ආන්දෝලනයකට තුඩු දුන් සජබ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහගෙන් නිකුත් වූ ලිපිය ව්‍යාජ ලිපියක්ද?

Update: 2024-09-28 08:04 GMT

ශ්‍රී ලංකාව තුළ, වර්තමානයේ පවතින ප්‍රධානතම විරුද්ධ පක්ෂය ලෙස දැක්විය හැකි වන්නේ සමඟි ජන බලවේගය හෙවත් සජබ යයි. පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුව, මෑතක සිට, සජබයේ නායකත්වය, විශේෂයෙන්ම එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ පලකිරීම් සිදුකෙරුණ අතර, එම සටහන් සමාජයේ විශේෂ අවදානයකටද ලක් වුණා. මේ අතුරින් ඇතැම් සටහන්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණය අරමුණු කරගෙන සජිත් ප්‍රේමදාස මහතා සහ සජබය අපහසුතාවයට පත් කිරීමට පල කෙරෙන නොමඟ යවන සුළු හෝ වෙනස් කරන ලද සටහන් සහ පල කිරීම් බව පෙනී යනවා.

සමාජ මාධ්‍ය පලකිරීම් :

මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ පල කෙරුණු සටහනක දැක්වුණු සමඟි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතාගේ ලිපි ශීර්ෂය සහිත ලිපියක් ඔස්සේ පෙන්වා දී තිබුණේ, සජබය නව ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි. එමෙන්ම, පසුගිය ජනාධිපතිවරණ සමයේදී සජබය විසින් ජාතික ජන බලවේගය විවේචනය කිරීම් යතාර්ථය මත පදනම් වූ ඒවා නොවන බවත්, ඒවා හුදෙක් මැතිවරණ ව්‍යාපාරයේ කොටසක් පමණක් බවත් එම ලිපියේ සඳහන් වෙනවා.

ඒ අනුව, මෙම ලිපිය රැගත් සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ චෝදනා කරන්නේ, සජබය ඔවුන් මින්පෙර මැතිවරණ සමයේදී ජාතික ජන බලවේගය ඉලක්ක කර සිදු කරන ලද ප්‍රකාශ සත්‍ය ඒවා නොවන බවට ඔවුන් පිළිගෙන බවත්, මැතිවරණ වාසි තකා කියා සිටින ලද ප්‍රකාශ පමණක් බවයි.


මෙම ප්‍රකාශයේ ඇති දේශපාලනික වැදගත්කම සලකා , ඒ පිළිබඳව අප විසින් සම්පූර්ණ කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කළා.

Fact Check (කරුණු තහවුරු කිරීම)

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ සටහන් සමඟ විමසා බැලීම:

මෙම ප්‍රකාශය සම්බන්ධව සුජීව සේනසිංහ මහතා හෝ සජබය විසින් කිසියම් නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේද යන්න තහවුරු කරගැනීම සඳහා අපි ප්‍රධාන ධාරවේ මාධ්‍ය ආයතන ඔස්සේ සවිස්තරාත්මක සොයා බැලීමක් සිදු කළත්, මෙම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපිය පිළිබඳව හෝ ඒ සම්බන්ධ චෝදනා ආශ්‍රිත කිසිදු වාර්තාවක් හෝ ලිපියක් නොමැති බව පෙනී ගියා.

ඒ අනුව, සජබය කිසිඳු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් නිකුත් කර ඇති බවට පිළිගත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල කිසිඳු සටහනක් නැහැ.

සමඟි ජන බලවේගයේ මාධ්‍ය ඒකකය ඔස්සේ විමසා බැලීම:

මෙම ලිපියේ සත්‍යතාවය පිළිබදව තවදුරටත් තහවුරු කරගැනීම සඳහා අපි සජබ මාධ්‍ය ඒකකය සම්බන්ධ කරගත්තා. ඔවුන් මීට ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ මෙම ලිපිය ව්‍යාජ එකක් බවයි.

ඒ අනුව, සුජීව සේන්සිංහ මහතා විසින් නිකුත් කරන ලද පණිවිඩයක් ලෙස හුවා දක්වමින් මෙම ලිපියේ දක්වා ඇති අන්තර්ගතය සත්‍ය නොවන බව ඔවුන් පෙන්වා දුන්නා. එමෙන්ම මෙවන් මාධ්‍ය නිවේදනයක් එම පක්ෂය විසින් කිසිඳු අවස්ථාවක නිකුත් නොකළ බවටත් තහවුරු කළා.

තවද, ඔවුන් විසින් සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ ප්‍රචාරය වන මෙම ලිපියේ භාවිත වන ලිපි ශීර්ෂයේ පවතින විෂමතා ඇතුළු නොගැලපීම් කිහිපයක් පෙන්වා දුන්නා. සජබය, ජනාධිපති මැතිවරණ සමයේදී අනුර කුමාර දිසානායක මැතිතුමාව විවේචනය කළ අතර, එම විවේචන පිළිබඳව ස්ථාවරත්වය තවදුරටත් තම පක්ෂය වෙනස් කර නොමැති බව සජබ මාධ්‍ය ඒකකය අවධාරණය කළා.

ලිපියේ සත්‍යතාව පරික්ෂා කිරීම:

අපි සමාජ මාධ්‍යවල පලවෙන ලිපිය සමාලෝචනය කර, මින්පෙර සජබය විසින් නිකුත් කරන ලද නිල නිවේදන සමඟ සසඳා බැලීමක් සිදු කළා. එහිදී පෙනී ගියේ එම ලිපියේ ලිපි ශීර්ෂයේ පිරිසැලසුම, හැඩතල ගැන්වීම සහ සැලසුම, සජබය විසින් නිකුත් කර අව්‍යාජ ලිපි ශීර්ෂ සමඟ නොගැලපෙන බවයි. එමඟින්ද මෙම ලිපිය ව්‍යාජ එකක් බවට තවදුරටත් තහවුරු වුණා.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳව තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

සමඟි ජන බලවේගය, අනුර කුමාර දිසානායක සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති බවත්, සජබය විසින් මැතිවරණ සමයේදී අනුර කුමාර දිසානායක මහතාට එල්ල කළ චෝදනා හුදෙක් මැතිවරණය නිසාවෙන් පවසන ලද, යතාර්ථයක් නොවන ඒවා බවත් පවසමින්, සමඟි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා විසින් නිකුත් කර්න ලද නිල මාධ්‍ය නිවේදනයක් ලෙස පෙන්වා දෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපිය, ව්‍යාජ ලිපියක්. තම පක්ෂය විසින් එවැනි ලිපියක් නිකුත් නොකළ බව සජබයේ මාධ්‍ය ඒකකය විසින් තහවුරු කර තිබෙනවා. එමෙන්ම, සජබයේ නිල නිවේදන ලිපියකට වඩා මෙම ලිපියේ අඩංගු වෙනස්කම් ඔස්සේ ද මෙය සාවද්‍ය ලේකනයක් බවට තහවුරු වෙනවා.

Claim :  ආන්දෝලනයකට තුඩු දුන් සජබ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහගෙන් නිකුත් වූ ලිපිය ව්‍යාජ ලිපියක්ද?
Claimed By :  Social media
Fact Check :  FALSE
Tags:    

Similar News