FACT CHECK: දෑත් සනීපාරක්ෂක (හෑන්ඩ් සැනිටයිසර්) ප්‍රමිතිය පිළිබඳව ඉදිරිපත්වු නොමග යවන සුළු සටහනක්

Update: 2020-11-13 10:08 GMT

ලංකාවේ කොරෝනා වෛරස් දෙවන රැල්ල ව්‍යාපත් වීමත් සමඟම මෙම වසංගත තත්වය අළලා සමාජ මාධ්‍ය ජාලය තුල විවිධ ප්‍රවෘත්ති සහ සටහන් ඉදිරිපත්වේ. ආසාදනය මැඩපැවැත්විය හැකි යයි පැවසෙන දේශීය ප්‍රතිකාර, ප්‍රතිශක්තිකරණය වඩවන බව පැවසෙන ඖෂධ සහ ආහාර, සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවෙදයන් සහ එන්නත් පිළිබඳව පර්යේෂණ යනාදි නොයෙකුත් විෂයයන් අළලා මෙම සටහන් ඉදිරිපත්වේ.

ලංකාවේ භාවිතා වන දෑත් සනීපාරක්ෂකය හෙවත් හෑන්ඩ් සැනිටයිසර් ප්‍රමිතිය පිළිබඳව ඉදිරිපත්වු සටහනක් පිළිබඳව සිදුකළ කරුණු විමර්ශනයෙන් අනාවරණය වුයේ එම සටහන් නොමග යවන සුළු බවය.

සමාජ මාධ්‍ය සටහන් :

ලංකාවේ කිසිදු සමාගමක් SENITIZER සඳහා SLS සහතිකය අරගෙන නෑ. මෙම සම්මතයට අයත් නැත්නම් SENITIZER ගන්න එපා. මෙම ප්‍රතිශතය නැත්නම් ඔබ නිකරුණේ දරන වියදමක් පමණි. විෂබීජ නාශක කියල අරගෙන අත කූල් වුනාට වැඩක් නෑ. ප්‍රමිතිය නැත්නම්.කථාංගය අන්තර්ගත කර, ප්‍රමිතිය ලෙස සනීපාරක්ෂක දියරයේ අඩංගු විය යුතු මධ්‍යසාර දෙවර්ගයක් සහ එහි ප්‍රතිශතයත් දක්වා, කූට ව්‍යාපාර වලට අහුවෙන්න එපා.කොරෝනා බිස්නස් එකක් වෙලා ඉවරයි. තේමාවෙන් Aluth wada නමැති ෆේස්බුක් පිටුවක් සටහනක් ඉදිරිපත් කර තිබුණි..

FacebookArchived Link

ප්‍රතිචාර රැසක් සමඟ මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වී තිබු අතර මෙම සටහනම වෙනත් ෆේස්බුක් පිටු කිහිපයක ද ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය.

FacebookArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අප පාර්ශව කිහිපයක් සමඟ සම්බන්ධ වීමු.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හා ජාත්‍යන්තර ප්‍රමිතීන්

හෑන්ඩ් සැනිටයිසර් නිෂ්පාදනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වෙබ් අඩවිය මඟින් උපදෙස් මාලාවක් ලබා දී තිබුණි. 2010 වසරේ පළකර තිබු එම උපදෙස් මාලාවේ ඊතයිල් මධ්‍යසාරය (එතනෝල්) 80% (v/v) ක් හෝ අයිසෝ ප්‍රොපයිල් මධ්‍යසාරය 75% (v/v) ලෙස අවසාන වශයෙන් තිබෙන පරිදි නිෂ්පාදන කටයුතු සිදුකිරීම වඩාත් යෝග්‍ය බව ඔවුන් පෙන්වා දී තිබුණි.

එමෙන්ම මෙම හෑන්ඩ් සැනිටයිසර් සඳහා යොදාගන්න අමුද්‍රව්‍ය ඉතා අඩු උෂ්ණත්ව වලදී ගිනි ඇවිලෙන සුළු බැවින් සහ ඉතා අඩු උෂ්ණත්ව වලදී වාෂ්ප වන බැවින් (flashpoint) වායුසමීකරණය කරන ලද හෝ සිසිල් පරිසරයක නිෂ්පාදන මෙන්ම ගබඩා කටයුතු සිදුකිරීම යෝග්‍ය බව පෙන්වා දී තිබුණි. WHO Info Sheet

ඇමරිකා එක්සත් ජනපද ඖෂධවේදී සම්මුතිය (USP) මඟින් ද ඊතයිල් මධ්‍යසාරය (එතනෝල්) 80% (v/v) ක් හෝ අයිසෝ ප්‍රොපයිල් මධ්‍යසාරය 75% (v/v) යන නිර්දේශයම ලබාදී ඇති බව CDC වෙබ් අඩවිය මඟින් ද පෙන්වා දී තිබුණි.

මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනේ උපුටා දී ඇත්තේ මෙම අගය බව පැහැදිලිය.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය.(SLSI- Sri Lanka Standard Institute)

මේ අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන හෑන්ඩ් සැනිටයිසර් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතියක් ඇත්දැයි පරීක්ෂා කිරීමට අප ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසුණෙමු. 2020 මැයි මාසයේ සිට හැන්ඩ් සැනිටයිසර් සඳහා ප්‍රමිතියක් ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති 1657 : 2020 (SLS 1657) නිර්ණය කර ඇති බව නිරීක්ෂණය විය.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ හෑන්ඩ් සැනිටයිසර් නව නිර්දේශ වලට අනුව එතනෝල් (Ethyl Alcohol) 75 – 85 % (v/v) පරාසයේ හෝ අයිසෝ ප්‍රොපනෝල් (Isopropyl Alcohol) මධ්‍යසාරය 70 - 80 % (v/v) පරාසයේ අවසර ඇති බව අපට දැකගනන්ට ලැබුණා. Link

තවදුරටත් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශ අපට දැනුවත් කලේ වෙළඳ නාමය සඳහා SLS සහතිකය ලබා ගැනීමේ ක්‍රමවේදය වෙනම ක්‍රමවේදයක් බවයි.

මෙම හෑන්ඩ්සැනිටසර් දියරයන්හි අන්තර්ගත සංඝටක පරීක්ෂා කළ හැකි පර්යේෂණායතන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය හා කාර්මික තාක්ෂණික ආයතනය (ITI) නම් කර ඇති අතර, නියාමනය කටයුතු සඳහා ශ්‍රී ලංකා අන්තරාකාරි ඖෂධ නියාමන අධිකාරියත් නම් කර තිබුණි.

SPECIFICATION FOR HAND SANITIZERS (ALCOHOL BASED) SLS 1657:2020

කාර්මික තාක්ෂණ ආයතනය (ITI)

කාර්මික තාක්ෂණ ආයතනය (ITI) පසුගිය මාර්තු මාසයේදී ඊතයිල් මධ්‍යසාර 75% ක් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් රෝහල් වෙත බෙදා දුන් බව දන්වා තිබුනා. කොවිඩ් දෙවන රැල්ලත් සමඟම ශ්‍රී ලංකා ප්‍රමිති 1657-2020 ක්‍රමවේදයන්ට අනුකූලව හෑන්ඩ් සැනිටයිසර් දියරයක් නිපදවීමට කටයුතු කළ බවත් කාර්මික තාක්ෂණ ආයතනයේ වෙබ් අඩවියේ පසුගිය දා මෙසේ වාර්තා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් එම ආයතනයේ නිලධාරිනියක් සමඟ දුරකතනයෙන් සම්බන්ධ වූ විට අපට දැනගනන්ට ලැබුනේ ද ඉහත ශ්‍රී ලංකා ප්‍රමිති 1657-2020 නිර්දේශයට අනුකූලව මධ්‍යසාර ප්‍රතිශතය පමණක් නොව pH අගය, ක්ෂුද්‍රජීව කාර්යක්ෂමතාව (Microbiological efficacy), දෘශ්‍ය අපද්‍රව්‍ය (visible impurities) වැනි කරුණු ද ITI ආයතනය විසින් සලකා බැලෙන අතර දැනට ආයතන රැසක් මෙම පරීක්ෂණ සිදුකරගෙන ඇති බවයි.

ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA)

හෑන්ඩ් සැනිටයිසර් නිෂ්පාදනය නියමනය වන ආකාරය පිළිබඳව දැණුවත්වීමට අප ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා සම්බන්ධ වුයෙමු. ලංකාවේ වෙළඳපලට නිකුත් කෙරෙන හෑන්ඩ් සැනිටයිසර් නියාමනය කරන්නේ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් බවත්, එසේ අවසර ලබා ගත හැකිවන්නේ එම නිෂ්පාදන ක්‍රියාදාමය සිදුවන ආකාරය, එම ස්ථානයේදීම නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් අධීක්ෂණය කර, යහපත් නිෂ්පාදන ක්‍රියාදාමයක් (Good Manufacturing Process) පවතින බවට සහ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතින්ට අනුකූල බවට සෑහීමකට පත්වුවහොත් බව එහි කොස්මටික් (Cosmetic) අංශයේ නිලධාරිණියක් අපට සඳහන් කළාය.

එසේම විදේශ රටක නිෂ්පාදනයක් සඳහා අවසර ලැබෙන්නේ, නිෂ්පාදනය වන රටේ, ශ්‍රී ලංකා අන්තරාකාරි ඖෂධ නියාමන අධිකාරිය විසින් පිළිගෙන ඇති ප්‍රමිතිය සහතික කිරීමේ ආයතනයකින් ප්‍රමිතිය පිළිබඳව සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් බවද වැඩිදුරටත් පැවසුවාය. දැනට සමාගම් 22ක් හෑන්ඩ් සැනිටයිසර් වෙළඳපලට නිකුත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියා පදිංචි වී ඇති බවත් පැවසුවාය.

එසේම ඔවුන්ගේ වෙබ් අඩවියේ ලංකාවේ හෑන්ඩ් සැනිටයිසර් වල මධ්‍යසාර අඩංගු විය හැකි නිර්දේශිත අගයන් දක්වා තිබුනේ මෙලෙසින්.

පසුගිය මැයි මස පළවූ පුවත් වර්තාවක ද ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් දන්වා තිබුනේ කොව්ඩ් පළමු රැල්ල හේතුවෙන් ලිහිල් කෙරුණු ලියාපදිංචි කටයුතු නැවත විධිමත් ව සිදුකෙරෙන බවත් වෙළඳ පොලේ තිබෙන හෑන්ඩ් සැනිටයිසර් අහඹු ලෙස පරීක්ෂාවට ලක් කෙරෙන බවයි.

ලංකාවේ දැනට නිෂ්පාදනය වන හෑන්ඩ් සනිටයිසර්

ලංකාවේ හෑන්ඩ් සැනිටයිසර් සම්බන්ධයෙන් සලකා බැලීමේදී දේශීය නිෂ්පාදන මෙන්ම විදේශීය ආනයන ද තිබෙන බව දැකගනන්ට ලැබුණා. එසේම ඉහත ශ්‍රී ලංකා අන්තරාකාරි ඖෂධ නියාමන අධිකාරිය විසින් පෙන්වා දී ඇති ලැයිස්තුවට අමතරව ආයතන කිහිපයක් ම හෑන්ඩ් සැනිටයිසර් නිෂ්පාදනය සහ වෙළඳාම සිදුකරන බව පෙනෙන්නට තිබුණා.

අප මේ පිළිබඳව එවැනි එක් ආයතනයකින් විමසා සිටියා.එහිදී අපට දැනගන්නට ලැබුනේ ඔවුන් විසින් ශ්‍රී ලංකා ප්‍රමිති 1657-2020 නිර්දේශයට අනුකූලව නිෂ්පාදන සකසන බවත් (Certified as per SLS 1657: 2020) ඒ බව තම හෑන්ඩ් සැනිටයිසර් නිෂ්පාදන වල සඳහන් වී තිබෙන බවයි. එසේම ශ්‍රී ලංකා අන්තරාකාරි ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාළ නිෂ්පාදන ආයතන වෙත පැමිණ පරීක්ෂා කර දැන් සහතිකය ලබාදෙන බවත් එසේ සිදුකරන ලෙස මේ වන විට තමන් සෞඛ්‍ය අමාත්‍යංශයටද දැනුම් දී ඇති බවත් පවසා සිටියා.

මේ ලෙසින් Certified as per SLS 1657: 2020 ලෙසින් නිෂ්පාදන වල පෙන්වා දී තිබෙන, නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ලෙස පෙන්වන්නේ නැති හෑන්ඩ් සනිටයිසර් වර්ග කිහිපයක් ම තිබෙන බව ද අපට දැකගනන්ට ලැබුනා. Link 1 | Link 2 | Link 3

එසේම මධ්‍යසාර ප්‍රතිශත 70% ට ද වඩා අඩු නිෂ්පාදන ද තිබු බැවින් ඒ පිලිබඳ විමසීමේදී ඔවුන් කියා සිටියේ ශ්‍රී ලංකා ප්‍රතිමි ආයතනයේ නිර්දේශ පසුගිය මැයි මස ලබාදීමට පෙර සිදුකරන ලද නිෂ්පාදන බවත් දැන් සිදුකරන නිෂ්පාදන අදාල ප්‍රතිෂතයන්ට අනුකුලව සිදුකෙරෙන බවත්ය.

විමර්ශන වාර්තා

එතනෝල් මධ්‍යසාරය සහ අයිසෝ ප්‍රොපයිල් මධ්‍යසාරය අතර වෙනස සහ ඒවායේ සාන්ද්‍රණය අඩු කිරීමට ජලය සහ වෙනත් අමුද්‍රව්‍ය යොදාගැනීම මඟින් වාෂ්ප වීමට වැඩි කාලයක් ගතවන බව ඇතුළු කරුණු ලිපියකින් මෙසේ පෙන්වා දී තිබුණි.

එසේම සබන් යොදා වතුර සමඟ අත් විනාඩි 20ක් වත් සේදීම මෙසේ හෑන්ඩ් සනිටයිසර් භාවිතයට වඩා සාර්ථක බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම FDA ආයතනය ද පෙන්වා දෙනවා.

හෑන්ඩ් සනිටයිසර් සඳහා එතනෝල් (Ethyl Alcohol) හෝ අයිසෝ ප්‍රොපනෝල් (Isopropyl Alcohol) අතරින් කුමක් වඩාත් සුදුසුද යන්න පිලිබඳ විවිධ අදහස් ඉදිරිපත් වී තිබෙන අතර එම සංඝටක දෙකම යෝග්‍ය බව ඇතුලත් කරුණු පෙළක් මෙසේ ඉදිරිපත් වූ ලිපියකින් අපට දැකගනන්ට ලැබුනා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ලංකාවේ වෙළඳපලට නිකුත් කරන හෑන්ඩ් සැනිටයිසර් දියරයන් එතනෝල් (ඊතයිල්) මධ්‍යසාරය හෝ අයිසෝ ප්‍රොපයිල් මධ්‍යසාරය ප්‍රධාන සංඝටකය ලෙස භාවිතා කර නිපදවිය හැකි බවයි. ශ්‍රී ලංකා ප්‍රමිති 1657-2020 නව නිර්දේශ වලට අනුකුලව මධ්‍යසාරය ප්‍රතිශත එතනෝල් (Ethyl Alcohol) 75 - 85 % (v/v) හෝ අයිසෝ ප්‍රොපනෝල් (Isopropyl Alcohol) 70 - 80 % (v/v) පරාසයේ විය හැක. මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට වඩා සුළු අඩු හෝ වැඩි වීමේ පරාසයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිෂ්පාදකයින් වෙත ලබාදී තිබේ.

එසේම, SLS 1657 ප්‍රමිති යටතේ නිපදවීම සහ වෙළඳ නාමය සඳහා SLS සහතිකය ලබාගැනීම කාරණා දෙකක් වන අතර එසේ ප්‍රමිති යටතේ සිදුකෙරෙන නිෂ්පාදන රැසක් වෙළඳපොලේ පවතියි. ඒවා සමහරක් ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අතර ඇතැම් නිෂ්පාදන මේ සඳහා ඉල්ලුම්කර තිබේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දෑත් සනීපාරක්ෂක (හෑන්ඩ් සැනිටයිසර්) ප්‍රමිතිය පිළිබඳව ඉදිරිපත්වු නොමග යවන සුළු සටහනක්

Fact Check By: Sahan Perera

Result: Missing Context

Tags:    

Similar News