මහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අයදුම්පත් යොමු කරන ආකාරය!

Update: 2024-09-28 03:24 GMT


Full View


තැපෑලෙන් ඡන්දය දීමට අපේක්ෂිත ඡන්දහිමියන් වෙත මැතිවරණ කොමිෂම් සභාව විසින් විශේෂ දැනුම් දීමක් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

එළඹෙන නොවැම්බර් 14 දිනටපැවැත්වීමට නියමිත් පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව ඡන්ද විමසීමේ තැපෑලෙන් ඡන්දය දීමට අපේක්ෂිත සියලුම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම 2024.10.01 දින ආරම්භ වී 2024.10.08 දින අවසන් වේ. මේ සඳහා වලංගු ඡන්දහිමි නාම ලේඛනය වන්නේ 2024 වර්ෂයේ සහතික කරන ලද 2024 (1) CR ඡන්දහිමි නාමලේඛනයයි. (2024 ජනාධිපතිවරණය සඳහා භාවිතා කරන ලද නාමලේඛනය)

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සපුරා ඇති එමෙන්ම පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් කළ සියලුම දෙනා මෙම ඡන්ද වීමසීම සඳහා නැවතත් ස්වකීය තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්යය බව මාද්‍ය නිවේදනයේ සඳහන් කර තිබේ.

ඒ අනුව, සුදුසුකම් සපුරා ඇති සියලු අයදුම්කරුවන්ගේ අයදුම්පත් 2024.10.08 දින හෝ එදිනට පෙර අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී (දිස්ත්‍රික් මැතිවරණ කාර්‌යාල) වෙත ලැබී තිබිය යුතු බව සියලුම ආයතන ප්‍රධානීන්, සහතික කිරීමේ නිලධාරීන් හා තැපැල් ඡන්දහිමියන් වෙත වැඩිදුරටත් දන්වා සිටි.


තැපැල් ඡන්ද පහසුකම් සැලසිය යුත්තේ කවර පාර්ශව වලටද ?

*මැතිවරණ රාජකාරි පැවරීමට ඉඩ ඇතැයි සලකන රාජ්‍ය නිලධාරීන්

*අත්‍යවශ්‍ය සේවාවන්හි සේවයේ නියුතු නිලධාරීන්, සේවකයින්

*ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකාය යටතේ දිවයිනේ සියලුම ප්‍රදේශවල ආරක්ෂක කටයුතු වල නිරත පුද්ගලයින්

මෙලෙස ඔවුන් හට විශේෂයෙන් මෙම අවස්ථාව ලබාදී ඇත්තේ, අදාල ඡන්ද දිනයේදී, එදිනට තමාට අදාල මැතිවරණ රාජකාරි හෝ අත්‍යවශ්‍ය සේවා රාජකාරිවල අඛණ්ඩව, බාධාවකින් තොරව යෙදීමට ඉඩ කඩ ලබාදීමටයි.

තැපැල් ඡන්ද අයදුම් කිරීමේදී තැපැල් ඡන්ද දායකයින්ගේ පහසුව සඳහා ලියාපදිංචි ඡන්ද හිමියන් පිළිබඳ තොරතුරු ලබාගත හැකි ක්‍රම මොනවාද?

*දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඡන්ද විමසීම් පැවැත්වෙන දිස්ත්‍රික්කවලට අදාළ සියළුම ඡන්දහිමි නාමලේඛන‍ ප්‍රදර්ශනය කෙරේ.

*ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ ලේඛන ප්‍රදර්ශනය කෙරේ.

*සියළුම ග්‍රාම නිලධාරී කාර්යාලවල ග්‍රාම නිලධාරී වසමට අදාල කොටසේ නාමලේඛන ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

*ඡන්දහිමි නාමලේඛනය ප්‍රතිශෝධනයේ දී ගෘහයෙන් ගෘහයට බෙදා ඇති බීසී ආකෘති පත්‍රයේ ලදුපතෙහි අලවා ඇති ඡන්දහිමි නාමලේඛනයේ ඒ ඒ ගෘහයට අදාළ ලියාපදිංචි ඡන්ද හිමියන් ගේ ලැයිස්තුව මගින් ද තොරතුරු ලබාගත හැකිය.

*රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ 1919 දුරකථන අංකය අමතා ද ලියාපදිංචි ඡන්ද හිමියන් පිළිබඳ තොරතුරු ලබාගත හැකි අතර එහිදී අදාළ ඉල්ලුම්කරු විසින් ඔහුගේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය, පදිංචි දිස්ත්‍රික්කය හා ග්‍රාම නිලධාරී වසම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචියට අදාළ ඡන්ද කොට්ඨාස අංකය සහ අනුක්‍රමික අංකය ලබාගත හැකිය.

තැපැල් ඡන්දදායකයෙකු වශයෙන් සලකනු ලැබීම සඳහා කරන ලද ඉල්ලීම පිළිනොගන්නා (ප්‍රතික්ෂේප වන ) අවස්ථා මොනවාද?

*අයදුම්පතේ පරිපාලන දිස්ත්‍රික්කය වැරදි ලෙස සඳහන් කර ඇති විට,

*තැපැල් ඡන්ද ඉල්ලීමේ හිමිකමක් නොමැති අවස්ථාවක,

*අයදුම්පතේ සඳහන් තොරතුරු ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි තොරතුරු හා නොගැලපෙන විට,

*නමට ඇති අනුක්‍රමික අංකය අයදුම්පතේ නිවැරදිව සඳහන් කර නොමැති විට,

*ඉල්ලුම්කරු ඉල්ලුම්පත අත්සන් කර නොමැති අවස්ථාවක,

*සහතික කිරීමේ නිලධාරී අයදුම්පත සහතික කර නොමැති අවස්ථාවක,

*තේරීම්භාර නිලධාරී වෙත අයදුම්පත ප්‍රමාද වී ලැබීම නිසා,

*ඡන්ද විමසිම් රාජකාරි සඳහා යොදවා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති විට

තැපැල් ඡන්ද අයදුම්පත පිළිගත් ‍බව හෝ නොපිළිගත් බව දැන ගත හැකි ක්‍රමය කුමක්ද?

*සෑම තැපැල් ඡන්ද අයදුම්පතක් සම්බන්ධයෙන්ම අයදුම්පත පිළිගත් බව හෝ නොපිළිගත් බව දන්වා යවනු ලැබේ.

*මෙම ලිපිය සහතික කිරීමේ නිලධාරීට පිටපතක් ‍සහිතව අදාළ ඡන්ද හිමියා වෙත යවනු ලබයි.

*අවශ්‍යයයි තීරණය කරනු ලබන අවස්ථාවන්හිදී අදාළ ලිපියේ පිටපතක් ඡන්ද හිමියාගේ පෞද්ගලික ලිපිනය වෙත ද යැවේ.

තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දී පැමිණ සිටිය හැකි අය කවුරුන්ද?

*තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කාර්ය මණ්ඩලය.

*තරඟ කරනු ලබන අපේක්ෂකයකුගේ ඡන්ද නියෝජිත/ බලයලත් නියෝජිත හෝ පත් කරනු ලබන නියෝජිත එක් අයෙක්.

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ හැක්කේ කුමන අවස්ථාවේදීද?

*තැපැල් ඡන්ද නාම ලේඛනයේ සඳහන් නම් දෙකක් එකම තැනැත්තාට අයත් බවට පෙනී යන විට හෝ අන්‍ය ආකාරයකින් ඒ බව ඒත්තු යන අවස්ථාවක.

තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාලව රහස්‍යතා ප්‍රකාශ අත්සන් කරවා ගත යුත්තේ කවර පුද්ගලයින්ගෙන්ද?

*තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙතින්,

*තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරියා තේරීම් භාර නිලධාරී / සහකාර තේරීම් භාර නිලධාරී වෙතින් හෝ තමා විසින්ම.

තැපැල් ඡන්ද සඳහා ඉල්ලීම් අයදුම් කිරීමේ පියවර දැක්වෙන, ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් 2018 වසරේදී නිකුත් කරන ලද සවිස්තරාත්මක වීඩියෝවක් මෙතනින්. ඒ අනුව අන්තර්ජාලයේ e-service හරහා තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සඳහා මෙතනින් හෝ මෙතනින් මැතිවරණ කොමසාරිස් කාර්‍යාලයේ වෙබ් පිටුව වෙත යොමු විය හැකියි.

මෙම අයදුම්පත යොමු කිරීමේ දී තමා ඒ සඳහා සුදුසුකම් ලැබීමේ හැකියාව පිළිබඳව අවබෝධයකින් පසුවීම සහ එහි දත්ත නිවැරදිව, ක්‍රමවත්ම යෙදීම ඉතා වැදගත්.

තැපැල් ඡන්දය පිලිබඳව වැඩිදුර සවිස්තරාත්මක තොරතුරු සහ වැඩිවශයෙන් අසනු ලබන පැනවලට පිළිතුරු මෙතනින්.

නියමිත ඡන්ද පොළක දී ඡන්දය දීමට නොහැකි වීම පිළිබඳව සාධාරණ බියක් ඇතිවිට ඡන්දය දීමේ කාර්‍ය පටිපාටිය

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ 127 ආ වගන්තිය මඟින් එවැනි සැකයක් හෝ බියක් ඇති ඡන්ද දායකයින්ට, වෙනත්, පහසුවෙන් ළඟා විය හැකි ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කළ හැකිවන ලෙස වැඩපිළිවෙලක් මෙහෙයවිය හැකියි. මෙවැනි අයෙකුට, මැතිවරණය සඳහා නාමයෝජනා දැන්වීමේ සිට දින 07ක් (මෙවර ඔක්තෝබර් 01 දින තෙක්) රාජගිරිය, සරණංකර මාවතේ පිහිටා ඇති මැතිවරණ කොමිෂන් සභා කාර්‍යාලයට හෝ තමාගේ පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලයට එහි අඩංගු තොරතුරු පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලදාරී විසින් තහවුරු කළ, ඉල්ලුම් පත් ලබාදිය යුතුයි.

මීට අදාල මාධ්‍ය නිවේදනය මෙතනින්.

Tags:    

Similar News