 40+3 = 43) ද, B ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව (B = 35+10 = 45) 45 ක් ද වනු ඇත. දැන් වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 88 කි. A ගේ සහ B ගේ සමස්තයේ එකතුව එනම් 43 + 45 = 88 කි. මෙහි දී එයින් අඩකට වඩා එනම් 45 ක් ලබා ගන්නා ලද B හට මෙහි දී ජයග්‍රහණය හිමි වේ.

මෙහි දී වලංගු ඡන්ද සංඛ්‍යාව 100 ක් ලෙස සලකා ඉන් අඩකට වඩා එනම් 51 ක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත.

* මෙහිදී A ට අමතර ඡන්ද 8ක් ද B ට අමතර ඡන්ද 5ක් ද ලදහොත් A = 48 ද B = 40 ද වී A ජයග්‍රහණය කරනු ඇත.

* Aට හෝ B ට කිසිම අමතර මනාපයක් නොලදහොත් A = 40, B = 35 බැවින් A ජයග්‍රාහකයා වේ.

* දෙවන ගණනය කිරීමෙන් පස්සෙත්, A හා B සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇත්නම් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් කුසපත් ඇදීමක් මගින් අමතර ඡන්දයක් එක් අයෙකුට එකතු කරනු ඇත.

Tags:    

Similar News