මාලිමාවට ඡන්දය දෙද්දි අපේක්ෂකයින්ට මනාපය පළ කළ යුතු නැද්ද?

Update: 2024-10-15 10:26 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Full View

පාර්ලිමේන්තු මැතිවරණයට ඇත්තේ, තවත් මසයකට අඩු කාලයක්. පක්ෂ අතර, මෙන්ම විවිධ අපේක්ෂකයන් අතර තරඟයද තීව්‍ර වෙමින් තිබෙන පසුබිමක, මාලිමාවේ ‘මනාප පොරයක්’ නොමැත යනුවෙන් සඳහන් සටහන් පෙළක් ගැන. මාලිමාවට පක්ෂ / විපක්ෂ බොහෝ දෙනෙකු විමසිලිමත් වී තිබුණා.

මේ හේතුවෙන් මෙහි නිවැරදි කරුණු සොයා අප විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“මාලිමාවේ මනාප පොරයක් නැත පක්ෂයට කතිරේ ගහන්න. ඔවුන් සුදුසුම පුද්ගලයා පාර්ලිමේන්තු යවයි” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.


මෙම සටහන් බහුලව ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණේ මේ අයුරින්




 





 





 





 





 





 


මෙහි නිරවද්‍යතාව විමසමින් අප වෙත ඉල්ලීම් කිහිපයක් ද, ලැබුණු අතර ඒවා ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ විමසා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම):

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප ක්‍රමයෙන් බැහැරව පක්ෂයට පමණක් ඡන්දය ලබා දෙන ලෙසත්, පක්ෂය විසින් එමගින් තේරීපත් වන පුද්ගලයන් කවුරුන් ද, යන්න තීරණය කරන බවටත් ප්‍රකාශයක් හෝ සඳහනක්, ජාතික ජන බලවේගය විසින් පවසා ඇත්ද යන්න පිළිබඳ අප පරීක්ෂා කළා. නමුත් අප ට එවැනි තීරණයක් ගත් බවට කිසිදු සඳහනක් දැක ගන්නට නොලැබුණි.

නමුත් පසුගිය කාල වකවාණුවේදී, ජාතික ජන බලවේගයේ සාමාජිකයින් විසින් ‘මනාප පොරයක්’ යනුවෙන් නිතර ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මෙන් ම වෙනත් අවස්ථාවන් වලදී සඳහන් කළ බැවින් මේ පිළිබඳ එම පක්ෂයේ ප්‍රබල සාමාජිකයන් මෙන් ම පක්ෂයේ මාධ්‍ය අංශයෙන් ද, අප විමසීමක් කළා.

බිමල් රත්නායක

ජාතික ජන බලවේගයේ සාමාජික, ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක බිමල් රත්නායක සදහන් කළේ, අනෙකුත් පක්ෂ අනුගමනය කරන අයුරින්ම ජාතික ජන බලවේගය ද මැතිවරණ නිතිය අනුව ක්‍රියා කරන බවත්, එනම් ඡන්ද දායකයා, මාලිමාවට ඡන්දය ලකුණු කර ඉන්පසුව ස්ව කැමැත්ත අනුව මනාප ඡන්ද ලබා දීම සිදුකළ යුතු බවයි. කෙසේනමුත් මෙහිදී මනාප ලබා ගැනීමට එක් එක්කෙනා අතර පොරයක් නොමැති බව යි ඔහු පෙන්වා දුන්නේ. ඔහු මේ පිළිබඳ වැඩි දුරටත් කරුණු පැහැදිලි කළේ මෙලෙසින්.

“අපේ ප්‍රතිපත්තිය අපි අතර මනාප පොරයක් නැහැ. අපි මුළු ඡන්ද ව්‍යාපාරයම කරන්නේ සාමූහික ප්‍රචාරක සැලැස්මක් ඇතුලේ. ඒ කියන්නේ එක්කෙනෙක්ගේ විතරක් කාර්යාල නැහැ. එක්කෙනෙක්ගේ විතරක් තියෙන පෝස්ටර් නැහැ. නමුත් ජනතාවට අපේක්ෂකයන්ට මනාප දෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවට තෝරා පත්වෙන්නේ මනාප පිළිවෙලට. මේක මැතිවරණ නීතිය. මනාප වැඩිපුර ගත්තු කෙනෙක් වෙනුවට මනාප අඩුවෙන් ගත්ත කෙනෙක් පක්ෂයෙන් තෝරලා යවන්නේ නැහැ.”

ජාතික ජන බලවේගය

ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය සඳහන් කළේ, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ ව්‍යාපාරය කළ ලෙසම, ජාතික ජන බලවේගය ද මැතිවරණ කටයුතු සිදුකරන නිසා, ඒ හේතුවෙන් පක්ෂයේ මනාප පොරයක් නෑ’ යනුවෙන් සඳහන් කෙරෙන බවයි. එහෙත්, පක්ෂෙට ඡන්දය ලබා දීම පමණක් ප්‍රමාණවත් වන අතර සුදුස්සා පක්ෂෙන් තෝරා යවනවා කියන කථාව එයින් අදහස් නොකරන බවත්, ඔවුන් පෙන්වා දෙනවා.

මනාප පොරයක් නෑ යනුවෙන් අර්ථවත් වන්නේ, අපේක්ෂකයන්ගෙන් අපේක්ෂකයා කාර්‍යාල පිහිටුවන්නේ නැති බව සඳහන් කරමින්, NPP මාධ්‍ය අංශය පවසන්නේ අදාළ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් ප්‍රදේශ බෙදාගනිමින්, තුන්දෙනෙක් හෝ දෙන්නෙක් ලෙස කාර්‍යාල පිහිටවගෙන මැතිවරණ ව්‍යාපාරය සිදු කරන බවයි.

ඒ අනුව, මාලිමාවට කතිරය සලකුණුු කර, ඔබේ ප්‍රදේශයේ මාලිමාවෙන් තරඟ වදින අපේක්ෂකයින් දෙදෙනෙකු හෝ තිදෙනෙකුට, තම කැමැත්ත පරිදි මනාප ලබා දිය යුතු බවයි NPP මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන් ම දිස්ත්‍රික්කයේ වෙන ප්‍රදේශයක අපේක්ෂකයෙක්ට මනාපෙ දීමට නොහැකි බව ට මින් අදහස් නොවන බව ත්, දිස්ත්‍රික්කයේ ඕනෑම NPP අපේක්ෂකයෙකුට මනාපෙ දීමේ හැකියාව පවතින බවත්, මනාප පොරයෙන් තොර මැතිවරණ ව්‍යාපාරයක් කිරීම සඳහා සහ සාමුහික ප්‍රයත්නයක් නිසා මෙම ක්‍රමේට වැඩ කටයුතු සිදු කෙරෙන බවයි ඔවුන් වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කරේ.

මනාප ඡන්ද ක්‍රමය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ 14 වැනි සං‌ශෝධනය මගින් සෑම ‌දේශපාලන පක්ෂයක් ‌හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ‌තෝරා පත්කර යැවිය යුතු අ‌පේක්ෂකයින් සංඛ්‍යාව සඳහා පදනම්කර ගත යුතු මනාප ඡන්ද ක්‍රමයක් හඳුන්වා ‌දී තිබේ.

තමා ඡන්දය ප්‍රකාශ කරන පක්ෂය ‌හෝ කණ්ඩායම තුළ සිටින අ‌පේක්ෂක ලැයිස්තුව අතරින් ඔහු/ඇය ‌ගේ මනාපය සලකුණු කිරීමට සෑම ඡන්ද දායක‌යෙකුටම අයිතිය හිමි ‌වේ. ‌තේරීම් බාර නිලධාරියා විසින් නාම‌යෝජනා පත්‍ර භාරගැනී‌මෙන් අනතුරුව එක් එක් අ‌පේක්ෂකයාට ලබා‌දෙන අංක අනුව එකී මනාප උපරිම තුනක් සළකුණු කළ හැකිය.

ඡන්ද ගණන් කිරී‌මේ ‌දෙවැනි අදිය‌රේදී මනාප ඡන්ද ගණන් කිරීම සිදු කරන අතර එමගින් යම් ‌දේශපාලන පක්ෂයක් ‌හෝ ස්වාධීන කණ්ඩායමක් මගින් ‌තේරී පත් වූ නිශ්චිත අ‌පේක්ෂකයින් කවුරුන් දැයි නිශ්චය කරනු ඇත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මීට අමතරව අදාළ පක්ෂයට ලැබෙන ඡන්ද ප්‍රමාණය අනුව ජාතික ලැයිස්තු ආසන හිමිවේ නම්, එහිදී අදාළ පක්ෂයට හෝ ස්වාධින කණ්ඩායමට සිය ජාතික ලැයිස්තුවෙන් මන්ත‍්‍රී ධුර අපේක්ෂකයින් තෝරා ගැනීම සිදුකළ හැකියි. NPPජාතික ලැයිස්තුව මෙතිනින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, එළැඹෙන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන්ට මනාප ලබා දිය යුතු නැති බවත්, පක්ෂයට පමණක් ඡන්දය ලබා දීම ප්‍රමාණවත් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ සටහන් නොමග යවන සුළු බවයි. ජාතික ජන බලවේගය සඳහන් කරනු ලබන්නේ, වෙනත් පක්ෂ මෙන් ම, මෙහිදීද, අපේක්ෂකයන් සඳහා මනාප පළ කළ යුතු බවත්, පක්ෂයේ අපේක්ෂකයන් අතර මනාප ලබා ගැනීමේ පොරයක් නොමැති බව මෙමඟින් අදහස කෙරෙන බවයි.

මැතිවරණ නිතිය අනුව, වෙනත් පක්ෂවල මෙන්ම, NPP සඳහා ද අදාළ දිස්ත්‍රික්කයෙන් ලබාගන්නා ඡන්ද අනුව අවසානයේ හිමිවන ආසන සංඛ්‍යාව සඳහා තේරී පත්වෙන්නේ, වැඩිම මනාප ලබගන්න්නා අපේක්ෂකයිනුයි.

Claim :  මාලිමාවට ඡන්දය දෙද්දි අපේක්ෂකයින්ට මනාපය පළ කළ යුතු නැද්ද?
Claimed By :  Social Media Users
Fact Check :  MISLEADING
Tags:    

Similar News