සිනොවැක් එන්නත මෙරට සැබවින්ම නිපදවනවද?

Update: 2021-06-12 05:02 GMT

කෝවිඩ් වසංගතය තත්ත්වය ක්‍රමයෙන් උත්සන්න වීම හේතුවෙන් මෙරට සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු අංශ මෙම තත්ත්වය පාලනය කිරීමට ගන්නා උත්සාහය ඇගයීමට ලක් යුතු කරුණක් වනවා. එමෙන්ම කෝවිඩ් මර්ධනය සඳහා එන්නත්කරණ වැඩපිළිවෙලවල් ද අඛණ්ඩව දිවයින පුරා සිදු කරනු ලබනවා.

මෙවන් පසුබිමක සිනොවැක් එන්නත ලංකාවේ දී ම නිෂ්පාදනය කෙරෙන බවට සඳහන් කරමින් පළවූ සටහන් පෙළක් හේතුවෙන් එහිදී සත්‍ය වශයෙන්ම සිදුවන්නේ එන්නතත් නිපදවීමේ සම්පුර්ණ ක්‍රියාවලිය(Manufacturing) ද නැතහොත් පිරවුම් හා ඇසුරුම් (Fill and Finish) කටයුතු ද යන්න පිලිබඳ ව අප සිදුකළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Niranjan Gunasekaraයන අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ 2021 මැයි 30 වන දා සිළුමිණ පුවත් පතේ පළ වූ ලිපියක් සහිත සටහනක් දක්වා තිබුණා මෙලෙසින්.

Facebook | Archived Link

සිළුමිණ පුවත්පතේ පළ වූ එම ලිපියේ සඳහන් කර තිබුණේ,

- වසර නිමවීමට පෙර එන්නත් ලක්ෂ 100ක්

- කර්මාන්තශාලාව කුණ්ඩසාලේ දෙමසකින් වැඩ ඇරැඹේ

මේ වසර නිමවන විට ශ්‍රී ලංකාවේදී කොවිඩ් මර්දන එන්නත් ලක්ෂ 100ක් හෙවත් කෝටියක් තව දෙමසකින් කුණ්ඩසාලේ නිෂ්පාදනය කිරීමට රජය තීරණය කර ඇති අතර එහි මූලික සැලසුම් දැනටමත් අරඹා ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සිළුමිණට හෙළි කෙළේය.

චීනයේ සයිනොවැක්ස් එන්නත් මෙසේ ශ්‍රී ලංකාවේදී නිපදවීමට කටයුතු කරනු ලබන්නේ චීන හා ශ්‍රී ලංකා දෙරටේ සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස බව පෙන්වා දුන් ඇමැති මහාචාර්ය ජයසුමන මේ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් මුල්වී කටයුතු කළ බව අවධාරණය කෙළේය.

එන්නත් මෙරට නිෂ්පාදනය කිරීමෙන් විදේශ කරා ඇදී යන විශාල මුදලක් ඉතිරි කර ගැන්මට හැකි වන අතර ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට කඩිනමින් එන්නත් ලබාදිය හැකි වනු ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවට කොවිෂීල්ඩ්, සයිනොෆාම්, ස්පුට්නික් වී එන්නත් මේ වන විට ආනයනය කර ඇති අතර එයින් අඩකට ආසන්න සංඛ්‍යාවක් පරිත්‍යාග වශයෙන් ලැබී තිබේ. යනුවෙනි.

The Silumina | Archived Link

කෝවිඩ් එන්නත ශ්‍රී ලංකාවේම නිපදවයි යනුවෙන් ඉහත පුවත්පත වාර්තා කිරීම තුළින් සමාජ මාධ්‍යයේ පළ වූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

මේ අතර “ලංකාවේ නිපදවන සිනොවැක් එන්නතේ පළවූ මාත්‍රාව සැප්තැම්බරයේ සිට ජනතාවට ලබා දීමට පියවර..” යනාදී තේමා යටතේ ද සටහන් පෙළක් නැවත වරක් පසුගිය දින කිහිපයේ හුවමාරු වී තිබු අයුරු ද අපට දැක ගන්නට ලැබුණා.

Facebook | Archived

එමෙන්ම සිනොවැක් එන්නත් මිලියන 13ක් නිෂ්පාදනය කිරීමට රජය බලාපොරොත්තු වන බවත්, එය ලබන ජුලි මාසයේදී ආරම්භ කරන බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් ආටිගල මහතා උපුටා දක්වමින් පළවූ වාර්තා මෙතනින් සහ මෙතනින්.

සත්‍ය වශයෙන්ම මෙරටෙහි කෝව්ඩ් මර්ධන එන්නත සම්පුර්ණයෙන්ම නිෂ්පාදනය කරනවාද යන්න පිළිබඳ විමර්ශනය කරන ලෙස ෆේස්බුක් පරිශීලකයින් කිහිපදෙනෙක් කළ ඉල්ලීම මත අප කළ විමර්ශනය පහතින්.

Explained: කරුණු පැහැදිලි කිරීම :

ජුනි මස 1 වැනිදා චීනයේ Sinovac Life Sciences Co. Ltd සමාගම විසින් නිෂ්පාදන කටයුතු සිදුකරන සයිනොවැක් එන්නත සඳහා හදිසි භාවිතය සඳහා යොදාගන්නා කොවිඩ් එන්නතක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණා. මෙතක් WHO අනුමැතිය ලැබී ඇති සහ ඇගයීම් මට්ටමේ තිබෙන එන්නත් පිළිබඳ ව ලැයිස්තු ගත කිරීමක් කිරීමක් මෙතනින්.

ජුනි මස 10 වනදා වන තෙක් මෙරට එන්නත්කරණය සඳහා යොදාගෙන තිබුනේ කොවිශීල්ඩ්, සයිනොෆාම් සහ ස්පුට්නික් එන්නත් පමණි. Johnson and Johnson සහ චීනයේ සිනොවැක් එන්නත් සඳහා ද අනුමැතිය ලබාගැනීම සඳහා NMRA ආයතනය විසින් කරුණු සලකා බලමින් සිටින බවට පළවූ වාර්තාවක් මෙතනින්.

සිනොවැක් එන්නත මෙරට නිෂ්පාදනය පිළිබඳ මැයි මාසයේ අග භාගයේ දී චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් කටුනායක වෙත පැමිණි අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ, චීනයේ නිෂ්පාදනය කෙරෙන සිනොවැක් කොවිඩ් මර්දන එන්නත ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට මේ වනවිට කටයුතු කරමින් ඇති බවයි. එහිදී චීන-ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙස මෙම නිෂ්පාදන කටයුතු සිදුකෙරෙන බවක් ද අමාත්‍යවරයා පවසනවා. එම වීඩියෝව මෙතනින්.

“එන්නත් කරනයේ අද සහ හෙට පිළිබඳව දැනුවත් කිරීම” යන තේමාවෙන් ජුනි මස 02 වැනිදා පැවති සාකච්ඡාවක දී ද මේ පිළිබඳ සඳහන් රාජ්‍ය අමාත්‍යවරයා සිනොවැක් එන්නත මෙරට නිෂ්පාදනය පිළිබඳ පැවසුවද ඒ පිළිබඳ වැඩිදුර විස්තරයක් ලබා දී තිබුනේ නැහැ.

කෙසේවෙතත්, මෙම රාජ්‍ය අමාත්‍ය විසින් සිදු කළ ප්‍රකාශයෙන් මෙරටදී චීනයේ සිනොවැක් එන්නත නිපදවීමක් සිදුවෙනවා ද නැත්තම් පිරවුම්, සැකසුම් සහ ඇසුරුම් සිදු කරනවාද යන්න පැහැදිලි නොවන බවට පළ වූ economynext වෙබ් පුවත් වාර්තාව මෙතනින්.

චීන හා ශ්‍රී ලංකා දෙරටේ සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස අරඹන බවට සඳහන් වූ සිනොවැක් මෙරටදී ම ලබාගැනීමට ක්‍රියාත්මක වන වැඩපිළිවෙල සම්බන්ධයෙන් විමසීමට, එනම් එන්නත මෙරට නිෂ්පාදනය කරනවාද නැතිනම් චීනයෙන් ගෙන්වන එම එන්නත මෙරටදී පිරවුම් හා ඇසුරුම් කිරීම පමණක් සිදු කරනවාද යන්න පිළිබඳ විමසීමට, අපට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට දින කිහිපයක් උත්සාහ කළ නමුත් එම අවස්ථා ව්‍යර්ථ විය.

කෙසේවෙතත් සිනොවැක් එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පසුගිය දා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය ලැබුණු අතර චීනයේ සිනොවැක් බයෝටෙක් සමාගම, Kelun Lifesciences PVT LTD සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම(SPCM) එක්ව එම එන්නත් නිෂ්පාදනය කිරීමට තීරණය වී ඇති බවට පළ වූ ලංකාදීප පුවත් පතේ පළවූ වාර්තාවක් පහතින්.

Lankadeepa| Archived Link

අප මේ සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව(SPC) සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ(SPMC) ප්‍රසම්පාදන අංශයෙන් විමසීම් කළ අතර ඔවුන් පැවසුවේ මේ හා සම්බන්ධ ගිවිසුම පිළිබඳ තොරතුරු හරිආකාරව මෙතෙක් නොදන්නා බවයි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) ආයතනයේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා චීනයේ සිනොවැක් එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කරමින් දක්වා තිබුණේ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව යටතේ කෝව්ඩ් සඳහා සිනොවැක් එන්නත මෙරට නිෂ්පාදනය කිරීමට මූලික පියවර ගෙන ඇති බවයි. ඒ සටහන පහතින්.

Facebook | Archived Link

කෙසේවෙතත් අප ඉන්පසුව සිනොවැක් එන්නත් නිෂ්පාදනය සඳහා දායක වන බවට සඳහන් Kelun Lifesciences PVT LTD ආයතනයෙන් විමසීමක් කළේ සිනොවැක් එන්නත මෙරට නිෂ්පාදනය කරනවාද නැතහොත් පිරවුම් සහ ඇසුරුම් කිරීම පමණක් සිදු කරනවාද යන්නයි. එම ආයතනයේ මානව සම්පත් කළමණාකරණ අංශය තහවුරු කළේ ලංකාවේ දී සිදුවන්නේ සම්පූර්ණ නිෂ්පාදනයක් ලෙසින් නොව පිරවුම් සහ ඇසුරුම් කිරීමක් (Fill and Finish) පමණක් බවයි. මෙම ආයතනයේ මව් ශාඛාව වන Sichuan Kelun Pharmaceutical Co. Ltd සමාගම චීනයේ ප්‍රමුඛතම ඖෂධීය සමාගමක් වන අතර ලොව පුරා රටවල් රැසක ද ව්‍යාප්ත වී තිබෙනවා.

එමෙන්ම වෙනත් රටවල සිදුවන මෙවැනි සිනොවැක් එන්නතේ නිෂ්පාදන කටයුතු පිළිබඳ ව ද අප විමසා බැලුවා. මැලේසියාවේ දී චීනයෙන් ආනයනය කළ සිනොවැක් කෝවිඩ් මර්ධන එන්නත, Pharmaniaga LifeScience Sdn Bhd නම් ආයතනයක් හරහා පිරිවුම්, සැකසුම් සහ ඇසුරුම් (Fill and Finish) කටයුතු සිදුකරන බවට දැක්වෙන වාර්තා මෙතනින්, මෙතනින්.

කෙසේවෙතත් එලෙස සිදු කරන පිරිවුම්, සැකසුම් සහ ඇසුරුම් ක්‍රියාවලියද ක්‍රමානුකුලව අදියර කිහිපයක් යටතේ සිදුවිය යුතු ක්‍රියාදාමයක් වන අතර මැලේසියාවේ සිදුවන ක්‍රියාවලිය පිලිබඳ වූ වීඩියෝවක් පහතින්.

https://www.youtube.com/watch?v=cZRMTF3yQeA

ලොව විවිධ රටවල් Fill and Finish කටයුතු වෙනත් එන්නත් සඳහා ද ක්‍රියාත්මක වන බව ද අපට දැක ගන්නට ලැබුණා. එම වාර්තා වල එම ක්‍රියාවලිය Fill and Finish Manufacturing යනුවෙන් සඳහන් කර තිබෙනු අපට දැක ගන්නට ලැබුණා.

කෙසේවෙතත් අප ලංකාවේ සිදුකිරීමට නියමිත එන්නත් නිපදවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් චීනයේ Sinovac Biotech Ltd ආයතනයෙන්ද චීනයේ Kelun Pharmaceutical මව් සමාගමෙන් ද විමසීමක් කළ අතර එම පැහැදිලි කිරීම සමඟ මෙම වාර්තාව යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

එසේම මෙම එන්නත් නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරෙන කාලය පිළිබඳව ද විවිධාකාරයේ අදහස් පළවී තිබෙන බව අප ඉහත දී පෙන්වා දුන්නා. කෙසේවෙතත් මෙලෙස මාස කිහිපයකින් මෙරටදී එන්නත් සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කිරීමට කටයුතු සිදුකරන්නේ නම් අප රටේ තාක්ෂණය, පර්යේෂණ දැනුම සහ සම්පත් දායකත්වය ප්‍රමාණවත් ද යන්න හා කෙටිකාලයකදී එලෙස සූදානම් කර ගැනීමට හැකිද යන්න පිළිබඳව ද ගැටලුවක් පැන නගී.

Update :"කොවිඩ් එන්නත ලංකාවේ නිශ්පාදනය ආරම්භ වන හැටි" යන තේමාවෙන් අද දෙරණ "On Topic" වැඩසටහන යටතේ ඉහත  Kelun Lifesciences ආයතනයේ මෙම නිෂ්පාදන කටයුතු සිදුවන ආකාරය පිළිබඳව වාර්තාමය වැඩටහනක් සිදුකර තිබුණා. ජුනි 26 වැනිදා පළකර තිබු එම වීඩියෝවේ  Kelun Lifesciences ආයතනයේ තත්ව සහතික සහ තත්වය පාලන අංශවල කළමනාකාරිනිය පවසා සිටින්නේ ද සිය කර්මාන්තශාලාවේ filling and finishing (පිරවුම්, සැකසුම් සහ ඇසුරුම්) කටයුතු පමණක් සිදුවන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙම නිෂ්මපාදන කටයුතු සඳහා ලබාගැනීම සඳහා කටයුතු සැකසෙමින් පවතින බව ද එහි සඳහන්. එම සම්පුර්ණ වීඩියෝව පහතින්.

https://youtu.be/AADyvyfpmG0

Conclusion (අවසාන නිගමනය):

ඒ අනුව අපගේ කරුණු අනාවරණයෙන් පෙන්වා දිය හැක්කේ මෙරට නිපදවන බවට පැවසෙන චීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් මර්ධන එන්නතේ, පිරවුම්, සැකසුම් සහ ඇසුරුම් නිෂ්පාදන කටයුතු කිරීම (Fill and Finish Manufacturing) පමණක් මෙරට දී සිදුවන බව එම නිෂ්පාදනය ක්‍රියාවලියේ එක් පාර්ශවයක් වන Kelun Lifesciences ආයතනය විසින් පවසා සිටින බවයි.

කෙසේවෙතත් ලංකාවේ මාස කිහිපයකින් ආරම්භ කිරීමට නියමිත බව පැවසෙන එන්නත් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව වගකිව යුතු අනෙක් රජයේ පාර්ශවයන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටිය ද මේ වන තෙක් නිල පැහැදිලි කිරීමක් ලබා දී නැහැ.

එම පැහැදිලි කිරීම් සහ චීනයේ Sinovac Biotech පිළිතුරු සමඟ මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන අතර ජුනි මස 01 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ චීනයේ Sinovac Biotech Ltd ආයතනය විසින් නිපදවන සිනොවැක් එන්නත දැනටමත් මැලේසියාව ඇතුළු රටවල Fill and Finish Manufacturing (පිරවුම්, සැකසුම් සහ ඇසුරුම් නිෂ්පාදන කටයුතු) සිදුකෙරෙනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සිනොවැක් එන්නත මෙරට සැබවින්ම නිපදවනවද?

Fact Check By: Sara Gunaratne

Result: Explainer

Tags:    

Similar News