ශ්‍රී ලංකාවේ වන ගහනය ක්‍රමයෙන් අඩුවීමත් සමග වනාන්තර වල සිටින අලින් ගම් වැදීම් ආශ්‍රිත සිද්ධ අපට විටින් විට අසන්නට ලැබෙනවා. පසුගිය කාලයේ මෙවැනි හේතු මත සිදුවූ අලි මිනිස් ගැ‍ටුම් ද වාර්තා වුනා.

එසේම මේ තේමාවෙන් හුවමාරු වන අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් ද දැකගන්නට ලැබෙනවා. මේ ආකාරයට වන අලින් පිරිසක් තේ වගාවක් ආශ්‍රිතව ගමන් ගන්නා වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු තේමාවක් සමඟ හුවමාරු වෙමින් තිබුණා. ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

“අලි ක්‍රමවත්ව නැවතත් කඳුකරය තරණයේ - Elephants Capitalizing in up Country again” යන තේමවෙන් WhatsApp ඔස්සේ හුවමාරු වී තිබු දර්ශන පෙළක විශාල අලි රංචුවක් තේ වත්තක් හරහා ගමන් ගන්නා දර්ශන දැක ගන්නට ලැබුණා. එම වීඩියෝව පහතින්

https://vimeo.com/547253833

ප්‍රදීප් පීරිස් නම් අයෙකු විසින් මෙම වීඩියෝව ෆේස්බුක් වෙත එකතු කර තිබුනේ පහත අයුරින්.

Facebook | Archived

එම වීඩියෝව සඳහා ලබා දී තිබු විස්තරයට අනුව කිහිප දෙනෙක්ම මෙය ලංකාවේ දර්ශන පෙළක් ද යන්න විමසා තිබු අතර මෙය ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ ලබාගන්නා ලද වීඩියෝවක් බව ද කිහිපදෙනෙක් ප්‍රතිචාර දක්වා තිබුණා.

මේ අනුව කුමන ප්‍රදේශයක වීඩියෝවක් ද යන්න බොහෝ දෙනෙක් විමසිලිමත් වී ඇති අයුරු පෙනී යනවා. කෙසේවෙතත් වීඩියෝව පළකර තිබෙන තැනැත්තා විසින් ද මෙය ඉන්දියාවේ දර්ශන බව විමසීම් වලට ප්‍රතිචාර දක්වා තිබෙනු අපට දැක ගන්නට ලැබුණා.

පසුබිමින් මලයාලම් භාශාවෙන් කතා කරන ආකාරයක් ද ඇසෙන මෙම වීඩියෝ පටය පිලිබඳව වැඩි දුරටත් කරුණු සොයා බැලීමට අප කටයුතු කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

පළමුවෙන්ම ලංකාවේ මෙවැනි කඳුකර පෙදෙසක තේ වගාවන් ආශ්‍රිතව වන අලි ගහණයන් ජීවත් වනවාද යන්න පිලිබඳව අප සොයා බැලුවා. තේ වගාවන් ආශ්‍රිතව මෙරට අලින් සැරිසරන බවට බොහෝවිට වාර්තා වන්නේ සිංහරාජය ආශ්‍රිතවයි. සිංහරාජය ආශ්‍රිතව දැනට වෙසෙන වන අලි දෙදෙනෙක් යාබද තේ වගාවන් ඇති භූමීන් තුල වරින් වර ගැවසෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

පහතින් දැක්වෙන්නේ සිංහරාජයේ වෙසෙන අලියෙකු තේ වත්තක් ආශ්‍රිතව ගමන් කරමින් සිටි අවස්ථාවක් පෙන්වන ඡායාරුපයක් සමඟ පළ කරන ලද සටහනකි.

Ada | Archived

සිංහරාජයේ අලි දෙදෙනෙකු පිලිබඳ සඳහන් වන මෙවැනි වාර්තාවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ දක්වා ඇති පරිදි විශාල අලි ප්‍රමාණයක් සැරිසරනු බවට කරුණු පළ වන්නේ නැහැ. ශ්‍රීපාද අඩවියේ හා ලංකාවේ කුරු අලි පිලිබඳ වාර්තාවක් මෙතනින්

අප වැඩිදුරටත් මෙම වීඩියෝ පටයේ දැක්වෙන ප්‍රදේශය පිලිබඳව සොයා බැලීමේදී යූටූබ් වෙත එකතු කරන ලද වීඩියෝ කිහිපයකම මෙය ඉන්දියාවේ කේරළයේ දර්ශන පෙළක් බව වාර්තා වී තිබුණා.

මීට දින කිහිපයකට පෙර MediaoneTV Live නම් මලයාලම් බසින් පුවත් පළවන නාලිකාවක පළකර තිබු එවැනි වීඩියෝවක ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වයනාඩ් (Wayanad) නම් ප්‍රදේශයක සිදුවීමක් ලෙස මෙම දර්ශන පෙළම සහිත පුවතක් වාර්තා කර තිබුණා. එම වීඩියෝව පහතින්

https://www.youtube.com/watch?v=tCgpBt5Uzqg

මෙම වීඩියෝ පටයට අදාල විස්තරයට අනුව ගම් වාසීන් විසින් අලි රංචුවක් කැලයට පන්නා දමන අවස්තාවේ වීඩියෝවක් බවට පෙන්වා දෙනවා. මේ පිළිබඳව අප Factcrescendo මලයාලම් කණ්ඩායමෙන් ද විමසීමක් සිදුකළ අතර කේරළයේ වයනාඩ් ප්‍රදේශයේ මෙවැනි වන අලි - මිනිස් ගැටුම් නිරන්තරයෙන් ම දැකගන්නට ලැබෙන බවද පවසා සිටියා.

මේ පිලිබඳ පළවූ පුවත් වාර්තාවක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු අනුව පෙනී යන්නේ මෙරට වෙසෙන අලි රංචුවක් බවට හැඟවෙන පරිදි පල කර ඇති වීඩියෝ පටය මෙරට එකක් නොවන බව තහවුරු කල හැකියි. එය ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ වයනාඩ් නම් ප්‍රදේශයක තේ වත්තකට කඩා වැදුනු අලි රංචුවක් බව අපට තහවුරු කල හැකියි.

Avatar

Title:ලංකාවේ කඳුකරයේ තේ වත්තක් ආශ්‍රිතව අලි රංචුවක් ගැවසෙන අවස්ථාවක් ද?

Fact Check By: Sahan Perera

Result: Misleading