මෙරට ඇතැම් ස්ථානවල සඳහන් නාම පුවරු වල සිංහල භාෂාව හෝ දෙමළ භෂාව ඇතුළත් නොවන බවට සඳහන් කරමින් ප්‍රධාන මාධ්‍යයේ මෙන්ම සමාජ මාධ්‍යයේද අවධානය යොමු කරමින් වරින් වර වාර්තා, සටහන්, ඡායාරූප සංසරණය වනවා අපට පසුගිය කාලයේදී දැකගන්නට ලැබුණා.

මේ තේමාවෙන් විශේෂයෙන්ම වරාය නගරයේ පුවරු කිහිපයක් පිළිබඳව මීට පෙර අප කළ විමර්ශයන් මෙතනින් සහ මෙතනින්. එමෙන්ම පල්ලියක නාම පුවරුවක් ඉංග්‍රීසි බසින් සිංහල බසට පරිවර්තනය කිරීමේ දී ඇතිවූ අනවබෝධය සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් මෙතනින්.

මේ ආකාරයෙන් ම යාපනයේ ඉන්දීය කොන්සුලර් කාර්යාලයේ නාම පුවරුවෙන් සිංහල භාෂාව පසුගිය දා ඉවත් කර ඇති බවත් ඒ වෙනුවට ඊයේ (31) දිනයේදී හින්දි භාෂාව යොදා ඇති බවත් සඳහන් කරමින් පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

LANKASARA නම් පුවත් වෙබ් අඩවියක දක්වා තිබුණේ,

ඉන්දියාව උත්තර දීම අරඹයි… ඉන්දීය මහකොමසාරිස් කාර්යල නාම පුවරුවෙන් සිංහල හලයි යනුවෙන් සඳහන් කරමින් ඉන්දීය මහකොමසාරිස් කාර්යල නාම පුවරුව දක්වමින් වාර්තා කර තිබුණේ, යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නාම පුවරුවෙන් සිංහල භාෂාව ඉවත් කොට ඒ වෙණුවට ඊයේ ( 31 ) සිට හින්දි භාෂාව යොදා ඇති බවයි.

Lankasara.com | Archived Link

කෙසේවෙතත් මෙහි යොදාගෙන තිබූ ඡායාරුප දෙකෙහිම Google යන අකුරු ද දැක ගන්නට ලැබුණා. අප මෙහි නිරවද්‍යතාවය සොයා කළ විමර්ශනයයි මේ.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත සටහනනේ සඳහන් පරිදි යාපනයේ පිහිටි ඉන්දීය කොන්සුලර් කාර්යාලයේ නාම පුවරුව ඊයේ දින සිට සිංහල භාෂාව ඉවත් කළාද යන්න නිරීක්ෂණය කිරීමට, මීට පෙර මෙහි නාම පුවරුවේ සඳහන් වූයේ ‍කෙලෙසද යන්න නිරීක්ෂණය කිරීම සඳහා අප Google Map ඔස්සේ එම ස්ථානය පරීක්ෂා කළෙමු.

එහිදී දැක ගැනීමට හැකිවූයේ 2015 හි Google Street View හරහා ලබා ගත් යාපනයේ පිහිටි ඉන්දීය කොන්සුලර් කාර්යාලයේ නාම පුවරුවේ ඡායාරූපයකද දැක්වෙන්නේ වර්තමාන නාම පුවරුවේ ලෙස සඳහන් කරමින් පළවූ වෙබ් වාර්තාවේ දැක්වෙන පරිදි හින්දි, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන් පමණක් බවයි. 

Google Map

යාපනයේ පිහිටි ඉන්දීය කොන්සුලර් කාර්යාලයේ ඊයේ (31) දිනයේදී ලබා ගත් බව කියවෙන ඡායාරුපය සහ 2015 Google Street View හි දැක්වෙන ඡායාරූප සන්සදනය පහතින්.

මීට අමතරව 2019 වර්ෂයේ ඉන්දියාවේ ජාතික නිදහස් දිනය මෙරට යාපනයේ ඉන්දීය කොන්සුලර් කාර්යාලයේ පැවැත්වූ සැමරුම් උත්සවයේ ලබාගත් ඡායාරූපයකද මෙම නාම පුවරුව දැක්වෙන ඡායාරූපයක් මෙතනින් සහ මෙතනින්.

කෙසේවෙතත් පසුගිය දා නාම පුවරුවේ කිසිදු වෙනසක් සිදුකර තිබුනේ නැති බව ඉන්දියාවේ නිල මූලාශ්‍ර හරහා ද අපට දැන ගන්නට ලැබුණා

ඒ අනුව පෙනී යන්නේ මෙම නාමපුවරුවේ කිසිඳු වෙනසක් සිදුවී නොමැති අතර සිංහල භාෂාවෙන් මීට පෙර සිටම එහි සඳහන්ව නොතිබුණු බවයි.

අප ශ්‍රී ලංකාවේ පවතින වෙනත් කලාපීය රටවල් කිහිපයකයට අයත් මහ කොමසාරිස් කාර්යාල වල සිංහල භාෂාවෙන් නාමපුවරුවේ සඳහන් වනවාද යන්න නිරීක්ෂණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ නාමපුවරුවේ ඉංග්‍රීසි භාෂාවෙන් දැක්වුනේ මෙලෙසින්

එමෙන්ම මාලදිවයින තානාපති කාර්යාලයේ නාමපුවරුවේ සඳහන් වුණේ, ඔවුන්ගේ භාෂාව වන Dhivehi සහ ඉංග්‍රීසි භාෂාවෙනි. 

මෙහිදී පෙනී යන්නේ සිංහල භාෂාව එම ආයතන වල නාම පුවරුවල ඇතුළත් නොවන බවයි.

තවද කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නාමපුවරුව දක්වා තිබුණේ ඉංග්‍රීසි හා හින්දි භාෂාවෙන් මෙලෙසින්.

කෙසේවෙතත් ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය යටතේ යාපනය කාර්යාලයට අමතරව තවත් උප කාර්යාල දෙකක් නුවර සහ හම්බන්තොට පිහිටා තිබෙන බව මෙසේ දැක්වෙනවා.

එම ස්ථානවල පුවරු පරීක්ෂා කිරීමේ දී නුවර කාර්යාලයේ හින්දි, ඉංග්‍රීසි, සිංහල සහ දමිළ යන භෂා හතරම යොදා ගෙන තිබූ අතර හම්බන්තොට කාර්යාලයේද එලෙස භාෂා හතරින්ම නාම පුවරුවේ දක්වා තිබුණේ‍ මෙලෙසිනි.

එසේම වෙනත් රටවල ඉන්දියානු කොමසාරිස් කාර්යාලයේ පුවරු ද අප නිරීක්ෂණය කළ අතර හින්දි සහ ඉංග්‍රීසි භාෂා බොහොමයක දැක ගන්නට ලැබුණා. එසේම අදාළ රටේ වැඩි වශයෙන් භාවිතා වන භාෂාව ද ඇතැම් අවස්ථාවල දැක ගන්නට ලැබුණා.

කෙසේවෙතත් මෙසේ විදෙස් මහා කොමසාරිස් කාර්යාලයන්හි පුවරුවල යොදා ගන්නා භාෂාවන් සම්බන්ධයෙන් කිසියම් නිල විදෙස් ප්‍රතිපත්තියක් තිබේ දැයි අප Factcrescendo ඉන්දියානු කණ්ඩායම හරහා ඉන්දියානු රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමක් සිදුකළ අතර ඊට පිළිතුරු ලැබීමෙන් අනතුරුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

මෙරට රාජ්‍ය භෂා දෙපාර්තමේන්තුවේ අදහස් ද මේ සම්බන්ධයෙන් ලබා ගැනීමට අප ඔවුන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද හැකියාවක් ලැබුනේ නැහැ.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයට අනුව යාපනයේ පිහිටි ඉන්දීය කොන්සුලර් කාර්යාලයේ නාම පුවරුවේ සිංහල භාෂාව ඉවත් කොට ඒ වෙණුවට ඊයේ (31) සිට හින්දි භාෂාව යොදා ඇති බවට පළ වූ පුවත අසත්‍යක් බව අපට තහවුරු වුණා.

පසුගිය වර්ෂවලද එහි නාමපුවරුවේ ඇත්තේ හින්දි, ඉංග්‍රීසී සහ දෙමළ භාෂාවන් පමණක් බව 2015 ලබා ගත් Google Street View ඡායාරුප වලද ඊට පසුව පැවැත්වූ උත්සව යන්හි දී ද දැක්වෙනවා. එමෙන්ම අනෙකුත් රාජ්‍යන්හි ලංකාවේ පිහිටි එරට මහ කොමසාරිස් කාර්යාලවල නාම පුවරු තුළ ද සිංහල භාෂාව ඇතුළත් නොවන අතර ඉංග්‍රීසි සහ එම රටවල භාවිතා වන භාෂාවන් බොහෝදුරට එහි සඳහන් වන බවට පෙන්වා දිය හැක.

*මෙම ලිපියේ කොටස් කිහිපයක් පසුව යාවත්කාලීන කරන ලදි

Avatar

Title:යාපනයේ ඉන්දීය කොන්සුලර් කාර්යාලයේ නාම පුවරුවේ සිංහල භෂාව ඉවත් කළා ද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading