අසරණ වූ පුද්ගලයන් හට ආධාර උපකාර බලාපොරොත්තුවෙන් සමාජ ජාලා වල පළවන සටහන් බොහෝ විට අපට දකින්නට ලැබෙනවා. ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළද මෙවැනි ආකාරයේ සටහන් බොහොමයක් අපට නිරන්තරයෙන්ම දක්නට ලැබෙන අතර ඒවා හට බොහෝ දෙනෙක් මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබා දීමට උත්සුක වන අයුරු ද අපට දැකගන්න පුලුවන්.

මේ ආකාරයට නවනැලිය නම් ගමක අහිංසක පවුලක් ජීවත් වු නිවසක් ගිනි ගෙන විනාශ වී ඇති බව සඳහන් කරමින් ආධාර ලබාදෙන ලෙස ඉල්ලා පසුගිය දිනවල හුවමාරු වී තිබු සටහන් පිලිබඳ විමර්ශනයේදී අපට අනාවරණය වුයේ එය මීට වසර 4කට පෙර සිද්ධියක් බවත් දැන් කිසිඳු ආකාරයේ ආධාරයක් අවශ්‍ය නොවන බවත්ය

සමාජ මාධ්‍ය සටහන්:

One - වන් නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් ඡායාරූප කිහිපයක් ද සහිතව පුවතක් පසුගිය මැයි මස 17 වෙනිදා පළකර තිබුනේ නවනැලිය නම් ගමක අහිංසක පවුලක කුඩා නිවාස ගිනි ගෙන විනාශ වී ඇති බව පවසමින්. හැකි ලෙස ආධාර ලබාගෙන ඉල්ලමින් පලවී වූ මෙම සටහනේ දුරකථන අංක 2ක් ද සටහන් කර තිබු අතර මෙම සටහන් හැකි තරම් හුවමාරු කරන ලෙස ඉල්ලීමක් ද සිදුකර තිබුණි.

FacebookArchived
Facebook Archived

මෙම පුවත පසුගිය කාලය පුරාවට ෆේස්බුක් පිටු සහ සමුහ රැසක් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

මෙම සටහන්වලට ප්‍රතිචාර දක්වමින් කිහිපදෙනෙක්ම මෙය පැරණි සිදුවීමක් බව වාර්තා කර තිබු බැවින් මේ පිලිබඳ වැඩිදුර විමර්ශනයක් සිදුකිරීමට අදහස් කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

නවනැලිය යනු මධ්‍යම පළාතේ පහතහේවාහැට ප්‍රදේශයේ පිහිටි කුඩා ගම්මානයක්. ඉහත පුවත් පිලිබඳව කරුනු සොයා බැලීමේදී අපට පෙනී ගියේ මෙම සිදුවීම පිලිබඳව මුලින්ම 2018 වසරේදී ෆේස්බුක් වෙත සටහන් කිහිපයක් ම එකතු කර තිබු බවයි.

ඉහත ඡායරූපම භාවිතා කරමින් “අම්බලම” නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් 2018 ඔක්තෝබර් මස 29 වනදා එම පුවතම පල කර තිබුනා. එම අසරණ පවුලට උපකාර වන ලෙස ඉල්ලමින් සිදුවීම පිළිබඳව එම ප්‍රදේශයේ පුද්ගලයෙකු පළකර තිබු සටහනක් මෙම සටහන් සඳහා මුල්වූ බවක් දැකගනන්ට ලැබුනා.

FacebookArchivedFacebook Archived

ඉහත සටහන් වලින් ලැබුණු ප්‍රතිචාර මධ්‍යයේ එම අසරණ පවුලට නව නිවසක් තනා දීමේ කටයුතු සිදුකරගෙන යන බවට සටහන් 2018 වසරේ අග භාගයේදී මෙසේ දැකගන්නට ලැබුනා. Link 1 | Link 2

එසේම 2019 සැප්තැම්බර් මස මව්බිම පුවත්පතේ “ගින්නෙන් විනාශ වූ නිවෙස වෙනුවට : නවනැලිය ගමේ මව සහ දියණියට නව නිවසක්” යනුවෙන් පුවතක් පලවී තිබුනා. එහි ඡායාරුපයක් පහතින්. මවුබිම පුවත්පතේ එම දිනයේ මුල් දිගුව මේ වන විට ක්‍රියා කලේ නැහැ.

Facebook Archived

ආධාර ඉල්ලා පල කල සටහන් වල තිබුනු දුරකථන අංකයකට අප ඇමතුමක් ලබාගත්තා. කාන්තාවක් විසින් ඇමතුමට පිලිතුරු දුන් අතර ඇය ප්‍රකාශ කලේ නැවත වරක් එම පුවත ෆේස්බුක්හි යම්කිසි පිරිස් විසින් පළකර ඇති බැවින් තමාට දුරකථන ඇමතුම් ද රැසක් ලැබෙන බවයි. බොහෝ අයගේ උපකාර හමුවේ පසුගිය වසරේ නිවස තනා නිමකළ බැවින් තව දුරටත් ආධාර අපේක්ශා නොකරන බැවින් එම සටහන් වලට ප්‍රතිචාර නොදක්වන ලෙසට ද ඉල්ලීමක් කලා.

Conclusion (අවසාන නිගමනය)

ඉහත සඳහන් කරුනු අනුව සලකා බලන කල අපට තහවුරු වන්නේ පහතහේවාහැට ප්‍රදේශයේ නවනැලිය ග්‍රාමයේ නිවසක් ගිනි ගෙන ඇතැයි පවසමින් ආධාර ලබාදෙන ලෙස පසුගිය දිනවල හුවමාරු වී තිබුනේ 2018 වසරේ පළවූ සටහනක් උපුටා දක්වමින් බවයි. 2019 වසරේ සැප්තැම්බර් මස ගින්නෙන් විනාශ වූ නිවෙස වෙනුවට, මව සහ දියණියට නව නිවසක් ඉදිකර ප්‍රදානය කර තිබු අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් කිසිඳු ආධාරයක් අවශ්‍ය වන්නේ නැහැ.

එබැවින් ගින්නක් හේතුවෙන් නවනැලිය ගමේ අසරණ පවුලකට ආධාර ඉල්ලා හුවමාරු වන සටහන් තවදුරටත් වලංගු නොවන සටහන් බව අපට තහවුරු කල හැකියි.

Avatar

Title:නවනැලිය ග්‍රාමයේ ගිනිගත් නිවසක් ගොඩනැගීමට මෙම අසරණ මව සහ දුවට ආධාර අවශ්‍ය ද?

Fact Check By: Sahan Perera

Result: Misleading