8 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට සාමාන්‍ය පෙළ ලියන්න පුළුවන්ද?

Update: 2021-10-01 04:46 GMT

පාසලක 8 වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි දෙවුම් සනහස් රණසිංහ පාසල් සිසුවා පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිව කතා බහට ලක්වන්නේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් A සාමාර්ථ 5ක්, B සාමාර්ථ 2 ක් සහ C සාමාර්ථයක් ලබා ගෙන අ.පො.ස (සා.පෙළ) පත්‍ර විභාගය සමත් වී තිබු බවට සටහන් පළවීමත් සමඟයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සාමාන්‍ය පෙළ විභාගය සඳහා රජයේ පාසල්වලින් පෙනී සිටින්නේ 11 ශ්‍රේණියේ සිසුන්, එනම් වයස අවුරුදු 16-17 වැනි වයස් කාණ්ඩයේ සිසුන් බැවින්, දෙවුම් සනහස්ගේ මෙම ප්‍රතිඵල මෙන්ම මෙම කතාව සත්‍යක්ද යන්න බොහෝ පිරිසක් විමසිලිමත් වී තිබුණා. ඒ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය කුමක්ද යන්න විමර්ශනයක් සිදු කිරීමට අප කටයුතු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

පාසලේ 8 වසරේ ඉගෙනුම ලබමින් සාමාන්‍ය පෙළ විභාගය සඳහා A සාමාර්ථ 5ක්, B සාමාර්ථ 2 ක් සහ C සාමාර්ථයක් ලබාගැනීමට සමත් වූ දෙවුම් සනහස් රණසිංහ සිසුවා, සිය දෙමව්පිය ගුරුවරුන්ගේ මඟ පෙන්වීම යටතේ මෙසේ පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට කෙටි කාලයක දී සුදානම් වෙමින් මෙම සමත්කම දැක්වූ බවත්, උසස් පෙළ විභාගය සඳහා ද සුදානම් වෙමින් පවතින බවත් මේ සියල්ලට අමතරව ක්‍රීඩා කටයුතු ඇතුළු බාහිර ක්‍රියාකාරකම් වලද නිරත වෙන බවත් පහත සටහන මඟින් දක්වා තිබුණා.

Facebook | Archived Link

එමෙන්ම මෙම සිසුවාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සහිත සටහන්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

මෙම කරුණු ඇතුළත් වීඩියෝවක් පහතින්.

https://youtu.be/WRthssVZ2kY

මෙම සටහන් වල දක්වා තිබූ ඇතැම් ප්‍රතිචාර මගින් පවසා තිබුණේ, වයස අවුරුදු 13 පාසල් සිසුවෙකුට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට පුළුවන්ද යන්නයි.

මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් අප සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන්වල දක්වා තිබු ප්‍රතිඵලයේ සත්‍යතාව:

මෙම සිසුවාගේ ප්‍රතිඵල රැගත් සටහන්ද ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබූ හෙයින් ඒ ඔස්සේ අප දෙවුම් සනහස් රණසිංහගේ ප්‍රතිඵල පිළිබඳ නිරීක්ෂණය කළ අතර එහි දැක්වෙන නම සහ ප්‍රතිඵල සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ප්‍රතිඵල බවට තහවුරු වුණා.

doenets.lk | Archived Link

උසස් පෙළ ගුරුවරයා:

දෙවුම් සනහස් රණසිංහ මෙවර උසස්පෙළ විභාගයටද, වානිජ අංශයෙන් පෙනී සිටීමට බලාපොරොත්තු වන බවට ඉහත සටහන් වල පළවූවා මෙන්ම මෙම සිසුවාට ආර්ථීක විද්‍යාව විෂය උගන්වන ලබන ගුරුවරයා වූ මිහින් ලියනාරච්චි මහතා සිය ෆේස්බුක් පිටුවේ දක්වා තිබූ සටහනක් වෙත අපගේ අවධානය යොමු වූ අතර අප ඒ මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගනිමින් මේ පිළිබඳව විමසා සිටියා. එම ෆේස්බුක් සටහන මෙතනින්. Archived Link මෙය සත්‍ය සිදුවීමක් බවත්, මෙම සිසුවා නැනමල් රාජකීය විද්‍යාලය නම් පෞද්ගලික විදුහලක 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බවත් එම ගුරුවරයා සඳහන් කළා. එම සිසුවා සිය දක්ෂතාවයන් පෙන්වමින් මෙවර උසස්පෙළ විභාගයට මුහුණ දීමට කැපවීමෙන් අධ්‍යාපනය ලබන බවත් අප සමග පවසා සිටියා. අප එම ගුරුවරයා මාර්ගයෙන් දෙවුම් සනහස් රණසිංහගේ පියා වන අනුර රණසිංහ මහතාව ද දුරකථනයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

දෙවුම් සනහස් සිසුවාගේ පියා :

අනුර රණසිංහ මහතා සඳහන් කළේද, තමන් ඇතුළු සිය බිරිඳත් පාසල් ගුරුවරුන් බවත් ඔවුන් දෙපළ විසින් සාමාන්‍ය පෙළ විෂය ධාරාව අසමත් වන සිසුන්ට මාස 6 ක වැනි කාලයක දී ඉගැන්වීම් කටයුතු කරමින් නැවතත් විභාග සඳහා යොමු කරවන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඉන් උත්තේජනයක් ලැබූ ඔවුන්ගේ පුත් දෙවුම් සනහස් සිසුවාද මෙම ගුරු දෙමව්පිය යුවළට පවසා ඇත්තේ තමාව ද මාස 6ක කාලයක් තුළ මෙම විභාගයට සූදානම් කරවන ලෙසයි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් වසා දැමීමත් සමග අධ්‍යාපනය ලැබීමට තිබෙන කාලයද මග හැරෙන බැවින් මෙම තීරණය ගත් බවද, ඔහු වැඩි දුරටත් සඳහන් කළා. ඒ අනුව විභාග කොමසාරිස් වරයාද හමුවී මෙහි නෛතික පසුබිම විමසා බලා, එහිදී පෞද්ගලික අයදුම්කරුවෙකු වශයෙන් විභාගයට මුහුණ දීම සඳහා බාධාවක් නොමැති බැවින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් බවත් මේ වනවිට උසස් පෙළ විභාගයට මුහුණ දීම සඳහා ද සූදානම් වන බවත් අප සමග පවසා සිටියා. එසේම අධ්‍යාපනයට අමතර ක්‍රිකට් ක්‍රීඩා පුහුණුවීම් සඳහා නිරන්තරයෙන් යොමු වෙමින් බාහිර ක්‍රියාකාරම් සඳහා ද සනහස් සිසුවා ඇල්මක් දක්වන බව පවසා සිටියා.

එසේම අනුර රණසිංහ මහතා තවදුරටත් පවසා සිටියේ සනහස් පුතාට මේ වන තෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමේ වයස සම්පුර්ණ වී නොමැති බැවින් විභාගයට පෙනී සිටීම සඳහා, අනන්‍යතාවය තහවුරු කිරීමට, විදෙස් ගුවන් බලපත්‍රය යොදාගත් බවයි. එහි ඡායාරුපයක් ද අප වෙත යොමු කල අතර එහි තොරතුරු පරීක්ෂා කිරීමේ දී ද සිසුවාගේ නම , සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලයේ තිබෙන නම ම බවත් දැක ගන්නට ලැබුණා.

තව ද ඉහත ප්‍රතිඵල ලේඛනයේ දැක්වෙන හැඳුනුම්පත් අංකය වශයෙන් දැක්වෙන අංකය (54130275881), පිලිබඳ අප කල විමසීමේ දී ද පැහැදිලි කර සිටියේ, එය මාර්ගගත ක්‍රමයට සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කල අවස්ථාවේ දී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් අංකයක් බවත්, එසේ ඉල්ලුම් කල අවස්ථාවේ දී විදෙස් ගුවන් බලපත්‍රය ද සකසා තිබුනේ නැති බවයි.

විභාග කොමසාරිස් සනත් පූජිත මහතා

මෙරට ඕනෑම වසරක සිසුවෙකුට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සහ උසස්පෙළ සඳහා පෙනී සිටීමේ හැකියාව සම්බන්ධයෙන් අප විභාග කොමසාරිස් වරයාගෙන් විමසා සිටියා.

ඒ මහතා සඳහන් කළේ, පෞද්ගලික අපේක්ෂකයෙකු ලෙස ඕනෑම අයෙකුට ඕනෑම වයස් කාණ්ඩයක් තුළ මෙම විභාග සඳහා පෙනිය සිටි හැකි බවයි. නමුත් රජයේ පාසලක ඉගෙනුම ලබන සිසුන්ට මෙම අවස්ථාව අහිමි වන බවත් ඒ අනුව රජයේ පාසලක ඉගෙනුම ලබන සිසු සිසුවියන් සාමාන්‍ය පෙළ 11 වන ශ්‍රේණියේ දී මුහුණ දීමට සිදුවන බවත් පවසා සිටියා.

කෙසේනමුත් අවශ්‍ය නම්, රජයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙක්ට එම පාසලින් ඉවත්වී පෞද්ගලික අපේක්ෂකයෙකු ලෙස මෙම විභාග සඳහා නියමිත කාලයට පෙර මුහුණ දීමේ හැකියාවක් ද පවතිනවා.

2020 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබු මාර්ගෝපදේශයේද, ඒ පිළිබඳ වැඩිදුර විස්තර දක්වා තිබේ. මෙතනින්.

එසේම රජයේ පාසල් වල අධ්‍යාපනය ලබන සිසුන් ද ඇතැම් අවස්ථාවල දී හොඳින් අධ්‍යාපන කටයුතුවල යෙදීම හේතුවෙන් ඉහළ පංතියකට ඇතුළත් වීමේ අවස්ථාව [Double promotion] මීට වසර ගණනාවකට පෙර හිමිවී තිබුණ ද එම ක්‍රමයේ මතුවී තිබු විවිධාකාරයේ ගැටළුකාරී තත්වයන් හේතුවෙන් රජයේ පාසල්වලින් එම ක්‍රමය ඉවත්කර තිබෙන බව ද විභාග කොමසාරිස්වරයා පැහැදිලි කර සිටියා.

එමනිසා රජයේ පාසලක අධ්‍යාපනය ලබන සිසුවෙකුට මෙසේ අඩු වයසින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් මේ වන විට හිමිවන්නේ නැහැ.

කෙසේනමුත් අඩු වයසකින් විභාග සඳහා පෙනී සිටි වෙනත් පෞද්ගලික අයදුම්කරුවන් පිළිබඳව මෑතක දී වාර්තා වෙනවා. මේ අයුරුන් අවුරුදු 13 දී සාමාන්‍ය පෙළත්, අවුරුදු 15 දී උසස් පෙළත් විභාගයත් සමත් වී අවුරුදු 19 දී උපාධි දෙකකට හිමිකම් පාමින් ලංකාවේ ළාබාලතම ආචාර්ය උපාධිධාරිනිය බවට පත්ව තිබු ආචාර්ය බුද්ධිමා සුබසිංහ පිලිබඳ වාර්තාවක් මෙතනින්

කෙසේවෙතත් සාමාන්‍යයෙන් ලංකාවේ සිසුන් රජයේ පාසල් හරහා උසස් අධ්‍යාපනය සඳහා රජයේ විශ්ව විද්‍යාල සඳහා යොමු වී උපාධිය ලබාගැනීමට ගතවන කාලය වෙනත් රටවල ට සාපේක්ෂව තරමක් වැඩි බැවින් ඇතැම් දෙමව්පියන් පෞද්ගලික අධ්‍යාපන ආයතනය සඳහා යොමු වී ඇති අතර අඩු වයසින් මූලික අධ්‍යාපන කටයුතු නිම කර උසස් අධ්‍යාපන කටයුතු සඳහා හෝ වෘත්තීය ක්ෂේත්‍රය සඳහා යොමුවෙනු දැකගනන්ට ලැබෙනවා.

විශේෂයෙන්ම මේ වන විට මෙරට ඇතුළු මුළු ලොවක් මුහුණ පා සිටින වසංගත තත්ත්වය යටතේ විභාග පැවැත්වීම් පිලිබඳ දින ද කල් ගත වෙමින් පවතින බැවින්, මෙරට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන්ට මෙම විභාග සඳහා අඩු වයසකින් පෙනී සිටීමට කටයුතු කළ හැකි නව වැඩ පිළිවෙළක් සකස් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වේ නම් එමඟින් මෙරට අනාගත පරපුරට මහඟු අවස්ථාවන් රැසක් සඳහා අඩු වයසක දී දොර විවෘත වීමේ අවස්තාවක් ද පවතිනු ඇත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:8 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට සාමාන්‍ය පෙළ ලියන්න පුළුවන්ද?

By: Pavithra Sandamali

Result: Explainer

Tags:    

Similar News