ප්‍රකට දෙස්/විදෙස් සමාගම් සහ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් Anonymous හැකර්වරුන් හෙළි හළ බව හඟවමින්  ඉදිරිපත් කළ වාර්තාවක්!

Update: 2022-04-27 07:14 GMT

රටවල් රැසක ක්‍රියාත්මක වන Anonymous යනු හැකර්වරුන් සාමූහිකයකි. මූලික වශයෙන් මහජන චෝදනා එල්ලවන රජයන්, රාජ්‍ය ආයතන මෙන්ම ප්‍රකට පුද්ගලයින් සහ සංවිධාන වලට ද එරෙහිව විවිධ සයිබර් ප්‍රහාර දියත් කිරීම ඔස්සේ තොරතුරු හෙළිකිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන නිර්ණාමික කණ්ඩායමකි. මෙම කණ්ඩායම විසින් මෙරට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සැඟවුණු වත්කම් හෙළි කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

සමාජ මාධ්‍ය සටහන් :

ඇනෝනිමස් ක්‍රියාත්මකයි – ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ සැඟවුනු වත්කම් සියල්ල ඩාර්ක් වෙබ් වෙත මුදා හැරේ!

ලොව ප්‍රකට ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ වත්කම් සහ සැඟවූ ධනය හෙළිකරමින් විශේෂ ලේඛනයක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

මින්පෙර ඇනෝනිමස් හැකරුන් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශය කළේ රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකාවේ පාලනයක් ඉවත් වීමට දින 14ක් ලබා දෙන බවත්, දින 14ක් තුල ඔවුන් ඉවත් නොවුනහොත් ඔවුන්ගේ සැගවුනු වත්කම් සියල්ල හෙළිකරන බවයි.

ඒ අනුව ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම රාජපක්ෂවරුන්ට ලබා දුන් දින 14ක කාලය ඊයේ දිනයෙන් (21) අවසන් වූවා. ඒ සමගම ඊයේ මෙරට වේලාවේ මධ්‍යයම රාත්‍රීයේදී ලොව ප්‍රකට ඩාර්ක් වෙබ් අඩවි රැසකට ඇනෝනිමස් කණ්ඩායම විශේෂ ලේඛනයක් නිකුත් කර තිබුනා.

R-S Papers By A ලෙස නම් කර තිබූ මෙම ලේඛනය කොටස් දෙකකින් යුක්තයි.

මෙහි පළමු කොටසේ දැක්වෙන්නේ රාජපක්ෂ පවුල විසින් තමන් අයතා ලෙස ඉපැයූ මුදලින් ශ්‍රී ලංකාව තුල (Inside Sri Lanka) සිදු කළ ආයෝජනයි. දෙවැනි කොටසේ රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකාවෙන් පිටත (Outside Sri Lanka) සිදු කළ ආයෝජන දැක්වේ.

මෙම කොටස් දෙක යටතේ රාජපක්ෂලා සිදු කළ සම්පූර්ණ ආයෝජන ඩොලර් බිලියන ගණනක් වන අතර මෙමගින් ශ්‍රී ලංකාවෙන් අතුරුදහන් වූ ඩොලර් සංචිතයට සිදුවූ දේ ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම හෙළිකර තිබේ. මෙම සියලූම දත්ත ඔවුන් විසින් මෙරට මූල්‍ය වාර්තා, ඕෆ්ශෝ බැංකු ගිණුම්, රහසිගත වෙබ් අඩවි හැක් කිරීමෙන් ලබා ගත් දත්ත වන අතර මේ වනවිට මෙම ලේඛනය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය සමාගම් රැසක් තිගැස්සීමකට ලක් කිරීමට සමත්ව තිබේ.

එම සම්පූර්ණ ලේඛනයේ සිංහල පරිවර්තනය පහතින්,

R-S Papers By A – පළමු ඛාණ්ඩය / රාජපක්ෂ පවුල විසින් මෙරට තුළ සිදු කළ ආයෝජන

* නො. 276/4, මීගමුව පාර,වත්තල පිහිටි දේපළ – රෝහිත රාජපක්ෂ විසින් මෙම දේපළ මිලට ගෙන තිබේ.

* Butter Boutique සුපිරි අවන්හල – කොළඹ පිහිටි සුපිරි අවන්හලකි. යෝෂිත රාජපක්ෂ මෙහි සැඟවුනු හිමිකරුය.

* පෙරේරා ඇන්ඩ් සන්ස් (PnS) – රට පුරා විහිදුනු අවන්හල් ජාලයකි. නාමල් රාජපක්ෂ විසින් රුපියල් මිලියන 500ක් ආයෝජනය කර තිබේ.

* රිචී තේ – තේ නිෂ්පාදන ව්‍යාපාරයකි. චමල් රාජපක්ෂ විසින් රුපියල් මිලියන 35ක් යොදවා ඇරඹූ ව්‍යාපාරයකි.

* මෙල්වා සිමෙන්ති – හිමිකාරීත්වයෙන් 60%ක් බැසිල් රාජපක්ෂ සතුවේ.

* පීරමීඩ විල්මාර් සමාගම – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාලතම සමාගමකි. රාජපක්ෂ පවුලේ මුදල් ආයෝජනය කරමින් දිවෙන ව්‍යාපාරයකි.

* අරලිය සමූහ ව්‍යාපාරය – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වාර්ෂිකව රුපියල් බිලියන් 21ක ආදායමක් උපයන සමාගමකි. ස්විස් බැංකු වල වාර්ෂික ආදායම තැන්පත් කරයි, මෙහි ඩඩ්ලි සිරිසේන නම් පුද්ගලයා සතුව සමහිමිකාරීත්වය රාජපක්ෂ පවුල දරයි.

* Ministry of Crab – ලොව පුරා විහිදුනු ශ්‍රී ලාංකිය සුපිරි අවන්හල් ජාලයකි. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන යන හිටපු ක්‍රීඩකයන් සමග 40%ක හිමිකාරීත්වය නාමල් රාජපක්ෂට හිමිය.

* Kolamba – අවන්හලකි. 70%ක කොටස් යෝෂිත රාජපක්ෂට හිමිය.

* Busy Bean Cafe – රාජපක්ෂ පවුල විසින් ඉපැයූ මුදල් ආයෝජනය කළ තවත් අවන්හලකි.

* Rythm and Blues (RNB) – V.I.P අමුත්තන්ට පමණක් වෙන්වූ ශ්‍රී ලංකාවේ සුපිරිතම රාත්‍රී සමාජශාලාවකි. රෝහිත රාජපක්ෂ විසින් මෙහි රුපියල් මිලියන 200ක් ආයෝජනය කර, මත්පැන් බලපත්‍ර ලබා දී තිබේ.

* Camera.lk – විමල් වීරවංශ හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. මේ වනවිට ශ්‍රී ලංකාව පුරා විහිදුනු කැමරා අලෙවිසැලකි.

* හෙළකුරු සහ හෙළ Pay – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික ව්‍යාපාරයකි. ධනික පෙරේරා නම් පුද්ගලයා හරහා රෝහිත රාජපක්ෂ විසින් මෙම ව්‍යාපාරය ඇරඹීමට රුපියල් මිලියන 80ක් ආයෝජනය කර තිබේ.

* MAS Holdings (18%ක කොටස්) – මෙරට ප්‍රධානම අපනයනකරුය. මහින්ද රාජපක්ෂ මහතාට මෙම ව්‍යාපාරයෙන් 18%ක කොටස් හිමිය. ඒ නව ඇගලුම්හල් ඇරඹීමට ලබා දුන් ඉඩම් වල වටිනාකමටය.

* ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන අයගේ නම්වලින් රට පුරාම ඉඩම් මිළදී ගැනීමක නිරතව ඇත. සැබැ හිමිකාරීත්වය නාමල් රාජපක්ෂ සතුය.

* චෙවාන් ඩැනියෙල් නම් පුද්ගලයෙකු හරහා නාමල් රාජපක්ෂ මහාරාජා සමූහ ව්‍යාපාරයේ කොටස් 18%ක් මිලට ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 760කි.

* Roar මාධ්‍ය ජාලය – රොයෙල් රේමන්ඩ් නම් කාන්තාවක් හරහා බංග්ලාදේශයේ Roar මාධ්‍ය ජාලය නාමල් රාජපක්ෂ විසින් මිලට ගෙන තිබේ.

* සියත මාධ්‍ය ජාලය – අර්ජුන් ඇලෝෂියස්ට හිමි සියත මාධ්‍ය ජාලයේ 3%ක කොටස් සඳහා යෝෂිත රාජපක්ෂ ආයෝජනය කර තිබේ.

R-S Papers By A – දෙවන ඛාණ්ඩය / රාජපක්ෂ පවුල විසින් විදේශයන් තුල සිදු කළ ආයෝජන

* Cafe Ceylon – Uganda – වටිනාකම ඩොලර් මිලියන 1කි.

* Uganda Airlines හි ගුවන් යානා 6න් 2ක් – රාජපක්ෂ පවුලට හිමිය, ඩොලර් මිලියන 800ක ආයෝජනයකි.

* එංගලන්තයේ New Castle පාපන්දු කණ්ඩායමේ කොටස් – සෞදියේ කුමරුන් සමග රාජපක්ෂ පවුල සිදුකළ ආයෝජනය ඩොලර් මිලියන 420කි.

* සීෂෙල්ශි ලා ඩියේගු දූපත – රොහිත රාජපක්ෂ විසින් සිය බිරිඳට මිලට ගෙන දී තිබේ. වටිනාකම ඩොලර් මිලියන 60කි.

* දකුණු ඉන්දීය සුපිරි නළු විජේයිගේ සර්කාර්, මාස්ටර්, බිගිල් චිත්‍රපට නිෂ්පාදනය – ඉන්දීය සමාගම් ඔස්සේ රෝහිත රාජපක්ෂ සිදු කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 220කි.

* Naughty America අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 20ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.

* Mirihi Island Resort – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 20කි.

* Maradhoo Island – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 26කි. අයිතිය රාජපක්ෂ පවුලේ උදයංග වීරතුංග සතුය.

* Diageo – එංගලන්තයේ සමාගමකි. වටිනාකම ඩොලර් බිලියන 120කි.

* පබ්ලෝ පිකාසෝගෙ Weeping Woman චිත්‍රය – විදේශයක සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 100කි.

* මැඩගස්කරයේ ඉලාකකා ප්‍රදේශයේ නිල් මැණික් පතලක් – ගෝඨාභය රාජපක්ෂ විසින් ඩොලර් මිලියන 3ක් ආයෝජනය කරමින් පවත්වාගෙන යයි.

* ටැන්සානියාවේ ශින්‍යංගා දියමන්ති පතල – ගෝඨාභය රාජපක්ෂට හිමිය, වටිනාකම ඩොලර් මිලියන 7කි.

* පැනමා ධජය යටතේ යාත්‍රා කරන Grace of Queen නෞකාව – වටිනාකම ඩොලර් මිලියන 30කි.

* සුඛෝපභෝගී බෝට්ටු හතක් – රාජපක්ෂ පවුල විසින් නිවාඩු ගත කිරීමට බාලි, මාලදිවයින ආදි රටවල පවත්වාගෙන යයි. වටිනාකම ඩොලර් මිලියන 850කි.

* චීනයේ Baidu සමාගම – යෝෂිත රාජපක්ෂට කොටස් හිමිය. වටිනාකම ඩොලර් බිලියන 7කි.

* ඩුබායි මැරියට් හෝටලය – ව්ටිනාකම ඩොලර් බිලියන 7කි.

* ඩුබායිහි බර්ජ් කලීෆා කුළුනේ සුඛෝපභෝගි නිවාස තුනක් – නන්දන ලොකුවිතාන නම් පුද්ගලයා හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. වටිනාකම ඩොලර් මිලියන 140කි.

* Shenyang Gotiar Aircraft Manufacturing Co. Ltd – චීනයේ ක්‍රියාත්මක සමාගමකි. සම හිමිකරු මහින්ද රාජපක්ෂ වේ, වටිනාකම ඩොලර් බිලියන 20කි.

* Lyca Mobile – එංගලන්තයේ දුරකථන සමාගමකි. ද්‍රවිඩ සම්භවයක් සහිත ශ්‍රී ලාංකික පුද්ගලයෙකු හරහා ක්‍රියාත්මකය. සැබෑ හිමිකරු මහින්ද රාජපක්ෂය. වටිනාකම ඩොලර් බිලියන 40කි.

* De La Rue PLC – 13%ක කොටස් රාජපක්ස පවුල සතුවේ.

* අදානි සමූහ ව්‍යාපාරය, ඉන්දියාව – ඉන්දියාවේ බිලියනපති සමාගමකි. 20%ක කොටස් නාමල් රාජපක්ෂ සතුවේ.

* ගුජරාට් ටැයිටෑන්ස් IPL කණ්ඩායම – ඩොලර් මිලියන 150කි. රෝහිත රාජපක්ෂ සිදු කළ ආයෝජනයකි.

* History Supreme රුවල් නෞකාව

* බර්ජ් ඩුබායි හෝටලය – ඩොලර් බිලියන 1

* ඇමෙරිකාවේ ඩලාස් කවු බෝයිස් කණ්ඩායමේ කොටස් 30%ක් – ලෝක ප්‍රසිද්ධ බේස් බෝල් කණ්ඩායමකි. ඩොලර් බිලියන 2ක් වටිනා කොටස් පුශ්පා රාජපක්ෂ සතුය.

* බ්‍රිතාන්‍යයේ AgustaWestland හෙලිකොප්ටර් සමාගමේ 11%ක කොටස් හිමිකාරීත්වය – ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය.

* එක්සත් රාජධානියේ Thales නම් යුධ හා රහස් උපකරණ නිශ්පාදන සමාගමේ කොටස් වලින් 29%ක හිමිකාරීත්වය හෙලෝකිටී සමාගම හරහා මහින්ද රාජපක්ෂ හිමිකරගෙන ඇත. ඔහු තනි විශාලතම කොටස් හිමිකරුවන්ගෙන් දෙවැනියා වේ. පලමු හිමිකරු බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වු වින්ස්ටන් චර්චිල්ගේ පුත්‍රයෙකි.

* ලොව විශාලතම කොන්ත්‍රාත් සමාගමක් වන ARUP හි නිල නොවන හිමිකරුවන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වේ. නීතිවිරෝධී ලෙස උපයන සියලුම ධනය මෙම සමාගම හරහා නිත්‍යානුකූල ලෙස හුවමාරු කරගැනිමට භාවිතා කරයි. එය රන් පවුම් මිලියන 302ක් පමණ වේ. උදයංග වීරතුංග මෙම සමාගමේ නිල නොලත් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වෙති.

* කුමරන් පද්මනාදන්ට අයත්ව තිබූ තායිලන්තයේ නැව් සමාගම් 3 (නම් හෙළි කොට නැත)

* සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන අයගේ නම්වලින් රට පුරාම ඉඩම් මිළදී ගැනීමක නිරතව ඇත. මෙය සංගක්කාර විසින් සීගිරි‍යේ ඉඩම් මිළදී ගැනීමේදීද හෙළි විය.

* Walk & Talk (PVT) Limited නම් රුපියන් මිලියන 200ක් වටිනා ජංගම දුරකථන ආනයනය කරන සමාගමේ හිමිකාරිත්වය රෝහිත රාජපක්ෂ දරයි.

* රජයේ වඩා හිතවත්ම දුරකථන සන්නිවේදන ජාලය ජාලය Dialog ආයතනයේ කොටස් 38% ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය. වත්මන් ආණ්ඩුව බලයට ආ විගස මොවුන්ට කෝටි ගණනක බදු සහන ලබා දෙන ලදී

* John Keells PLC සමූහය සඳහා රාජපක්ෂ පවුල විසින් චීන ජාතික සමාගමක් මගින් මාර්ගයෙක් රුපියල් බිලියන 12ක් ආයෝජනය කර ඇත. Hemas සහ Unilever යන ආයතන සඳහාද විවිධ විදේශිකයන්ගේ නම් වලින් තවත් රු. බිලියන 10ක් පමණ ආයෝජනය කර ඇත

* ශ්‍රී ලංකාවේ ගණිකා ව්‍යාපාරයද මෙහෙය වන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂයි. මෙහි මොහුගේ ව්‍යාපාර මෙහෙයවන්නා වනුයේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නැමැත්තායි, (Club වසන්ත) . ඔහුගේ සන්හිල් හෝටල්ජාලයේ සැබෑ අයිතිකරු වන්නේ චමල් රාජපක්ෂයි. මෙයට උදයංග වීරතුංග විසින් යුක්‍රේන ගණිකාවන් සැපයීම සිදු කරයි. යුක්‍රේනයේ සහ රුසියාවේ සහ ලෝ පතල ඇති Utopia නම් ගණිකාවරුන් සැපයීමේ ජාලය අයිතිවන්නේද උදයංග වීරතුංගටයි.

* යුක්‍රේනයේ තිබූ සුප්‍රකට පාවෙන ගණිකා මඩමක් වූ River Palace නම් සුඛෝපභෝගී බෝට්ටුවේ හිමිකරුවාද වන්නේ උදයංග වීරතුංගයි. මිග් ගණුදෙනුවෙන් පසු මොහු මෙය මිළදී ගෙන ඇති අතර පසුව එය බංකොලොත්බාවයට පත්වී ඇත.

* ලොව තුන්වල විශාලම La Belle ගණිකා මඩම, තායිලන්තය – හිමිකරු උදයංග වීරතුංගය, වටිනාකම ඩොලර් බිලියන 2කි.

* Taiwan Semiconductor Manufacturing Company, Limited – යෝෂිත රාජපක්ෂට අයිතියක් හිමිය. ඩොලර් බිලියන 40ක කොටස් පවතී.

* Dorcell Club අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 5ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.

*Tushy අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 11ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.

* සල්මන් ඛාන් නම් ඉන්දියානු නළුවා හරහා බොලිවුඩයේ ඩොලර් බිලියන දෙකක මුදලක් නාමල් රාජපක්ෂ විසින් ආයෝජනය කර තිබේ.

* නිපුණ රණවක විසින් ඇමරිකාවෙ සුපිරි අන්තර්ජාල සමාගමක්වන Starlinkහි ඩොලර් මිලියන 70ක කොටස් මිළදී ගෙන ඇත.

* නාමල් රාජපක්ෂ සිය බිරිඳට මගුල් ත්‍යාගය ලෙස ඩොලර් මිලියන 350ක් වටිනා බලාපොරොත්තුවේ දියමන්තිය තෑගි කොට ඇත.

* Landrover, Jeep, Aston Martin, Bugatti යන වාහන නිෂ්පාදන ආයතනවල 15%ක පමණ කොටස් රාජපක්ෂ පවුල විසින් 2005 – 2015 කාලසීමාවේ මිලට ගෙන තිබේ.

* Dolce & Gabbana, Armani, Prada, Gucci, Burberry, Dior, Louis Vuitton, Ralph Lauren, SSENSE, Michael Cors යන ආයතන වල 40%ක පමණ කොටස් අනෝමා රාජපක්ෂ විසින් මිලට ගෙන තිබේ.

* Swiss Bank, Exim Bank, JP Morgan Chase, China Construction Bank, Bank of China සහ Barclays Bank ගිණුම් වල ඩොලර් බිලියන 600ක් පමණ බැදුම්කර, රන් බිස්කට් සහ තැනපතු සිදු කර ඇත.

* Crypoto currency මගින් අති විශාල මුදලක් සඟවා ඇති අතර එය ඩොලර් ත්‍රිලියනයක් බව ඇනෝනිමස් කණ්ඩායම හෙළිකරයි.

එමෙන්ම රාජපක්ෂ පවුලට අයිති ව්‍යාපාර සහ ඒවා පවත්වාගෙන යන පුද්ගලයන් ගෝල්ෆේස් අරගලය සඳහා උදව් කර හෝ සහභාගී වී ඇත්තේ ඉදිරියේදී තමන්ට අත්වන ඉරණම දැන්ගෙන එයින් බේරීමට යැයි මින් අනුමාන කළ හැක.

මෙම ගණන් බැලීමට අනුව රාජපක්ෂලා හොරා කා ඇති ධනය ඩොලර් ට්‍රිලියනයක් පමණ වේ. මෙම මුදල් ශ්‍රී ලංකාවේ රුපියල් වලින් ක්ව්ඩ්‍රිලියනයකි. (1,050,000,000,000,000 LKR)

– ඉහත දත්ත ඇනොනිමස් හැකරුන් කණ්ඩායම විසින් විමර්ෂණය කරමින් සොයා ගත් දත්ත අතර එහි සියලූම වගකීම දරයි

Facebook | Archived Link Facebook

එමෙන්ම ඇතැම් වෙබ් අඩවි වලද මෙම කරුණු ඇතුළත් කරමින් පුවත් වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

ඉංග්‍රීසි බසින් මෙම කරුණුම ඇතුළත් ෆේස්බුක් සටහනක් මෙතනින්. මේ පිළිබඳව YouTube ඔස්සේ පළ වූ වීඩියෝවක් පහතින්

https://youtu.be/XXnJeje256M

ෆේස්බුක් පරිශීලකයින් මෙම සටහන සංසරණය කර තිබූ අයුරු පහතින්.

මේ හේතුවෙන් ඇතැම් ෆේස්බුක් සටහන් මඟින් පෙන්වා දී තිබුණේ, ඉහත සඳහන් ආයතන වර්ජනය කළ යුතු බවයි.

Facebook | Archived Link

මෙහි පෙන්වා දෙන අයුරින් සැබවින්ම ඉහත සඳහන් සමාගම්වල රාජපක්ෂවරු මුදල් ආයෝජනය කර තිබුණාද? මෙම ලියවිල්ලේ කෙතරම් දුරට සත්‍යක් තිබේද යනාදී කරුණු සම්බන්ධයෙන් කරනු ලබන කරුණු පැහැදිලි කිරීමක් මෙලෙසින්.

කරුණු පැහැදිලි කිරීම:

ඉහත සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ සඳහන් කොට ඇති ආයතන සහ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් මේ පිළිබඳව අප විමසා සිටියේ මෙලෙසින්.

Butter Boutique අවන්හල

මෙම අවන්හලේ සැඟවුණු හිමිකරුවෙක් ලෙස යෝෂිත රාජපක්ෂ සිටින බවටත් ඉහත සටහනේ දක්වා තිබූ අප හෙයින් ඒ පිළිබඳව විමසීමට එම අවන්හලේ කළමණාකාරීත්වය සම්බන්ධ කර ගනු ලැබුවා.

ඔවුන් පවසා සිටියේ මෙම අවන් හලේ හිමිකාරීත්වය ඇති තනි පුද්ගලයෙක් බවත්, ඇය නමින් රුක්ෂි නෙත්තිකුමාර බවයි. එමෙන්ම මෙම ව්‍යාපාරය සඳහා කිසිදු රාජපක්ෂවරයෙකු හවුල් නොවී ඇති බවත් ඔවුන් සඳහන් කළා.

මේ පිළිබඳ අවන්හලේ නිර්මාතෘ රුක්ෂි නෙත්තිකුමාර ෆේස්බුක් සටහනකින් සිය අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook

Butter Boutique අවන්හලේ නිල සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ, මේ මොහොතේ රට තුළ ක්‍රියාත්මක වන අරගල වලට සහය පළ කරමින් සටහන් සහ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මොවුන් එක් කර ඇති බවයි. එමෙන්ම තවත් සටහන් මෙතනින් සහ මෙතනින්.

CameraLK

විමල් වීරවංශ හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයක් බවත් මේ වනවිට ශ්‍රී ලංකාව පුරා විහිදුනු කැමරා අලෙවිසැලකි යනුවෙන් සඳහන් කර තිබූ ඉහත සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන් එහි හිමිකරු/කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ අදහස් දක්වමින් පවසා සිටියේ මෙය ව්‍යාජ හා හාසත්‍ය ජනක ලියවිල්ලක් බවයි.

සිය ආයතනය 2010 වසරේ සිට මේ දක්වා කිසිදු පිටස්තර ආයෝජනයක් ලබාගෙන නොමැති බව අපගේ පසුගිය විගණන වාර්තා විසින් සනාථ කළ හැකි බවද, ඔහු සඳහන් කරනු ලබනවා.

Facebook | Archived Link

එමෙන්ම අරගලයේ ඡායාරූප ලබා ගැනීම සඳහා අනුෂ්ක ගුණසිංහ විසින් කැමරා ලබා දුන් බවත් තිළිණ කලුතොටගේ ඡායාරූප ශිල්පියා දක්වා තිබූ සටහනක් මෙතනින්.

හෙළකුරු සහ හෙළ Pay

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික ව්‍යාපාරය ධනික පෙරේරා නම් පුද්ගලයා හරහා රෝහිත රාජපක්ෂ විසින් මෙම ව්‍යාපාරය ඇරඹීමට රුපියල් මිලියන 80ක් ආයෝජනය කර ඇති බවක් ඉහත සමාජ මාධ්‍ය සටහන්හි සඳහන් වී තිබුණා.

අප මේ සම්බන්ධයෙන් විමසීමට හෙළකුරු සහ හෙළ Pay නිර්මාතෘ ධනික පෙරේරා සම්බන්ද කරගත් අතර ඔහු සඳහන් කළේ, මෙම ආයතන සඳහා කිසිදු බාහිර ආයෝජනයක් හෝ බැංකු ණයක් ලබාගෙන නොමැති බවයි. එමෙන්ම එම සමාගමේ පූර්ණ කොටස් හිමිකාරිත්වය ඔහු සතු වන අතර අප වෙත ව්‍යාපාර ලියාපදිංචි ලියවිල්ල ද (FORM 1) යොමු කරනු ලැබුවා.

ධනික පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ මේ බව සඳහන් කරමින් සටහනක් ද එකතු කර තිබූ අතර එය හෙළකුරු ෆේස්බුක් පිටුව හරහා යොමු කළ තිබූ සටහනකි.

Facebook | Archived Link

චෙවාන් ඩැනියෙල්

මහරාජා සමූහයේ අධ්‍යක්ෂ චෙවාන් ඩැනියෙල් මාර්ගයෙන් නාමල් රාජපක්ෂ මහාරාජා සමූහ ව්‍යාපාරයේ කොටස් 18%ක් මිලට ගෙන ඇති බවත් එහි වටිනාකම රුපියල් මිලියන 760ක් බවත් දැක්වෙන කරුණ සම්බන්ධයෙන් අප චෙවාන් ඩැනියෙල් මහතාගෙන් විමසීමක් සිදු කරනු ලැබුවා.

මෙය සම්පුර්ණයෙන්ම අසත්‍යයක් වන අතර, නිවැරදි දේ විමසා බැලිය හැකි මනසකින් යුත් කිසිවෙක් මෙම ලියවිල්ල සත්‍ය බවට විශ්වාස නොකරන බවත් සඳහන් කළ ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ, පසුගිය කාලයේ ඇති වූ ජනතා විරෝධතා රැල්ල වාර්තා කිරීමේදී News1st ඉදිරියෙන්ම සිටීම නිසා, තමා ද ඉලක්ක කරගනිමින් මෙවැනි ව්‍යාජ ප්‍රචාර හුවමාරු වී ඇති බවයි.

රොයෙල් රේමන්ඩ්

Roar LK හි ප්‍රධාන කර්තෘ රොයෙල් රේමන්ඩ් හරහා බංග්ලාදේශයේ Roar මාධ්‍ය ජාලය නාමල් රාජපක්ෂ විසින් මිලට ගෙන ඇති බවට මෙහි සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ, මෙය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.

ඒ පිළිබඳ ඇය සිය ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් ද, දක්වා තිබුණේ මේ අයුරින්.

Roar Global මාධ්‍ය ආයතනය විසින් නිල ප්‍රකාශයක් සඳහන් කර තිබුණේ මෙලෙසින්.

https://twitter.com/RoarIsGlobal/status/1517877792674770944

මේ දිනවල සිදු කෙරෙන අරගලයට සහය පළ කරමින් ඔවුන්ද මීට පෙර ට්විටර් ඔස්සේ සිය අදහස් දක්වා තිබුණේ, ශ්‍රී ලාංකික ජනතාව සමග ඔවුන් සිටින බවයි. එම ට්විටර් පණිවිඩය මෙතනින්.

MAS Holdings, John Keells PLC, Hemas Holdings PLC, Jetwing Hotels

මෙම ආයතන සියල්ලම මෑතකදී ජනතා අරගල වලට සහය පළ කරන බවට සිය ෆේස්බුක් නිල පිටු ඔස්සේ සඳහන් කර තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

ජෝන් කීල්ස් සමාගෙම් සටහනක් පහතින්

Facebook | Archived Link

හේමාස් හෝල්ඩින්ස් සහ ජෙට්වින් හෝටෙල්ස් විසින් ද පළකර තිබු සටහන් මෙලෙසින්

Facebook | Archived Link Facebook | Archived Link

Taiwan Semiconductor Manufacturing Company Limited

මෙම විදෙස් සමාගමේ යෝෂිත රාජපක්ෂට අයිතියක් හිමි බවත් එහි ඩොලර් බිලියන 40ක කොටස් පවතින බවත් සඳහන් කර තිබූ අතර අප මෙම විදෙස් සාමගමෙන් මේ පිළිබඳව විමසීමක් සිදුකළ අතර ඔවුන් සඳහන් කළේ, යෝෂිත රාජපක්ෂට TSMC හි 40% කොටස් නොමැති බවත්, TSMC හි සැලකිය යුතු කොටස් කිසිවක් ශ්‍රී ලාංකිකයෙකු සතුව නොමැති බවයි.

ඉහත සටහනේ දැක්වෙන පරිදි විදෙස් ආයෝජන සම්බන්ධයෙන් දක්වා ඇති තවත් විදෙස් සමාගම් කිහිපයකගෙන් ද අප විමසීමක් කළ අතර ඔවුන්ගේ පිළිතුර සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

හුවමාරු වන සටහන්හි මුලාරම්භය

අප මෙම සටහන් වල මුලාරම්භය පිළිබඳව ද පරීක්ෂා කළෙමු. මීට පෙර ද ඉහත ව්‍යාජ සටහන් සහ ලැයිස්තු කිහිපයක්ම පළ කර තිබූ වෙබ් අඩවි කිහිපයක්ම, ෆේස්බුක් ඔස්සේ අප්‍රේල් මස 22 වනදා මෙම සටහන් මුලින්ම හුවමාරු කරගෙන තිබු බව අපට නිරීක්ෂණය වුණා. එවැනි මුලින්ම මෙම පුවත් හුවමාරු වූ වෙබ් අඩවියක් පහතින්.

මීට පෙර ද එම වෙබ් අඩවිය ඔස්සේ නොයෙකුත් අංශ වලින් ප්‍රසිද්ධියට පත් පුද්ගලයන්ගේ නම් අළලා නිර්මාණ වූ ව්‍යාජ ලිපියක් වාර්තා කර තිබූ අතර ඒ පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාව පහතින්.

FACT CHECK: 15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය හේතුවෙන් අත්අඩංගුවට පත් වූ පුද්ගලයින්ගේ ලැයිස්තුව ඇත්තක් ද?

එසේම පසුගියදා ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව මගින් (ICIJ) හෙළිදරව් කළ පැන්ඩෝරා ලේඛන තුළින් විදේශයන්හි ලියාපදිංචි සමාගම්හි රහස්‍ය මුල්‍යමය ගනුදෙනු සිදුකළ පුද්ගලයන්ගේ නම් ලෙස සමාජයේ ජනප්‍රිය පුද්ගලයක්ගේ නම් අළලා මෙම වෙබ් අඩවියේ පළ වී තිබු ව්‍යාජ සටහනක් පිළිබඳව ද අප කළ කරුණු අනාවරණය පහතින්.

FACT CHECK: පැන්ඩෝරා පත්‍රිකා වල ‘නම්’ සඳහන් වූ ශ්‍රී ලාංකිකයින් බවට හුවමාරු වන්නේ සත්‍ය නම් ලැයිස්තුවක් ද?

ඒ අනුව පැහැදිලි වන්නේ, මෙම වෙබ් අඩවිය මගින් පළ කරන මෙවැනි නිල නොලත්, මූලාශ්‍ර නොමැති ව්‍යාජ ලිපි සම්බන්ධයෙන් විශ්වාසය තැබිය හැකිද යන්නයි.

සමාජ මාධ්‍ය සටහන් පිළිබඳව ඇතැම් ප්‍රවීණයන්ගේ මතය

Ogilvy Digital හි හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ආසියා පැසිෆික් ඩිජිටල් අලෙවිකරණ ආයතනයේ (APIDM) සම-නිර්මාතෘ / ප්‍රධාන විධායක නිලධාරී අමිත අමරසිංහ මෙම සටහන් පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටින්නේ ද මෙය වඩාත් විශාල න්‍යාය පත්‍රයක කොටසක් ලෙස සිතා මතාම වැරදි බව ඔප්පු වීමේ අරමුණින් පළකර තිබු සටහන් පෙළක් බවයි. ඔහුගේ කරුණු දැක්වීම මෙලෙසින්.

මේක black hat political marketing වල යොදාගන්න news baits කියන misinformation tactic එක.

මේ tactic එක පාවිච්චි කරන්නේ, තමන්ට විරුද්ධව තියෙන චෝදනා වල සැර බාල කරන්න සහ, ඒ චෝදනා කරන ප්‍රතිවාදී පිලේ credibility එක නැති කරන්න.

මුලින්ම තමන් තමන්ටම විරුද්ධව පට්ටපල් බොරු ටිකක් සමාජ මාධ්‍යයට මුදාහරිනවා.

ඊට පස්සේ, ප්‍රතිවාදී පිලේ අන්ධ අනුගාමිකයෝ ඒ බොරු ඇත්ත හැටියට අරගෙන share කරනකන් බලන් ඉන්නවා.

ඊටත් පස්සේ ඒවා බොරු බව විශ්වාසනීය මූලාශ්‍ර වලින් ඔප්පු වෙන්න දෙනවා.

මේ ටික මේ පිලිවෙලට උනාට පස්සේ, ආයේ දවසක ප්‍රතිවාදී පිලෙන් ඇත්තටම legit චෝදනාවක් කරා උනත් "ආ! ඒකත් අර ඉස්සෙල්ලා වගේ පට්ටපල් බොරුවක්" කියලා ලේසියෙන් debunk කරන්න පුළුවන්.

මේකත් හරියට අර "මතු ආරක්ෂාවට" කියලා පොලීසියේ පැමිණිලි දානවා වගේ වැඩක්.”

Facebook | Archived Link

සමාජ මාධ්‍ය විශේලේෂක සන්ජන හත්තොටුව ද මේ පිළිබඳ අදහස් දක්වා තිබුනේ මෙලෙසින්

https://twitter.com/sanjanah/status/1517698051171037184

Archived Link

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන Elon Muskගේ වත්කම් ප්‍රමාණය අභිබවා යන වත්කම් රාජපක්ෂ වරුන්ට ?

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල අවසානයේ දක්වා ඇති පරිදි රාජපක්ෂවරුන්ට අයත් බවට සඳහන් කළ ඉහත වත්කම් ගණන් බැලීමට අනුව රාජපක්ෂලා විසින් හොරා කා ඇති ධනය ඩොලර් ට්‍රිලියනයක් පමණ වන බවත් මෙම මුදල් ශ්‍රී ලංකාවේ රුපියල් වලින් ක්ව්ඩ්‍රිලියනයකි. (1,050,000,000,000,000 LKR).

ඒ අනුව ඩොලර් ට්‍රිලියන 1ක් (ඩොලර් බිලියන 1000ක්) යනු ලොව ඉහළම බිලියනපතියන්ගේ ලයිස්තුවේ මුල් 7 දෙනාගේ පමණ ශුද්ධ වටිනාකම් එකතුවට සමාන වන බව, මීට සති කිහිපයකට පෙර Forbes සඟරාව විසින් ලෝක බිලියනපතියන් සම්බන්ධයෙන් පළවූ වාර්තා වල පළවූ දත්ත සමඟ පරීක්ෂා කිරීමේ දී පෙනී යනවා. එම වාර්තාව මෙතනින්. Archived Link එනම් මෙහි දැක්වෙන එම කරුණ සත්‍ය නම් Elon Musk, Jeff Bezos, Bill Gates, Waren Buffet ඇතුළු සුප්‍රකට බිලියනපතියන්ගේ වටිනාකමට වඩා මුදලක් රාජපක්ෂවරු සතුව තිබිය යුතුය. එසේම මෙම බිලියනපතියන් අතර ඉහළින් සිටින, පසුගිය දා Twitter සමාගම මිලදී ගත් Elon Musk ට එරෙහිව Anonymous කණ්ඩායම් විසින් කිහිප වරක දීම අනතුරු ඇඟවීම් ඉදිරිපත් කර තිබුණි.

එමෙන්ම ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව මගින් (ICIJ) හෙළිදරව් කළ පැන්ඩෝරා ලේඛන වල රාජපක්ෂ පවුලට අයත් නිරූපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන්ගේ සැඟවුණු වත්කම් පිළිබඳ හෙළි කර අතර, ඉහත සමාජ මාධ්‍ය සටහනේ දක්වා ඇති ලෙස අනෙකුත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ නම් ද එම වාර්තා වලින් එළි දැක්විය යුතු වනවා. නමුත් එම වාර්තාවේ එලෙස දැක ගන්නට නොලැබේ. එම වාර්තාව මෙතනින්.

Also Read: FACT CHECK: Forbes සඟරාව ශ්‍රී ලංකාවේ ධනවත්ම දේශපාලඥයින් දස දෙනාගේ වත්කම් හෙළි කළාද?

Anonymous හැකර්වරුන්ගේ මූලාරම්භය

මෙම හැකර්වරුන් සමූහය ප්‍රථමයෙන් මතු වූයේ 2003 දී 4chan වෙබ් අඩවිය හරහායි. මෙම කණ්ඩායමට නායකත්වයක් නැත, ඔවුන්ගේ බහුලව භාවිතා වන ටැග්ලයිනය වනුයේ “We are Legion. We do not forgive. We do not forget. Expect us." – “අපි හමුදාවක්. අපි සමාව දෙන්නේ නැහැ. අපි අමතක කරන්නේත් නැහැ. අපව බලාපොරොත්තුවෙන් සිටින්න.” යන්නයි. මෙය ඔවුන්ගේ සෑම වීඩියෝවකව ම වාගේ ද දැක ගන්නට ලැබෙනවා.

ඕනෑම කෙනෙකුට කණ්ඩායමේ සාමාජිකයෙක් යැයි පැවසීමේ අවකාශය ද Anonymous කණ්ඩායමට හිමිවෙනවා. මේ හේතුවෙන් ලංකාවේ මෑතක දී ආරම්භ කරන ලද ගිණුම් හි (2022 මාර්තු සහ අප්‍රේල් වැනි) ආරම්භය සිදුකර තිබු දිනය මත, එම ගිණුම් Anonymous හැකර් ක්‍රියාකාරි (hacktivist) කණ්ඩායමට සම්බන්ධ නොවන බව පැවසීමේ හැකියාවක් නොමැති අතර ඔවුන්ට වීඩියෝ පලකිරීමේ ද හැකියාව තිබෙනවා. ඇනොනිමස් පිලිබඳ වීඩියෝවක් වීඩියෝවක් මෙතනින්.

එසේම ඔවුන්ගේ සංකේතය ගයි ෆෝක්ස් වෙස් මුහුණක් වන අතර, එය දූෂිත ෆැසිස්ට් රජයක් පෙරළා දැමූ ඇලන් මුවර්ගේ V for Vendetta ග්‍රැෆික් නවකතාවෙන් ප්‍රසිද්ධියට පත්වූ වෙස් මූණකි.

2008 වසරේ Project Chanology ජාත්‍යන්තර වශයෙන් වැදගත් වූ ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් Anonymous හැකර් ක්‍රියාකාරි සමුහය සහයෝගය ලබා දී තිබනෙවා. එක්සත් ජනපදයේ මෙන්ම ඊශ්‍රායලය, ටියුනීසියාව, උගන්ඩාව සහ වෙනත් රාජ්‍ය ආයතන, සමාගම් මෙන්ම පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් මෙම හැකර් ක්‍රියාකරකම් සිදු කර තිබෙනවා.

ඉස්ලාමීය රාජ්‍ය, ළමා කාමුක දර්ශන අඩවි, ප්‍රකාශන හිමිකම් ආරක්ෂණ ආයතන, වෙස්ට්බෝරෝ බැප්ටිස්ට් පල්ලිය, සහ PayPal, MasterCard, Visa, සහ Sony වැනි ආයතන වලට ද මෙලෙස හැක් කිරීම් සිදු කර තිබේ.

මෙවැනි සයිබර් ප්‍රහාර මාලාවේ ප්‍රතිඵලයක් ලෙස ඇනොනිමස් කණ්ඩායම්වල ක්‍රියාකාරකම් කෙරෙහි නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ අවධානය යොමු වී තිබේ.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ඉන්දියාව සහ තුර්කිය ඇතුළු රටවල් රැසක නිර්නාමික සයිබර් ප්‍රහාරවලට සම්බන්ධ මෙම සමුහයේ සාමාජිකයින් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ද පත්ව ඇත. මේ සම්බන්ධයෙන් මූලාශ්‍ර මෙතනින් සහ මෙතනින්.

2018 වන විට ඔවුන්ගේ ක්‍රියාකාරකම් යම් තාක් දුරකට අඩු වූවත් එක්සත් ජනපදයේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ විරෝධතා සහ වෙනත් හේතූන් සඳහා සහය දැක්වීම සඳහා මෙම කණ්ඩායම 2020 දී නැවත ඉස්මතු වී ඇති අතර මේ වන විට රුසියාව විසින් යුක්රේනයේ සිදුකරන ආක්‍රමණයට විරෝධය දැක්වීමක් ලෙස ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව "සයිබර් යුද්ධය" මොවුන් විසින් ප්‍රකාශ කෙරුණි. යුක්රේන ගැටුම ආරම්භ වූ දා සිට සිදු කරන ලද සියලුම සයිබර් ප්‍රහාර අතරින්, රුසියානු රූපවාහිනී ජාල වල නිර්නාමික හැක් කිරීමක් කැපී පෙණුනා. ඒ පිළිබඳව පළ වන BBC වාර්තාව මෙතනින්. තවත් වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

මෙම සමූහයට බොහෝ සමාජ මාධ්‍ය ගිණුම් ඇති අතර එහි Twitter පිටුවල පමණක් මිලියන 15.5 අනුගාමිකයින් සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙනු ලබන්නේ.

Anonymous ලංකාවේ ක්‍රියාකාරකම්:

ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් Anonymous හැකර් කණ්ඩායම් සඳහා රාජපක්ෂ රෙජීමය විසින් සිදුකරන ලද වංචා හෙළි කරන ලෙස ඉල්ලීම්, වර්තමාන අරගල කටයුතු ආරම්භක අවධියේ සිටම දැක ගණනට ලැබුණු අතර #AnonymousSaveSrilanka වැනි #ටැග් රැසක් ද අපට දැක ගන්නට ලැබුණා.

මේ ඔස්සේ The Ghost නමැති අප්‍රේල් 07 වනදා ආරම්භ කර තිබු යුටියුබ් චැනලයක, එදිනම පළවූ වීඩියෝවක දක්වා තිබුනේ ගෝඨාභ රාජපක්ෂ ජනපතිට සිය ධුරයෙන් ඉවත් වීමට සති දෙකක කාලයක් ලබා දෙන බවත් එසේ නොවුණහොත් සයිබර් ප්‍රහාර මාලාවක් දියත්කෙරෙන බවත්ය. එම වීඩියෝව මෙතනින්.

මෙම කරුණ පසුව අවස්ථාවන් කිහිපයක දී විශේෂයෙන්ම ලංකාව මුල්කරගනිමින් ආරම්භ කර තිබු නිර්ණාමික ට්විටර් ගිණුම් කිහිපයකින් හුවමාරු කරගෙන තිබු අතර මිලියන 8ක පමණ අනුගාමිකයන් පිරිසක් සිටින ප්‍රධාන Anonymous ට්විටර් ගිණුමක් මඟින් ද මෙම තොරතුරු පසුව හුවමාරු කරගෙන තිබුණේ මෙලෙසින්. Archived Link

මේ අනුව අප්‍රේල් 21 වන දා මෙම Anonymous කණ්ඩායම විසින් සැලකිය යුතු හෙළිදරව්වක් සිදුකරනු ඇතැයි කිහිපදෙනෙක්ම බලාපොරොත්තුවෙන් සිටියද, චෝදනා නගා තිබු අක්‍රමිකතා පිලිබඳ  පිළිගත හැකි මූලාශ්‍ර සහිතව කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් නොවුණි.

එසේම රුසියානු ක්‍රියාකාරම් අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාකරකම් (#OpSriLanka) ද ආරම්භ කල බවටත් ඇනොනිමස් වීඩියෝවක් මෙලෙසින්. මෙහිදී රජයේ වෙබ් අඩවි ඉලක්ක කරගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කරන බවට අනතුරු හඟවා තිබු අතර එලෙසම පසුගිය දින කිහිපයේ දී රජයේ වෙබ් අඩවි (slbfe, health ministry), ශ්‍රී ලංකා පොලිසියේ වෙබ් අඩවිය යනාදිය ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාර දියත් කල ආකාරය Anonymous ට්විටර් ගිණුම් කිහිපයක පෙන්වා දී තිබු අතර ලංකාවේ මාධ්‍ය ආයතන කිහිපයකට ද තර්ජන එල්ල කර තිබුණා.

නමුත් ලංකාවේ චෝදනා එල්ල කර ඇති පරිදි අනෛතික වත්කම් හෝ සැකකටයුතු මුල්‍ය ගනුදෙනු යනාදී තොරතුරු පිලිබඳව මුලාශ්‍ර හෝ සාක්ෂි සහිත විස්තර මෙම ඇනොනිමස් ගිණුම් හරහා අපට දැක ගන්නට ලැබුනේ නැහැ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනේ ද කිසිදු මූලාශ්‍රයක් හෝ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර තිබුනේ නැත. එසේම ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස සිදු කෙරෙන අරගයට සහය දක්වන ආයතන කිහිපයක් ම ඇතුළත් කර තිබු අතර, රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එකී ආයතන වල කොටස් ද අයිති බවට හඟවමින් නිර්මාණය කරන ලද සටහන් සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීමක් ද සිදුකර තිබුනේ නැත

එසේම #OpSriLanka යටතේ ලංකාවේ ඇනොනිමස් කටයුතු පිලිබඳ තොරතුරු ලබාදෙන බවට පළවන ට්විටර් ගිණුම් කිහිපයක ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ ලබා දී තිබු තොරතුරු හුවමාරු වී තිබුනේ දැයි ද අප පරීක්ෂා කර සිටියා. එහිදී ලංකාවේ තොරතුරු පළකරන එක් ට්විටර් ගිණුමක විශේෂයෙන් ම සමාජ මාධ්‍ය සටහන් හි සඳහන් තොරතුරු ද ඇතුළත් වී තිබුණද එම සටහන් පලවී තිබුනේ මෙම සටහන් මුල්වරට හුවමාරු වූ අප්‍රේල් 22 දින ට දින දෙකකට පසුවය.

එමෙන්ම ඇනොනිමස් නිල (verified) ෆේස්බුක් පිටුවේ මේ දිනවල බොහෝදුරට පළ වන්නේ රුසියාව (#OpRussia) සම්බන්ධ තොරතුරු වන අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ රාජපක්ෂවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් කිසිදු සටහනක් දක්වා නොතිබුණි. එම නිල ෆේස්බුක් පිටුව මෙතනින්. Anonymous නිල YouTube නාලිකාවේ දිගුව මෙතනින්.

සයිබර් ආරක්ෂණ විශේෂඥයෙකුගේ අදහස් දැක්වීම:

අප සයිබර් ආරක්ෂණ විශේෂඥයෙකු වන අසේල වෛද්‍යාලංකාර මහතාගෙන් ලංකාවේ ඇනොනිමස් ක්‍රියාකාරකම් පිලිබඳ විමසා සිටියා. ශ්‍රී ලංකා රජයට එරෙහි විරෝධතාකරුවන්ගෙන් බොහෝ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස ඇනොනිමස් නිර්නාමික හැකර් ව්‍යාපාරය, ශ්‍රී ලංකාව වෙත ඔවුන්ගේ අවධානය යොමු වූ බවට ලකුණු පහළ වී ඇති බව ඔහු පැවසීය.

ඇනොනිමස් හැකර් ක්‍රියාකාරීන් විසින් වෙබ් අඩවි කිහිපයකට ම මේ වන විට ප්‍රහාර එල්ල කර ඇති බවත් මේ ආකාරයෙන් පද්ධතිය කඩාකප්පල් කිරීම, මෙම හකර්වරුන්ගේ මෙහෙයුම් ක්‍රමය බවත් අසේල පවසා සිටියා. එසේම මෙම නිර්නාමික හැකර්වරුන් අතර සයිබර් අපරාධකරුවන් කිහිප දෙනෙකු ද සිටිය හැකි බැවින් මහජන දත්ත අඩංගු රජයේ වෙබ් අඩවි වලට සිදුකරන ප්‍රහාර හා තොරතුරු අනාවරණය කිරීම මඟින්, ලංකාවේ අරගලය මඟින් ඉල්ලා සිටින දත්ත හෙළි කිරීමට වඩා, සාමාන්‍ය ජනතාවගේ රහස්‍ය දත්ත තෙවන පාර්ශවයන්ට හෙළිදරව් වීමේ අවදානමක් ඇති බව ද වැඩිදුරටත් පවසා සිටියා.

නිර්නාමික හැකර්වරුන් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ගේ කළු සල්ලි හෙළි කරනු ඇතැයි තමා විශ්වාස නොකරන බව ද , රුසියානු-යුක්රේන අර්බුදකාරී තත්වය හමුවේ ද Anonymous සමුහය රුසියානු බිලියනපතියන් සහ ඔවුන්ගේ රහස් වත්කම් හෙළිකරන බව පැවසුව ද මේ වන විට එය ඉටු කර ගැනීමට ඔවුන් අපොහොසත් වී ඇති බවත් අසේල පෙන්වා දෙනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ රුසියාවේ වෙබ් අඩවි හැක් කිරීමෙන් රජයට බලපෑම් ඇති කිරීමට මෙම හැකර්වරුන් උත්සාහ කරන බවත් එම ක්‍රියාදාමය ම ලංකාවේ ද අනුගමන වන ලකුණු ඇති බවත් හැකර්වරුන්ගේ මෙසේ මෙරට වෙබ් පද්ධති සඳහා මැදිහත්වීම සක්‍රීය වීම හේතුවෙන් රටේ සයිබර් ආරක්ෂාව දැඩි අවදානමකට ලක්වන බවයි.

සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර මහතා මෙම කරුණු පිලිබඳ අදහස් දැක්වූ වීඩියෝවක් පහතින්.

https://youtu.be/9GuHuJPHI-Q?t=2

සැ.යු: අප මෙම කරුණු පැහැදිලි කිරීමේ දී පෙන්වා දී තිබෙන්නේ සමාජ මාධ්‍ය සටහන් මඟින් පෙන්වා දී තිබෙන පුද්ගල, ආයතන සහ සන්නාම රැසක්ම එහි සඳහන් කර තිබෙන තොරතුරු පදනම් විරහිත බව පෙන්වා දී ඇති බවත්, එම සටහන් මඟින් පැවසෙන චෝදනා ඔප්පු කිරීමට කිසිඳු පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවත්ය. මෙහි දැක්වෙන චෝදනා පිලිබඳ කිසියම් හෝ සාක්ෂි සටහන් ද ඉදිරියේ දී ඉදිරිපත් වේ නම් ඒ සම්බන්ධයෙන් ද සොයා බලා, ස්වාධීනව සත්‍යාපනය කළ හැකි කරුණු වේ නම් මෙහි යාවත්කාලීන කිරීමට ද අප බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ප්‍රකට දෙස්/විදෙස් සමාගම් සහ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් Anonymous හැකර්වරුන් හෙළි හළ බව හඟවමින් ඉදිරිපත් කළ වාර්තාවක්!

By: Pavithra Sandamali

Result: Explainer

Tags:    

Similar News