1991 ජූලි මස අලිමංකඩ හමුදා කඳුවුරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තම හමුදා සගයින් බේරා ගැනීම සඳහා දිවි පිදු ‘හසළක ගාමිණී’ රණවිරුවාට ලක් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි. එම වීර ක්‍රියාවට වසර 30ක් පිරීමට මාස කිහිපයක් ඇති අවධියක, මෙම වීරෝධාර රණවිරුවා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් රැසක් සංසරණය වනු දැකගන්නට ලැබුණා

මේ අතර බොහෝ දෙනෙක් අතර වසර ගණනාවක් පුරාවට හුවමාරු වෙමින් පැවති සටහන් පෙළක දක්වා තිබුනේ, දෙමළ ඊළාම් කොටි සංවිධානය විසින් 1987 ජූනි මස අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාවේදී සිදුකල බෞද්ධ භික්ෂූන් සමූල ඝාතනයේ දිවි ගලවා ගත් හිමි නමක්, පසු කලෙක ‘හසලක ගාමිණී’ නමින් ශ්‍රී ලංකාවේ හමුදාවට එක්වූ බයි. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

Kaludurage Harsha Subasingha යන අයෙක් සිය ෆේස්බුක් ගිණුමේ හුවමාරු කරගෙන තිබු සටහනේ දක්වා තිබුණේ, “එදා අරංතලාව භික්ෂු ඝාතනයෙන් දිවි ගලවාගත් මහියංගනයේ ධම්මජෝති පොඩි හාමුදුරුවෝ තමයි පසු කලෙක හසළක ගාමිණි කුලරත්න නමින් ශ්‍රී ලංකා හමුදාවට එක්වුණේ. ඔහු තමයි අලිමංකඩ බේරා ගැනීමට අතට හසුවන සියළුම බෝම්බ බැඳගෙන කොටින්ගේ බුල්ඩෝසරයට පැන්නේ” යනුවෙනි.

මෙම සටහන මෑතකදී නැවත හවුමාරු වූවත් 2018 වසරේදී මෙම සටහන සමාජ මාධ්‍ය වෙත යොමු කර තිබුණේ, Rohana Herath යන අයයි. මෙම සටහන මේ වන විට 8000කට ආසන්න ෆේස්බුක් පරිශීලකයින් ප්‍රමාණයක් අතර සංසරණය වී තිබෙනවා. එම සටහන පහතින්.

Facebook | Archived Link

අරන්තලාවේ සමූල භික්ෂූ ඝාතනයේ දිවිගලවා ගත් හිමිනම හසළක ගාමිණි බවට ITN ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ සඳහන් කර තිබු ආකාරයක් ද බොහෝ අය මෙලෙසින් හුවමාරු කරගෙන තිබුණා

මෙම සටහන් බොහෝ දෙනා අතරේ හුවමාරු වී තිබු අයුරු පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

හසළක ගාමිණී හෙවත් ගාමිණි කුලරත්න උසස්පෙළ විභාගයෙන් පසුව 1986 දී අම්පාර හමුදා සටන් ක‍්‍රම පුහුණු පාසලෙන් පාඨමාලා හදාරා අවසන් වූ පසු 1987 අගෝස්තු මස නිත්‍ය හමුදා සේවයට එක් වී ඇති බව ඔහුගේ විකිපීඩියා පිටුවේ හා හසලක ගාමිණී කුලරත්නගේ සැබෑ කතාව යනුවෙන් සඳහන් වාර්තාවක ද දැක්වේ.

කෙසේවෙතත් ඉංග්‍රීසි බසින් ඇති ඔහුගේ විකිපීඩියා පිටුවේ හසලක ගාමිණී යනු අරන්තලාව භික්ෂු ඝාතනයේ දී දිවි පිදු හිමිනමක් බව, ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබු පරිදි මෙසේ සඳහන් වී තිබුණි.

අරන්තලාව භික්ෂු සමූලඝාතනය:

අරන්තලාව භික්ෂු ඝාතනය පිලිබඳව තොරතුරු ද අප සොයා බැලු අතර එම ඛේදනීය සිදුවීම සිදුව ඇත්තේ 1987 ජූනි 2 වැනිදා බව දැක ගන්නට ලැබුණි. මෙම ස්ථානය පිහිටා ඇත්තේ අම්පාර - උහන - මහා වැව මාර්ගයේ ය.

අරන්තලාව භික්ෂු සමූලඝාතනය සම්බන්ධයෙන් කරුණු වාර්තා කළ පුවත් පත් විස්තර අප පරීක්ෂා කර බැලුවා. එම කුරිරි ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි බේරා ගනු ලැබුවේ, ආඳා උල්පත බුද්ධසාර හිමියන් , හගුරන්කෙත පුඤ්ඤාර වැනි හිමිවරුන් බව එම වාර්තා වල දක්වා තිබුණා.

Lankdeepa | Ada Derana

හෙල සිසු පෙරමුණ නම් ෆේස්බුක් පිටුවක 29 වසරක කඳුළු මතකය අවදි කරන අරන්තලාව යනුවෙන් පළ වූ ලිපියේ ද ඒ පිලිබඳ දීර්ඝ විස්තරයක් මෙලෙසින් දක්වා තිබුණා.

1987 අරන්තලාව ඛේදවාචකයෙන් දිවි බේරාගෙන තිබු අදා උල්පත බුද්ධසාර හිමියන්ගේ මේ පිළිබඳව අප විමසීමක් කළා. එම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා, එය සියැසින්ම දුටු හිමිනමක් ලෙස උන්වහන්සේ අපට වගකීමෙන් තහවුරු කර සිටියේ හසළක ගාමිණී විරුවා එම අවස්ථාවේ භික්ෂුන් වහන්සේලා අතර සිටියේ නොමැති බවයි. හසළක ගාමිණී යනු අරන්තලාව ඛේදවාචකයෙන් දිවි ගලවාගත් හිමිනමක් බව ප්‍රධාන රුපවාහිනී නාලිකා කිහිපයක් පවා පළකර තිබු සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව උන්වහන්සේ නැවත වරක් අවධාරණය කර සිටියා.

හසළක ගාමිණි විරුවාගේ මව සහ සොහොයුරා:

හසළක ගාමිණි විරුවාගේ මව වන වයි ඒ ජුලියට් මහත්මියව හා ඔහුගේ බාල සොයුරුගෙන් ද අප විමසීමක් කරනු ලැබුවේ හසළක ගාමිණි රණවිරුවා ජීවිතයේ කෙදිනක හෝ මහණ දම් පිරුවාද යන්නයි. එහිදී ඔවුන් සඳහන් කළේ, රණවිරු හසළක ගාමිණී හමුදා පුහුණු පාසලේදී ඒ ආසන්නයේ තිබු පන්සල සමග කිට්ටු සබඳතාවක් පැවැත්වූවත් කිසිවිටෙකත් මහණ දම් නොපිරූ බවයි. එසේම උසස් පෙළ අවසානයත් සමගම ඔහු හමුදා සේවයට බැඳුනු හේතුවෙන් එසේ කිරීමට කාලයක් ද නොතිබුණු බව ඔවුන් අවධාරණය කළා.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් 2018 වසරේ දී ද හසලක ගාමිණි වීරයාගේ මෑණියන් විසින් පවසා තිබු අයුරු අපට ලංකාදීප පුවත්පතේ දැක ගන්නට ලැබුණා. එම ලිපියේ ද සඳහන් වන්නේ පහත විස්තරයයි.

“1966 සැප්තැම්බර් 4 වැනිදා ඉපදුන ගාමිණි එයාට වයස අවුරුදු 18ක් වෙද්දි, ඒ කිව්වෙ 1986 අගෝස්තුවල යුද හමුදාවට බැඳුනේ වසර එකහමාරක් පමණ උසස්පෙළ කරමින් සිටිද්දිමයි.ගාමිණි පුහුණුවට ගියේ අම්පාර කොණ්ඩුවටුවාන කඳවුරට. කඳවුර ළඟම තමයි ගමේ පන්සල තිබුණෙත්ග පුතා පන්සල සමග ඉතාම සමීපයෙන් කටයුතු කළ මේ කාලෙදිමයි අරන්තලාව භික්ෂු ඝාතනය සිදු වුනේ. ඇත්තටම පසුගිය කාලය පුරාම පුවත්පත්වල ගාමිණි පුතා මහන වී සිට සිවුරු හැර හමුදාවට බැඳුනු බව පළවූවත් ඒ සියලු දේ බොරුවක්. ගාමිණි කිසි දිනක මහණ වුනේ නෑ. පුහුණු වීම් කාලේ පන්සල් හා තිබුණු සමීප ඇසුර මෙවන් කටකතාවකට හේතුවෙන්න ඇති කියා මා සිතනවා”

Lankadeepa | Archived

ශ්‍රී ලංකා යුධ හමුදාව:

අලිමංකඩ කදවුර රැකගත් හසලක කෝප්‍රල් ගාමිණි කුලරත්න 1987 අගෝස්තු මස ශ්‍රී ලංකා නිත්‍ය හමුදාවට බැදී ඇති බවත් 6 වැනි සිංහ රෙජිමේන්තුව වෙත ඇතුළත් වූ බවත් යුධ හමුදා නිල වෙබ් අඩවියේ මෙසේ සඳහන් වී තිබුණා. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඉතිහාසය පිලිබඳ මෙම වාර්තාවේ ද සඳහන් වන්නේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 6 වන බළඇණිය 1987 අගෝස්තු මස, අම්පාර කඳවුර මුල් කරගනිමින් ආරම්භ වූ බවයි.

මේ අනුව ද හසලක ගාමිණී විරුවාගේ මව පවසා සිටින පරිදි අම්පාර, කොණ්ඩුවටුවාන කඳවුරේ පුහුණුව ලබා ඉන් අනතුරුව අම්පාර කඳවුර මුල් කරගනිමින් ආරම්භ වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 6 වන බළඇණියට ඔහු අනුයුක්ත වූ බව පෙනී යයි. කෙසේ වෙතත් අම්පාර කඳවුරෙන් සහ සිංහ රෙජිමේන්තුවෙන් මේ පිලිබඳ කරුණු විමසා ඉදිරියේදී මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

Conclusion (අවසාන නිගමනය) :

මේ අනුව රණවිරු ‘හසළක ගාමිණී’ යනු අරන්තලාවේ සිදුවූ භික්ෂූ සමූල ඝාතනයේ දිවි ගලවා ගත් ස්වාමින් වහන්සේ නමක් නොවන බව අපට තහවුරු වුණා. එම ඛේදනීය සිදුවීමෙන් දිවි ගලවාගත් හිමිනමක් වන අදා උල්පත බුද්ධසාර හිමියන් අපට මෙම කරුණු තහවුරු කර සිටියා.

හසළක ගාමිණී රණවිරුවා, උසස් පෙළ අධ්‍යාපනයේ පසුව යුධ හමුදාවට බැඳී තිබු අතර හමුදා පුහුණු කාලයේ දී අම්පාර, කොණ්ඩුවටුවාන කඳවුර අසල පන්සලක් සමඟ කිට්ටු සබඳතාවක් පැවැත්වුවද කිසිදිනෙක මහණ දම් හෝ පුරා නොමැති බව ඔහුගේ මව සහ බාල සොහොයුරු ද අපට දන්වා සිටියා.

Avatar

Title:හසළක ගාමිණී යනු අරන්තලාවේ භික්ෂූ ඝාතනයේ දී දිවි බේරාගත් හිමිනමක්ද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading