සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන බවට Wion ජාත්‍යන්තර මාධ්‍ය නාලිකාව වාර්තා කළා ද?

Update: 2024-09-06 05:40 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අළලා සමීක්ෂණයන් වූ බව ට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර ප්‍රතිඵල සටහන් සංසරණය වනු ලබනවා. එමෙන් ම ජාත්‍යන්තර මාධ්‍ය විසින් ද, එවැනි ප්‍රතිපල නිකුත් කළ බවට සඳහන් කරමින් ද, නොමග යන අයුරින් සටහන් පළ වන අතර එලෙසින් පළ වූ මත විමසුමක සත්‍ය සොයා Factcrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාව කරපු සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.



මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරාවකින් මෙරට පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණයේදී, අපේක්ෂකයින් අතරින් වැඩි මනාප ලබා ගනිමින් ජයග්‍රහණය කරන අපේක්ෂකයා කවුද යන්න වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කරනු ලැබුවා.

නමුත් අපට ඒ ආකාරයෙන් සමීක්ෂණයක්, මත විමසුමක් සිදු කළ බව ට දැක ගන්නට ලැබෙන කිසිදු පිළිගත හැකි නිල මූලාශ්‍රයක් දැක ගැනීමට නොහැකි විය.

ඉන් අනතුරුව ඉහත සමාජ මාධ්‍ය සටහනේ පෙන්වා දී තිබූ මත විමසුම සඳහා පාදක වී තිබූ ඉන්දීය ඉංග්‍රීසි භාෂා ප්‍රවෘත්ති නාලිකාවක් වන ‘WION’ නාලිකාවේ ප්‍රවෘත්ති මැදිරියේ ඡයාරූපයක් බව ට දැක ගන්න ට ලැබෙන බැවින් අප එම නාලිකාව විසින් ඉහත සඳහන් ආකාරයේ මත විමසුමක් සිදු කර ඇත් ද යන්න පිළිබඳ ව ද, පරික්ෂා කරනු ලැබුවා.

ඒ අනුව සමාජ මාධ්‍ය සටහනේ පෙන්වා දීපු ඡායාරූපය ඇතුළත් එම නාලිකාව විසින් සිදු කර තිබූ වැඩසටහන වූයේ, ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු තරඟ කරන බවට පසුගිය අගොස්තු 28 වන දා පළ කරන ලද පුවතක් බවයි.


Full View

එමෙන් ම එම පුවතේ කිසිදු අවස්ථාවක මෙම මැතිවරණය සම්බන්ධයෙන් මත විමසුමක් සිදු කළ බව හෝ අපේක්ෂකයින් අතරින් ජයග්‍රහණය කළේ, කවුරුන්ද යන වග හෝ සඳහන් කර නොතිබුණු බව ත්, ප්‍රධාන අපේකෂකයින් 4 දෙනෙකු ඇතුළත් තරඟකරුවන් 39ක් තරඟ කරන බව ත්, එම පුවතේ සඳහන් කර තිබුණා. මෙරට ජනාධිපතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයින් සම්බන්ධයෙන් පමණක් එම පුවතේ සඳහන් වී ඇති බව ද, අපගේ අවධානයට ලක් වුණා.

එමෙන් ම ඉහත සමාජ මාධ්‍ය සටහන සඳහා යොදාගෙන තිබූ ඡායාරූපය ‘WION’ නාලිකාවේ වැඩසටහනේ දී ද, දැක ගන්න ලැබෙන අතර නමුත් සමාජ මාධ්‍ය සටහනේ පෙන්වා දෙන පරිදි එහි මනාප ලබා ගත් ප්‍රතිශත සඳහන් කර නොතිබුණි. එම අවස්ථාවේ රූප රාමුව පහතින්. එම අවස්ථාව මෙතනින්.

සත්‍ය වීඩියෝවේ රූප රාමුව සහ ඒ ඇසුරින් නිර්මාණය කළ සංස්කරණය කරන ලද ඡායාරූප අතර රූප සංසන්දනය පහතින්.


Wion නාලිකාවේ තහවුරු කිරීම

අප මේ සම්බන්ධයෙන් Wion නාලිකාවේ මෙරට මාධ්‍ය සම්බන්ධීකාරක දසුනි අතාවුදගෙන් විමසීමක් කළ අතර, ඇය තහවුරු කළේ, ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් කිසිදු සමීක්ෂණයක් හෝ මත විමසුමක් මෙම ආයතනය මගින් සිදු නොකළ බව ත්, මෙම පුවතේ දැක්වෙන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයින් 39 දෙනා සම්බන්ධයෙන් පමණක් බව ත් ය.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර මාධ්‍ය විසින් මෙවර ජනාධිපතිවරණය සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බවට මත විමසුමකින් ලැබූ ප්‍රතිඵල පෙන්වා ඇති බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. මෙම සටහනට පාදක කරගෙන තිබූ ජාත්‍යන්තර මාධ්‍ය ලෙස පෙන්වා තිබුණේ, ඉන්දීය නාලිකාවක් වන ‘WION’ නාලිකාවේ ප්‍රවෘත්ති මැදිරියේ ඡයාරූපයක් වන අතර එම ඡායාරූපය සංස්කරණය කරමින් මෙලෙස නොමග යවන සුළු අන්දමින් මෙම සටහන නිර්මාණය කර තිබුණා. එම නාලිකාව විසින් ද , තහවුරු කළේ එවැනි සමීක්ෂණයක් සිදු නොකළ බව ත්, මෙය අසත්‍ය පුවතක් බව ත් ය.

Tags:    

Similar News