විපක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තුල වරින් වර විවිධ සටහන් ඉදිරිපත්වේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අළලා ද මෙවැනිම සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනු දැකීමට හැකිවිය. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ක්‍රියාකාරීන් අළලා ඉදිරිපත් වූ සටහන් කිහිපයක් පිළිබඳ අප සිදුකළ කරුණු විමර්ශනවලදී තහවුරු වූයේ එම සටහන් සාවද්‍ය සටහන් බවයි. එම විමර්ශන වාර්තා මෙතනින් සහ මෙතනින්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා විසින් නැවත උපත ලද කිතුණුවෙකු (Born again Christian) ලංකාවේ ජනාධිපති වීමට හැකියාවක් ඇති බවට පවසා තිබෙන බවට පලවන සටහන් සම්පුර්ණයෙන් ම අසත්‍ය බව අපට අනාවරණය විය.

සමාජ මාධ්‍ය සටහන්:

“බොන් අගේන් ආගම අදහන කෙනෙක්ට උනත් මේ රටේ ජනාධිපති වන්න පුළුවන්” තේමාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාගේ සේයාරුවක් සහිත සටහනක් Romantic Moments නමැති ෆේස්බුක් පිටුවක දකින්නට ලැබුණි.

FacebookArchived Link

තවද ඇන්තනි නමැත්තකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අතර ඇතිවු දුරකථන සංවදයක හඬපටයක් බව පැවසෙන වීඩියෝ සටහනක්ද “එරාන්ගෙ ෆෝන් කෝල් එක” තේමාවෙන්The Blockගල්” නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත්වී තිබුණි. සිංහල බෞද්ධයකු ජනාධිපතිකම ඉසිලු කාලය හමාර කරමින් බෝර්න් අගේන් ක්‍රිස්තුභක්තිකයකුට ජනාධිපති විය යතු බවත්, එ් සඳහා පල්ලියේ සහය ලබා ගන්නා අතර සහරාන්ගේ බිරිඳට මුදල් ලබා දුන් ආකාරයට මුදල් වැය කර රට අස්ථවර කළ යුතු බවත් හඬ පටියේ අඩංගු විය.

https://vimeo.com/499466783

FacebookVideo Archive

මේ ආකාරයෙන් බෝරන් අගේන් රාජ්‍යක් බවට ලංකාව පත් කල යුතුය යන තේමාව ඔස්සේ සමාජ මාධ්‍ය සටහන් රැසක් ම හුවමාරු වී තිබෙනු ද අපට නිරීක්ෂණය විය

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

නැවත උපත ලද කිතුණුවෙකුට (Born again Christian) ජනාධිපති විය හැකි බවට හෝ ජනාධිපති වීමේ සුදුසුකම් පිලිබඳ ව පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසා තිබුනේ දැයි අප ප්‍රධාන මාධ්‍ය ධාරාවේ ඇති වාර්තා පරීක්ෂා කළ නමුදු එවැනි වාර්තාවක් සොයාගැනීමට ලැබුනේ නැහැ.

එබැවින් සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරන මෙම සටහන්හි අන්තර්ගතය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට මෙම සටහන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාගේ මාධ්‍ය අංශය වෙත යොමු කළෙමු.

පුද්ගලකුට ඕනෑම ආගමක් ඇදහීමට නිදහස තිබෙන බවත්, ආගම කෙනෙකු සතු පෞද්ගලික අයිතිවාසිකමක් බවත් එයට දේශපාලනය ඈඳා ගත නොගත යුතු බවත් වෙනුවෙන් ඉරාන් වික්‍රමරත්න මහතා ඕනෑම වේලාවක පෙනී සිටිය ද ඉහත අකාරයේ ප්‍රකාශයක් කිසිවෙටෙකත් පැවසුවේ නොමැති බව තහවුරු කර සිටියා.

එසේම ඉරාන් වික්‍රමරත්න මහතා, ජනතා දේව සභාවේ සාමාජිකයෙකු බවත් ඔහුගේ පියා එම සභාවේ හිටපු නායකයා බවත් එමෙන්ම ඔහුගේ සොහොයුරා දැනට සිටින නායකයා බවත් සඳහන් කර සිටියා. ලංකාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරය දැරිය හැකි කා හට ද යන්න පිලිබඳ ව හෝ ජනාධිපති ධුරය සඳහා වෙනත් ආගමිකයකු සුදුසු බව හෝ ඉරාන් වික්‍රමරත්න මහතා කිසිඳු තැනක දී ප්‍රකාශ කර නොමැති බව ද සඳහන් කර සිටියා.

Also Read: Fact Check: ලංකාවේ ජනාධිපති වීමට සිංහල බෞද්ධ වීම අනිවාර්යද?

පසුගිය දිනවල ඉරාන් වික්‍රමරත්න මහතා ආණ්ඩු විරෝධී ප්‍රබල හඬක් නැගූ නිසා, ආණ්ඩුවට හිතවාදීන් විසින් ගෙන යන මඩ ප්‍රහාරයක් බවත් මෙය සම්පූර්ණයෙන් ම සාවද්‍ය බවත් දුරකථන සංවාදයේ ඇති හඬපටයේ ඇත්තේ ද වික්‍රමරත්න මහතා ගේ හඬ නොවන බවත් එතුමා කිසිම දිනක සහරාන්ට හෝ ඔහුගේ බිරියට මුදල් ලබා දී නෙමැති බවත් තරයේ අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සහරාන්ගේ බිරියට මුදල් ලබා දුන් බවට සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වු සටහන් පිලීබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදි එය අසත්‍ය බවට අවධාරණය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් යොමු කර තිබු බව දැන ගන්නට ලැබුණා. ඒ පිලිබඳ අපගේ වාර්තාව මෙතනින්. නමුත් මේ වන තෙක් එහි කිසිඳු ප්‍රතිඵලයක් ලැබී නොමැති බව ද අපට මාධ්‍ය අංශය දන්වා සිටියා.

එසේම සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු එරාන් රත්නායක මහතාගේ බවට පැවසෙන හඬ පටය සහ ඔහුගේම වන හඬ පටයක් ද අප තාක්ෂණික පරීක්ෂාවකට ද යොමු කල අතර එහිදී ද ඒවායේ වෙනස්කම් තිබෙන බව නිරීක්ෂණ විය.

ජාතිවාදය මුල්කරගෙන කටයුතු කිරීමෙන් රටක් වශයෙන් ඉදිරියට යා නොහැකි බව ඉරාන් වික්‍රමරත්න මහතා "සටන" රුපවාහිනී සංවාදයක දී ද පවසා තිබුනේ මෙලෙසින්. (පැය 1 විනාඩි 59)

https://youtu.be/KQbAQhg546s?t=7166

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ නැවත උපත ලද කිතුණුවෙකුට (බෝරන් අගේන්) ලංකාවේ ජනාධිපති විය හැකි බවට හෝ ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසමින් සිටින බවට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසා නොමැති බවයි. ඔහුගේ හඬ පටයක් ලෙස හුවමාරු වන ව්‍යාජ හඬ පටයක් යොදා ගනිමින් එවැනි ප්‍රකාශයක් එරාන් වික්‍රමරත්න මහතා විසින් සිදුකළ බවට හුවමරු වන්නේ ද අසත්‍ය සටහන් පෙළක්.

Avatar

Title:නැවත උපත ලද කිතුණුවෙකු (Born again Christian) ලංකාවේ ජනාධිපති විය හැකි බවට ඉරාන් වික්‍රමරත්න මහතා පැවසුවා ද?

Fact Check By: Nelson Mani

Result: False