NPPයෙන් මේරියන්ස් සාමාජිකයින්ට මරණ තර්ජන ?

Update: 2024-09-10 12:47 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

විශේෂයෙන්ම මැතිවරණ ළං වන විට කලාකරුවන් බොහෝ විට දේශපාලන කටයුතු වල නියලෙන ආකාරය අපට දැකගන්නට හැකියි. ඔවුන්ගේ මැදිහත්වීම අපේක්ෂකයින්ට විවෘතව සහාය දීමේ සිට ඔවුන්ගේ වැඩ හරහා සමාජ ගැටළු විසඳීම දක්වා විවිධ ආකාර ගන්නා බව අපට මේ දිනවල දැකගන්නට පුලුවන්. කෙසේ වෙතත් එක් පාර්ශවයක් වෙත නැඹුරුවීම හේතුවෙන් බොහෝ අවස්තාවල කලාකරුවන්ට පවා තම විරුද්ද මතයන් දරන පාර්ශව වල විවේචනයන්ට ලක්වීමට සිදු වන බව පැහැදිලි කරුණක්. මේ ආකාරයට පළ කළ වීඩියෝවක් අළලා පළ වූ නොමග යවන සුළු සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය පළ කිරීම් :

දසත නිවුස් නම් ෆේස්බුක් පි‍ටුවේ එම සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා මහතා විසින් තම සංගීත කණ්ඩායමේ සාමාජිකයින් ට ජීවිත තර්ජන ඇවිත් බවට ප්‍රකාශයක් කළ බවට දක්වා තිබුණු බවට ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින්.


සින්දුවක් කිව්වා කියලා මේරියන්ස් සංගීත කණ්ඩායමටත් තර්ජන ඇති බවට ප්‍රකාශයක් පසුගියදා මනූෂ නානායක්කාර මහතා විසින් ද, ප්‍රකාශ කර තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාව කුමක්ද යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා :

ලංකාවේ ප්‍රසිද්ද සංගීත කණ්ඩායමකට මරන තර්ජන සැබවින් ම එල්ල වී ඇත්නම් ඒ බවට සැබවින් ම ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කළ යුතු බැවින් අප ප්‍රථමයෙන් ම එවැනි වාර්තාවක් පළ වී ඇත්ද යන්න පරීක්ෂා කළා. නමුත් අපට එවැනි පුවතක් පිළිබඳ ව හෝ එම සංගීත කණ්ඩායමේ නායකයා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට හෝ පුවත් දැක ගන්නට නොලැබුණි.

එමෙන් ම ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි ‘දසත’ පුවත් නිල ෆේස්බුක් පිටුවේ හෝ එහි ‍වෙබ් අඩවියේ හෝ නලින් පෙරේරා විසින් එවැනි ප්‍රකාශයක් කළ බවට පුවතක් පළ වී ඇති බව ක් හෝ දැක ගන්නට නොලැබුණි. අප මේ පිළිබඳව දසත පුවත් අධ්‍යක්ෂකගෙන් ද, විමසීමක් කළ අතර ඔහු තහවුරු කළේ ද, මෙවැනි පුවතක් පළ නොකර බවයි. එම ෆේස්බුක් පිටුවේ ද, ඔවුන් ඒ බව ට සඳහන් කර තිබුණේ මේ අයුරින්. Archived Link

පසුබිම් කතාව :

පසුගිය දිනක ‘මේරියන්ස්’ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් විසින් ගීතයක් ගායනා කළ අතර එහිදී එම කණ්ඩායමේ ‘රෝසා’ විසින් “අපි ඔක්කොම ආස කරන ගීතයක් තියෙනවා. අපි විතරක් නෙමෙයි මුලු රටම ආසයි මේ ගීතයට” යනුවෙන් ගීතයක් ගැයීමට ආරම්භ කරනු ලැබුවා.

එහිදී ඔහු ගායනා කරනු ලබන ගීතයේ වචන නම්,

“මාලි..මා එක්ක එන්න යන්න - අනාගතේ සිහින දකින්න, ඕලු මලක් ගෙල පළඳන්න” ඉන් පසුව තව ත් සාමාජිකයෙකු විසින් එම ගීතය අවසන් කරනු ලබන්නේ, 21 අනේ එක පාරක් දිලා බලන්න යනුවෙනි.

Full View

Archived Link

මෙහිදී මුල් ගායනයේ පද මාලා සුළු වශයෙන් වෙනස් කරමින් මොවුන් විසින් ගායනය කරනු ලබනවා.

එමෙන් ම මේ ගායනයේ මුල් ගීතයේ පද පෙළේ සඳහන් ‍වන්නේ, “මාලි..මා එක්ක එන්න යන්න - අතීතයේ සිහින මවන්න, ඕලු මලක් ගෙල පළඳන්න කුඩා කාලේ ගැයූ ගීත ගයන්න” යනුවෙනි. එම මුල් ගායනයේ වීඩියෝවක් මෙතනින්.

නමුත් මෙම ගායනය “මාලි..මා එක්ක එන්න යන්න - අනාගතේ සිහින දකින්න, බොරු පොරොන්දු මාලාවක් එවපන්, 21 අනේ එක පාරක් දිලා බලන්න” යනුවෙන් මේරියන්ස් කණ්ඩායම ගායනය කළ බව ත්, මේරියන්ස් කණ්ඩායම විසින් මාලිමාවට ‘කින්ඩියක්’ දැමූ බවට සඳහන් කරමින් එම වීඩියෝව ම වෙනත් අර්ථකථනයකින් පළ වී තිබුණේ මෙලෙසින්. Archived Link

මේරියන්ස් කණ්ඩායමේ මතය :

එමෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ වෙනත් අර්ථයෙන් පළ වන මෙම වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම වීඩියෝවේ සිටින තව ත් සමාජිකයෙක් වන දිලීප මන්ගල විසින් සමාජ මාධ්‍ය සටහනක් දක්වමින් සඳහන් කර තිබුණේ, එම ගීයේ වෙනස් කල වචන වලින් (හිටිවන වචන) කිසිවෙකුටත් මඩ ගැසීමක් හෝ දැනට සමාජයේ භාවිතා වන වචනයෙන් කිවුවොත් "කිණ්ඩියක්" දැමීම සිත් තුල නොතිබුණු බවයි. "බොරු මල්ලක්" යනුවෙන් ඔවුන් පැවසුවේ නැති බව ත්, එම ගීතයේ වචන වෙනස් කරමින් අදහස් කලේ එක පාරක් පමණක් දැනට දූෂණය අඩු (මාගේ දැණුමේ හැටියට) පක්ශයකට අවස්ථාව දීලා බලන ලෙස බව ත් සඳහන් කර තිබුණේ මෙලෙසින්. Archived Link

එමෙන් ම මේ ගීතය ගායන කළ ‘මේරියන්ස්’ කණ්ඩායමේ සාමාජිකයින් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු අන්දමින් පළ වන වීඩියෝව සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් පවසා තිබුණේ, මෙම ගීතය මාලිමාවට පක්ෂග්‍රාහිව ගායන කළ ගීතයක් බවයි. එම සම්පූර්ණ වීඩියෝව පහතින්.


Full View

මීට පෙර නලින් පෙරේරා මහතා විසින් මාලිමා රජයට සහය දැක්වූ අවස්ථාවක් මෙතනින්.

සමාජ මාධ්‍ය වල පෙන්වා දෙන පරිදි මාලිමාවෙන් හෝ වෙනත් දේශපාලන පක්ෂයකින් හෝ මරණ තර්ජන එල්ල වී ඇත්ද යන්න අප නලින් පෙරේරාගේ කළමණාකරුගෙන් ද විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ, ඒ ආකාරයෙන් කිසිඳු මරන තර්ජනයක් මේරියන්ස් සංගීත කන්ඩායමේ සුබාශ් සහ රෝසා වෙත එල්ල වී නොමැති බවයි. එමෙන් ම සුභාෂ් සහ රෝසාට මරණ තර්ජන එල්ල වීම ගැන නලින් පෙරේරා කිසිදු ප්‍රකාශයක් නොකළ බව ඔහු තහවුරු කළා. සමාජ මාධ්‍ය පෝස්ට් වල අදහස් දැක්වීම් කොටස්වල සුභාෂ් සහ රෝසා විවේචනයට ලක්ව ඇති නමුත් කිසිම මොහොතක තර්ජන වලට ලක්ව නොමැති බව ත් ය.

ජාතික ජන බලවේගය :

මේ පිළිබඳව ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය පැවසුවේ, ඕනෑම කෙනෙකුට තමන් කැමති දේශපාලන මතයක් දැරීමට ඉඩ ඇති බව ත්, මාලිමාවට අකමැති පරිසකට වුවද, මරණ තර්ජන එල්ල කර ඡන්දය ලබා ගැනීමට හෝ මත වෙනස් කිරීම වැනි ක්‍රියා මෙම පක්ෂය විසින් සිදු නොකරන බවයි. නමුත් ඉහත වීඩියෝව සත්‍ය වශයෙන් ම මාලිමාවට පක්ෂව ඉදිරිපත් කළ අවස්ථාවක් බවයි ඔවුන් පෙන්වා තිබුණේ.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Tags:    

Similar News